සමහරු ආදරය කරන සමහරු පිළිකුල් කරන කවුද මේ ‘අමුතු මිනිස්සු’

 ඡායාරූපය:

සමහරු ආදරය කරන සමහරු පිළිකුල් කරන කවුද මේ ‘අමුතු මිනිස්සු’

සංස්කෘතිය සහ විලාසිතාව, එහෙමත් නැත්නම් විලාසිතාව සහ සංස්කෘතිය අද වන විට ලංකාව තුළ වඩාත් කතාබහට ලක් වන මාතෘකා අතර එකක් ලෙස දැක්විය හැකිය.බොහෝ දෙනා සංස්කෘතිය විලාසිතාවක් ලෙසද විලාසිතාව සංස්කෘතියක් ලෙසද දකිති. සංස්කෘතිය වනාහි නිරන්තරයෙන් වෙනස්වීම් වලට භාජනය වෙමින් සමාජයක ප්‍රධාන අවශතා තුළින් පෝෂණය වෙමින් නිර්මාණය වෙයි. ඒ අනුව විලාසිතාව සමාජයක සංස්කෘතිය හා ගැටෙමින් එම සමාජය තුළ මුලික මිනිස් අවශ්‍යතා සපුරාලමින් ඒ ඒ ජන සමුහයාගේ රුචි පරිදි නිර්මාණය වෙනු ලබයි. උදාහරණයක් ලෙස ඇඳුම්, පාවහන්, ආභරණ, රූපලාවන්‍ය ආලේපන, ශරීරය මෙන්ම ගෘහ උපකරණද දැක්විය හැකිය. කෙසේ වෙතත් සංස්කෘතියක අනන්‍යතාව විලාසිතා මගින් නිරූපනය වන බව කිව හැකිය.

කෙසේ වෙතත් මේ කතාව හුදෙක් සංස්කෘතිය ගැන හෝ විලාසිතාව ගැන නොව. අද වන විට විලාසිතාවක් බවට පත්වී ඇති සංස්කෘතියක් පිලිබඳවය. හිප්ස්ටර් (ඉඟටියෙන් පහළට එල්ලා වැටෙන ඇඳුම් අදින්නා) එහෙමත් නැතිනම් හිපි සංස්කෘතිය 1960 දශකයේ මුල් භාගයේදී සමාජ හා සංස්කෘතික ව්‍යාපාරයක් ලෙස ආරම්භ විය. මොවුන් අවුරුදු 15-25 දක්වා වයස් වලින් යුක්ත නිදහස සහ ස්වාධීනත්වය ප්‍රිය කළ ඇමරිකානු මධ්‍යම පාන්තික පවුල් හැරදමා පමණි අය මෙන්ම එංගලන්තය වැනි රටවල් තුළ පැතිර තිබු වික්ටෝරියානු සුචරිතවාදයට පයින් ගසා පැමිණිය වුන් වීම විශේෂත්වයකි. එම නිසාම යුරෝපය පුරා මොවුන් බොහිමියානුවන් ලෙස හඳුන්වනු ලැබීය. හිපියන්ගේ මෙම ව්‍යාපාරයට පුරාණ ග්‍රීසිය දක්වා ඉතිහාසයක් ඇත. ක්‍රිස්ස්තියානි දහම, හයිලිල් ද එල්ඩර්, මස්ඩක්, අසීසි හි ශාන්ත ෆ්රාන්සිස්, හෙන්රි ඩේවිඩ් තොරෝ සහ ගාන්ධි යන ශාස්තෘවරුන්, ආගමික නායකයින් සහ ජන නායකයින් ගේ ඉගැන්වීම් මගින් පෝෂණය වූ මෙම හිපි සංස්කෘතිය සිනෝපෙ හි දියොජිනිස් සහ සයිනික්ස් වැනි දාර්ශනිකයන් මගින් ආරම්භ වන්නට විය. එමෙන්ම බටහිර සමාජයේ ව්‍යාප්තව පැවති ඇතැම් සංස්කෘතීන්ගේ ආභාසයෙනුත් සමාජ ව්‍යපාරයන්ගේ ආලෝකයද මෙයට නොඅඩුව ලැබෙන්නට විය. ජේසුස් වහන්සේ, බුදු රජාණන්වහන්සේ, හෙන්රි ඩේඩිඩ් තෝරියෝ, ගාන්ධි වැන්නෝද හිපි දර්ශනයට විවිධාකාරයෙන් බලපෑ අය වූහ.

