දංගෙඩියට නියම වූ ‘නළා පිඹින්නා’ ජුලියන් අසාංජ් | ඇස පාදන රැස


දංගෙඩියට නියම වූ ‘නළා පිඹින්නා’ ජුලියන් අසාංජ්

 ඡායාරූපය:

දංගෙඩියට නියම වූ ‘නළා පිඹින්නා’ ජුලියන් අසාංජ්

මීට වසර අටකට පමණ පෙර ජුලියන් අසාංජ් යන නම ලොව පුරා එකවර පැතිර ගියේය. ඒ ඔහුගේ විකිලීක්ස් නම් වෙබ් අඩවිය අැමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවෙන් සොරා ගන්නා ලද රහස්‍ය තොරතුරු රැසක් අන්තර්ජාලය වෙත මුදා හැරීම සහ ඒ නිසා පෙන්ටගනයේ ඇති වූ කැලඹීම නිසාය. ජුලියන් අසාංජ් යනු whistleblower කෙනෙකි. මේ තනි වචනය සෑදී ඇත්තේ whistle සහ blower යන වචන දෙකේ එකතුවෙන් බව බැලූ බැල්මට පෙනී යනු ඇත. වචනාර්ථ වශයෙන් ගත් කළ මේවායේ වෙන් වෙන් තේරුම් වන්නේ නළා පිඹින්නාය. මංසන්ධිවල සිටින පොලිස් නිලධාරීන්, පාපන්දු තරග විනිසුරන් යනාදීන් නළා පිඹින්නන්ය. ඔවුන් කරන්නේ සිය නළා පිඹීම මගින් අනතුරු ඇඟවීම සහ කළ යුතු දේ පෙන්වා දීමයි. දූෂණ විරෝධීන් මේ සඳහා හඳුන්වා දුන් සිංහල වචනය 'අකටයුතු නාදකයා'ය.whistleblower කෙනෙක් ඊට අමතර වශයෙන් පොදු ජන හිත සුව පිණිස මහජනතාවට වැදගත් රහස් හෙළිදරව් කරයි. බොහෝවිට ඒවා රාජ්‍ය රහස්ය. අනෙක් අතට මේ 'නළා පිඹින්නන්' ඒවා කරන්නේ කිසිදු ප්‍රතිලාභයක් අපේක්‍ෂාවෙන් නොව ‘උණට’ම පමණක් බවද දතයුතුය.

ජුලියන් අසාංජ්ගේ වෙබ් අඩවිය අමෙරිකානු රජයේ විවධ අකටයුතුකම් ලොවට හෙළිදරව් කළේ රාජ්‍ය දෙපාර්තමේන්තුව සතු රහස්‍ය ලිපිගොනු අසංඛෙයක් hack කිරීමෙනි. (මේ ඉංග්‍රීසි වචනයට විවිධ තේරුම් තිබේ. පුවත්පත්වල පළ වන නීරස දෑ යන්නද ඊට ඇතුළත්ය.) එහෙත් පරිගණක තාක්‍ෂණය දියුණු වීමත් සමග අනෙක් අරුත් යටපත් කරමින් ‘අනුන්ගේ පරිගණකවල ඇති දෑ හිමිකරුට සොරෙන් ගැනීම’ හැක් කිරීම යන්නේ අරුත ලෙස ඉස්මතු විය.

අනුන්ගේ පරිගණකවල ඇති දෑ හැක් කරන්නට විශේෂිත පරිගණක දැනුමක් අවශ්‍යය. එහෙත් එය පහසු නැත. මුරපද දන්නේ නම් වැඩේ වඩා පහසුය. අසාංජ් වැනි නළා පිඹින්නන් බොහෝ විට කරන්නේ අදාළ ක්ෂේත්‍රයේ සිටින්නකුගෙන් මුරපදය ලබා ගෙන අන්තර්ජාලය හරහා අවශ්‍ය පරිගණකයට පිවිස, තොරතුරු ලබා ගැනීමයි. තවත් ක්‍රමයක් තිබේ. කිසියම් ආයතනයක සේවය කරන අයකු පරිගණකවල තිබී පැහැර ගන්නා දත්ත ප්‍රයෝජනයට ගැනීමයි ඒ.

