නොදන්නා අයටත් ජීවත් වෙන්න ජීවිතය දෙන මිනිස්සු | ඇස පාදන රැස


නොදන්නා අයටත් ජීවත් වෙන්න ජීවිතය දෙන මිනිස්සු

 ඡායාරූපය:

නොදන්නා අයටත් ජීවත් වෙන්න ජීවිතය දෙන මිනිස්සු

තමන්ගේ රාජකාරි වැඩක් ඉටුකර ගන්න පෝළිමේ ඉන්න ඔබ කොතරම් මැලිවෙනවා ද? බැංකුවක හෝ රජයේ කාර්යාලයක තමන්ගේ හෝ තම පවුලේ කෙනෙක්ගේ වැඩක් කරගන්න ගියාම කැමැත්තෙන් පෝලිමේ ඉන්න කවුරුවත් කැමති ද? කොහොම හරි දන්න කවුරු හරි මාර්ගයෙන් වැඩේ ඉක්මනට කරගන්න ක්‍රමයක් නේ අපි හැමෝම බලන්නේ.

එහෙම තත්ත්වයක් යටතේ තමන්ෙග් දෙයක් නොදන්නම කෙනෙකුට නොමිලේම දන් දෙන්න සැදී පැහැදී බලාගෙන ඉන්න….. සමහර වෙලාවට පෝළිම්වල බලාගෙන ඉන්න…ඒ වෙනුවෙන් නිවාඩු දාගෙන රෝහලට එන්න කැමැත්තෙන් ඉන්න…. එලෙස ඉදිරිපත් වන මිනිසුන්ට කෑම බීම සපයා සංග්‍රහ කරන්න උද්යෝගයෙන් කටයුතු කරන මිනිස්සු කොට්ඨාසයක් මේ සමාජයේ ඉන්නවා කියලා ඔබ දන්නවා ද?

ඒ වගේ නිහතමානී ආත්ම පරිත්‍යාගයෙන් කටයුතු කරන නිහඬ මිනිස්සු කොට්ඨාසයක් මේ ලෝකයේ තවමත් සිටීම අපට විශ්වය උපදවන කරුණක්. රුධිරය අපේ සිරුර පුරා ප්‍රාණය රඳවන ජීව දියරය කිව්වොත් නිවැරදියි. සිරුරේ සෛලවලට අවශ්‍ය ඔක්සිජන් ආදියත්, ශරීරයේ වර්ධනයට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ ආදියත්, සිරුර පුරා සංක්‍රමණය වන්නේ එමඟිනුයි. එපමණක් නොව විවිධ රෝගකාරකයන්ට එරෙහිව, ප්‍රතිශක්තිය උපදවා ගැනීම පිණිසත්, රුධිරයෙන් විශාල දායකත්වයක් ලබාෙදයි. කොටින්ම කිව්වොත් ජීවයේ පැවැත්මට රුධිරය අති මහත් කාර්යභාරයක් ඉටු කරනු ලබයි. නොයෙක් හේතු නිසා සිරුරේ රුධිර ප්‍රමාණය අනපේක්ෂිත ලෙස පහළ බසින අවස්ථා තිබෙන අතර එබඳු අවස්ථාවලදී ජීවිත ප්‍රබල ලෙස අනතුරට ලක් වේ. හදිසි අනතුරු ආදියේ සිදුවන අධික රුධිර වහනය,ඩෙංගු වැනි රෝගවල දී සිදු වන රුධිර පට්ටිකාවල ක්ෂණික පහළ බැසීම සහ ලියුකේමියා වැනි තත්ත්වවලදී සිදුවන රුධිර සෛලවල පහළ යෑම මේ සඳහා උදාහරණ කිහිපයක් පමණයි. මෙබඳු අවස්ථාවල දී වහාම රුධිරය ශරීර ගත කිරීම සිදු නොකළ හොත් බොහෝ විට රෝගියා මිය යෑම සිදුවේ. මේ නිසා රුධිර පාරවිලයනය හෙවත් බාහිරින් රුධිරය ශරීරගත කිරීම ජීවිත සුරැකීමේදී අද්විතීය මෙහෙයක් ඉටු කරනු ලබයි.

