පොලිසියට තුවක්කු දීලා තියෙන්නේ අවශ්‍ය අවස්ථාවකදී වෙඩි තියන්නයි

 ඡායාරූපය:

පොලිසියට තුවක්කු දීලා තියෙන්නේ අවශ්‍ය අවස්ථාවකදී වෙඩි තියන්නයි

පොලිස් මාධ්‍ය ප්‍රකාශක,

පොලිස් අධිකාරී රුවන් ගුණසේකර

පොලිස් අත්අඩංගුවේ පසුවන සැකකරුවන් මියයාමේ සිදුවීම්, සැකකරුවන් අවි ආයුද පෙන්වීමට පොලිසිය කැටුව යන අවස්ථාවේදී පොලිස් වෙඩි පහරින් මියයාමේ සිදුවීම් නිතර අසන්නට ලැබෙන තත්ත්වයක් ඇතිව තිබේ. එවැනි තත්ත්වයක් තුළ ජනතාවගේ සිත් තුළ ඇත්තේ පොලිසිය පිළිබඳ සුබවාදී ආකල්ප නොවේ. ඊට ආසන්නතම සිදුවීම ඉකුත් සතියේ මාතර ස්වර්ණාභරණ වෙළෙඳ ආයතනයක් කොල්ලකෑමට පැමිණි කොල්ලකරුවන් පිරිසකගේ වෙඩි ප්‍රහාරවලින් පොලිස් නිලධාරියකු මියගොස් පසුව එහි එක් සැකකරුවකු ද පොලිස් වෙඩි පහරින් මියයාමේ සිදුවීමයි. ඒ සම්බන්ධයෙන් අප පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතාගෙන් විමසුවෙමු.

මාතර ස්වර්ණභාරණ කොල්ලයට සම්බන්ධ සැකකරුවකු මියයාමේ සිදුවීමේදී පොලිසියේ අවම බලය භාවිත කිරීම පිළිබඳ ප්‍රශ්නයක් මතුවනවා නේද?

ඒ ගැන පැහැදිලිවම දණ්ඩ නීති සංග්‍රහයේ 89 සිට 99 දක්වා වගන්තිවල සඳහන් වෙලා තිබෙනවා. ඒක පොලිසිය විසින් පමණක් පාවිච්චි කරන දෙයක් නෙවෙයි. ඒ නීතීමය රාමුව තුළ ඕනෑම කෙනෙකුට අයිතිය තියෙනවා තමන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ඒ බලය පාවිච්චි කිරීමට. ඒ වගේම මරන්න පුළුවන් අවස්ථා මොනවද කියලා දණ්ඩ නිති සංග්‍රහයේ 93-96 වගන්තිවල සඳහන් වෙනවා. ඒක තමයි ඕකට දෙන්න පුළුවන් සරලම පිළිතුර.

පොලිස් වෙඩි පහරින් මිය ගිය සැකකරුගේ දෙපා බැඳ දමා තිබෙන ඡායාරූපයක් සමාජ ජාලා ඔස්සේ සංසරණය වෙනවා. එවැනි තත්ත්වයක සිටින අයෙකුට අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ හැකිද කියන ප්‍රශ්නයත් ඇතැමුන් මතුකරනවා?

ඕකත් තනිකරම පටවලා ගැනීමක් කියලා තමයි කියන්න තියෙන්නේ. සැකකරු අත්අඩංගුවට ගත්ත අවස්ථාවේ ඔහුගේ දෙපා බැඳලා තියෙනවා. එවැනි අවස්ථාවක සැකකරුගේ ස්වරූපය අනුව එවැනි දෙයක් කරන්න පුළුවන්. ඔහුව අත්අඩංගුවට ගන්නේ 22 වැනිදා. නමුත් ඔය කියන දෙවැනි සිදුවීම වෙන්නේ ඊයේ(23දා)උදේ. ඇත්තටම කියනවා නම් එවැනි ඡායාරූප සමාජ ජාලාවලට දාලා ඔය වගේ මත සමාජය තුළ ප්‍රචාරය කරන්නේ සංවිධානාත්මක අපරාධ කරුවන්. එවැනි දේවල්වල සත්‍යතාවයක් නැහැ.

එවැනි අවස්ථාවක පොලිසියට සැකකරුවාට වෙඩි තැබීම හැර අනුගමනය කළ හැකි වෙනත් ආරක්ෂිත පියවරක් නැද්ද?

