ලස්සන නිළිය සහ ළිඳුල සභාපති

 ඡායාරූපය:

ලස්සන නිළිය සහ ළිඳුල සභාපති

ජනතාව සහ ලස්සන නිළිය

ඇමරිකාවෙ බාර් එකක එහෙ ජනාධිපතියි, රාජ්‍ය ලේකමුයි දෙන්නා සෙට් වෙලා හිටියා. බාර් එකට බොන්න ආපු පුරවැසියෙක් මේ දෙන්නව දැකලා හොල්මන් වුණා. හොල්මන් වුණු පුරවැසියා දැකලා බාර් අයිතිකාරයා කිව්වා, ‘දෙන්නත් එක්ක සෑහෙන වෙලාවක ඉඳන් බර කතාවක්’ කියලා.

පුරවැසියා දෙන්නා ළඟට කිට්ටු වුණා.

‘මොන තරම් ගෞරවයක්ද අපට ඔබතුමන්ලව මෙහෙම දැකීමත්. හැබෑටම මොනවද මෙතැන ඉඳන් ඔය තරම් රහසින් කතා කරන්නෙ?’

‘අපි මේ තුන්වැනි ලෝක යුද්ෙද ප්ලෑන් කරනවා.’ ජනාධිපති එකපාරටම කිව්වා.

‘හැබෑට... දැන් ඉතින් මොකක්ද කරන්න යන්නෙ?’ පුරවැසියා ඇහුවා.

‘මුලින්ම අපි සාමාන්‍ය මිනිස්සු මිලියන එකසිය හතළිහකුයි, සල්ලි වගයක් වංචා කරපු එකම එක ලස්සන නිළියෙකුයි මරන්න යන්නෙ.’ ජනාධිපති සැහැල්ලුවෙන් කිව්වා.

‘හත්දෙයියනේ, ලස්සන නිළියෙක් මරන්නෙ මොකටද?’ පුරවැසියා කනගාටුවෙන් ඇහුවා.

එකපාරටම ජනාධිපති, රාජ්‍ය ලේකම් පැත්තට හැරිලා මෙහෙම කිව්වා.

‘දැක්කද ලේකම්තුමා... මං කිව්වා නේද කවුරුත් අර සාමාන්‍ය මිනිස්සු ගැන වදවෙන්නෙ නෑ කියලා.’

(www.boondi.lk)

ජනතාව සහ සභාපති

නුවරඑළිය, ළිඳුල නගර සභාවේ සභාපති අනගිපුර අශෝක සේපාල මහතා ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. ඒ බාල වයස්කාර දැරියක පැහැරගෙන ගොස් මුදලට විකිණීමේ චෝදනාවටය. 2017 වසරේ ජුනි මාසයේ සිදු වූ මේ සිදුවීමට අදාළ පරීක්ෂණ සිදු කෙරෙන්නේ 2018 වසරේ ජුනි මාසයේය. ඒ කියන්නේ හරියටම අවුරුද්දකට පසුවය.

නුවරඑළිය පොලිසිය මඟින් සිදුකරන විමර්ශනවලදී හෙළි වී ඇත්තේ තවත් දරුවන් දෙදෙනෙකු මේ ප්‍රදේශයේ අතුරුදන් වී ඇති බවත්, එම සිදුවීම්වලට නගර සභාවේ සභාපති ඇතුළු සැකකරුවන්ගේ යම් සම්බන්ධයක් ඇත්දැයි සැක මතුවන බවත්ය. එම කරුණු පොලිසිය මඟින් නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණයට පවසා තිබිණි. කරුණු-කාරණා මෙසේ වන හෙයින් අගතියට පත් දරුවාගේ සහ මවගේ පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටින නීතිඥ එස්. මෝහන් රාජන් මහතා අධිකරණයෙන් ඉල්ලා තිබුණේ මේ සිදුවීමට අදාළ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවරන ලෙසය.

ඉහත සඳහන් කළ ඇමරිකාවේ බාර් එකේ කතාවත්, මේ කතාවත් සම්බන්ධ වන තැන ගැන ඊළඟට ලිවිය යුතුය.

