අවස්ථාවාදී 'බේගල්'

 ඡායාරූපය:

අවස්ථාවාදී 'බේගල්'

රජය විසින් සංහිඳියාව ව්‍යාප්ත කිරීමට ගන්නා ලද විවිධ උත්සාහයන් අතර කැපී පෙනෙන පියවරක් මීට දින කිහිපයකට ඉහතදී ගන්නා ලදී. එනම් දශක තුනකට අධික කාලයක් පුරා මෙරට පැවති යුද්ධයෙන් විපතට පත් ජනතාව වෙත හානි පූරණය කිරීම සඳහා කැබිනට් පත්‍රිකාවක් අනුමත කර ගැනීමයි. මෙමඟින් යුද්ධයේ වින්දිතයන් සඳහා හානිපූරණය කිරීමේ කටයුතු සැලසුම් කිරීමටත් ක්‍රියාත්මක කිරීමටත් ස්වාධීන අධිකාරියක් ස්ථාපිත කිරීමටත් තීරණය විය. එම අධිකාරිය වෙත යුද්ධයෙන් පීඩාවට පත්වූ පුද්ගලයන්ට අයදුම්පත් යොමු කිරීමට අවස්ථාවක් ලබාදී ඔවුන්ට සිදුව ඇති අලාභය තක්සේරු කොට ඒ සඳහාවටිනාකමක් ලබාදීම මෙහි කාර්යභාරය වේ. ඒ අනුව යුද්ධය හේතුවෙන් ආබාධයට, ලිංගික හිංසනයට ලක්වූ සහ අධ්‍යාපන අවස්ථා අහිමි වූ වැනි මානව හිමිකම් කඩවූ පුද්ගලයන්ට මේ සඳහාඅයදුම් කිරීමේ අවස්ථාව හිමිවනු ඇත.

නමුත් රටේ සංහිඳියාව සහ සෞභාග්‍ය වඩා තම ස්වාර්ථය උදෙසා කටයුතු කරන කණ්ඩායම් මෙම හානි පූර්ණය පිළිබඳ පනත සෘණාත්මව විග්‍රහ කිරීමට උත්සාහ දරති. එම පනත පිළිබඳ වැරදි අර්ථකථන සපයමින් ජනතාව ව්‍යාකූලත්වයට පත්කිරීම එම කණ්ඩායම්වල එකම අභිලාශය වේ. නමුත් ඔවුන් හුවා දක්වන පරිදී හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයන් සඳහා කිසිදු වන්දියක් ප්‍රදානය නොකිරීම රජයේ තීරණය විය.

රජයේ එම ස්ථාවරය පැහැදිලි කරමින් නැවත පදිංචි කිරීම් පුනරුත්ථාපන හා හින්දු ආගමික කටයුතු පිළිබඳ අමාත්‍ය ඩී.එම්. ස්වාමිනාදන් මහතා විසින් මියගිය කොටි සාමාජිකයන් හා ඔවුන්ගේ පවුල්වල අයට වන්දි ප්‍රදානය කිරීම සඳහා කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලද යෝජනාව නැවත නැවතත් ප්‍රතික්ෂේප විය. හිටපු

එල්.ටී.ටී.ඊ සාමාජිකයන් සඳහා වන්දි ප්‍රදානය කිරීම රජයේ අරමුණ නොවන බවට එය කදිම සාක්ෂියකි. නමුත් පටු අරමුණින් කටයුතු කරන පිරිස් උත්සාහ දරමින් සිටිනුයේ යුද්ධයේ ගොදුරු බවට පත්වූ අහිංසක සිවිල් වැසියන්ට වන්දි ප්‍රධානය කිරීමද හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයන් සඳහාවන්දි ගෙවීමක් ලෙස හුවා දක්වමින් ඒ සඳහා ජනතා විරෝධයක් ඇතිකිරීමයි.