හිපියන්ගේ පැන නැගීම 1896 සහ 1908 කාලය අතරතුර යුරෝපයෙන් ආරම්භ විය. ජර්මානු තරුණ පරපුර තම සාම්ප්‍රදායික ජර්මානු ගැමි සංගීතය මුල්කර ගනිමින් ක්‍රියාත්මක වන සමාජ, සංස්කෘතික ආයතන මෙන්ම රංග ශාලාවලට එරෙහිව Der Wandervogel නමින් තරුණ ව්‍යාපාරයක් ආරම්භ කර අතර, මොවුන්ගේ අවධානය යොමු වුයේ සාම්ප්‍රදායික සංස්කෘතිය වෙනුවට නූතන නැටුම්, ගැයුම්, නිර්මාණශීලී සිත් ඇදගන්නාසුලු ඇඳුම් පැළඳුම් සහ කඳු නැගීම්, කඳවුරු ගැසීම් වැනි නව පන්නයේ විනෝදාංශ වෙතය. ෆෙඩ්රික් නිට්ෂේ, ගෝක්, හර්මන්හෙස සහ ස්ඩුවාර්ඩ් බෝල්සර් යන විද්වතුන්ගේ දාර්ශනික මත පදනම් වූ Wandervogel ව්‍යාපාරය නාගරිකය, මිත්‍යාදෘෂ්ටියට එරෙහි තරුණයන්ගේ නොමඳ ආකර්ෂණයට ලක් විය. විශේෂයෙන්ම ස්වභාවධර්මය හා එහි පවතින නිස්කලංකභාවයට ප්‍රිය කළ තරුණයෝ මේ නිදහස් මතවාදී තරුණ ව්‍යාපාරය හා අත්වැල් බැඳ ගත්හ. 20 වන සියවසේ මුල් භාගයේදී තරුණ ජර්මානුවන් ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් රැසකට සංක්‍රමණය වීම සමඟ ඉහත තරුණ ව්‍යාපාරයේ අත්දැකීම් රැසකට ඔවුන් මුහුණ දෙනු ලැබූ අතර මොවුන් මුලික කර ගනිමින් 1960 ගන්න වලදී ඇමෙරිකාව තුළ උප සංස්කෘතියක් ලෙස හිපි සංස්කෘතිය බිහි විය. එමෙන්ම ඇමෙරිකාව හා බ්‍රිතාන්‍ය තුළ රොක් සංගීතයේ වර්ධනය ද මොවුන්ගේ හිපි සංස්කෘතිය පැතිරයාමට බොහෙවින් උපකාරී විය.

ඔවුහු පරිසර හිතකාමීන් වුවා සේම ආයතයක් වශයෙන් නිතිගතව සිරවීම ප්‍රතික්ෂේප කළ අතර මධ්‍යම පාන්තික අගයන් විවේචනයට ලක් කළහ. න්‍යෂ්ඨික අවි නිපදවීමට විරෝධය දැක්වූවා සේම වියට්නාමය යටත් කරගැනීමේ ඇමෙරිකාවේ උත්සාහයටද ඔවුහු තරයේ විරෝධතාවය දක්වා සිටියහ. මූලික ලෙස හිපි සංස්කෘතියේ ප්‍රභවය දැකගත හැකි වුයේ ඇමරිකානු සමාජය තුළිනි. 1960/1970 දශකයේ ඇමරිකාවේ සැන්ප්‍රැන්සිස්කෝ සහ කැලිෆෝනියා නගර මුල් කොටගෙන කුඩා කණ්ඩායම් ලෙස හිපි ප්‍රජාව බිහි වූ අතර දෙමව්පියන් හා දරුවන්ගේ අදහස් අතර ගැටීමත්, සම වයස් කණ්ඩායම් සමඟ වෙනස් මාර්ගයක යැමට ඇති ආශාවත්, තම සිහින, බලාපොරොත්තු, ස්වාධීන මාර්ගයක යැම තුළ ඉටුකර ගැනීමටත්ය. එමෙන්ම පවත්නා රජයේ අඬු ලුහුඩුකම් විවේචනය කරමින් මොවුන්, තරැණ ව්‍යාපාරයක් ලෙස නැගී සිටීමක් මුල් යුගයේ දැක ගත හැකි විය.

