මියැසි විප්ලවයක් කළ වික්ටර් හාරා

 ඡායාරූපය:

මියැසි විප්ලවයක් කළ වික්ටර් හාරා

1932 සැප්තැම්බර් 28 වනදින චිලී හි සැන්තියාගෝ නුවරට ආසන්න පෙදෙසක දුප්පත් ගොවි පවුලක උපන් වික්ටර් ලිඩියෝ හාරා මාර්ටිනෙස් පසුකලෙක චිලියේ ප්‍රසිද්ධ වේදිකා නාට්‍ය අධ්‍යක්ෂකවරයෙකු, ගීත රචකයෙකු, ගුරුවරයෙකු මෙන්ම දේශපාලන ක්‍රියාධරයෙකු ද බවට පත් විය. වික්ටර්ෙගේ පියා මැනුවෙල්, නූගත් ගොවි කම්කරුවෙකු වූ අතර පවුලේ දරුවන්ට ඉගැන්වීම ගැන උනන්දුවක් නොදැක්වීය. දරුවන් ද තමා මෙන්ම හැකි ඉක්මනින් කම්කරු සේවයට යොදවා ගැනීමට ඔහු කටයුතු කළේය. මේ නිසා වික්ටර‍ෙට වයස අවුරුදු 6 දී පටන් පියා සමග කෘෂි බිමවල වැඩ කිරීමට සිදු විය.

කොතෙක් මහන්සි වී වැඩ කළද සිය පවුලට සෑහෙන ආදයමක් සොයා ගැනීමට වික්ටර් ගේ පියාට නොහැකි විය. මේ අතර ඔහු තදින් බීමට ඇබ්බැහි වූ අතර නිවසට පැමිණ දරුණු ලෙස හැසිරෙන්නට විය. මේ නිසා මැනුවෙල් සහ වික්ටර් ගේ මව ඇමැන්ඩා අතර වූ බැඳීම දෙදරා යන්නට විය. වික්ටර් ඉතා කුඩා වියේදීම ඔහුගේ පියා සිය පවුල අතහැර ගියේය. වික්ටර් ගේ මව තරමක අධ්‍යාපනයක් ලැබූ තැනැත්තියක් වූ අතර සිය දරුවන් ද අධ්‍යාපනය ලැබිය යුතු යැයි සැලකුවාය. ස්වෝත්සාහයෙන් ලද අධ්‍යාපනයද සමග ගිටාර් වාදනයටද පියානෝ වාදනයටද දස්කම් දැක්වූ ඇය ගම්බද පෙදෙස්වල තිබූ විවාහ උළෙලවල්වල ගීත ගායනයට සහභාගි වූවාය.වික්ටර් 15 වන වියේදී ඔහුගේ මව ඇමැන්ඩා මෙලොව හැර ගියාය. වික්ටර් ඉන්පසුව ගණකාධිකාරීවරයෙකු වීම සඳහා ඉගෙනීමට පටන්ගත්ත ද පසුව එය අතහැර පූජකයෙකු වීමට සෙමනේරියකට ඇතුළත් විය. නමුත් වසර කිහිපයකට පසුව ඔහු ඉන් ඉවත්වූයේ පල්ලියේ කටයුතු කෙරෙහි නොපැහැදීමකිනි. වසර කිහිපයක් හමුදාවේද සේවය කරන වික්ටර් ඉන්පසු සිය උපන් ගම බලා පැමිණෙන්නේ ගැමි සංගීතය සහ වේදිකා නාට්‍ය ගැන උපන් කැමැත්ත ඇතුවයි.

චිලීහි සහ අනෙකුත් ලතින් ඇමෙරිකානු රටවල ජන ශ්‍රැතීන් ගේ ආභාසය වික්ටර්ගේ නිර්මාණවල තදින්ම දක්නට ලැබුණි. තවද යුපැන්කි, පැබ්ලෝ නෙරුඩා වැනි කලාකරුවන්ගේ නිර්මාණද ඔහුගේ නිර්මාණවලට මගපෙන්වීය. 1950 දශකයේ මැදදී වික්ටර් "කුන්කුමෙන්" නම් සංගීත කණ්ඩායම සමග ගීත ගායනයට පිවිසියේය. ක්‍රම ක්‍රමයෙන් සිය දස්කම් වැඩිදියුණු කරගත් ඔහු "නුඑවා කැන්සියොන්" නම් ලතින් ඇමෙරිකානු ජන සංගීත ව්‍යාපාරය සමග එක්වී සිටියේය. ඔහුගේ ගීත ලතින් ඇමෙරිකානු ජන සංගීතය සමග මුසු වුනු විප්ලවවාදී වාමාංශික අදහස්වලින් පිරී ගියේය. සංගීතයටම ඇලුම් කළ වික්ටර් වේදිකා නාට්‍ය කටයුතුවලින් ඈත්විය. එවකට චිලී හි ජනාධිපති අපේක්ෂකයෙකු වූ සැල්වදෝර් අය්යන්දේ ගේ මැතිවරණ ව්‍යාපාරයට සහාය දැක්වූ වික්ටර් ඔහු වෙනුවෙන් නොමිලේ සංගීත ප්‍රසංගද පැවැත්වීය.