ඉන්දියාවේ ඇති පංචායත් සභා ක්‍රමය ගැන ඔබ අසා ඇති. එයින් කෙරෙන්නේ ගමේ ප්‍රශ්න ගමේ ප්‍රභූවරයකු හෝ කණ්ඩායමක් මඟින් විසඳීමය. ලිඳුල ප්‍රදේශයේද එවැනි ක්‍රමයක් ක්‍රියාත්මක වී ඇත. නගර සභාවේ සභාපතිවරයා එහි ප්‍රධානියා මෙන්ම එකම සාමාජිකයා වී තිබේ. ලිඳුල තේ වතුවල ජීවත් වන ජනතාවගේ ප්‍රශ්න ඔහු ගෙදරදී විසඳුවේය. ගෙදර ඇතුළේ ප්‍රශ්නවලටද ඔහු මැදිහත් විය. බිරිඳට නැවත පහර නොදෙන බවටත්, බීමත්ව පැමිණ රණ්ඩු නොකරන බවටත් සභාපතිවරයා ඉදිරියේ ස්වාමිපුරුෂයා පොරොන්දු විය යුතුය. ඉන්පසු ඒ පොරොන්දුව කඩන්නේද, යන්න සම්බන්ධයෙන්ද සභාපතිවරයාගේ පාර්ශ්වය අවධානයෙන් සිටී. ඒ එක උදාහරණයක් පමණි.

වතු නිවාස අතර ප්‍රශ්න, සොරකම් විසඳන්නේද සභාපතිවරයාය. ජනතාවද පොලිසි යන්නේ නැත. සභාපතිවරයාගේ ඒජන්තයකු මඟින් වෙලාවක් වෙන්කරගෙන සභාපතිවරයා මුණ ගැසේ. ඉන්පසු නඩුව ඇසේ.

ජනතාව කියන්නේ පොලිසි යන්නට වත්තෙන් නිවාඩුවක් ගන්න එක අපරාදේ බවය. සභාපතිවරයා ලස්සන නිළිය වන්නේ එතැනදීය. පසුගිය ආණ්ඩුව කාලයේද ඔහු ළිඳුල නගර සභාවේ සභාපතිවරයාය. ඔහුට එරෙහිව මූල්‍ය වංචා චෝදනා රැසක් ඇත. කුඩා විදුලි බලාගාර ඉදිකිරීමට සහාය දීම සඳහා අල්ලස් ගැනීමේ චෝදනාද ඇත. ඒ සඳහා පරිසර තක්සේරු වාර්තා හොරට හදන්නට මුදල් ගත් බවටද ඔහුට චෝදනා ඇත. ඒත් ඒවා ජනතාවට අදාළ නැත. ඒ නිසාය, බාල වයස්කාර දැරියක පැහැරගෙන ගොස් මුදලට විකිණීමේ චෝදනා එල්ල වී තිබියදීත් තවදුරටත් ජනතාව සභාපතිවරයා වෙනුවෙන් පෙළගැසෙන්නේ. ඒජන්තලාගේ බලකිරීමට හෝ අධිකරණය අසලට රැස්වන්නේ?

සභාපති සහ පොලිසිය

නුවරඑළිය පොලිසිය මඟින් මෙන්ම අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරයා විසින්ද මේ සභාපති සහ පොලිසිය අතර තිබූ සම්බන්ධතා පිළිබඳව අධිකරණයට කරුණු වාර්තා කර තිබේ. එහි එක් තැනෙක මෙසේ සඳහන්ය.

‘මේ සිද්ධිය සම්බන්ධයෙන් කලින් ආගරපතන පොලිසිය ඒ.ආර්. 1291/17 යටතේ කරුණු ඉදිරිපත් කළා. මේ ගැන ගරු අධිකරණයේ අවධානය යොමුකරන්න කැමතියි. අවුරුද්දක කාලයක් මේ සම්බන්ධයෙන් නිසි විමර්ශනයක් සිදුකර නෑ. ඒ අනුව අදාළ නිලධාරීන් නීත්‍යනුකූලව කටයුතු කරලා නෑ. ඒ පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු කළ යුතුයි. ........................ ඒ වගේම මේ ජාවාරම තවත් කරලා තියෙනවද. තවත් දරුවන් මේ ජාවාරමට යොදාගෙන තියෙනවද කියලා විමර්ශන කළ යුතුයි. ඒක නිසා මේ සැකකරුවන්ගේ බැංකු ගිණුම්, ජංගම දුරකතන විස්තර ලබාගත යුතුයි. .........’

සභාපතිවරයා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණද, එළියේ ඒජන්තලා මෙන්ම පොලිසියේ ඇතැම් නිලධාරීන්ද මේ වන විට නඩුවේ සාක්ෂිකරුවන්ට තර්ජනය කිරීමට පටන්ගෙන ඇත. මේ සම්බන්දයෙන්ද නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර ඇත.