නීතියේ ආරක්ෂාව සෑම පුරවැසියෙකුටම එක හා සමානව හිමිවිය යුතුය යන්න ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් තහවුරු කර ආරක්ෂා කරනු ලබන මූලික අයිතිවාසිකමකි. එබැවින් පසුගිය යුද සමයේ ගොදුරු බවට පත්වූ ජනතාවටද එම අයිතිවාසිකම් හිමිවිය යුතුය. ඔවුන්ගේ අවශ්‍යතා පිළිබඳ සලකා බැලීම මෙන්ම ඔවුන්ගේ අයිතිවාසිකම් හිමිකම් ආරක්ෂා කිරීමට කටයුතු කිරීම සංහිඳියාව රජයන, ඒකීයභාවයෙන් යුත් අනාගතයක් කරා තබන ඉදිරි පියවරක් බව රජයේ විශ්වාසයයි.

යුද්ධය මීට වසර 9කට පෙර අවසන් වුවත් ඉන් ඇතිවූ හිත්රිදීම් සහ අහිමිවීම්වල වේදනාව එහි ගොදුරු බවට පත්වූ ජනතාවගේ මතකයෙන් තවමත් වියැකී ගොස් නොමැත. සිංහල, දෙමළ, මුස්ලිම් ඇතුළු සියලු ජනවර්ගවලට අයත් ශ්‍රී ලාංකිකයන් කුරිරු යුද්ධයේ ගොදුරු බවට පත්වූහ. ඇතැමෙකුට යුද්ධය හේතුවෙන් සිය අත පය වැනි ශරීර අංග මෙන්ම පවුලේ සාමාජිකයන් පවා අහිමි විය. නිවාස, දේපළ පමණක් නොව අධ්‍යාපන අවස්ථා පවා අහිමිවූ පිරිස් අතිවිශාල ගණනක් සිටිති. ඔවුන්ට නැවත නැගී සිටීමට අතහිත දිය හැකි වඩාත් ප්‍රායෝගික පිළිවෙල වනුයේ හානිය පූරණය කිරීමයි. එමඟින් ඔවුන්ගේ අතීත මතකයන්ගේ වේදනාව යම් පමණකට සුවපත් කිරීමටත් ඔවුන් යළි නැගීසිටීමට බලගැන්වීමටත් හැකි වනු ඇත. ඔවුන් අන් පුරවැසියන්ට හිමි අයිතිවාසිකම්වලට හිමිකම් කියන අයවලුන් බව තහවුරු කිරීමද හානි පූරණයේ තවත් එක් අරමුණකි.

හානි පූර්ණයේදී වින්දිතයා කවර ජාතියකට අයත්ද, කවර දේශපාලන කණ්ඩායමක් නියෝජනය කරත්ද නැතිනම් කවර ආගමක් අදහනවාද යන්න වැදගත් නොවේ. එහිදී වැදගත් වනුයේ ඔහුට හෝ ඇයට සිදුවූ හානිය කොපමණද යන්න පමණි. එසේම හානි පූරණය සම්බන්ධ ප්‍රතිපත්ති සකස් කරනුයේ එක් කණ්ඩායමක් තවත් කණ්ඩායමකින් වෙනස් කොට සැලකෙන ලෙසද නොවේ. නීතිය ඉදිරියේ සියලු පුරවැසියන් සමානව සලකනු ලබයි. හානි පූරණය පිළිබඳ පනත අනුවද සියලු පුරවැසියන් සමාන තත්ත්වයේ ලා සලකනු ලබයි.

හානි පූරණය පිළිබද පනත මගින් පහත තත්ත්වයන්ට මුහුණ දුන් පුද්ගලයන් සඳහා හානි පූරණය කිරීමට අපේක්ෂිතය.

• මානව හිමිකම් හෝ මානුෂීය නීතිය උල්ලංඝනය වූ පුද්ගලයන් සඳහා. (1994 පළමු, දෙවන, තෙවන හා සිව්වන ජිනීවා සම්මුතීන්හී දක්වා ඇති පරිදි).

එවැනි උල්ලංඝනය වීම් හේතුවෙන් මරණයට පත්වූ හෝ අතුරුදන් වූ තැනැත්තන්ගේ පවුල් සඳහා.

එසේම මෙම පනත යටතේ හානි පූරණය කරනු ලබන්නේ පහත සඳහන් අවස්ථාවලදී ඉහතින් දැක්වූ මානුෂීය නීති උල්ලංඝනය වූ පුද්ගලයන් සඳහා පමණි.