සංවිධානාත්මක ව රහස් අනාවරණය කිරීමේ අරමුණ ඇතිව ලාභ නොලබන රාජ්‍ය නොවන සංවිධානයක් වශයෙන් ‘විකිලීක්ස්’ අරඹන ලද්දේ 2006 වසරේ බව සඳහන් ය. එහෙත් විකිලීක්ස්ට බොහෝ පෙර රහස් අනාවරණ සඳහා වූ සංවිධානගත නොවූ පෞද්ගලික ප්‍රයත්න තිබී ඇත. වියෙට්නාම් යුද්ධයට අදාළ ‘පෙන්ටගන් පේපර්ස්’ නමැති රහස් හෙළිදරව්ව ඒ අතරින් වැදගත් එකකි. හිටපු හමුදා නිලධාරියකු වූ ඩැනියෙල් එල්ස්බර්ග් විසින් 1971 වසරේ දී අමෙරිකාව වියෙට්නාමයේ පවත්වා ගෙන ගිය විනාශකාරී මෙන්ම නාස්තිකාර යුද්ධයට අදාළ ලිපිගොනුවල ඇතුළත් තොරතුරු නිව්යෝක් ටයිම්ස් ඇතුළු ප්‍රධාන පෙළේ මාධ්‍ය ආයතන කිහිපයකට ලබා දීම ඒ සිද්ධියයි. එදා අද මෙන් දියුණු පරිගණක තාක්‍ෂණයක් නොතිබුණු අතර තොරතුරු පැහැරගැනීම අතිශය සුක්‍ෂ්ම වැඩක් විය. එල්ස්බර්ග් අත්අඩංගුවට ගෙන අමෙරිකා එක්සත් ජනපදයේ 1917 සිට නීතිගත ‘ගුප්තාවරණ පනත’ (Espionage Law) යටතේ 1973දී නඩු පවරන ලද නමුත් අධිකරණය විසින් ඔහු නිදොස් කොට නිදහස් කරන ලදී. 1948 වසරේ එක්සත් ජාතීන් විසින් සම්මත කැරුණු මානව හිමිකම් විශ්ව ප්‍රකාශනය යටතේ තොරතුරු දැන ගැනීම මහජන අයිතියක් බව මෙහිදී පිළිගෙන ඇත.

තවත් උදාහරණයක් නම් පැනමා පේපර්ස් ය. එඩ්වඩ් ස්නෝඩෙන්ගේ අනාවරණය කිරීම් තවත් එකකි. මේවා එකිනෙකට සම්බන්ධයක් නොමැති හුදෙකලා සිදුවීම්ය.

විකිලීක්ස් ඇරඹුමේදී ජුලියන් අසාංජ් ඇතුළු කණ්ඩායම මූලික වශයෙන් ම තීරණයකට එළැඹීමේදී ‘පෙන්ටගන් පේපර්ස්’ උදාහරණය බෙහෙවින් සැලකිල්ලට ගෙන ඇති බව සඳහන්ය. තමන් කරන්නේ විශ්ව මානව හිමිකම් ප්‍රඥප්තියේ 19 යටතේ ජනතාවට තොරතුරු දැන ගැනීමට සැලැස්වීම බව ඔවුන්ගේ වෙබ් අඩවියේ පළවෙයි. සංවෘත තොරතුරු විවෘත කොට පිටතට ගලා යන්නට සැලැස්වීම (leak) ඔවුන්ගේ අරමුණයි.