අය්යන්දේ ගේ මැතිවරණ ව්‍යාපාරය සාර්ථක වූ අතර ඔහු 1970 දී එරට ජනාධිපති වශයෙන් තේරී පත්විය. 1973 සැප්තැම්බර් 11 වන දින ක්‍රියාත්මක වුණු හමුදා කුමන්ත්‍රණයකින් අය්යන්දේ ගේ සමාජවාදී ආණ්ඩුව පෙරළා දමා ඔහුව ඝාතනය කළේය. මෙම සිදුවීම වන විට වික්ටර් එරට තාක්ෂණික විශ්වවිද්‍යාලයේ ගුරුවරයෙකු වශයෙන් සේවය කරමින් සිටියේය. ඔහු එදින මුලු රැයම විශ්වවිද්‍යාලයේ අනෙකුත් ගුරුවරුන් සහ ශිෂ්‍යයන් සමග ගත කළ අතර ඔවුන්ගේ ආත්ම ධෛර්ය වඩවනු වස් ගීත ගායනා කළේය.

පසුදින උදෑසන වික්ටර් සහ තවත් දහස් ගණනක් වූ පිරිස්, සිරකරුවන් ලෙස ක්‍රීඩාංගණයකට රැගෙන යනු ලැබීය. බොහෝ දෙනෙක් එහිදී අනේක විධ වද වේදනාවලට ලක් වෙමින් මිය ගියහ. වික්ටර් ද දිගින් දිගටම හමුදා සෙබළුන්ගේ වධ වේදනාවලට ලක්විය. ඔහුගේ ඉල ඇට මෙන්ම දෑත් ද කඩා දැමුණි. එම බිහිසුණු සිදුවීම සියැසින් දුටුවන් පවසන පරිදි දෑත් කඩා දැමූ වික්ටර්ට ඇතැම් හමුදා සෙබලුන් අවඥා සහගත් ලෙස "හැකිනම් දැන් ගිටාර ගහපන්" යැයි පවසා ඇත. වික්ටර් එහිදී "වෙන්සෙරෙමොස්" (අපි දිනන්නෙමූ) නම් ගීතය ගයනු ලැබීය. තව තවත් පහර දෙනු ලැබූ මෙම විප්ලවවාදී ගායකයාව ඉන්පසු ඉතා කෲර ලෙස වෙඩි තබා මරා දමා ඔහුගේ සිරුර මාවතක් අසල දමා ගොස් තිබියදී පසුව නගරයේ මෝචරියට භාරදෙනු ලැබීය.

වික්ටර් විසින් තම මරණයට පෙර ක්‍රීඩාංගණයේ රඳවා සිටි තමන් ඇතුළු අනෙකුත් සිරකරුවන් පිළිබඳව ගීතයක් රචනා කළේය. එය තවත් සිරකරුවෙකුගේ සපත්තුවක් තුළ රහසේ සඟවා තිබුණි. 2008 වසරේ ජූනි මාසයේදී වික්ටර් හාරාගේ මරණය පිළිබඳ පරීක්ෂණ කටයුතු යළි ආරම්භ විය. එහිදී වික්ටර්ව මරා දැමූ හමුදා නිලධාරීන්ව හඳුනාගත් අතර ඔවුන්ව අත්අඩංගුවට ගැනුණි. 2009 දෙසැම්බර් මස 3 වන

දින දහස් ගණනකගේ ගෞරවාචාර්ය මැද වික්ටර් හාරා නම් අභීත විප්ලවවාදී සංගීතඥයාගේ සිරුරේ කොටස්, එයට වසර 36 කට පෙර එනම් 1973 දී ඔහුව වළ දැමූ ස්ථානයේම ගෞරවාන්විතව භූමදානය කෙරිණ.

ඉතිහාසය අපට බොහෝ දේ උගන්වයි. එහි ජීවත් වුණු මිනිසුන් ගැන ඔවුන් කළ කී දෑ ගැන බොහෝ පාඩම් අපට කියාදෙයි. තම හිසට ඉහළින් රැඳි අයුක්තියේත් සමාජ අසාධාරණයේත් පර්වතය තම හෘද සාක්ෂියේ ස්ඵන්දනයෙන් ස්පර්ශ කළා වූ මිනිසුන් එම මහා පර්වතය දෙදරුම් කැවීමට සමත් වීය. දිනෙක මෙම මහා පර්වතය සහමුලින් කඩා ඉහිරවිය යුතු බවට මුළු මහත් මිනිස් වර්ගයාටම පෙන්වා දෙමින් ඔවුහු සිය ආත්මයන් සදාකල් අප අතරම රැඳවූහ. ඔබ ඔබේ හෘද සාක්ෂියට එකඟව ලොව දෙස බලනා කල එම ආත්මයෝ ඔබ දෙස ආදරයේත් බලාපොරොත්තුවේත් දෑසින් බලා සිටින අයුරු දක්නට ලැබේවි.

[අනුෂ්ක තිලකරත්න]

මාතෘකා