පොදු ස්ථාන, රැස්වීම් ශාලා, වීදී සහ උද්‍යාන, හිපි තරුණ තරුණියන්ගේ වාසස්ථාන වූ අතර මෙම හිපි තරුණ තරුණියෝ සැන්ප්‍රැන්සිස්කෝහි Hight Street, Ashbury Street යන වීදී ඇසුරු කොට ගනිමින් තම පළමු හඬ ලොවට අවදි කළහ. Hight Ashbury දිස්ත්‍රික්කයේ පිහිටි Golden Gate Park, Buena Vista Park නැමති උද්‍යාන මේ සඳහා යොදාගත් අතර Golden Gate Park උද්‍යානය දේශන සහ රැස්වීම් කටයුතු සඳහා යොදාගැනිණ නිසා. ඔවුන්ගේ පළමු රෑස්වීම Trips Festival නම් විය. විකට ස්වරූපය ගත් ඇඳුමින් සැරසී සිටීමත් එසේ නොමැති නම් නිරුවතින්ද සහභාගී වීමට ඔවුන්ට නිදහස තිබු අතර හිපි නායකයින්ගෙන් සැදුම්ලත් මෙම උත්සවය, පුරා සතියක් පුරා පැවතිණ. මෙහිදි පවත්නා ඇමරිකානු රජය මෙන්ම ලොව අනෙකුත් රටවල සිදුවන අසාධාරණ ක්‍රියා පිළිබඳව සාකච්ඡා කෙරිණ. මේ තුළින් අධිරාජ්වාදය සහ යුද්ධය හේතු කොටගෙන අසාධාරණයට ලක්වන තරුණ කොටස් සඳහා දිරියක් ලැබුණි. ඵබැවින් බොහෝ තරුණ කොටස්, විශ්වවිද්‍යාල සිසුන්, හිපි ව්‍යාපාරවලට නැඹුරු වීමේ ප්‍රවණතාවයක් දක්නට ලැබුණු අතර, හිපි සංස්කෘතියේ ව්‍යපාරය මඟ පෑදුණි. Hight Ashbury දිස්ත්‍රික්කයේම පිහිටි Buena Vista Park උද්‍යානය රාත්‍රී කාලය ගතකිරිම සඳහා භාවිත කෙරිණ.මෙම උත්සවය පුරා ඔවුනටම අනන්‍ය වු ක්‍රියාකාරකම්රැසක් තිබුණි. ඵ් අතර ප්‍රථම වරට LSD නම් මත්ද්‍රව්‍ය අත්හදා බැලීම, Rock and Blues සංගීතයට සවන්දීම, නර්තනයේ යෙදීම, විරැද්ධ ලිංගිකයන් සමඟ ආදරය කිරීම ප්‍රධාන තැනක් ගත්තේය. හිපි සංස්කෘතිය තුළ තිබු මෙම සරළ බව, විනෝදකාමී බව, මෙන්ම කිසිදු නීතී පද්ධතියකට බැඳී නොතිබීමත් නිසා මෙම සංස්කෘතිය තරුණ කොටස් අතර ජනප්‍රිය විය. ඵය හිපි සංස්කෘතියේ ව්‍යාප්තියටද මඟ පෑදෙන්නක් විය.