තමන්ගේ උපන්දිනය වෙනුවෙන්, මියගිය නෑ හිතවතුන්වෙනුවෙන් ලේ දන්දීමේ කඳවුරු සංවිධානය කරන ඒ වෙනුවෙන්ම ඇප කැප වී කෙදිනකවත් නොදැකපු නොදන්න ජීවිතයකට යළි පණ පොවන්න වෙහෙසෙන මිනිස්සු මේ ලෝකයේ සිටිති. මේ අය ජාතිය, ආගම, කුලය යන පටුසීමා අභිබවා ගිය උතුම් මිනිස් කොටසකි. තවත් කෙනෙකුගේ දුකේදී පිහිට වෙන එක තමන්ගේ යුතුකමක් කියන පින්වන්ත සිතුවිල්ල පෙරදැරි කරගත් පිරිසකි.

නිහඬ විප්ලවය

සත්‍ය වශයෙන්ම රුධිර පරිත්‍යාගය කියන්නේ ජීවන හුස්ම බෙදාගැනීමක්…. පිනක් ගැනවත් තණ්හාවක් නැතිව කරනු ලබන අත්හැරීමක්…. තමන්ට යමක් ලැබෙන නිසා නොව අවශ්‍ය මොහොතේදී නිවැරදි දේ කිරීමට ගන්න සවිඤ්ඤානික තීරණයක්…. මිනිසුන් බෙදා වෙන්කරන ජාතිය, ආගම හා කුලය කියන පටුසීමාවලට එරෙහි නිහඬ විප්ලවයක්…..

අනෙකෙකුගේ ජීවිතයක් බේරා ගැනීම උදෙසා ලේ දන් දීම පුදුමාකාර මනුස්සකමකි. සමහර විට ජීවිතයේ විසි තිස් වාරයක් ලේ දන් දුන් මිනිසුන් හමුවේ.උපාලි ගමගේ යනු ජීවිත කාලය තුළ, 201 වාරයක්‌ ලේ දන්දුන් උතුම් මිනිසෙකි. හෙතෙම, 147 වාරයක්‌ රුධිර පට්‌ටිකාද දන් දී තිබේ.

සරණතිස්සගම ජයරාජාරාමයේ දරණාගම සුමනරතන හිමියෝ,ලේ බැංකුවට ලේ පයින්ට් දහස් ගාණක් සොයා දුන් හිමි නමකි. උන් වහන්සේ 121 වතාවක් ලේ සහ පට්ටිකා දන් දී තිබේ.

මේ අන්දමින් ගත් කල ලේ පරිත්‍යාග කළ ලක්ෂ ගණනක් මෙරට සිටී. එවන් උතුම් වූ මිනිසුන් අගයනු වස් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් විශේෂිත දිනයක් “ලෝක රුධිර පරිත්‍යාගශීලීන්ගේ දිනය” ලෙස නම් කර තිබේ. මේ දිනය යෙදී තිබෙන්නේ ABO රුධිර ඝණවර්ග ගැන ලෝකයට හඳුන්වා දී ඒ සඳහා නොබෙල් ත්‍යාගයත් හිමි කරගත් ඔස්ට්‍රියානු ජාතික විද්‍යාඥයකු වන කා(ර්)ල් ලැන්ඩස්ටීන්ගේ ජන්ම දිනය වන ජුනි 14වන දිනටයි. මේ උත්සවය ගෝලීය වශයෙන් සෑම රටකම පාහේ වාර්ෂිකව ලෝක සෞඛ්‍ය සංවිධානයේ මගපෙන්වීම යටතේ සමරනු ලබයි. ශ්‍රී ලංකාවේ වාර්ෂිකව රුධිර පරිත්‍යාගශීලීන් 450,000ක් පමණ වාර්තා වේ. එමෙන්ම රුධිර පාරවිලයන සේවය තුළ ලේ දන්දීම සදහා ලියාපදිංචි වූ පුද්ගලයින් 600,000ක් පමණ සිටින බව වාර්තාවලින් හෙළිවන අතර එක් රුධිර පරිත්‍යාගශීලි පුද්ගලයකු ලබා දෙන ලේ පයින්ට් එකකින් අකාලයේ මියැදෙන ජීවිත තුනක් බේරා ගත හැකිය. සෑම විනාඩි දෙකකටම වරක් ලේ පයිනට් එකක අවශ්‍යතාවක් පවතී. මෙම රුධිරය බොහෝ සෙයින් යොමු වනුයේ හදිසි අනතුරු හා ආපදා තත්ත්වයන් මතය. බයිපාස් සැත්කම් හා වෙනත් අධිතාක්ෂණික හෘද ශෛල්‍යකර්ම, වකුගඩු බද්ධ කිරීම, අක්මා බද්ධ කිරීම සහ වෙනත් අවයව බද්ධ කිරීම් බොහෝ සෙයින් ඉහළ ගොස් ඇත. මීට පෙර නොවූ ආකාරයට සමහර රෝගී තත්වයන් වලට රුධිරය හෝ එහි සංඝටක භාවිතයට ගනු ලැබේ.

