සුබගිරි පව්ව මනරම් දැක තුටු වුණෙමු මෙලෙසින්

 ඡායාරූපය:

සුබගිරි පව්ව මනරම් දැක තුටු වුණෙමු මෙලෙසින්

දොළොස් වසකට රාජධානියක් වූ යාපහුවට ගිය ගමන

පළා යෑම…. සැඟවී පළා යාම කියන්නේ ඈත අතීතයේ ඉඳන් පුරුදු පුහුණු වුණ හොඳ උපක්‍රමයක්…. සතුරා බලවත් වුණු වෙලාවට, විවේචන දරා ගන්න බැරි වෙලාවට, යුතුකම් ඉෂ්ඨ කරන්න බැරි වෙන වෙලාවට පහසුවෙන් තෝරාගත හැකි එකම විකල්පය විදියට රාජ රාජමාත්‍ය වරු පවා ‘පළා යාම’ උපක්‍රමයක් විදියට භාවිතා කරලා තියෙනවා….

ඒ “පළා යාම” නිසාම අද දවස වෙනකොට අතීතයේ ශ්‍රී විභූතිය ගැන වගාආඩම්බර කථා කියන්න, ඒ කතා අහන්න, තම තමන්ට හැකි අයුරෙන් තේරුම් ගන්න අවස්ථාවක් අපිට ලැබිල තියෙනවා…. ඒ අතින් ගත්තහම පළායාම කියන්නෙත් නරක, දීන, බියගුළු තීරණයක් නොවෙයි… අනාගතයට හොඳ ආයෝජනයක්.

අනුරාධපුරේ අන්තිම රජ්ජුරුවෝ තමයි “පස්වන මහින්ද”. දිගින් දිගටම සිදුවුණ චෝල බලපෑම්වලට මුහුණ දීලා, බලය පවත්වාගන්න උත්සහ කළත්, අනුරාධපුරය රැකගන්න බැරිවෙන මේ රජතුමා අන්තිමට චෝල ආක්‍රමණ වලින් පැරදිලා, චෝල දේශයටම පිටුවහල් වෙලා යනවා… එතැනින් පස්සේ එන්නේ පනස් හය අවුරුද්දක චෝල පාලනයක්. කොඩ්රින්ටන් ඉතිහාසයේ විදියට මුල්ම වතාවට ලාංකේය රාජධානිය මාරුවෙනවා… නිරිතට නොවෙයි, ගිණිකොණට.. පළවන විජයබාහු තමයි පොළොන්නරුවේ මුල්ම රජ්ජුරුවෝ…. සමාධි පිළිමය, අටමස්ථානය, ඉසුරුමුණිය වගේ

ශ්‍රි ලාංකේය උරුමයන් වන වදිද්දි පොළොන්නරුවේ නිශ්ශංක ලතා මණ්ඩපය, පබළු වෙහෙර, මැදිරිගිරිය, ගල්විහාරය පොළොන්නරුවෙන් ජාතියට නිර්මාණය වෙනවා…කාලෙකට පස්සේ ලංකාව ගැන රස වැටුණු කාලිංඝ මාඝ සටනට එනවා… රජවරු, ඇමතිවරු පළා යනවා… ඊළඟට නව රාජධානියක් නිරිත දිගෙන් නිර්මාණය වෙනවා… ඒ තමයි දඹදෙණිය… තුන්වන විජයබාහු, පළමු රජතුමා විදියට දඹදෙණියේ රජවෙනවා…. අවුරුදු පණහකට පස්සේ 1270 දී දඹදෙණියත් අස්ථාවර වෙනවා… කාලිංඝ මාඝගේ ආක්‍රමණෙවල පසු බලපෑම් දිගින් දිගටම ලාංකීය රාජ්‍යත්වයේ ප්‍රබල බවට අභියෝග කරනවා… හරියට මහා භූමිකම්පාවකට පස්සේ ඇතිවන පසු කම්පන වගේ…. ගැටපද, සන්න සහිත ආරළු බූරළු පිරුණු ලොකු ඉතිහාස කතාවක සාරංශය ගත්තොත් ඔය විදිහ තමයි.

පෙරවදන ටිකක් විතර දිගවුණත් ඒ අතීතය නොදැන අද දවසේ රැස සංචාරය අරඹන එක තේරුමක් නෑ.. ලංකාවේ හතරවෙනි රාජධානි පුරවරය වන “යාපහුව” බලා යන මේ සංචාරය වැදගත් වෙන්නේම ඒ එක්ක බැඳුණු ඉතිහාස කතන්දර… ඒ කතන්දර එක්ක යාපහුව අද දක්වා සුරැකෙන උරුමයන් සහිත රාජධානියක් වෙන්නෙම පෙර සඳහන් කළ “පළායාම” නිසා….

