ළමුන් දෙදහසක් මාපියන්ගෙන් වෙන්කළ ඇමෙරිකා මෙහෙයුම

 ඡායාරූපය:

ළමුන් දෙදහසක් මාපියන්ගෙන් වෙන්කළ ඇමෙරිකා මෙහෙයුම

ශරනාවරණය අපේක්‍ෂාවෙන් අමෙරිකා එක්සත් ජනපදයට පැමිණෙන්නවුන්ට දැන් නොයෙකුත් තාඩන පීඩනවලට මුහුණ දෙන්නට සිදුව ඇති බව මේ වන විට ප්‍රචාරය වෙමින් පවතියි. අනවසර සංක්‍රමණිකයන් සම්බන්ධයෙන් රජයේ දැඩි ප්‍රතිපත්තිය ගැන බොහෝ අමෙරිකානුවන්ගේ විරෝධයක් නැතත් ඒවා ක්‍රියාත්මක කෙරෙන හිංසාකාරී පිළිවෙත ගැන ඔවුන්ගේ කනස්සල්ලක් පවතී. සමහරු ඊට ඉඳුරා විරෝධය පළ කරති.

එක්සත් ජනපද මෙකේසිකෝ දේශ සීමාවේ ඩිමිට් කවුන්ටියේ පෙරේදා සිදු වූ රිය අනතුරකින් 5 දෙදෙක් මියගිය බව වාර්තා විය. අනතුරට බඳුන් වී ඇත්තේ SUV පන්නයේ කාරයකි. අනතුර සිදුවන අවස්ථාවේ එතුළ 12 දෙනෙකු සිට ඇත. අනතුරට හේතුව අමෙරිකානු බලධාරීන් පසුපස පැන්නීමයි. කාරයේ රියැදුරාට පැ.කි.මී. 120 පමණ වේගයෙන් ඉගිලුණු රිය පාලනය කැර ගත නොහැකි වීමෙන් එය පාරෙන් ඉවතට පැන ගහක වැදී පෙරැළී ඇත. රියේ සිට ඇත්තේ බලකඩදාසි නොමැති මිනිසුන්ය.

පසුගිය සති කිහිපය පුරා ලොව මාධ්‍ය, අනවසර සංක්‍රමණිකයන් හා අමෙරිකානු නීතිය ක්‍රියාත්මක කරන ආයතන අතර මේ සිද්ධි වාර්තා කැර තිබිණි. ඒවාට ජනාධිපතිවරයාගේ සහ නීතිපතිවරයාගේ ප්‍රකාශවල වීඩියෝපටද ඇතුළත්ය. සරණාගත කඳවුරුවල සංක්‍රමණිකයන් කෙරෙන් දරුවන් බලාත්කාරයෙන් රැගෙන යෑම්, ඔවුන්ගේ රැඳවුම් කඳවුරු, කොන්ග්‍රස් සභිකයන් කඳවුරු පිරික්සීමට යෑම යනාදියේ වීඩියෝ දර්ශන මාධ්‍යයේ දැකිය හැකිය. අමෙරිකාවේ ‘ගෙස්ටාපෝ’ පන්නයේ පොලිසියක් ක්‍රියාත්මක වන්නේ යැයි මාධ්‍ය පවසයි.

ගෙස්ටාපෝ යනු නාසි ජර්මනියේ ක්‍රියාත්මක වූ පොලිසියටත් ඉහළින් වූ රාජ්‍යායතනයයි. ගෙස්ටාපෝ යන්න ‘රහස්‍ය රාජ්‍ය පොලිසිය’ යන අරුත් ඇති Geheime Staatspolizei යන පදවලින් සාදා ගත් කෙටි නාමයයි. මෙය ප්‍රසියානු පොලිසියේ අංශ කිහිපයකින් සමන්විත වූ අතර, කුප්‍රකට SS සංකේතය එය හැඳින්වීමේදී භාවිත විය. යුදෙව්වන්, කොමියුනිස්ට් මතධාරීන්, කතෝලික නොවන වෙනත් ක්‍රිස්තියානින්, ජුදාගම වැනි වෙනත් ලබ්ධිකයන් අත්අඩංගුවට ගෙන ඔවුන් අතුරුදන් කැරවීම මේ ගෙස්ටාපෝ වෙත පැවරී තිබූ ප්‍රමුඛතම රාජකාරිය විය. ඔවුහු සැකකටයුතු මිනිසුන් අත් අඩංගුවට ගෙන ප්‍රශ්න කොට ඔවුන් අතුරුදන් කැරවූහ. ඔවුන්ගේ මූලිකම අවිය වූයේ භීෂණයයි. දැන් අමෙරිකා එක්සත් ජනපදයේ FBI, ICE යන කෙටි නමින් හැඳින්වෙන එරට ආගමන සහ රේගු බලගැන්වීමේ අධිකාරිය, CBP යන කෙටි නමින් හැඳින්වෙන එරට රේගු සහ දේශ සීමා ආරක්‍ෂණ අධිකාරිය සහ තවත් රාජ්‍යායතන කිහිපයක් එක්ව සාදාගත් කිසියම් දේහයක් අතීත නාසි ගෙස්ටාපෝහි කාර්යභාරය වර්තමානයේ එරට තුළ ඉටු කරමින් සිටිනා බව ඇතැම්හු පවසති.