පොලිසියට තුවක්කු දීලා තියෙන්නේ එවැනි අත්‍යවශ්‍ය අවස්ථාකදී වෙඩි තියන්න තමයි. ඒ සිදුවීමෙන් අපේ පොලිස් නිලධාරියෙක් මියගියා. සැකකරුට ඔහුගේ ප්‍රහාරය එල්ල කරන්න දීලා පොලිසිය තුවක්කු පාවිච්චි නොකර බලාගෙන හිටියා නම් වෙන්නේ ඉතුරු නිලධාරින්ටත් තමන්ගේ ජීවිතවලින් වන්දි ගෙවන්නයි. එවැනි දෙයක් සිදුවුණා නම් එහි වගකීම භාරගන්නේ කවුද? ඔය කියන සමාජ ජාලා ද ?

පොලිසිය පුද්ගලික ආරක්ෂාවේ අයිතිය ආරක්ෂා කිරීමට නිරන්තරයෙන්ම කටයුතු කරනවා. ඒ ආකාරයට පුද්ගලික ආරක්ෂාව ක්‍රියාත්මක කිරීමේදී ඒක හරිද වැරදිදි අඩුද වැඩිද කියන එක තීරණය කරන්නේ මහේස්ත්‍රාත්තුමා මහේස්ත්‍රාත් අධිකරණයේදී මහේස්ත්‍රාත් පරීක්ෂණයකින්. එහෙම නැතුව පොලිසියේ කාර්යභාරය හරිද වැරදිදි කියල තීරණය කරන්න ෆේස්බුක් හෝ වෙනත් සමාජ ජාලා මාධ්‍යයකට බැහැ. අනික ඒ අත්අඩංගුවට පත්වූ සැකකරු , මියගිය චාමර ඉන්ද්‍රජිත් කියන පුද්ගලයා ඉතා හොඳින් මිනී රස දන්න පුද්ගලයෙක්. එක තත්ත්පරයක ප්‍රමාදයක් ඔහුට හොඳටම ප්‍රමාණවත් පොලිස් නිලධාරින් සියලු දෙනා ජීවිතක්ෂයට පත්කරන්න. ඒ නිසා ඒ වෙලාවේ ගත යුතු පියවර තමයි පොලිසිය විසින් අරගෙන තිබුණේ. පොලිසියේ ඒ ක්‍රියාව හරිද වැරදිදි කියලා මහේස්ත්‍රාත්තුමා මහේස්ත්‍රාත් පරීක්ෂණයකින් තීරණය කරයි. එහෙම නැතුව සමාජජාලා ඔස්සේ වැරදි මත සමාජගත කිරීමට උත්සාහ කරන සංවිධානාත්මක අපරාධ කල්ලිවලට බැහැ පොලිසියේ ක්‍රියාකාරීත්වය ප්‍රශ්න කරන්න.

මේ සිදුවීමේදි කොල්ලකරුවන් සන්නද්ධ වී සිට ඇත්තේ නවීන පන්නයේ අවිවලින්. එවැනි ආයුධ සහිත කොල්ලකරුවන්ට මුහුණ දීමට පොලිස් නිලධාරියෙකුට ඔහුගේ පිස්තෝලය පමණක් සෑහෙනවාද? මියගිය පොලිස් නිලධාරියාගේ ජීවිතය පිළිබඳ වගකීම පොලිසිය බාරගත යුතුයි නේද?

ඒ සිදුවීම ගැන පොලිස් දෙපාර්තමේන්තුවම කණගාටු වනවා. අපේ පොලිස් නිලධාරියාට ඔහුගේ ජීවිතය අහිමි වීමේ අවාසානාවන්ත සිදුවීම අපි කිසිසේත් සුළුකොට තකන්නේ නැහැ. නමුත් මම ගාවත් තියෙන්නේ එවැනිම පිස්තෝලයක්. එයින් තමයි අපිට අපේ ආරක්ෂාව සලසා ගන්න සිදුවෙන්නේ.

කිලිනොච්චියේ දිවියකු ඝාතනය කිරීමේ සිදුවීම සම්බන්ධයෙක් වන විමර්ශනවල නවතම තත්ත්වය කුමක්ද?

ඒ සිදුවීම සම්බන්ධයෙන් එක් සැකකරුවකු ඊයේ (23 ) දා රාත්‍රියේ පොලිසිය විසින් අත්අඩංගුවට ගත්තා. තව සැකකරුවෙක් පොලිසියට භාරවුණා. සැකකරුවන් දෙදෙනාව අද (24) දා කිලිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 29 වැනිදා තෙක් රිමාන්ඩ් කිරීමට නියෝග කර තිබෙනවා. මහේස්ත්‍රාත් නියෝගට පරිදි සෙසු සැකකරුවන් කඩිනමින් අත්අඩංගුවට ගැනීමට පොලිසිය විසින් කටයුතු කරනවා.

[සුරේකා නිල්මිණි ඉලංගකෝන්]

මාතෘකා