ගෙවුණු වෙසක් මහේ එක්තරා සුන්දර උදෑසනක මහව නගරයට එක්රොක් වෙන අපි මේ ඉතිහාසයේ සළකුණු හොයාගෙන යන්න තීරණය කරනවා…උදෑසනම කුරුණෑගලට, අනුරාධපුරට පන්ති යන්න ආව ළපටි කෙලි-කොලු රංචු සැරිසරණ මොහොතක, ඉඟි බිඟි පාන දහසක් සිඟිති නෙතු මගඇරලා අපි බස් නැවතුමේ කෙලවරක තියෙන ලංගම බසයට නගින්නේ පිරුණු හිතකින්. පිණි බිඳු තැවරුණු තණ බිස්සට, ළා හිරු කිරණ සීරුවට වැටෙන ඒ උදෑසන වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ලස්සන උදෑසනක්.

“මේ බස් එකේ යාපහුවට යන්න පුළුවන් නේද?”

“ඔව්… පර්වතේ ගාවටම….”

අඩ හෝරාවක විතර බස් ගමනකින් පස්සේ අපි යාපහුවට ළඟා වෙනවා… පුරාවිද්‍යා භූමියට ඉදිරිපසින් වූ තේ කඩයකින් උදෑසන කෑම වේල සපුරා ගන්නා අපි, ඊළගට ළඟාවෙන්නේ යාපහුව කෞතුකාගාර බිමට. මෙතැනින් එහාට යාපහුව ගැන ලියැවෙන හැම වැකියකම මුල් අයිතිකරුවා වෙන්නේ ඒ මොහොතෙදි එතැන සිටි මඟපෙන්වන්නා වන සාලිය මඩගල්ල මහතායි. මොකද යාපහුව ගැන, එහි වැදගත්කම ගැන අඟලින් අඟල විස්තර කරන්නේ ඔහු තමයි.

කාලිංඝ මාඝ ගේ ප්‍රබල ආක්‍රමණයෙන් සීසීකඩ යන රජවරු, ඇමැතිවරු, රාජකිය නියමයෙන් හෝ නොනියමයෙන් ආරක්ෂිත බළකොටු, පවුරු පදනම් ගොඩනඟාගෙන රට වෙනුවෙන් තමන්ගෙන් ඉටු වියයුතු යුතුකම් කොටස ඉටු කරන්න උත්සාහ ගන්නවා… ඒ අනුව රිටිගලට නිරිතදිගෙන් තියෙන ශේෂ කන්දකට එන “සුභ” නම් සෙනවියා තමන්ගේ ආරක්ෂිත ස්ථානය විදියට ඒ කඳු පර්වතයේ පහත කොටසේ සේනා සංවිධානය කරනවා… කන්ද මුදුන බැලුම්ගලක් විදියට භාවිතා කරනවා… හැබැයි මතක තබා ගත යුතු කාරණය වෙන්නේ යාපහුව මිනිස් පහසින් ඉදුල් වෙන්නේ ‘සුභ’ සෙනවියා පය තියන්න බොහොම කාලෙකට කලින් කියන එක. මොකද කටාරම් කෙටූ ලෙන්, බ්‍රාහ්මි අක්ෂර සහිත සෙල්ලිපි, ප්‍රාග් ඓතිහාසික සොහොන් සහ භාවිතකළ සහ නොකළ තිරුවානා වටගල්, භාවිතකළ රත්හිරියල්, කහඳ හා තිරුවානා අපද්‍රව්‍ය සහ දුලබ තිරුවානා ගල් වගේ දේවල් යාපහුව සහ අවට ප්‍රදේශ වලින් හමුවෙලා තියෙනවා…

සුභ නම් සෙනවියා වාසය කළ පර්වතය යන්න මුල් කර ගෙන සුභපර්වත, සුභපව්ව, යහපව්ව, යාපහුව ලෙස මෙම පර්වතය නාමකරණය වූ බව විශ්වාස කරනවා… යාපහුවට එන සුභ ඇත්ත වශයෙන්ම දෙවන පරාක්‍රමබාහු රජුගේ සෙනවියෙක්. මේ සමයේම තමයි රන්දෙණිගල කන්දේ සංඛ සෙනවියාත්, ගෝවින්දහෙළ කන්දේ බුවනෙකබා සෙනවියාත් කඳවුරු බඳින්නේ… ඒ අනුව බැලුවහම ඒ කාලේ ඇමැතිවරුන්ගේ රැල්ල වෙලා තිබිලා තියෙන්නේ කඳු අයිති කරගෙන බළකොටු හදන එක. ඉන් අනතුරුව රජවන හතරවන විජයබාහු කියන්නේ දෙවන පරාක්‍රමබාහු රජුගේ වැඩිමහල් පුතාට… ඔහුගේ සමයෙදි තමයි යාපහුව, අද දක්වාම වර්ණනා කරන තරමට ලංකාවේ වැදගත්ම ස්ථානයක් බවට යාපහුව පත්වෙන්නේ.. ඒක පවත්වාගෙන යන්නේ ඉන් අනතුරුව රජවෙන පළමු බුවනෙකබාහු රජතුමා… මේ රජතුමාටම තමයි, මහළු බුවනෙකබාහු කියන්නෙත්. ගෝවින්දහෙලට, රන්දෙණිගලට නොලැබෙන ඒ වටිනාකම යාපහුවට ලැබෙන්නේ ආක්‍රමණ නිසා තැන තැන සැඟවූ ‘දළදා වහන්සේ” යාපහුවේ ඉදිවන දළදා මාළිගයක තැන්පත් වෙන නිසා…