වෛද්‍ය විද්‍යාවේ ශෛල්‍ය රෝග, කායික රෝග, ළමා රෝග හා මාතෘ හා දරු ප්‍රසූතියේදී ද ලේ අවශ්‍ය වේ. මේ ආකාරයට ශ්‍රී ලංකාවේ රුධිර පරිත්‍යාගශීලීන් නොමිලේ ලබාදෙන මෙම රුධිරය නිසා රෝගීන්ට සිදුවන මෙහෙවර මිල කළ නොහැකිය. එම නිසා රුධිරය දන් දෙන පුද්ගලයින්ගෙන් ඉටුවන පුණ්‍යකර්මය අතිමහත්ය. ශ්‍රී ලංකාව පුරා සියලු නගරයකම පාහේ පවතින ප්‍රධාන රෝහල්වලට අනුබද්ධිතව ලේ බැංකු පිහිටා තිබේ. එවැනි ලේ බැංකු 107ක් ලංකාව පුරා දැනට ලියාපදිංචිව ඇත. පසුගිය කාල වකවානුවේදී ශ්‍රී ලංකාව දකුණු ආසියාතික කලාපයේ උසස්තම ගුණාත්මකභාවයකින් හා සුරක්ෂිතතාවයකින් යුත් රුධිරය, රුධිර පරිත්‍යාගශීලීන්ගෙන් ලබාගෙන රෝගීන්ට ලබාදෙන බවට ජාත්‍යන්තර සම්මාන පවා ලබා තිබේ. මේ වසර සඳහා තේමාව වන්නේ “ලේ බිඳෙන් ජීවිත සුරකිමු - අන් ජීවිත බේරා ගැනීම සඳහා රුධිර පරිත්‍යාග කරන්න” යන්නයි. මෙමගින් මූලික මානුෂීය සාරධර්ම වන පරාර්ථකාමය, ගෞරවය, සංවේදනය හා කරුණාවයන අදහස් පෙරදැරිව ස්වේච්ඡාවෙන්ම නොමිලයේ පරිත්‍යාග කරනු ලබන රුධිරයේ ඇති වටිනාකම සමාජීය සහයෝගීතාවයට ඉවහල් වන අයුරු අවධාරණය කෙරේ.

‍සෑම වසරකම ජුනි 14වන දිනයට යෙදෙන මෙම ලෝක රුධිර පරිත්‍යාගශීලීන්ගේ දිනය ශ්‍රී ලංකා රුධිර පාරවිලයන සේවාව අති උත්කර්ෂවත් ලෙස සමරනු ලබයි. ස්වේච්ජාවෙන් තම රුධිරය පරිත්‍යාග කරන රුධිර පරිත්‍යාගශීලීන් හට අප කෘතවේදීත්වය දැක්වීම සඳහා මේ සැමරුම පවත්වන අතර රුධිරය හා රුධිර නිපැයුම්වල සුරක්ෂභාවය ගුණාත්මකභාවය, සහ අවශ්‍යතාවය අනුව රුධිරය හා රුධිර නිපැයුම් සැපයීම සඳහා විධිමත් රුධිර පරිත්‍යාගයන් අවශ්‍ය බවට ජනතාව දැනුවත් කිරීම කර මෙම උත්සවයේ අරමුණ වේ.