ජුලියන් අසාංජ් විශ්ව විද්‍යාල දෙකක පරිගණක විද්‍යාව පිළිබඳ පාඨමාලා හදාරා ඇති නමුත් උපාධි සම්පූර්ණ කොට නොමැත. එහෙත් ප්‍රායෝගික ව එහි නිරත වීමෙන් ඔහු පරිගණක ක්‍රමලේඛ්‍ය විශේෂඥයකු වූ බව සඳහන්ය. විකිලීක්ස් ආරම්භය සඳහා ඔහුට තවත් විශේෂඥ මට්ටමේ දැනුමක් ඇති විවිධ ක්‍ෂෙත්‍රවල අඥාත ප්‍රවීණයන් 20ක් පමණ සහාය සහ උපදෙස් ලැබුණු බවත් ඔවුන් බහුතරය චීන සම්භවයක් ඇත්තවුන් බවත් සඳහන්ය. ඔවුන් අතර පරිගණකවේදීන්ට අමතරව මාධ්‍යවේදීන්, ගණිතඥයන් සහ තවත් ක්‍ෂෙත්‍රවල ප්‍රවීණයන් සිට ඇත. මොවුන් එක්සත් ජනපදය, තායිවානය, දකුණු අෆ්‍රිකාව, ජර්මනිය සහ මහා බ්‍රිතාන්‍යය යන රටවල පුරවැසියන්ය. අසාංජ් ඕස්ට්‍රේලියාවෙනි. සමහරවිට ඔවුන් කිසිදා මුණ ගැසී නැතිවා වන්නටද පිළිවන. සියල්ල අන්තර්ජාලය හරහාය.

 

කෙසේවෙතත් අසාංජ් මුලින්ම හැක් කළේ රාජ්‍ය දෙපාර්තමේන්තුව නොවේ.

ඔහු පෙර බොහෝ ආයතන හැක් කළේය. ඔහු මුලින්ම ලොවට මුදාහැරි රාජ්‍ය රහස්‍ය ලේඛනය හැක් කිරීමක්ද නොවේ. එය එවකට අමෙරිකානු හමුදා සෙබල බ්‍රැඩ්ලි මෑනිං (මේ වනවිට චෙල්සී මෑනිං) විසින් ඔහු වෙත ලබා දෙන ලද වීඩියෝ පට කිහිපයකි. මෙයින් පළමුවැන්න ආන්දෝලනාත්මක වූවකි.

2017 ජුලි 12 දින නව බැග්ඩෑඩ් නගරෝපාන්තයක කිසියම් ස්ථානයකට අමෙරිකානු හමුදාවේ ප්‍රහාරක හෙලිකොප්ටරයක් විසින් පැයක් ඇතුළත දෙවතාවක දී සිවිල් වැසියන් වෙත එල්ල කරන ලද ප්‍රහාර දෙකක දී පුද්ගලයන් 18ක් පමණ මරු දුටහ. මියගියවුන් අතර රොයිටර් මාධ්‍යවේදියෙක්ද සිටියේය. සිද්ධිය පිළිබඳ තොරතුරු රොයිටර් විසින් පෙන්ටගනයෙන් ඉල්ලා සිටින ලද නමුත් ඒවා විශේෂිත ලේඛන බව කියමින් ඒ ඉල්ලීම ප්‍රතික්ෂේප කැරිණි. පරිගණක අංශයේ සේවය කළ සෙබළ මෑනිං මේ ගැන දැන සිටින්නට ඇත. ඔහු 2010 අප්‍රෙල් මාසයේ ඒ සිද්ධිය දැක්වෙන වීඩියෝ පටයත් ඇෆ්ගනිස්තානයේ සහ ඉරාකයේ යුද වැදී සිටින අමෙරිකානු සොල්දාදුවන්ගේ ඇතැම් අනීතික කි‍්‍රයාකාරකම් දැක්වෙන වීඩියෝ පට දෙකකුත් තවත් ලිපිගොනු විශාල සංඛ්‍යාවකුත් විකිලීක්ස් වෙත ලබා දුන්නේය. මේ වීඩියෝපටවලට විකිලීක්ස් විසින් පිළිවෙළින් ‘අනුෂංගික මිනීමැරීම්’, ‘ඇෆ්ගන් යුද සටහන්’ සහ ‘ඉරාක යුද සටහන්’ ලෙසින් නම් කොට අන්තර්ජාලයට මුදාහරින ලදී. ඒ සමගම පෙන්ටගනය විසින් ලොවපුරා අමෙරිකානු තානාපති කාර්යාලවලට යවන ලද පණිවුඩ 275,000 ඉක්මවන ප්‍රමාණයක් ‘කේබල් ගේට්’ යනුවෙන් නම් කොට මුදා හරින ලදී. මේවා බ්‍රිතාන්‍ය, ප්‍රංශ, ජර්මන් සහ අමෙරිකාවේ නිව්යෝක් ටයිම්ස් පත්‍රයටද රොයිටර් වෙතද ලබා දෙන ලදී.