ඉන් පස්සේ රාජමාළිගය, රාජ සභාව, රාජධානි නගරය, පිටත නඟරය, සීමා පවුරු, දිය අගල් සහිත සම්පූර්ණ රජධානියක් යපහුවේ නිර්මාණය වෙනවා… කොටින්ම කියනව නම්, සිගිරිය වගේ සියුම් කලා කෘති සහිත, අතීත දැනුමේ ප්‍රබලත්වය මොනවට කියාපාන සැළසුම් සහිත පරිපූරණ නගරයක් යාපහුවේ වන වදුල අස්සෙන් හොයාගෙන තියෙනවා… තවත් බොහෝ දේවල් අනාවරණය නොවී තවමත් වැළලිලා තියෙනවා…

දිය අගලට පිටින්, ඇහැළ ගස් යටින් ඇවිද ගිය අපි පිට දිය අගලින් එතෙර වෙලා රාජධානියට පිවිසුණේ එහි දකුණු දොරටුවෙන්. යෝධයෙක් සේ නැඟී සිටින යාපහු පර්වතයට මෙපිටින් පිටත නගරය පහු කරගෙන ඇතුළු දිය අගලත් තරණය කළ අපි විහාර බිමට ඇතුළුවුණා… තවමත් දහවල නොවූ නමුදු මදින් මද දැඩි වෙන හිරු රැස් වෙහෙස වැඩි කළා…. විහාරය ඉදිරිපිට බිමේ හෙවණක යාපහුව පිළිබඳ පොත්, සහ ඡායාරූප විකුණන නියෝජිතයින් දෙදෙනෙක්. විදෙස් සංචාරකයින්ගෙන් ප්‍රවේශපත්‍ර සඳහා ගාස්තු අයකළත්, දේශිය සංචාරකයින්ට ගාස්තුවක් නියම වෙලා තිබුණේ නෑ…

“මෙහෙට පිටරට සංචාරකයෝ එනවද?”

“ඉදල හිටල තමයි සුද්දෝ එන්නේ….”

“ඒ ඇයි?”

“මේ හරියේ ටුවරිස්ට් හොටෙල් නෑ… අනෙක අනුරාධපුරේ ඉඳන් දඹුල්ලට, පොලොන්නරුවට, සීගිරියට යන ප්‍රධාන පාරවල්වලින් ඈතට වෙන්න තමයි යාපහුව තියෙන්නේ…”

“එතකොට ලංකාවේ අය….”

“පොසොන් පෝයට පස්සේ අගෝස්තු විතර වෙනකම් වන්දනාවේ යන සෙනඟ එනවා….හැබැයි අතරමැද ඇවිත් උයාගෙන කාලායන්න මිසෙක යාපහුව බලන්නම කියල එන සෙනඟක් නෑ…”

දකුණු පසින් නිර්මාණය කර ඇති පඩි පෙළ හෙවත් සෝපනය පටු පඩි වලින් සහ දැඩි ආනතියකින් යුක්ත එකකි. එහි මුදුනේ ඇත්තේ දළදා මාළිගාවයි. පටු ගල් පඩි සහ දැඩි ආනතියකින් මෙම සෝපනය නිර්මාණය කර ඇත්තේ ‘දළදා වහන්සේ” සතුරන්ගෙන් ආරක්ෂා කර ගැනිම පිණිසය. වම් පසින් වූ තැනිතලාව තුළ පඩිපෙළට ආසන්නයෙන්ම ඇත්තේ රාජ සභා මණ්ඩපයයි. ඉන් ඔබ්බෙහි රජ මාළිගය සහ වෙනත් රාජකීය ගොඩනැඟිළි වල නටඹුන්ය.

