රට යවන්න මල් වවන්න

 ඡායාරූපය:

රට යවන්න මල් වවන්න

මල් සහ විසිතුරු පැළ ලෝක වෙළඳපොළේ හොඳ ඉල්ලුමක් ඇති, දිනෙන් දින දියුණු වන ව්‍යාපාරික අවස්ථාවකි. ලෝකයේ බොහෝ රටවල්වල මල් සහ විසිතුරු පැළ සදහා ඇත්තේ අඛණ්ඩව වර්ධනය වන ඉල්ලුමකි. යුරෝපා සහ අප්‍රිකානු රටවල් ඒ අතර ඉදිරියෙන්ම සිටී. නෙදර්ලන්තය, ජපානය, ජර්මනිය, සෞදිය සහ බ්‍රිතාන්‍යය මෙරට ප්‍රධානම ගැනුම්කරුවෝය. ලංකාවේ පවතින කාලගුණික සහ දේශගුණික තත්වයන් සේම වෙනත් සාධකයන්ද හේතුවෙන් මෙරට මල් සහ විසිතුරු පැළ සඳහා පවතින්නේ තරගකාරී ඉල්ලුමකි.

මල් සහ විසිතුරු පැළවල පරාසය ඖෂධීය, භූමි අලංකරණ පැළෑටි (Landscaping Plants), කුළුබඩු සදහා භාවිතා කරන ශාක, විසිතුරු පත්‍රී ශාක (Ornamental Foliage Plants), ආහාරමය ශාක, මල් පැළ, පටක රෝපණ පැළ ලෙස ප්‍රභේද කළ හැකිය. එම ප්‍රභේද වල මල්, අතු, පැළ, ඉති, බීජ , පත්‍ර, අල, ධාවක සහ මොරෙයියන් ඉල්ලුම පරිදි විදෙස් වෙළඳපොළේ අලෙවි කළ හැකිය. එසේම සෘජු අපනයනකරුවන් උදෙසා සැපයුම් අවස්ථා උදා කර ගත හැකිය. මෙරටින් මල් අපනයනය අරඹා දැනට වසර 40ක් පමණ ගත වූවද තවමත් ලෝක වෙළඳපොළේ ඉල්ලුමෙන් 1% ප්‍රතිශතය ඉක්මවා යන්නට මෙරට වගාකරුවන්ට සහ අපනයන කරුවන්ට හැකියාව ලැබී නැත.

2014 වසරේදි මල් සහ විසිතුරු පැළ අපනයනයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 14.9ක ආදායමක් ලබාගැනීමට ශ්‍රී ලංකාව සමත් වි තිබේ. එය 2013 වසර සමඟ සැසඳීමේදි 5%ක වර්ධනයකි.

මේ නිසා පිළිගත් අපනයනකරුවන් හා සම්බන්ධ වෙමින්, ඉදිරි වෙළඳ ගිවිසුම් වලට එළඹෙමින් විසිතුරු මල් සහ පැළ වගා කිරීමේ ව්‍යාපාරයකට යොමුවීමේ අවස්ථාවක් ඔබටත් පවතී. ආයෝජනයට පවතින අවදානම සලකන කල මෙම ව්‍යාපාරය වඩාත් ආරක්ෂිත ව්‍යාපාරයකි. ඔබ සතුව වර්ග අඩි පන්දහසක අවම ඉඩක් භූමිය ලෙස සපයාගන්නට අවස්ථාව තිබේ නම් ඔබටත් සාර්ථකව මල් සහ විසිතුරු පැළ වගාවට සම්බන්ධ විය හැකිය. මේ සඳහා පිහිටි සරු බිමක්ම අවශ්‍ය නැත. කොන්ක්‍රිට් ස්ලැබ් එකක්, ගල්තලාවක්, පුරන් වූ කුඹුරක්, ඕවිටක් පවා මල් සහ විසිතුරු පැළ වැවීම සදහා සුදුසුය. ප්‍රධාන වශයෙන් විශේෂ තිහක් පමණ අපනයනය සඳහා වගාකෙරෙන අතර පාලිත තත්ව යටතේ නුවරඑළියේ සේම වවුනියාවේද මල් සහ විසිතුරු පැළ වැවීම සිදු කළ හැක. අත්‍යවශ්‍ය කාරණය වන්නේ අදාළ බිමට හොඳ ජල සැපයුමක් ලබාදීමේ හැකියාව තිබීමයි.

අපනයනකරුවන්ගේ ඉල්ලුම තීරණය වන්නේ ගැනුම්කරුගේ අවශ්‍යතාව මතය. ඒ නිසා මූලික කෘෂිකර්ම උපදෙස්වලින් බැහැරව පාරිභෝගික අවශ්‍යතාව මත භූමිය, ජලය, පස, පොහොර යෙදීම පාලනයක් සහිතව සිදු කරමින් වගාකිරීමට වගාකරුවාට සිදුවේ. එහිදී සිදු වන වාසිය නම් අඛණ්ඩ ඇනවුමක් සහතික වීම මත නියමිත ආදායමක් වසර ගණනාවක් පුරා ලබාගත හැකි වීමය. උදාහරණයක් ලෙස සැන්ඩ්‍රියානා (sandriana) වගාවකින් වසර විස්සක් දක්වා ඵලදාව ලබාගත හැකිය. මැසෙන්ජියානා(Massangeana) වගාවකින් වසර සියයක් දක්වා වුවද ආදායම ලබාගත හැක.