පෙන්ටගනය දණ්ඩෙන් පහරලත් සර්පකු සේ කිපුණේ මේ සිද්ධියෙනි. මාස කිහිපයක් ඇවෑමෙන් මෑනිං අල්ලා ගන්නා ලද අතර ඔහුට එරෙහිව යුද්ධාධිකරණයේ නඩු පවරන ලදී. මේවා රහස්‍ය ලියකියවිලි බව ඔප්පු කරන්නට රජයට නොහැකි වූ නිසා මෑනිංට වසර 12කට අච්චු කිරීමෙන් පමණක් සෑහීමකට පත් වන්නට රජයට සිදුවිය. ලිංග විපර්යාසය නිසා පසුව ඔහු විශේෂ සමාවක් ලද්දේය.

ජුලියන් අසාංජ් පසුපස සීඅයිඒ පැන්නීම ඇරඹුණේ එ සිද්ධියෙන් පසුව ය. ඔහුට නොයෙකුත් චෝදනා එල්ල කැරිණි. ඔහුගේ අතිශය පෞගලික දුර්වලකම් අල්ලාගෙන සීඅයිඒ විසින් ස්තී‍්‍රදූෂණ චෝදනා දෙකකට ඔහු පටලවන ලදී. ඒවා කරන ලද්දේ ස්වීඩන් පොලීසිය විසිනි. ඒ දවස්වල ‘#MeToo’ ව්‍යාපාරය තිබුණේ නැත. ඒ නිසා ඒ අරභයා එතරම් ප්‍රබල මාධ්‍ය සන්දර්ශනයක් නොපැවැත්වුණත් විශාල ප්‍රචාරයක් දෙන ලදි. 2010 දෙසැම්බර් 07 දින ඔහු ලන්ඩනයේ පොලීසියකට භාර විය. දින 10ක් එහි රඳවා ගන්නා ලද අතර පසුව නිදහස් කරන ලදි.

මේ අතර ස්වීඩන් පොලීසිය ඔහුට වරෙන්තුවක් ලබා ගෙන තිබිණි. තවදුරටත් නිදැල්ලේ හැසිරෙන්නට බැරි වූ තැන 2012 දෙසැම්බර් මාසයේ දිනෙක ඔහු ලන්ඩනයේ ඉක්වදෝර් තානාපති කාර්යාලයයේ ශරණාවරණය ලබා ගත්තේය. පසුගිය දෙසැම්බර් 17දා ඔහුට ඉක්වදෝර් පුරවැසිභාවය ප්‍රදානය කැරිණි. කෙසේවෙතත් තානාපති කාර්යාල පරිශ‍්‍රයෙන් අඩියක් හෝ පිටතට පැමිණියහොත් ඔහු අත්අඩංගුවට ගනු ලබනවා ඇත.

මේ අතර විකිලීක්ස් හැක්කිරීම සහ ලීක් කිරීම අත්හරින්නේ නැතිව දිගටම ඒවායේ නිරත විය. අනාවරණය කරන ලද ගොනු සංඛ්‍යාව මිලියන 6ක් පමණ වෙතැයි ඇතැම් තැනක සඳහන් ය. ශ්‍රී ලංකාවේ උතුරේ යුද්ධය අවසන් වීමෙන් පසු එවකට ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනි පැටි‍්‍රෂියා බුටෙන්ස් විසින් රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් වෙත යවන ලද US embassy cables: Rajapaksa shares responsibility for 2009 Sri Lankan massacre යන හිසින් යුත් විද්යුත් ලිපියක්ද විකිලීක්ස් විසින් ප්‍රචාරයට පත් කොට තිබිණි.