-උතුරු නැගෙනහිර පළාත්වල ඇතිවූ ගැටුම්වලදී හෝ ඉන් පසුව ඇතිවූ සිද්ධීන්වලට ගොදුරු වූ පුද්ගලයන්.

-දේශපාලන කැරලි හෝ සිවිල් කලකෝලාහලවලට ගොදුරු වූ පුරවැසියන්.

-ශ්‍රී ලංකා පුරවැසියෙකුගේ හෝ කණ්ඩායමක නැතිනම් ප්‍රජාවක හිමිකම් ක්‍රමාණුකූලව බරපතල ලෙස උල්ලංඝනය වූ අවස්ථාවකදී.

-2018 අංක 5 දරන බලහත්කාරයෙන් අතුරුදන් කරවීම්වලින් සියලු පුද්ගලයන් ආරක්ෂා කිරීම සඳහා වන ජාත්‍යන්තර සම්මුති පනතෙහි දක්වා ඇති පරිදි බලහත්කාරයෙන් අතුරුදන් කරවීමක් සම්බන්ධයෙන්.

උක්ත නිර්ණායකයන්ට යටත්වන කවර හෝ පුද්ගලයෙකුට හානි පූරණය සඳහා පිහිටුවනු ලබන කාර්යාලය වෙත අයදුම්පත් යොමු කළ හැකිය. ඒ අනුව කාර්යාලය විසින් හානියේ ප්‍රමාණය හා අවශ්‍යතාව තක්සේරු කරනු ඇත. මෙම පනත ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාවලිය තුළදී යම් කණ්ඩායමක් වෙනත් කණ්ඩායමකින් වෙනස් කොට සැලකීමේ කිසිදු හැකියාවක් නොමැත. හානි පූරණය සඳහාපිහිටුවනු ලබන කාර්යාලය ස්වාධීන අයතනයක් වනවා සේම වාර්ගික, භාෂාමය, ආගමික, ස්ත්‍රී- පුරුෂ සමාජභාවය හෝ වෙනත් කරුණක් පදනම් කරගනිමින් කිසිදු පුද්ගලයෙකුට වෙනස් කොට සැලකීමක් සිදු නොකරනු ඇත.

හානි පූරණය යන්න ශ්‍රී ලාංකිකයන්ට අලුත් දෙයක් නොවේ. මන්දයත් ගැටුම් හා ස්වභාවික විපත් සඳහා ගොදුරු වූ වින්දිතයන්ට සහන සැලසීම සඳහා දේපළ හා කර්මාන්ත පුනරුත්ථාපන අධිකාරිය එම කාර්යභාරය ඉටුකළ බැවිනි. එයටද සැලකිය යුතු මට්ටමේ අභියෝග රැසකට මුහුණ පෑමට සිදුවිය. හානි පූරණය සම්බන්ධයෙන් වින්දිතයන් මීට පෙර ලද අත්දැකීම් අනුව ඒ සම්බන්ධයෙන් ඔවුන් තුළ වූයේ කලකිරීමක් මෙන්ම අතෘප්තියකි. ඒ ගැන වූ පරිපාලනයේ පැවති දුර්වලතා නිසා හානි පූරණයේදී විවිධ බාධකද එල්ල විය. මෙම තත්ත්වය වෙනස් කිරීම සඳහා කාලය එළඹ තිබේ. අසාධාරණයට ලක්වූ වින්දියන් වෙත ළගා වීම, ඔවුන් සමඟ සාකච්ඡා කිරීම සහ ඔවුන්ගේ හානි පූරණය කිරීම සඳහා ක්‍රමවේදයක් සකස්කිරීමට රජයේ මැදිහත්වීම ඉහළ නැංවිය යුතු කාලය එළඹ තිබේ. හානි පූරණය පිළිබද කාර්යාලය සඳහා වන පනත ඊට ආරම්භය සනිටුහන් කිරීමකි. ගැටුම්වලට ගොදුරුව පීඩාවට පත්වූ ශ්‍රී ලාංකිකයන් තවදුරටත් වේදනා විඳිය යුතු නැත. අපගේ හෘද සාක්ෂියේ මෙන්ම අනාගත දරු පරපුරේද ඉල්ලීම එයයි.

[ප්‍රසංග ප්‍රනාන්දු]

 

මාතෘකා