මේ නිලධාරීන් දේශ සිමාව හරහා එන වාහන පිරික්සන්නේ මිනිසුන් තුළ භය ජනිත කෙරෙන ආකාරයෙන් බව පැවසේ. නීත්‍යනුකූලව මෑතකදී අමෙරිකානු පුරවැසි බව ලබා ගත් අයටද ඔවුන් පල් පාටි දමන බව සඳහන්ය. ඉංග්‍රිසි කතා කළ නොහැකි නම් තත්ත්වය වඩා නරක අතට හැරෙනවා ඇත.

වොෂින්ටන් ප්‍රාන්තයේ පැසිෆික් කවුන්ටියේ සරණාගත කඳවුරුවල වෙසෙන ශරනාවරණ අපෙක්ෂකයන්ගේ (asylum seekes) අභාග්‍ය සම්පන්න කලදසාව ගැන වීඩියෝ පටයක් පසුගිය 18 දින බීබීසී මගින් විසුරුවා හරින ලදි. ළමුන් 2,000ක් මාපියන්ගෙන් වෙන් කිරීම පිළිබඳ කාරණය ලොවට නිරාවරණය වන්නට එක් හේතුවක් වූයේ එයයි. අනෙක් හේතුව වනුයේ මේ අංශයේ 2017 වියහියදම් සෙනෙට් අනුකාරක සභාව ඉදිරියේ සාකච්ඡාවට ගැනීමයි. එම කාරක සභාවේ හිඳ ගන්නා ඩිමොක්‍රටික් පාක්‍ෂිකයන් ඒවායේ එන දත්ත සමාලෝචනයේදී පැහැදිලි කැර ගැනීම් සඳහා අදාළ නිලධාරීන් ගෙන්වා ප්‍රශ්න කොට විමතිය පළ කිරීම සමග පරිපාලනය පැත්තෙන් කාරණය කරළියට ආයේය.

එයින් පෙන්වා දෙනු ලැබූ කාරණයක් වනුයේ 2016 වසර හා සසඳන කල 2017 දී අනවසර සංක්‍රමණිකයන්ගේ සංඛ්‍යා 35% පමණින් ඉහළ ගොස් ඇති බවයි.

පසුගිය මාසයේ ක්‍රියාත්මක කැරුණු ‘තවදුටත් ඉවසනු නොහැකියි ප්‍රතිපත්තිය’ (Zero Tolarnce Policy) අනුව සිය පුරවැසිභාවය ලියකියවිලිවලින් සනාථ කළ නොහැකි අයට අමෙරිකානු භූමිය තුළ සිත් සේ සැරිසරන්නට අවසර නොමැත.

ඉක්වදෝර, ග්වාතමාලා, එල්-සැල්වදෝර්, හොන්දුරාස් සහ මෙක්සිකෝ වැනි යාබද රාජ්‍යවලින් ආර්ථික කාරණා මත හොරෙන් දේශ සීමාව තරණය කරන බල කඩදාසි අත නොදරන මොවුහු අනවසර සංක්‍රමණියෝ වෙති. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කියන්නේ ඔවුන්ට සිය භූමිය තුළ ඉඩක් නොමැති බවයි. අමෙරිකා එක්සත් ජනපදය යනු සංක්‍රමණකයන්ගේ කඳවුරක් නොවන අතර සරණාගතයන්ට රැඳී සිටීමේ පහසුව නොසපයනු ඇත. අනවසර සංක්‍රමණිකයන්ට කිසිදා ශරනාවරණය හිමි නොවනු ඇත.

