‘කොටිහඬ’ බිමේ සිට ‘මිනිස්කම’ කියාදෙන දොස්තර හාමුදුරුවෝ

 ඡායාරූපය:

‘කොටිහඬ’ බිමේ සිට ‘මිනිස්කම’ කියාදෙන දොස්තර හාමුදුරුවෝ

 සැතපෙන්නේ ‘කොටි හඬ’ කන්ටේනරයේ

 ගමන බිමන ‘බඩී’ ලොරියෙන්

 මර්සලීනු පියතුමාට සහ බෙග් මාස්ටර්ටත් බෝධිඝරයේ කුටි දෙකක්!

"ආයුබෝවන්............... මේ කොටි හඬ

ගුවන්විදුලියයි. මෙන්න අදත් ප්‍රවෘත්ති. නැගෙනහිර කල්ලඩියෙන් කෙටි තරංග...."

මීට කලකට පෙර, උතුරු හා නැගෙනහිර පළාතේ ජනයාට ඒ හඬ හුරු පුරුදුය. බීබීසී ලෝක සේවය මගින් විසුරුවාහැරෙන පුවත්වලට සවන් දෙන තරමටම උද්‍යෝගයකින් ජනතාව මේ පුවත් විකාශන්ටද සවන් දුන්හ. කොටි සංවිධානයේ නිල ගුවන් විදුලිය වු 'කොටි හඬ' නැගෙනහිර පළාත තුළ විසුරුවාහැරුණේ,‍ ‍ත්‍රිකුණාමලය ඉච්චලම්පත්තුවේ පිහිටි ඵෙතිහාසික පාෂාණ පබ්බතය හෙවත්, කල්ලඩි ගල මුදුනේ සිටයි.

කාලයාගේ ඇවෑමෙන් අද සියල්ල වෙනස් වී ඇත. එදා භීෂණය හා සංත්‍රාසය දනවන පුවත් පැතිරවූ කල්ලඩි ගල මුදුනින් අද ගලා එන්නේ, අවිහිංසාව හා මෛත්‍රිය මත පදනම් වූ බෞද්ධාගමේ පිරිත් දේශනාවකි. එය හුදෙක් ශබ්ද මාධූර්යයට පමණක් සීමා වන ශාන්තියක් නොවන්නේ, එහි වෙසෙන අපූර්ව පැවිදිරුවනක අනුපමේය මෙහෙවර හේතුවෙනි.

දොස්තර හාමුදුරුවෝ

බෞද්ධ පුළුටක් හෝ නොවෙසෙන කල්ලඩියේ සුවහසක් ජනතාවගේ සිත මෙන් ගතද සුවපත් කරවන ජීවකයකු වනුයේ පූජ්‍ය රත්නපුරේ දේවානන්ද කිත්ති හිමියන්ය.

වෙනත් ආකාර‍යකින් කිවහොත් තිස් එක් වසරක් පුරා බදුල්ල, බණ්ඩාරවෙල, ඌව පරණගම, උඩුපුස්සැල්ලාව හා ඒ අවට රෝහල්වල සේවය කළ සේන ඩී. ගමගේ නම් වෛද්‍යවරයාගේ පැවිදි භූමිකාවයි.

වෛද්‍ය සේන ඩී. ගමගේ පැවිදි දිවියට එළැඹෙන්නේ, යුද්ධයේ කුරිරු ප්‍රතිවිපාක දැකීමෙන් ඇති වූ කම්පනයෙනි. පීඩාවට පත් වූ සුවහසක් සිංහල ජනතාව වෙනුවෙන් යම් මෙහෙවරක් ඉටු කිරීමේ අධිෂ්ඨානයෙනි. එහෙත් අවසානයේ දේවානන්ද හිමියන්ට සිදුවන්නේ, යුද්ධයෙන් පීඩාවට පත් දුගී බවේ අන්තයටම ගිලුණු දමිළ ජනයාගේ දුක සැප බෙදා ගනිමින් ඔවුන්ගේ ජීවකයා වීමටය. එපමණක් නොව, ඇතැම් අවස්ථාවලදී ඔවුන්ගේ රියදුරුවීමටද දේවානන්ද හිමියන්ට සිදුවේ.