‘සාක්ෂිකරුවන් සහ වින්දිතයන් ආරක්ෂා කිරීමේ පනත යටතේ සාක්ෂිකරුවන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් කටයුතු කළ යුතුයි. දැනට මේ වින්දිත තැනැත්තියට සහ සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමේ සහ තර්ජනය කිරීමේ උත්සාහයන් තිබෙන බවට තොරතුරු ලැබිලා තියෙනවා.’

මේ කියන කරුණු අතිශයින් බරපතළය. නුවරඑළිය දිස්ත්‍රික්කයේ නගර සභාවක සභාපතිවරයකු මෙතරම් බලයක් සහිතව සිටීම මෙන්ම මෙවැනි ජාවාරමක් කරන බවට සැකකරන්නෙකු නැවතත් එම පළාත් පාලන ආයතනයේම සභාපති වීම අර මුලින් කී ලස්සන නිළියගේ කතාවට කොයිතරම් දුරට ගැළපේද?

ජාවාරම සහ සභාපති

ආගරපතන, පෝර්ට්මෝර් වත්තේ පදිංචි පස් හැවිරිදි දැරියක පැහැරගෙන ගොස් මුදලට අලෙවි කිරීම සම්බන්ධයෙන් දැරියගේ මව විසින් පොලිසියට පැමිණිලි කර තිබිණි. ඒ අනුව සභාපතිවරයා ඇතුළු සැකකරුවන් අත්අඩංගුවට ගැනිණි. මේ සම්බන්ධයෙන් වන පුවත පසුගිය 05 වැනිදා මාධ්‍යවල මෙසේ පළ විය.

‘අතුරුදන් බව කී දැරිය සැකකරුවන්ගේ අනුදැනුම මත පිටස්තර යුවළකට හදාවඩා ගැනීමට ලබා දී ඇති බව පොලිසිය මඟින් හෙළිදරව් කරගෙන ඇත. පැහැරගැනීම සහ මිනිස් ජාවාරම යන චෝදනා සැකකරුවන්ට අදාළ වන අතර, ඉන් එක් සැකකරුවකුට ස්ත්‍රී දූෂණය යටතේද චෝදනා ඉදිරිපත් කෙරිණි.’

ඒ කියන්නේ වසරකට පසු හෝ සිද්ධිය එළියට ආවේය. තවත් දරුවන් දෙදෙනෙකුගේ අතුරුදන්වීම් සම්බන්ධයෙන්ද ඉදිරියේදී ඇතැම් විට සැකකරුවන්ට චෝදනා එල්ල වනු ඇත. ජනතාවගේ ප්‍රශ්න විසඳන මුවාවෙන් සභාපතිවරයා ඇතුළු ඒජන්තවරුන් ජනතාවගේ විනිසුරුවරුන් වී ඇත. ඒ නොනිල විනිසුරු බලයෙන් මේ ජාවාරම කර ඇත. අම්මලාට ආකර්ෂණීය පොරොන්දු දී විදෙස්ගත කරවීම, තාත්තලාට කොළඹ රස්සා සොයා දීම ඔවුන් මුලින් කර ඇති දේය. ළමයින් අල්ලාගන්නේ ඉන් පසුවය.

‘මේ ළමයි කීදෙනෙක් පිටරට විකුණලාද කියලා දන්නේ නෑ. ළමයි ළඟ තබාගෙන සිටි තැනැත්තන් සහ ළමයි රැගෙන ගිය පිරිස් සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් කළ යුතුයි. අවුරුද්දක කාලයක් වරද සිදු කරලා. ප්‍රකාශයක්වත් ලබාගෙන නෑ. විමර්ශන පටන්ගත්තු ගමන් අවුරුද්දක් තිස්සේ හිටපු නැති ළමයා එකපාරටම පොලිසියට එනවා. දැනටමත් පියා පදිංචි පෝර්ට්මෝර් වත්තේ උද්ඝෝෂණ ආරම්භ කරලා. මේවා පිටිපස්සෙ ඉන්නෙ දේශපාලනඥයන්. ඔවුන් සභාපතිවරයා නිර්දෝෂී කරන්න උත්සාහ කරනවා. මේ උද්ඝෝෂණ මඟින් ප්‍රදේශයේ සාමය කඩවීමට ඉඩ තිබෙනවා. වැදගත් ප්‍රශ්නයක් තියෙනවා, මේ හරහා ජනතාව වැරදි කරන්න බය නැති තත්ත්වයක් ඇති වෙනවා. වැරදි කළත් බේරෙන්න පුළුවන් වගේ අදහසක් ජනතාව තුළ ඇති වෙනවා.’

