තැපෑල කියන්නේ ඉස්කෝලයක් නෙමෙයි

 ඡායාරූපය:

තැපෑල කියන්නේ ඉස්කෝලයක් නෙමෙයි

 - තැපැල්පති රෝහණ අබේරත්න

පවතින තැපැල් වර්ජනය සහ තැපැල් සේවයේ පවතින ගැටලු සම්බන්ධයෙන් තැපැල්පති ඩී. එල්. පී. රෝහණ අබේරත්න මහතා සමඟ රැස පුවත්පත සිදුකළ සංවාදයක්.

මේ වෙනකොට තැපැල් වර්ජනයේ තත්ත්වය කොහොමද ?

එක් වෘත්තිය සමිතියක් හැර සියලුම වෘත්තීය සමිති වර්ජනයට සහාය දක්වනවා. ඒත් මම කළින් සඳහන් කළ වෘත්තීය සමිතියත් ලියුමක් දුන්නා අද (12) රෑ 12 සිට වැඩ වර්ජනයට සම්බන්ධ වෙනවා කියලා. එහෙම වුණොත් සියලුම වෘත්තීය සමිති වැඩ වර්ජනයට සහාය දක්වනවා.

වර්ජනය කරන පිරිසගේ ඉල්ලීම් මොනවාද ?

මේ අය මේ වර්ජනය කරන්නේ බඳවා ගැනීමේ පටිපාටියේ අවුලක් තියෙනවා කියලා. මේ අවුල ගැන මීට මාස කිහිපයට පෙර කැබිනට් පත්‍රිකාවක් පවා ඉදිරිපත් කළා. එදා යෝජනා 5ක් ඉදිරිපත් වුණත් 4යි අනුමත වුණේ. එදා අනුමත වුණේ නැත්තේ මේ බඳවා ගැනීමේ පටිපාටියට අදාළ යෝජනාව. රාජ්‍ය සේවයට බඳවා ගැනීමේදී බලපාන 6/2006 චක්‍රලේඛනය අනුව, තැපැල් සේවයට බඳවා ගන්නා උප තැපැල් ස්ථානාධිපතිවරුන්ගේ බඳවා ගැනීමේ පටිපාටිය වෙනස් කරන්න කියලා තමයි මේ අය ඉල්ලන්නේ. අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය නැතුව ඒක කරන්න බැහැ. මේ යෝජනාව ගැන සරත් අමුණුගම ඇමතිතුමා සහ තැපැල් විෂය භාර ඇමතිතුමා විසින් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වීමක් කඳවූවා. ඒ රැස්වීමට සියලුම වෘත්තිය සමිති වගේම මමත් සහභාගී වුණා. එදා කිව්වා සති දෙකකින් විසඳුමක් දෙන්නම් කියලා.

තැපැල් විෂය භාර ඇමතිතුමා මේ වර්ජනයට විසඳුමක් දෙන්නේ නැද්ද ?

ඇමතිතුමා අදත් කතා කරලා මේ ගැන විස්තර ලබා ගත්තා. එතුමාටත් ඕන මේක ඉක්මනට අවසන් කරන්න. තැපැල් සේවය කියන්නේ ජනතාවගේ අත්‍යවශ්‍ය සේවාවක්. හැබැයි ඇමතිතුමාට මේකට තනිවම විසඳුම් දෙන්න බැහැ. ඒකට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබෙන්න ඕන.

වර්ජනය නිසා විශාල පාඩුවක් වෙනවා ඇති නේද ?

ඒ ගැන තාම ගණනය කිරීමක් කරන්න බැහැ. මොකද වර්ජනය පටන් ගත්තේ ඊයේ. මේ වර්ජනය ඉවර වුණ දවසක ඒක ගණනය කරන්න පුළුවන්.

උප තැපැල් ස්ථානාධිපතිවරුන් තමන්ගේ අතින් සල්ලි ගෙවාගෙන තැපැල් කාර්යාල පවත්වාගෙන යනවා කියලා චෝදනාවක් තිබෙනවා. ඒ කතාව ඇත්තද ?