"මම කාලයක් සෞදි අරාබියේ ඉන්දීය රෝහලක සේවය කළා. ඒ ඉන්න කොට තමයි කැබතිගොල්ලෑවේදී බස් රියක බෝම්බ පිපිරවීම සිදු වුණේ. තාත්තා කෙනෙක් මැරුණු ළමයව තුරුළු කරගෙන අඩපු හැටි, මියගිය අයගේ මළ සිරුරු රෝහලේ පෝලීමට තියලා තිබුණු හැටි මාධ්‍යවලින් දැකලා මගේ හිත කැලඹුණා. මේ සිද්ධියෙන් පස්සේ මට හිතුණා, දැන් මෙහෙ හිටියා ඇති, දැන් ලංකාවට ගිහින් මේ අහිංසක මිනිසුන්ට මගේ දැනුමෙන් යම් කිසි සේවයක් කරන්න ඕන කියලා. ඒ අනුව තමයි, මම ලංකාවට ආවේ.."

සිය රැකියාවද පසෙකලා එසේ ලංකාවට පැමිණි වෛද්‍ය සේන ඩී. ගමගේ කැබතිගොල්ලෑවට යන්නේ, යුද්ධයෙන් පීඩාවට පත් ජනයාට පිහිට විය හැකි ආකාරය සම්බන්ධයෙන් යම් අදහසක් ලබා ගැනීමටය.

යුද්ධයෙන් පීඩාවට පත් ගම්මානවලට ගමේ පංසලේ හාමුදුරුවන් විසින් ලබා දෙන නායකත්වය දකින ඔහු දෙවරක් නොසිතාම පැවදි දිවියට ඇතුළත් විය යුතු බවට නිගමනය කරන්නේය.

නව දිවියක ඇරඹුම

"මම කැබතිගොල්ලෑවේ විහාර හල්මිල්ලෑව කියන පංසලේ ධම්ම රක්ඛිත නායක හාමුදුරුවෝ මුණ ගැහිලා මගේ හිතේ තිබුණු අදහස උන් වහන්සේට කිව්වා. උන් වහන්සේ මාව 'රත්නපුරේ දේවානන්ද කිත්ති' නමින් මහණ කරවලා කැබතිගොල්ලෑවේ ඊතල විද්ද වැව පුරාණ රජමහා විහාරය මට භාර දුන්නා. මම අවුරුද්දක් ඇතුළත ඒ පංසල ගොඩ නැගුවා. මේක දැකපු එල්ලාවල මේධානන්ද හාමුදුරුවෝ මා ගැන සේරුවිල පංසලේ හිටපු ලොකු හාමුදුරුවන්ට කියලා තියෙනවා. ඒකෙ ප්‍රතිපලයක් හැටියට තමයි, මේ කොටි හඩ

ගුවන්විදුලිය තිබුණු පාෂාණ පබ්බත පුරාණ රජමහ විහාරය මට භාර දුන්නේ...මම 2009 ජුනි මාසේ 02 වැනිදා මෙතනට වැඩම කරවලා ගල මුදුනේ කොටි හඩ විකාශය කරපු කුලුන ළග ටකරන් මඩුවක් හදාගෙන නැවතුණා.."

දේවානන්ද හිමියන් එහි වැඩම කරවන විටත් හමුදාව එහි රැදී සිටි අතර, පසු කලක හමුදාව එම ස්ථානයෙන් ඉවත් වීමෙන් පසු දේවානන්ද හිමියන්ගේ ආවාස ගෙය බවට පත්වන්නේ, කලක් කොටිහඬ පවත්වාගෙන ගිය කන්ටේනරයයි.

උන් වහන්සේ වාසයට තෝරාගත් ඉච්චලම්පත්තුවේ එකදු සිංහල ජාතිකයකු හෝ බෞද්ධයකු නොවීය. එහි බහුතරය අපේ රටේ සුවිශේෂි ජන කොට්ඨාසයක් වු දෙමළ බස කතා කරන මුහුදු ආදි වාසීන්ය. නූගත්කමේ හා දිළිදු බවේ අන්තයටම ගිලී ගිය ඔවුන් පිළිබඳ පහන් සංවේග හැගීම් දේවානන්ද හිමියන් තුළ උපදින්නේ නිරායාසයෙනි. දෙමළ බස මැනවින් කතා කරන්නට හැකි වීම නිසා, උන් වහන්සේට එම ජනතාව හා සමීප වීමට පහසු විය.

දේවානන්ද හිමියන් ඉතා කෙටි කලක් ඇතුළත කොටි හඩ ගුවන් විදුලිය පවත්වා ගෙන ගිය පාෂාණ පබ්බතය දැකුම්කලු පුද බිමක් බවට පත් කරන්නේය.