මොවුන්ගේ ඇඳුම් පැළඳුම්, කොණ්ඩා සැලසුම්, අහාර පාන, නිවස ඉදි කිරීම්, ප්‍රවාහන සේවය මොවුන්ගේ ප්‍රධානයප්‍රකාශන මාධ්‍ය වූ අතර එය ඔවුන්ගේ විලාසිතාව බවටද පත්විය. පවත්නා සමාජ හරයන් විවේචනය කළ මොවුන්, විරෝධය හා අකමැත්ත පෙන්වුයේ තම ජීවන ශෛලිය තුළිනි. ඒ, පවත්නා ජීවන රටාවට විකල්ප ජීවන ශෛලියක් හඳුන්වා දීම තුළිනි. මොවුහු ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව විලාසිතා කළහ. විලාසිතා අතර, කොණ්ඩා සහ ඇඳුම් විලාසිතා දැකගත හැකි විය. මේවා කාලයෙන් කාලයට යම් යම් වෙනස් වීම් වලට භාජනය වු අතර,මෙම විලාසිතා තුළ විශේෂ ලක්‍ෂණ කීපයක් දැකගත හැකි විය. ස්වාභාවිකත්වයට වැඩි නැඹුරුවක් දැක්වීම, වර්ණවත් බව, ගෝත්‍රික විලාසිතා ආභාසය, සංකේත භාවිත කිරිම. (මලක්, වෘතයක්, ගංජා කොළයක්) මෙන්ම Cow Boy විලාසිතාද මොවුන් අතර ජනප්‍රිය විය. මෙම විශේෂ ලක්‍ෂණ තුළින් හිපි අනන්‍යතාවයක් ගොඩනැගීමට උත්සාහ ගත් අතර කොළ, රතු සහ කහ පැහැය මුලික ලෙස, විලාසිතා සඳහා යොදාගත් අතර එම වර්ණයන් තුළින් සංකේතමය අදහසක් ඉදිරිපත් විය. කොළ පැහැය පරිසර හිතකාමී බවටත් රතු පැහැය ප්‍රබල බවටත් හැඟවිණ. විශේෂ අවස්ථා සඳහා නිරුවතින් හෝ අඩ නිරුවතින් නැති නම් ගස්වල කොළ ශරීරය ආවරණය කර ගැනීමද ඔවුන්ටම විශේෂ වූවක් විය. මේ තුළින් නිදහස පිලිබිඹු කර අතර ගැහැනු පිරිමි දෙපාර්ශ්වයම ශරීර අලංකාරය සඳහා පච්ච කෙටීම සිදුකළ අතරම ශරීරයේ පැළඳි ආභරණ ඔවුන් විසින්ම නිර්මාණය කළ සරළ ඒවා වීම තවත් විශේෂත්වයක් ලෙස දැක්විය හැකිය. පිරිමි TShirt, Patched Jeans, Bell bottom විලාසිතා මෙන්ම හිස කෙස් සහ රැවුල දිගට වැවීම ප්‍රිය කළහ. ඇඳුමට මතු පිටින් Leather Vest ඵකක් භාවිත කිරිම, පාවහන් සහිත (Leather Sandals, Boots) හෝ පාවහන් රහිත වීම, හි‍ස වටා පටියක් පැළඳ සිටීම, ගෙලෙහි නූල් සහ සිප්පි කටු වලින් තැනු ආභරණ පැළඳ සිටීම, සංකේත භාවිත කිරිම (සාමය, ආදරය, ලිංගිකත්වය සහ මත්ද්‍රව්‍ය) මින් නිරූපිත විය. එමෙන්ම අව් කණ්ණාඩි පැළඳීම ජනප්‍රිය විලාසිතාවක් බවට පත්වීමටද මෙම හිපි සංස්කෘතිය බලපෑ බව කිව හැකිය.

කාන්තාවන් මිනි සහ මයික්‍රෝ ස්කර්ට් සහ බ්ලවුස්, ටී ෂර්ට්, ජීන්ස් විලාසිතා වලට ප්‍රිය කළ අතර හිස කෙස් දිගට වැවීම හා හි‍ස වටා පටියක් පැළඳිම, පබලු, නුල් සහ සිප්පි කටුවලින් තැනු ආභරණ ගෙලෙහි පැළඳීම, පාවහන් ලෙස (Leather Sandals, Go Go Boots) හෝ පාවහන් රහිත වීම-දෙපයේ අලංකාරය සඳහා විවිධ ආභරණ දැමීම (Ankle), සංකේත භාවිත කිරිම සිදු කළ අතර කාන්තාවන් කිසිදු රූපලාවන්‍ය ආලේපනයක් පාවිච්චි නොකරන අතර උඩුකය යට ඇඳුම් භාවිත නොකර සැහැල්ලුවෙන් සිටිමට ඔවුහු ප්‍රිය කළහ. හිපි කාන්තාවන් කලිසම් වලට අමතරව දිග සාය සහ යුරෝපීය නොවන අමෙරිකානු, ආසියානු, අප්‍රිකානු හෝ ලතින් අමෙරිකානු මෝස්තර සහිත ඇඳුම් තම ඇඳුම් ලෙස තෝරාගත් අතර හැකි අය තමන් විසින්ම ඇඳුම් නිර්මාණය කර ගත්තේය. මිල අඩු හෝ භාවිත කරන ලද ඇඳුම් මිලදී ගැනීමට හිපියන් වැඩි කැමැත්තක් දැක්වූ අතර අමෙරිකානු ස්වදේශික ආයිත්තම් ස්කාෆ්ස්, හෙඩ් බෑන්ඩ්ස් සහ හෙඩ් බෑන්ඩ්ස් සහ දිගැති මාල මොවුන් වැඩි රුචියක් දක්වන පැළඳුම් බවට පත් විය.