මොවුන් එන්නේ තනිව නොවේ. දරු පවුල් පිටින්ය. අමෙරිකානු ප්‍රතිපත්තිය අනුව සංක්‍රමණිකයන් කරන සුළු වැරදි පවා පුරවැසියන් කරන වැරදිවලට වඩා දඬුවම් ලැබීමට හේතු වෙයි. දෙමාපියන් සිරගත කරනු ලැබිය හැකි අපරාධකරුවන් විය හැකි නමුත් දරුවන් ඊට සම්බන්ධ නොමැත. එහෙයින් දෙමාපියන් දඬුවම ගෙවන කාලය තුළ දරුවන් රැකබලා ගන්නට කෙනකු නොමැති නම් ඒ දරුවන් රජයේ රැඳවුම් භාරයට ගනු ලැබේ. දැන් මේ නීතිය තදින් ක්‍රියාත්මකය. ඒ අනුව පසුගිය සති හයත් අටත් අතර කාලය තුළ කුඩා දරුවන් 2,000 පමණ දෙනා මාපිය උණුසුමෙන් වෙන් කොට රැඳවුම් බාරයට පත් කරන ලද බව වාර්තාවල සඳහන්ය.

දරුවන් මා පිය භාරයෙන් වෙන් කොට රැඳවුම් කඳවුරුවලට යොමු කිරීම සම්බන්ධයෙන් දැනගත යුතු කරුණ බීබීසී වීඩියෝ පටයක දැක්වේ. දරුවන් පවුලෙන් වෙන් කිරීම අමෙරිකානු ප්‍රතිපත්තිය නොවන අතර ඉහත සඳහන් කොට ඇති දෙමාපියන්ගේ වැරදිවලට දඬුවම් නොකිරීමේ ප්‍රතිපත්තියද ඒ හා සමානවම ක්‍රියාත්මක වේ. වෝල්මාට් සමාගමට අයත්ව තිබූ ගොඩනැගිල්ලක් ඒ සඳහා සකස් කොට ඇති අතර සෞඛ්‍ය සහ මානුෂ සේවා දෙපාර්තමේන්තුව තමන් භාරයට ගන්නා දරුවන්ට ඉහළම පහසුකම් ලබා දෙමින් රැකබලා ගන්නට අවශ්‍ය විධි විධාන සලස්වා ඇත. කෙසේ වෙතත් මෙය හදිසියේ ක්‍රියාත්මක කරන ලද්දක් නොවන අතර පූර්ව දැනුම් දීමක් සිදු කරන ලදී. ඒ අනුව දේශ සීමාව හරහා අනවසරයෙන් එන අය සිය දරුවන් තමන් සමග රැගෙන නොඑන්නට වග බලා ගත යුතුව තිබිණි.

කෙසේවෙතත් දරුවන් න්‍යෂ්ඨික පවුලෙන් වෙන් කිරීමේ ප්‍රතිපත්තිය අමානුෂික යැයි ජනාධිපති ආර්යා මෙලනියා ට්‍රම්ප් සිය කනස්සල්ල පළ කැර ඇති බව වාර්තා වේ.

අනවසර සංක්‍රමණිකයන්ගේ ප්‍රශ්නය අමෙරිකා එක්සත් ජනපදයට පමණක් සීමා වූවක් නොවේ. ලොව සංවර්ධනය වූ රටවලට එය තදින් ම බලපායි. යුරෝපා සංගමයේ ප්‍රමුඛ සාමාජිකයන් සියලු දෙනාට එහි බලපෑම් ඇත. ඉතාලිය, ප්‍රංශය, ජර්මනිය, ග්‍රීසිය වැනි රටවලට විශේෂය. ඕස්ට්‍රේලියාවටද එය තදින් බලපා තිබුණු නමුත් එහි දේශ සීමාව මහ සයුර නිසා සමුද්‍ර සීමාවට පිවිසෙන්නට පෙර බෝට්ටු යනාදිය හරවා යැවීමෙන් තත්ත්වය පාලනය කළ හැකි විය. අරාබිකරයේ ඇත්තේ වෙනස් ආකාරයකි. රැකියා වීසා මගින් ඒ රටවලට නීත්‍යනුකූලව පැමිණෙන්නවුන් වීසා වලංගු කාලය ඉක්ම ගිය පසු තවත් කාලයක් රැඳී සිටීම ඒ රටවල දක්නා ලැබේ. ඉතා ක්‍ෂුද්‍ර වශයෙන් ලංකාවේ පවා මේ තත්වය නැතුවාම නොවේ.