මනුස්ස ජාතිය

"මම ඇත්තටම වෛද්‍ය වෘත්තියත් අතහැරලා ලංකාවට ආවේ, යුද්ධයෙන් අසරණ වුණ සිංහල ජනතාවට සේවයක් කරන්න කියලා හිතාගෙනයි. ඒත්, මේ මිනිස්සු දැක්කම මගේ හිත කිව්වා ඇයි අපි මේ සිංහල දෙමළ කියලා බෙදෙන්නේ. අපි හැමෝම ලේ මස් නහර තියෙන මිනිස්සු නේද? කියලා. මම ඇත්තටම ජාතිවාදයට විරුද්ධ කෙනෙක්. 83 කළු ජූලිය වෙලාවේ මම හිටියේ මීගමුවේ සම්මන්ත්‍රණයක. මමත් එක්ක වෛද්‍ය වාමදේවනුත් හිටියා. එදා ජාතිවාදීන්ගෙන් වාමදේවන්ගේ ජීවිතේ බේරුවෙත් මමයි. ඒ විතරක් නෙවෙයි, බණ්ඩාරවෙල කොස්ලන්දට ඇවිත්, ඒ ගමේ මිනිස්සුන්ගේ ජීවිතත් බේරුවා. මේ නිසා මම දෙමළ අය මගේ සහෝදරයෝ විදියටයි සලකන්නේ. ඉතින් මම කල්පනා කළා මේ අයට මට කරන්න පුළුවන් දේ මොකක්ද කියලා.."

යුද්ධයෙන් හා සුනාමි ව්‍යසනයෙන් අන්ත අසරණ වු ඉච්චලම්පත්තුවේ ජනතාව මුහුණ දී තිබෙන බරපතලම ගැටලුව දුප්පත්කම හා නූගත්කමයි. යාන්තමින් වයස අවුරුදු දොළහ දහතුන ලබද්දීම මව් පදවියට උරුමකම් කියන දැරියන් හා දැලි රැවුළ ඒමටත් පෙර කැදලි තනන ගැටයන් ඉච්චලම්පත්තුවට ආගන්තුක නැත. අන්ත දරිද්‍රතාවෙන් පෙළෙන දෙමාපියන් බොහෝ විට උත්සහ කරනුයේ, තම දියණිය කවුරුන් පිරිමියකුට දී පවුලේ එක බරක් හෝ සැහැල්ලු කර ගැනීමටයි.

"මෙහෙ දැරියෝ ඉතාමත් අඩු වයසෙන් අම්මලා වෙනවා. වයස අවුරුදු දාහතේ කොලු ගැටයෝ දරුවෝ දෙතුන් දෙනාලගේ තාත්තලා. මෙහෙ කසිප්පු, ගංජා කියන්නේ සිල්ලර බඩු කඩ වගේ. මේ අඩු වයස් තාත්තලා අඩු වයසින් බේබද්දෝ වෙනවා. මේක නතර කරන්න පුළුවන් වෙන්නේ අලුත් පරපුරට හොඳ අධ්‍යාපනයක් ලබා දුන්නොත් පමණයි කියන අදහස මගේ හිතට ආවා..ඒ අනුව මම තීරණය කළා පංසල මුල් කරගෙන හොඳ ළදරු පාසලක් ආරම්භ කරන්න..."

'අයන්නෙන්' පටන්ගැනීම

දේවානන්ද හිමියන් විදේශගත හිතවතුන් පිරිසකගේ ධන පරිත්‍යාගයෙන් පංසල කේන්ද්‍ර මුල් ළමාවිය මධ්‍යස්ථානයක් ආරම්භ කරන අතර, ඒ සඳහා ප්‍රදේශවාසීන්ගේ සහායද නොඅඩුව ලැබෙන්නේය. දරුවන් 43 දෙනෙකුගෙන් ඇරඹෙන එම මුල් ළමාවිය මධ්‍යස්ථානයට ප්‍රදේශයේම දැන උගත් තරුණියන් දෙදෙනකු ගුරුවරියන් ලෙස බදවා ගන්නා අතර, ඔවුන්ට මාසික දීමනාවක් ලබාදීමටද දරුවන්ට මෙන්ම ගුරුමණ්ඩලයට, උදෑසන හා දිහා ආහාර ලබාදීමටද වැඩපිළිවෙළක් සැකසෙන්නේය.

"ගොඩක් වෙලාවට මේ ගෙවල්වල උදේට කෑමක් බීමක් නැහැ. මම උදේ කෑමට අමතරව කොළ කැඳ කෝප්පයකුත් මේ දරුවන්ට ලබා දුන්නා. ටික කාලයක් යද්දී මගේ වැඩේ සාර්ථක වුණා.. දරුවෝ පිරිස එන්න එන්නම වැඩි වුණා. දරුවෝ හරි සතුටින් පෙර පාසලට ආවා. මම ඒක දැකලා විශාල සතුටක් ලැබුවා..."