මොවුන්ට ජිවිතයේ වැදගත් දේවල් 02ක් තිබුණි. ඉන් ඵකක් වුයේ මත්ද්‍රව්‍ය භාවිතයයි. සෑම අවස්ථාවකදීම සෑම මොහොතකදීම මත්ද්‍රව්‍ය භාවිතය සඳහා පෙළඹුණු අතර මර්ජුවානා, LSD,Psilocybin, Mescaline වැදගත් තැනක් ගත්තේය. මර්ජුවානා තරුණ පිරිස් අතර නොමිලේ බෙදා දුන් අතර විලාසිතා සඳහාද භාවිත විය. මත්ද්‍රව්‍ය භාවිතය ආගමික සංකල්පයක් ලෙස යොදා ගැනීමට උත්සහ කළ ඔවුහු ඵ් සඳහා ඇමරිකානු ගෝත්‍රික සංකල්පයක් යොදා ගත්හ.එනම් මත්ද්‍රව්‍ය ගැනීම තුළින් දෙවියන් වහන්සේ සමඟ සම්බන්ධ වීමට හැකියාව ලැබෙන බවයි. නමුත් නියමාකාරයෙන්ම මොවුනට අවශ්‍ය වුයේ, යම් වෙනසක් සමාජය තුළ සිදු කිරීමටය. අනන්‍යතාවයක් ගොඩනගා ගැනීමටය. කල්ලියක් ලෙස සිටිමින් මත්ද්‍රව්‍ය භාවිත කිරීම ඔවුන් සිදුකළ අතර මත්ද්‍රව්‍ය භාවිතය කෙතරම් ඉහළ ගියේද යත් 1969 දී කැලි‍‍ෆෝනියා රජය මත්ද්‍රව්‍ය තහනම් කිරිමට පියවර ගත්තේය.

මත්ද්‍රව්‍ය මෙන්ම සංගීතයද හිපි සංස්කෘතියේ ප්‍රධාන අංගයක් වු අතර සංගීත‍යේ විශේෂ ලක්‍ෂණ කීපයකින් යුක්ත විය. තරරුණ හැඟීම්, ආකල්ප, පෞද්ගලික මතවාද සංගීතය තුළින් ඉදිරිපත් කිරීම, හිපි සංස්කෘතිය ලොවට කියා පෑමට සංගීතය වාහකයක් කොටගැනීම, උපකරණ භාවිතය සහ කණ්ඩායම් සංගීතය, ජන සංගීතය, අධි චිත්තවේගී සංගීතය, Acid rock, World beat, නිර්මාණයන් සඳහා යොදාගැනීම ඔවුන්ගේ සංගීතයේ වූ විශේෂතා ලෙස හැඳින්විය හැකිය. තමන් විසින් සිදුකළ නිර්මාණ හිපි සංගීතයේ දැක ගත හැකි විය. මේ නිසා ඔවුහු තමන්ගේම කතා වස්තු විෂය කර ගත්හ. සෑම කෙනෙකුටම තමන්ගේම කතාවක් තිබුණි. මෙලෙස තම අදහස් , සංස්කෘතිය ලොවට ප්‍රකාශ කළ පුද්ගලයින් කීප දෙනෙකු ලෙස Jimi Hendrix-(Rock), Janis Joplin-(traditional Eastern Music), Bob Dylan (Grateful Dead And Flok Music) දැකිවිය හැකිය. Bob Dylan-"Rolling Stone" නමැති ගීතය මගින් ඔහු විසින් තම නිවෙස සහ පවුල අතැර ආ සැටි නිරූපණය කළ අතර Jimi Hendrix-"Purple Haze"-මර්ජුවානා පිළිබඳවත්"Lucy in the Sky with Diamonds"-LSD අත්දැකීම පිළිබඳවත් ගීතයෙන් නිරූපණය කරනු ලැබීය.