රුධිරය හා රුධිර කොටස්, පාරවිලයනය සෑම වසරකම ජීවිත මිලියන ගණනක් බේරාගැනීමට උපකාරී වේ. රුධිරය ශරීරගත කිරීම, රුධිර සංසරණ රෝග හා ඇතැම් පිළිකාවලින් පෙළෙන රෝගීන්ගේ ආයු අපේක්ෂාව දිගු කෙරේ. හදිසි අවස්ථා තත්වයන් වලදී ද ජීවිත අවදානම අඩු කරගැනීම සඳහා රුධිර පාරවිලයනය මගින් ලැබෙන්නේ විශාල රුකුලකි. රුධිරය සඳහා කෘත්‍රිම විකල්පයක් නොමැති බැවින් රුධිරය පරිත්‍යාග කිරීම සුවිශේෂ කාර්යය භාරයකි. රුධිර පරිත්‍යාගශීලීන් නිහඬ විරුවන් ලෙස පිළිගත් හේතුව මෙයයි. සාරවත්, සුරක්ෂිත රුධිරය හා රුධිර කොටස් සපයන රුධිර සේවාවක් පැවතීම ඵලදායී සෞඛ්‍ය සේවා පද්ධතියක ප්‍රධාන අංගයකි. යමෙක් රුධිරය පරිත්‍යාග කිරීමට යොමු වූ මොහොතේ සිට ඒ රුධිරය කොටස්වලට වෙන්කර එක් රෝගියකුට නොව රෝගීන් කිහිපදෙනෙකුගේම සිරුරට ඇතුළුවන මොහොත දක්වා ගමනට ජාතික රුධිර පාරවිලන සේවයට අයත් නිලධාරීහු විශාල ප්‍රමාණයක් ඔවුන්ගේ ශ්‍රම දායකත්වය ලබා ෙදති.

ප්‍රමාණවත් රුධිර සැපයුමක් ලබා ගත හැක්කේ ලාභ අපේක්ෂාවලින් තොරව ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වන රුධිර දායකයින් විසින් සිදුකරනු ලබන පරිත්‍යාග මඟින් පමණි. කෙසේ වෙතත්, සුරක්ෂිත, ගුණාත්මක, අඛණ්ඩ රුධිර සැපයුමක් පවත්වාගැනීම බොහෝ රටවලට අභියෝගයක් වී ඇත. දිවයින පුරා රෝහල්වල පිහිටා ඇති ලේ බැංකු සහ පළාත් වශයෙන් පිහිටා ඇති පොකුරු රුධිර මධ්‍යස්ථානත්, නාරහේන්පිට පිහිටා ඇති ජාතික රුධිර මධ්‍යස්ථානයත් එක්ව මෙම උත්සව මාලාව සංවිධානය කරනු ලබන අතර මෙහිදී මුළු දිවයින පුරා විසිරී සිටින රුධිර දායකයින්, රුධිර පට්ටිකා දායකයින්, රුධිර ප්‍රතික්‍රියාකාරක සෑදීමට ගන්නා රුධිර ඝණ පරිත්‍යාගශීලීන් සහ රුධිර පරිත්‍යාග කිරීමේ කඳවුරු සංවිධායකයින් යන මූලික කාණ්ඩ යටතේ ඇගයීමට ලක් කරනු ලබයි. මේ ඇගයීම කිසිම දිනක මූල්‍යමය වටිනාකමත් ඇති ත්‍යාගයක් නොවේ. ඊට මූලික හේතුව වන්නේ රුධිර පරිත්‍යාගය මුදලින් මැනිය හැකි දෙයක් නොවීමයි. ඒ වගේම මූල්‍යමය වටිනාකමක් බලාපොරොත්තුවෙන් කරන රුධිර පරිත්‍යාගය කිසිම දිනක හොඳ රුධිර පරිත්‍යාගයක් නොවන බවට ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්ණය කර තිබේ.

2014 වසරේදී ලෝක රුධිර පරිත්‍යාගශීලීන්ගේ දිනයේ අන්තර්ජාතික උත්සවයට සත්කාරකරට වුණේ ශ්‍රී ලංකාවයි. මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකා රුධිර පාරවිලයන සේවාව සියයට සියයක්ම ලාභ අපේක්ෂාවලින් තොරව ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වන රුධිර දායකයින් විසින් සිදුකරනු ලබන පරිත්‍යාගයෙන් පමණක්ම සම්පාදනය වූ රුධිර සේවාවක් බවට ප්‍රකාශයටද පත්කරනු ලැබ තිබේ.