දේශ සීමා හරහා ගොඩබිමින් පැමිණෙන වීසා අවශ්‍ය නොමැති අනෙක් අමෙරිකානු රටවලින් පැමිණෙන ජනයාගෙන් අමෙරිකානුවන්ට හිංසා සිදුවන බැවින් ඔවුන් ගැන රජය දැඩි ක්‍රියාමාර්ගයක් ගැනීම ගැන බොහෝ අමෙරිකානුවන්ගේ අප්‍රසාදයක් නොමැත. එහෙත් ප්‍රශ්නය ඇත්තේ ට්‍රම්ප් පාලනය එය ක්‍රියාත්මක කරන දැඩි අමානුෂික ආකාරය බව විචාරකයන්ගේ මතයයි. සුළු වැරදිවලට සහ බොරු චෝදනාවලට වැඩිහිටියන්ට නඩු පවරා දරුවන් රැඳවුම් භාරයට පත් කිරීමෙන් එම දරුවන්ගේ මානව හිමිකම් උල්ලංඝනය වන බව පෙන්වා දෙනු ලැබේ. සමහර දරුවන් කිරිබොන බිලිඳුන්ය. රැඳවුම්භාර නිලධාරීන් කිරිබොමින් සිටි දරුවකු මවගෙන් උදුරාගෙන ගිය බව බීබීසී පුවතක දැක්වේ. තවත් පුවතකට අනුව 37 වියැති පියෙක් තමන්ගේ තුන් හැවිරිදි දරුවා තමන් වෙතින් වෙන් කිරීමේ ශෝකය දරාගත නොහැකිව ස්වේටරයෙන් ගෙල වැල ලා ගෙන ස්වයං ඝාතනයේ යෙදුණ බව සඳහන්ය.

අලුත් සීරො ටොලරන්ස් ප්‍රතිපත්තිය වැඩිපුරම විවේචනය කරන්නේ ඩිමොක්‍රැටික් පාක්‍ෂික කොන්ග්‍රස් සභිකයන් විසිනි. ‘ලැජ්ජයි’ කියන්නේ ඔවුන්ය. ඊට ජනාධිපති ට්‍රම්ප්ගේ පිළිතුර වනුයේ තමා දැන් ක්‍රියාත්මක කරන නීති සැදුවේ පෙර පාලන සමයේ බවයි. ඔහුට කලින් අවුරුදු අටක් අමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිව සිටියේ ඩිමොක්‍රැටික් පක්ෂයේ බරක් ඔබාමාය.

කෙසේ වෙතත් යුරෝපා රටවල සංක්‍රමණිකයන්ට වඩා මානුෂික අයුරින් සලකන ප්‍රතිපත්තිය ඇති බව පෙනේ. සුළු වැරදිවලට චෝදනා ගොනු කොට සංක්‍රමණිකයන්ට සිර දඬුවම් නියම කිරීම මෙන්ම දරුවන් මාපිය රැකවරණයෙන් ඉවත් කිරීමද ඒ රටවල සිදු නොවන්නකි. යුරෝපා රටවල මේ සානුකම්පික ප්‍රතිපත්ති අමෙරිකානු ජනාධිපතිවරයාගේ උදහසට ලක් වෙයි. ඔහු පසුගිය සඳුදා ඒ සම්බන්ධයෙන් ජර්මානු චාන්සලර් ඇන්ජෙලා මර්කෙල්ට මාධ්‍ය හමුවේ ‍දොස් නැගීය.

මේ සංක්‍රමණිකයන් අතර බරපතළ අපරාධකරුවන්ද සිටින බව අනාවරණය වී තිබේ. සංක්‍රමණිකයන්ගෙන්ම සැදුම්ලත් MS 13 නමැති අපරාධ කල්ලිය ඒ අතර මුල් තැනක් ගනියි. මත්ද්‍රව්‍ය ජාවාරමල, කප්පම් වෙළෙඳාම, මිනිස් වෙළෙඳාම, කොන්ත්‍රාත් පදනමින් මිනීමැරීම මෙන්ම සංවිධානාත්මක ස්ත්‍රී දූෂණවලටද මොවුන් සම්බන්ධය. 2016 වසරේ සැප්තැම්බර් මාසයේ නිව්යෝක් නුවරදී නිසා මිකෙන්ස් 15 සහ කාල්යා කුඑවාස් 16 යන දැරියන් දෙදෙනා සහ ඊට මසකට පෙර තවත් එවැනිම දැරියක් දූෂණය කොට කෲර වධ දී ඝාතනය කිරීම සම්බන්ධයෙන් එම කල්ලියේ සාමාජිකයන් 13 දෙනකු පසුගිය සතියේ අත්අඩංගුවට ගනු ලැබිණී. ඔවුන් අනවසර සංක්‍රමණිකයන් බව අනාවරණය වූ විට එබන්දන් ගැන රජයේ ස්ථාවරය තවත් දැඩි විය.

[එස්. නන්දලාල්]

මාතෘකා