අධිකරණය ඉදිරියේ නුවරඑළිය පොලිසිය පාර්ශ්වයෙන් සහ අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරයා පවසන මේ කරුණු අතිශයින් බරපතළය.

සභාපති සහ වරද

‘මේ සිද්ධියට පළමු සැකකරු වන සභාපතිවරයාගේ හෝ දෙවැනි සැකකරු වන නාගරික මන්ත්‍රීවරයාගේ කිසිදු සම්බන්ධයක් නෑ. ............... පොලිසියට අවශ්‍ය ආකාරයට මෙතැනදි ප්‍රකාශ සටහන් කරගෙන තියෙනවා. පළමු වැනි විත්තිකරුගේ කටඋත්තරය නෙමෙයි මේ සටහන් වෙලා තියෙන්නෙ. මේ පැමිණිලි පාර්ශ්වයට අවශ්‍ය වෙලා තියෙන්නෙ සභාපතිවරයා මේ පුටුවෙන් ඉවත් කරන්න. ඒකට තමයි මේ චෝදනා එල්ල කරන්නෙ. ................ මෙතැන තියෙන්නෙ දරුවාගේ ප්‍රශ්නයක් නෙමෙයි. ඒ දරුවා කොහෙ වුණත් හොඳට බලාගෙන තියෙනවා. දරුවා යන්නෙ ඉංග්‍රීසි පාසලකට.’

සභාපතිවරයා පුටුවෙන් ඉවත් කිරීමට මේ තරම් බරපතළ චෝදනාවක් එල්ල කිරීම ගැන ඔහු වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරයා අධිකරණයට කරුණු දක්වා ඇත. එසේම විත්තිකරුගෙන් බලෙන් ප්‍රකාශ ලබාගැනීමක් ගැනද කියයි. එසේම දරුවා දැන් හොඳට සිටින නිසා ප්‍රශ්නයක් නැති බවත් කියයි. එසේ දරුවන් මව්පියන්ගෙන් ඈත් කිරීමට සභාපතිවරයාට ලබා දී ඇති බලය කුමක්ද? එසේ අවශ්‍ය නම් අධිකරණය හරහා එය කළ හැකිය. සද්භාවයකින් එය කළේ නම් මුදල් ගනුදෙනු සිදු වී ඇත්තේ ඇයි?

ලස්සන නිළිය බේරීම

ජනතාව අතරින් සැලකිය යුතු පිරිසක් ඉන්නේ ඉහත කතාවේ ලස්සන නිළිය, මේ කතාවේ සභාපතිවරයා නිවැරදියි වගේ මතයකය. මේ දරුවාට අම්මා - තාත්තා සැලකුවේ නැති නිසා දරුවා දුන් එක සාධාරණයි යනුවෙන් මතයක් සමාජගත කරමින් සිටින්නේ සභාපතිවරයාගේ ඒජන්තවරුන්ය. දෙවැනි සැකකරු, එනම් අදාළ නාගරික මන්ත්‍රීවරයා මීට ටික දවසකට පෙර ලක්ෂ තිහකට භාවිත කළ ජීප් රථයක් මිලට ගෙන ඇත. සභාපතිවරයාද දිගින් දිගටම මුදල් වියදම් කර ඇත. නගර සභාවක සභාපතිවරයකුට සහ මන්ත්‍රීවරයකුට ලැබෙන්නේ රුපියල් තිස් දහසකට අඩු වැටුපකි. ඔවුන් ජනතා නියෝජිතයන් නොව ව්‍යාපාරිකයන්ය.

මේ ‘මන්ත්‍රී ව්‍යාපාරිකයන්’ වන පළමුවැන්නා නොවේ. ඒ කුලකයේ සිටින පොඩි චරිතයක් විතරය. ලොකු චරිත හැමදාම සතුටින් සිටියේය. ආගරපතන පොලිසිය මෙන්ම පොලිසි රැසක් ඔවුන්ට රැකවරණය දුන්නේය. තවදුරටත් රැකවරණය දෙමින් සිටී. බහුතර ජනතාව ‘ලස්සන නිළිය’ වෙනුවෙන් පෙනී සිටිද්දී, මිලියන එකසිය හතළිහක ජනතාව වෙනුවෙන් පෙනී සිටින මිනිසුන් කිහිපදෙනාට රැකවරණය සැපයීමේ වගකීමක් සමාජයට ඇත. හැමතැනටම ඒක අදාළය.

[ශාලික විමලසේන]

මාතෘකා

 
 
 
රටේ අපරාධ රැල්ල අඩු කිරීමට කළ යුත්තේ ?