වැල්ලව ඩබ්.ජී.ජයවර්ධන මහතා එවැනි සැලසුම් සහගත වගාවන් සිදු කරන අපනයන සැපයුම් කරුවෙකි. ඉතා සුළු පරිමාණයෙන් වසර තිහකට පමණ පෙර විසිතුරු මල් පැළ වගාව ඇරඹූ ඔහු දැනට අක්කර තිහකට ආසන්න ප්‍රමාණයක සිය වගා කටයුතු සිදු කරයි. ඔහු පවසන පරිදි දැනට පවතින සැපයුම දෙගුණ කළද ගැණුම්කරුවන් සිටින නිසා මෙම ක්ෂේත්‍රය ස්ථාවර ව්‍යාපාරික ක්ෂේත්‍රයකි.

මල් පැළ වගාකරන්නෙකු අනිවාර්යයෙන් ආරක්ෂිත දැල් තුළම වගා කළ යුතු නැතත් ආරක්ෂිත දැල් තුළ වගා කිරිමෙන් ඵලදාවේ සාර්ථකත්වය වැඩි කර ගත හැකිය. සිදුවන බාහිර හානි අවම කර ගත හැකියි. අපනයනය ඉලක්ක කරගෙන විසිතුරු මල් පැළ වවන්නට බලාපොරොත්තුවන්නේ නම් වර්ග අඩි පන්දහසක ආරක්ෂිත දැලකට වැයවන මුදල රුපියල් ලක්ෂ පහකි (රුපියල් 500,000/-). පැළ සඳහා යන වියදම රුපියල් ලක්ෂයේ සිට ලක්ෂ තුනක් දක්වා (රුපියල් 100,000/- - 300,000/-) වන පරාසයක විහිදේ. මාසික නඩත්තු වියදම රුපියල් දහසේ සිට තුන්දහස (රුපියල් 1,000/- - 3,000/-) දක්වාය. ඉඩමක් ඔබ සතු නම් ඉදිරි වෙළඳ ගිවිසුම් ඇපයට තබා වාණිජ බැංකු වලින් ව්‍යාපෘති ණය පහසුකම් ලබාගැනීමේ හැකියාවද පවතී.

වර්ග අඩි පන්දහසක සැන්ඩ්‍රියානා වගාවකින් වසරකදී ලබාගත හැකි ආදායම ආයෝජන මුදල ඉක්මවා යන බව ඩබ්.ජී.ජයවර්ධන මහතාගේ පවසයි.. එනම් රුපියල් ලක්ෂ අටකි(රුපියල් 800,000/-) . වර්ග අඩි පන්දහසක මැසෙන්ජියානා වගාවකින් ලබාගත හැකි වාර්ෂික ආදායම රුපියල් එක්ලක්ෂ විසිදහසකි (රුපියල් 120,000/-).

මෙවැනි වගාවකට ආයෝජනය කර පවත්වාගෙන යෑමට ඔබටත් අදහසක් ඇත්නම් ළඟම පිහිටි කෘෂිකර්ම කාර්යාලයේ උපදේශකවරයා මඟින් මූලික උපදෙස් ලබාගත හැකිය. නමුත් අපනයනය සඳහා වගාකරන්නේ නම් අපනයන කරුවෙකු සමඟ සම්බන්ධ වෙමින් ඔහුගේ උපදෙස් සහ අවශ්‍යතාවය පරිදි වගා කළ යුතුය. ජා ඇළ, ඒකල පිහිටි Business & Vocational Information Centre ( BVIC ) ආයතනය මෙවැනි අපනයන ව්‍යාපාරිකයන් සඳහා උපදේශන වැඩසටහන්, ප්‍රායෝගික වැඩමුළු, ව්‍යවසායික සමුළු පවත්වන ලියාපදිංචි පුද්ගලික සමාගමකි. එහි ව්‍යාපෘති කළමනාකරු දුලිප් සිකුරාජපති මහතා පවසන පරිදි විසිතුරු මල් සහ පැළ අපනයනය පිලිබඳ මූලික හදුන්වා දීමේ එක් දින වැඩසටහන් ඔවුන් විසින් පවත්වනු ලැබේ. ක්ෂේත්‍රය පිලිබඳ ප්‍රවීණයින් සහභාගි වන එවන් වැඩමුළුවකට සම්බන්ධ වීමෙන් ඔබටද මේ ගැන වැඩිදුර තොරතුරු ලබාගත හැකිය. 0777 043804 අංකයෙන් නොමිලේ / සහනදායි ගාස්තු යටතේ පැවැත්වෙන එවන් වැඩමුළු සඳහා ලියාපදිංචි වීමේ අවස්ථාව ඔබට ඇත.

සෘජු අපනයන අවස්ථාවන් අපේක්ෂා කරන මහා පරිමාණ ආයෝජකයන් සඳහා වඩා සුදුසුම ක්‍රමය වන්නේ ශ්‍රි ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය හරහා ගැනුම්කරුවන් සම්බන්ධීකරණය කර ගැනීමයි. ශ්‍රි ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ http://www.srilankabusiness.com වෙබ් ලිපිනය හරහා අපනයන මල් සහ විසිතුරු පැළ ගැන වැඩිදුර විස්තර ලබාගත හැකිය. නැතහොත් කාර්යාල වේලාවන් වලදී 011-2300705/11 අංක වලින් ගයානි විජේතිලක මහත්මිය අමතා විස්තර ලබාගත හැකිය.

[ඥානේන්ද්‍ර ප්‍රදීප් පතිරණ]

මාතෘකා