2016 අමෙරිකානු ජනාධිපතිවරණයේ ඩිමොක්‍රැටික් අපේක්ෂිකා හිලරි ක්ලින්ටන් විසින් ඇය රාජ්‍ය ලේකම් ලෙස රාජකාරි කළ සමයේ හුවමාරු කැර ගන්නා ලද විද්‍යුත් ලිපි දහස් ගණනක්ද විකිලීක්ස් විසින් අනාවරණය කරන ලදී. මෙයින් ජනාධිපතිවරණයේදී ඇයට අසාධාරණයක් විණි ය යන පදනමින් ඩිමොක්‍රටික් ජාතික කමිටුව ජනාධිපති අපේක්‍ෂක සහ වත්මන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ඔහුගේ බෑනා මෙන්ම ජනාධිපතිවරණ ව්‍යාපාරයේ මෙහෙයුම් කමිටු ප්‍රධානී ජාරෙඩ් කුශ්නර් සහ ජුලියන් අසාංජ්ට එරෙහිව මෑන්හැට්න් අධිකරණයේ නඩු පවරා ඇත.

නොබෝ දිනකින් අසාංජ්ට සිතාසි ලැබෙනු ඇත. එවිට ඔහුට අමෙරිකාවට යන්නට සිදුවෙයි. අමෙරිකාවට ගියහොත් ඔහුට එරට කි‍්‍රයාත්මක ගුප්තාවරණ පනත යටතේ නඩු පවරනු ලබනවා ඇත. ඒ පනත යටතේ වරදකරුවකු වන අයකුට මරණ දඬුවම නියම කරන්නට තරම් එය බලවත්ය.

ඉක්වදෝර් රජයට ඔහු නිසා එල්ල වන බලපෑම දරාගන්නට නොහැකි තරම් බව එරට විදේශ අමාත්‍ය මාරියා ෆර්නැන්ඩා එස්පිනෝසාගේ අදහසයි. ඉක්වදෝර් තානාපති කාර්යාලය තුළ සිටද අසාංජ් හැක් කිරීම සහ ලීක් කිරීම නොකඩවා පවත්වා ගෙන ගිය බැවින් පසුගිය මාර්තු 18 සිට ඔහුගේ අන්තර්ජාල සබඳතා මතු නොව දුරකතන සබඳතා පවා විසන්ධි කරන්නට ඉක්වදෝර් රජය පියවර ගෙන ඇත. ඊට හේතුව අමෙරිකා එක්සත් ජනපදය ඇති කරන තර්ජන බව පැහැදිලිය. හමුවිය හැක්කේද නීතිඥයාට පමණී.

අසාංජ් ඕස්ට්‍රේලියානු පුරවැසියකු වුවත් එරට රජය ඔහු ගැන කිසිවක් නොකරයි. ඒ අතර අමෙරිකා එක්සත් ජනපදය 5EYES නම් ගිවිසුමක් අනුව ඔහු බාර දෙන මෙන් එම රජයෙන් ඉල්ලා ඇත. මේ පිළිබඳව සාකච්ඡා කිරීමට අසාංජ්ගේ නීතිඥවරිය ඔහු පසුගිය 10දා ඉක්වදෝර් තානාපති කාර්යාලයයට ගොස් ඔහු හමු වූවාය.

අසාංජ්ට අන්තර්ජාතික වශයෙන් අති විශාල පිළිගැනීමක් තිබේ. ඒ නිසා බොහෝ වැදගත් පුද්ගලයන් මෙන්ම විවිධ මානව හිමිකම් සංවිධානද, භාෂණයේ නිදහස වෙනුවෙන් පෙනී සිටින සංවිධානද, අමෙරිකාවේ දේශපාලන ප්‍රතිපත්තිවලට අනුගත නොවන විවිධ දේශපාලන පක්‍ෂද ඔහු වෙනුවෙන් පෙනී සිටිමින් ඔහුට නිදහස් ව සිය රටට යාමට අවස්ථාව ලබා දෙන ලෙස ඉල්ලා ඇතත් ඊට කිසිදු ප්‍රතිචාරයක් මෙතෙක් ලැබී නොමැත.

ඉක්වදෝර් තානාපති කාර්යාලය කුඩා ගොඩනැගිල්ලක් වන අතර වසර හයහමාරක් වැනි කාලයක් පුරා ව්‍යායාම් ආදියෙන් තොරව සිටින්නට සිදුවීම නිසා ඔහුගේ සෞඛ්‍යය පිරිහී ඇති බැවින් මුදවා ගැනීමට සියලු පියවර ගැනීම අත්‍යවශ්‍ය කාරණයකැයි බොහෝ දෙනා පෙන්වා දෙති.

[එස්. නන්දලාල්]

මාතෘකා