පුරාවිදු බිමෙහි ආරක්ෂාවට සිටින තරුණ නිළධාරියා සුහදය. විශේෂයෙන් රකින්නට වෙහෙසිය යුතු නැති නිසා ඒ බිම වැඩුණු අඹ ගසකින්ම නෙළා ගන්නා ලද අඹයක රස බලන ඔහු රාජ සභා මණ්ඩපයේ ගස් සෙවණක වූ පුටුවෙහි වාඩිවි සිටී…

“ඉරිදාට කපල් තමා ගොඩක් එන්නේ….සතියේ දවස්වල කැම්පස්වල ළමයි එනවා… පාසැල් චාරිකා යන අයත් එනව…. ෆොටෝග්‍රැෆර්ස්ලත් එනවා... වන්දනාකරුවෝ තමයි එන්නේ නැත්තේ… පෙම්වතුන් හැරුණම අනෙක් අය අවබෝධයෙන් එන නිසා ලොකු ගැටළු නෑ..”

ඔහුට සමුදුන් අපි දළදා මාළිගය තිබෙන උස් බිම කරා ගල් පඩිපෙල දිගේ ඉහළ නගින්නට පටන් ගතිමු. පඩිපෙළ ඇත්තේ කොටස් තුනකටය. සම්පූර්ණ ගල් පඩි ගණන ගණින්නට උත්සහ දැරුවද, අපේ ගමන් සගයින් තිදෙනාට ලැබුණේ පිළිතුරු තුනකි. දල වශයෙන් ගත් කළ එය ගල්පඩි එකසිය විසි පහකි. ගල් පඩිපෙළේ ඉහළින්ම ගල් උළුවස්සත්, දෙපස ජනෙල්කවුළු දෙකකුත්, පඩිපෙළ දෙපස විවිධ කැටයම් ආදියත් දක්නට ලැබේ. නාටිකාංගනා රූප, මල්කම්, ලියකම්, සත්ව රූප, දේවරූප අතර සුවිශේෂි කැටයම වන්නේ ත්‍රිමාණ මකර රූප යුගළයයි. සමහර විද්වතුන් එම කැටයම සිංහ රූප ලෙසද අර්ථ දක්වති.

දළදා මාළිගයේ දෙපස කණු දෙකකි. ඒ කණු සිහිගන්වන්නේ නිශ්ශංක ලතා මණ්ඩපයේ ඇති කුළුණුය. ලංකාවේ හොඳම ගල්කැටයම් ලෙස අනුරාධපුර අභයගිරිවිහාරයේ බිසෝමාළිගාවේ සඳකඩ පහණ අර්ථ දැක්වූවද, ඒ හා කරට කර සිටින සියුම් නිමැවුම් යාපහුවේද ඇත. එහෙත් අරමුණු කළ පරිදි මෙතරම් ශක්තිමත්ව ඉදිකළ යාපහුවේදී “දළදාව” රැකගන්නට නොහැකි වන අතර දොළොස් වසරකට පසු රජවරු යාපහුවෙන්ද පළා යන්නේ ආරක්ෂාවටය.

විහාරයට වම් පසින් ඇති බොධිඝරය ද, පැමණෙන සුළු පිරිසේ හෝ අවධානයට පාත්‍ර නොවී වල් වැදී ඇත. එයද නැරඹූ අපි ඊළඟට පව්ව නඟින්නට පටන් ගතිමු. මීටර හයසියයක පමණ දුරක් ගල් පඩි පෙළ දිගේ අතරමඟ සවිකළ යකඩ අත්වැටවල් වල සහයෙන් කඳු මුදුනට ගොඩවූ කළ ඈත රිටිගල, දඹුල්ල, නිකවැරටිය ආදී ප්‍රදේශ දක්වා මැනවින් පෙනේ. කඳු මුදුන තැනිතලාවකි. අක්කර තුනකට ආසන්න ප්‍රදේශයක පැතිරෙන කඳු මුදුනේ “කොටවෙහෙරක” නටඹුන් ඇත. තවත් සොහොනක් ලෙස විශ්වාස කළ හැකි ගඩොළින් කළ නිර්මාණයකි.

කෙතරම් මනස්කාන්ත දසුනකින් සමන්විත වුවද, අපව ඉන් පළවා හරින සටනක් පැවැති බව වැටහුණේ පසුවය. මදින් මද අහස මුදුණට එන හිරුගේ රශ්මියට පැරදී කඳු මුදුනෙන් පළා එන්නට අපට සිදුවිය. සතුරාට පැරදී උපාය මාර්ගිකව පලායාම ලැජ්ජාවට කාරණයක් නොවන බව ඉතිහාසය විසින් මනාව ඔප්පු කර තිබූ නිසා අපි යාපහුවෙන් පලා ආවෙමු. ඒ යළිදු දිනෙක ඒ වෙත යන ඒකායන අරමු‍ෙණනි.

මාතෘකා

 
 
 
රටේ අපරාධ රැල්ල අඩු කිරීමට කළ යුත්තේ ?