දේශපාලනය හිපි සංස්කෘතියේ පැවැත්ම වු අතර වර්ගවාදයට, ජාති වාදයටත් විරුද්ධ විය. සාමය මෙන්ම නීතී රීතී නොමැති සංස්කෘතියක් ඔවුනට අවශ්‍ය විය. ඇමරිකානු සමාජය තුළ සුදු ජාතිකයින් හමුවේ කළු ජාතිකයින්ට සිදුවන අසාධාරණය පෙන්වා දුන් අතර ඵ් වෙනුවෙන් හඬ අවදි කළහ. ඇමරිකානු වියට්නාම යුද්ධයේදී ඇමරිකාව විසින් වියට්නාමය තුළ සිදුකරන සිවිල් අයිතිවාසිකම් (කාන්තා සහ ළමා) කඩකිරිම් පිළිබඳ තම විරෝධතාව පලකළ අතර ඵ් වෙනුවෙන් නැගී සිටීමට සමත් වූහ. වියට්නාමය පරාජය වනු දැක ආකල්පමීය රුකුලක් ලබා දුන්නේය. ඵ් සඳහා විරෝධතා ව්‍යාපාර ගෙන ගියේය. ඊට බුද්ධිමත්හු, ශිෂ්‍යයෝ සහභාගි වූහ. මොවුනට මෙතුළින් යමක් දිනා ගැනීමට හැකියාව ලැබුණි. ඵ් වියට්නාම යුද්ධයට ඇමරිකාව මැදිහත් නොවීම හා යළි සොල්දාදුවන් ඇමරිකාවට ගෙන්වා ගැනීමටය.‍ දේශපාලනික ලෙස මානව අයිතීන් කඩ කරනවා නම් ලොව කොයි රටක් වුවත් ඵ් සම්බන්ධව කතා කළ යුතු යැයි පෙන්වා දුන්නේය. මේ නිසා ජාත්‍යන්තර අවධානයට හිපි සංස්කෘතිය යොමු විය. ඇමරිකානු සමාජය තුළ පවතින දුෂණය, වංචාව සහ බලකාමයට ඵරෙහිව කොළනි ගොඩනඟා ගත්හ.

එහෙත් කාලයාගේ ඇවෑමෙන් මෙම සංස්කෘතය තුළ වූ අසීමාන්තික නිදහස මෙන්ම මත්ද්‍රව්‍ය භාවිතය වැනි බොහෝ කරුණුවල බලපෑම මත මේ සඳහාවූ ජනප්‍රියත්වය අඩු වූ අතර මෙම උප සංස්කෘතිය මුලික කර ගනිමින් ඒ ආශ්‍රිතව තව තවත් විවිධ සංස්කෘතීන් අරම්හ වන්නට විය. වර්තමානය වන විට ලොව පුරා මෙම හිපි සංස්කෘතිය විසිරී පැතිරී තිබුණද එය පෙර පැවති මෙන් සංවිධානාත්මක ක්‍රියාත්මක වන බවක් දැක ගන්නට නොහැකි වුවත් එයා විලාසිතාවක් වශයෙන් බොහෝ දෙනාගේ ආකර්ෂණය දිනාගෙන ඇති බව දැකගත හැකිය.

නමුත් හිපියෙකු වී ජිවත් වීම හුදෙක් ඇදුම්, හැසිරීම් නැතිනම් අර්ථිකමය හෝ සමාජ පරිසරයට අනුකුලව ජිවත්වීම නොව එය නිදහස, ආදරය, පරිසර සහ අනෙකා වෙත දක්වන ගෞරවය මත රඳා පවතී. රාජ්‍යක් ආරම්භයේ සිටම සමාජයේ හිපියන් බිහිවීම හෙන්රි ඩේවිඩ්, ජෝන් ලෙනන්, මහත්මා ගාන්ධිගේ පටන් ඔබ හා මම දක්වාම සිදුවන ක්‍රියාවලියකි. මන්දයත් ලෝකයේ සෑම මිනිසෙකු තුළම හිපියෙක් සිටී. එහෙත් සමාජයානුයෝජන ක්‍රියාවලිය තුළ ඔහු මර්දනය කර දමා හික්මුණු, වඩාත් හොඳ සමාජයක් බිහිකිරීමට හැකියි යන්න අපගේ විස්වාසය මත අප විසින් අපි තුළ ඇති හිපියා යටපත් කර දමනු ලබයි. බාහිර විලාසිතාවන් මගින් හිපියෙකු බවට රූපාන්තරණය වූ වර්තමානයේ තරුණ පරපුරට වඩා අතීතයේ ඔවුන්ගේ සාමාන්‍ය චර්යාව තුළ මතුවූ අවිහිංසාව, පරිසරයට-මිනිසාට දක්වන අසීමාන්තික ආදරය, පාලනාධිකාරීන්ට හා ඒකාධිපතිත්වයට විරුද්ධ වීම, සරල හා සැහැල්ලු ජීවන ක්‍රමය , පරිසර හිතකාමීත්වය, අවිහිංසාවාදී බව, පොදුවේ දේපළ බුක්ති විඳීම, ශාකභෝජක වීම 'හිපියා' යන්නෙහි සංස්කෘතිකාර්ථ මානාව පිළිබිඹු කිරීමට සමත් වෙයි.

[සජානි හංසිකා]

මාතෘකා