උප තැපැල් ස්ථානාධිපතිවරුන් ලෙස සේවයට බඳවා ගන්නා අවස්ථාවේම තමන්ම තැපැල් කාර්යාලයක් පවත්වාගෙන යන්න ඕන කියන බැඳීමට ඒ අය යටත් වෙනවා. සමහර ස්ථානවල ගාස්තු වැඩියි කියලා අපිටත් වාර්තා වෙනවා. ඒ අය අදාළ තනතුරට පත්වීම ලබා ගන්නා අවස්ථාවේම ඒ බැඳීමට යටත් වෙනවා. දෙපාර්තුමේන්තුව ඉස්සර එක් තැපැල් කාර්යාලයක් පවත්වාගෙන යනවාට රුපියල් 750ක් දුන්නා. දැන් රුපියල් 1,500ක් දෙනවා. නගරබදට වෙන්න ගාණ ටිකක් වැඩි වෙනවා.

කාන්තා උප තැපැල් ස්ථානාධිපතිවරියන්ට ප්‍රසූත නිවාඩු නැහැ නේද ?

ඔව්.... මේ ගැන අපිට කරන්න දෙයක් නැහැ. අපිට මේ ගැන වාර්තා වුණාට පස්සේ අදාළ බලධාරීන්ට දැන්නුවා. මේ සඳහා නිශ්චිත රාජ්‍ය ප්‍රතිපත්තියක් එනතුරු අපිට කරන්න දෙයක් නැහැ. අපි නිර්දේශ ඉදිරිපත් කර අවසන්.

වර්ජනය කරන්නේ නැති උප තැපැල් කාර්යාල සහ නිලධාරීන්ට වර්ජනයට සම්බන්ධ පාර්ශ්වයන් විසින් බලපෑම් කරනවාලු. මේ ගැන දෙපාර්තුමේන්තුව පියවරක් ගන්නේ නැද්ද?

ලංකාව පුරා තැපැල් කාර්යාල 4,610ක් තියෙනවා. උප තැපැල් කාර්යාල 3,400ක් තිබෙනවා. මේ හැමෝම ගැන එකපාර හොයන්න බැහැ. තැපැල් දෙපාර්තුමේන්තුව කියන්නේ පාසැලක් නෙමෙයි. පාසැලක නම් විදුහල්පතිට කෝටුවක් අරන් දඬුවම් කරන්න පුළුවන්. ඒත් මෙතැන එහෙම කරන්න බැහැ. ඒ අය පැමිණිලි කළොත් මොකක් හරි ක්‍රියාමාර්ගයක් ගන්න පුළුවන්. ඒත් ඒවට සාක්ෂි ඕන.

තැපැල් සේවයේ මේ තරම් ගැටලු ඇයි?

තැපැල් සේවය කියන්නේ සංවෘත සේවයක්. ඒකට ගැලපෙන දේවල් වගේම නොගැලපෙන දේවල් තිබෙනවා. මම දකින ආකාරයට හරි ක්‍රමවේදයක් නොමැති වීම නිසා තමයි මේ ගැටලු ඇතිවෙලා තිබෙන්නේ.

තැපෑලෙන් විදුලි සංදේශ විෂය අයින් කරාට පස්සේ ලාභය අඩු වුණා නේද ?

ඒ කාලේ විදුලි සංදේශ තිබුණ නිසා සුළු ලාභයක් ලැබුණා. හැබැයි දැන් එහෙම කියලා වෙනසක් නැහැ. දැනුත් ඒ වගේම ලාභ ලබනවා. හැබැයි අපි අමතක කරන්න නරකයි, තැපැල් සේවය කියන්නේ ජනතාවගේ පහසුව වෙනුවෙන් ඇතිකළ දෙයක් කියලා. ඒක ලාභ ලබන ආයතනයක් නෙමෙයි. ජනතාවට සේවාවන් සපයන ආයතනයක් විතරයි. වර්ෂයකට බිලියන 19ක් ජනතාවේ සේවය වෙනුවෙන් තැපැල් දෙපාර්තුමේන්තුව වියදම් කරනවා. ඒ නිසා අපිට ලාභයක් ගැන හිතන්න බැහැ. ජනතාවගේ යහපත් ගැනයි හිතන්න වෙන්නේ.

මාතෘකා

 
 
 
රටේ අපරාධ රැල්ල අඩු කිරීමට කළ යුත්තේ ?