එහෙත් දේවානන්ද හිමියන්ට එතැනින් නතරවන්නට ලැබෙන්නේ නැත. සෞඛ්‍ය පහසුකම් අවම බැවින්, විවිධ අද්භූත බලවේගවල පිහිටෙන් රෝග සුව කරන්නේ යැයි කියන ආගමික කණ්ඩායම් ඒ කලාපය පහසු ගොදුරුබිමක් බවට පත් කරගෙන තිබිණි. ඊචලම්පත්තුව බොහෝ ලෙඩ රෝගවලින් සපිරි දුෂ්කර ප්‍රදේශයක් බැවින්,වැඩි දෙනකු රෝගි වු අවස්ථාවන්හිදී ප්‍රතිකාර වෙනුවට යන්ත්‍ර මන්ත්‍ර හා යාඥා පිළිබඳ විශ්වාසය තබති. එහි අවසාන ප්‍රතිඵලය මරණයයි. තමන් එක්තරා මොහොතකදී අත්හළ වෛද්‍ය වෘත්තියට යළි පිවිසීමට දේවානන්ද හිමියන්ට බල කරන්නේ මේ පසුබිමයි.

අතැති මුදලින් අත්‍යවශ්‍ය බෙහෙත් ද්‍රව්‍ය රැගෙන එන දොස්තර හාමුදුරුවෝ, පන්සල් බිමේදී සුපුරුදු සේවාව ආරම්භ කරති. නැවත බෙහෙත් ලබාගැනීමට අවශ්‍ය අරමුදල් සම්පාදනය වන්නේ ප්‍රතිකාර ලබාගැනීමට පැමිණෙන අය රුපියල් සියය බැගින් ලබාදෙන ආධාරයෙනි.

“මෙහෙ තියෙන එකම රෝහල තියෙන්නේ, ඉච්චලම්පත්තුවේ. මෙහෙ ඉඳන් ඉච්චලම්පත්තුවට කිලෝ මීටර් විස්සකට වැඩියි. හදිස්සියකටවත් රෑට විතරක් නෙවෙයි, දවල්ට යන්නවත් වාහනයක් නැහැ. ත්‍රීවිල් එකක් අඩුම තරමින් රුපියල් 800 ගන්නවා ඔය දුර ප්‍රමාණය යන්න. එහෙම ගියත්, ඉස්පිරිතාලෙන් හරිහමන් බෙහෙතක් ලැබෙන්නෙ නැහැ. ෆාමසියෙන් ගන්න කියලා ලියලා දුන්නට මේ මිනිස්සුන්ට ෆාමසියකට දෙන්න සල්ලියක් නැහැ. අනික ෆාමසියක් තියෙන්නේ, තවත් කිලෝ මීටර් 15 විතර එහා අලිඔළුව හංදියේ. ඉතින් මම ප්‍රතිකාර කරන්න පටන්ගත්ත එක මේ ජනතාවට විශාල සහනයක් වුණා....”

සතුරන් ජයගැනීම

දේවානන්ද හිමියන් පංසල පාසලක් බවටත්, අනතුරුව රෝහලක් බවටත් පරිවර්තනය කරද්දී, ගම හා පංසල රැල්ලට වෙරළ සේ බැඳෙන්නට විය. එහෙත් බුදුන්ටත් දෙව්දත් ගල් පෙරලුවා සේ, මේ වැඩපිළිවෙළටත් එරෙහි පිරිසක් වූහ. ඒ යාඥාවෙන් ලෙඩ සුව කරනවා යැයි කියන ආගමික කණ්ඩායමේ අනුගාමිකයන්ය. එම විරෝධයේ පෙරමුණේ සිටියේ 'සංකර්' නම් හිටපු සන්නද්ධ සටන්කාමී නායකයෙකි. කොපමණ බාධක පැමිණියද, සිය ශාස්තෘවරයාණන් අනුදැන වදාළ පරිදි මහා කරුණාවෙන් හා අවිහිංසාවෙන් ඒ අභියෝග ජය ගැනීමට උන් වහන්සේ සමත් වෙති.

තම යහපත් මෙහෙවරට සතුරුකම් කරන 'ශංකර්'ගේ ඥාති කාන්තාවක් දරු ප්‍රසූතියක් සඳහා වේදනාවෙන් පීඩිතව රෝහලට යෑමට වාහනයක් නැතිව අසරණ වී සිටිද්දී, ඇගේ මව පිහිට පතාගෙන පැමිණෙන්නේ පංසලටය. දේවානන්ද හිමියන්ගේ මෝටර් රථය එහි තිබුණද එදින රියදුරකු සිටියේ නැත. මඳකුදු පමා නොවන උන් වහන්සේ කසාවත දරාගෙනම රියදුරු අසුනට ගොඩ වී ගැබිණි මව රැගෙන ගොස් රෝහල් ගත කරති. රෝහල් ගත කොට විනාඩි පහළොවක් ගතවන්නටත් මත්තෙන් නිරෝගී දරුවෙක්, මෙලොව එළිය දැකීමට වාසනාවන්ත වෙයි.

මේ සිදුවීමෙන් පසුව, හාමුදුරුවන් දුටු තැන ශංකර් යන්නේ ඔළුව පාත් කර ගෙනය. එසේ වුවද විරෝධතා හේතුවෙන් කඩාකප්පල් වූ පෙර පාසලෙන් ආලෝකය දකිමින් සිටි දරුවන් 50 දෙනෙකුගේ ජීවිතවල අඳුර දුරු කරන්නට ඒ පශ්චාත්තාපය ප්‍රමාණවත් නැත.

මේ වන විට දේවානන්ද හිමියන් මෝටර් රථය විකුණා දමා ඒ වෙනුවට ලොරි බඩියක් ගෙනවිත් තිබේ. ඒ වෙන කිසිවක් නිසා නොව ගැමියන්ගේ විවිධ අවශ්‍යතා සඳහා පිහිට වීමේ අරමුණෙනි. සිවුරු පොරවා ලොරි බඩියක් පදවා ගෙන එහෙ මෙහෙ වඩින හිමිනමක් වේනම්, ඒ දේවානන්ද හිමියන්ම පමණි.

දේවානන්ද හිමියන් මේ වෙන විටත් කල්ලඩිය හෙවත් පාෂාණ පබ්බතය අංග සම්පූර්ණ විහාරස්ථානයක් බවට පත්කර හමාරය. එය අවට ගම්වල ජනතාවට නැතිවම බැරි තැනකි. ගම්වාසීන්ගෙන් දේවානන්ද හිමියන්ට ලැබෙන ගරු බුහුමන්ද අපමණය.

එසේ වුවද අපූරු කාරණය වන්නේ ගමේ කිසිවෙකුත් බුද්ධාගම වැලඳගෙන නොතිබීමය. ඒ දහමට අනුව ක්‍රියාත්මක වෙමින් මනුෂ්‍යත්වය පැතිරවීම මිස ආගම ප්‍රචාරය කිරීම උන් වහන්සේගේ අරමුණ නොවන නිසා විය හැකිය.

සහජීවන දහම

මේ වෙන විට දේවානන්ද හිමියන් අපූරු කටයුත්තකට අතගසා ඇත. එනම් පාෂාණ පබ්බත විහාර භූමිය තුළ සර්ව ආගමික බෝධිඝරයක් ස්ථාපිත කරවීමයි. ජාතීන් අතර සංහිදියාව ඇති කරවීම එහි අරමුණයි. එම සර්ව ආගමික බෝධිඝරය තුළ අටවිසි බුද්ධ ප්‍රතිමාවන්ට අමතරව, විෂ්ණු, කතරගම, සමන්, දැඩිමුණ්ඩ හා අයියනායක දෙවිවරුන්ට කුටි වෙන් කර තිබේ. විශේෂ කාරණය වන්නේ මුස්ලිම් හා ‍කතෝලික ආගම අදහන අය වෙනුවෙන්ද එහි කුටි දෙකක් වෙන් ව තිබීමය. ඒවා නම් කර ඇත්තේ ආගමික සංහිඳියාව වෙනුවෙන් අනුපමේය සේවයක් සිදු කර ඇති අල්හාජ් මොහොදින් බෙග් මහතාගේ හා මර්සලින් ජයකොඩි පියතුමා නම්වලිනි. දේවානන්ද හිමියෝ එහි අරුත මෙසේ පහදති.

“බෙග් මහත්තයා නැත්නම් අපිට වෙසක් එකට පොසොන් එකට දාන්න හරිහමන් සිංදුවක්වත් නැහැනේ. ඒ හිංදමයි මම එතුමා සිහිකරලා කුටියක් වෙන් කළේ. මුස්ලිම් අය කතෝලික අය බුදු පිළිම වන්දනාමාන නොකළත්, පංසලට ඇවිත් අර අනිත් කුටිවලට හරි ගරු බුහුමන් කරලා යනවනේ. සංහිදියාව කියන්නේ ඔන්න ඕකටයි..”

 

[මංගලනාත් ලියනආරච්චි]

මාතෘකා

 
 
 
රටේ අපරාධ රැල්ල අඩු කිරීමට කළ යුත්තේ ?