අරමුණ

මෙවර අන්තර්ජාතික උත්සවය ග්‍රීසියේ ඇතෑන්ස් නගරයේදී පැවැත්වීමට නියමිතව ඇති අතර ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ප්‍රකාශයට පත් කර ඇති මෙම වසරේ අරමුණු වන්නේ රුධිරය පරිත්‍යාගශීලීන් හට ස්තූතිය පුද කිරිම සහ මෙතෙක් පරිත්‍යාග නොකළ අයව දිරිමත් කිරීම, රුධිරය පරිත්‍යාග කිරීෙමන් සමාජයේ සියලු දෙනාටම යහපතක් වන අතර, ප්‍රමාණවත් සැපයුමක් ලබා ගත හැක්කේ ස්වේච්ඡා, නොමිලයේ රුධිර පරිත්‍යාගය කරන දායකයින් විසින් නිතිපතා කරනු ලබන පරිත්‍යාගයෙන් පමණක් බව අවධාරණය කිරීම, ප්‍රමාණවත් රුධිර සැපයුමක් පවත්වාගෙන යෑම සඳහා, වසර පුරා රුධිරය පරිත්‍යාග කිරීම අවශ්‍ය බව අවධාරණය කිරීම, රුධිර පරිත්‍යාගය සෞඛ්‍ය පද්ධතිය තුළ ප්‍රජා සහභාගීත්වය පෙන්නුම් කිරීමක් ලෙසත් ප්‍රමාණවත්, ආරක්ෂිත සහ තිරසාර රුධිර සැපයුම් පවත්වා ගැනීම සඳහා එහි ඇති වැදගත්කමත් පෙන්වා දීම, ප්‍රජා සහයෝගිතාව සහ සමාජ ඒකාබද්ධතාවය වැඩි දියුණු කිරීම සඳහා රුධිර පරිත්‍යාගශීලීන්ගේ ප්‍රජා වටිනාකම් ප්‍රවර්ධනය කිරීම සහ එකිනෙකා කෙරෙහි සැලකිලිමත් වන කාරුණික සමාජයක් ගොඩනැගීම සඳහා ජනතාව දිරිමත් කිරීම, අන්තර්ජාතික සහයෝගිතාව ප්‍රවර්ධනය කිරීම හා ස්වේච්ඡාවෙන් නොලැබෙන පරිත්‍යාගශීලීන්ගේ ප්‍රතිපත්ති පිළිබඳව ලෝක ව්‍යාප්ත සම්මුතිය හා සම්මුතිය තහවුරු කිරීම, රුධිර ආරක්ෂණය සහ ලබා ගැනීම වැඩි කිරීම, පරිත්‍යාගශීලීන්ගේ සෞඛ්‍ය සහ පෝෂණය සඳහා අවශ්‍ය වෛද්‍ය උපදෙස් ලබා දීම සඳහා සෞඛ්‍ය සත්කාරක වැඩසටහන් දිවයින පුරා ක්‍රියාත්මක කිරීම, රුධිර පරිත්‍යාග කිරීමේ පරාර්ථකාමී ක්‍රියාවලියක් බව සමාජය දැනුවත් කිරීම සඳහා සහ රුධිර පරිත්‍යාගයට ඊළඟ පරම්පරාව උනන්දු කරවීම උදෙසා පාසැල් ළමුන් සඳහා පෝස්ටර් තරඟයක් පැවැත්වීම, රුධිර පරිත්‍යාගශීලීන්සංවිධානගත කිරීම මගින් ජාතික රුධිර පාරවිලයන සේවාවට විශාල කර්තව්‍යය සිදු කරනුලබන ජංගම ලේ දන්දීමේ කඳවුරු සංවිධායකයින් අගය කිරීම සහ රුධිර පරිත්‍යාශීලින් දිරිගැන්වීම සඳහා උපහාර පිදීමේ වැඩසටහන් දිවයින පුරා ඇති රෝහල් මුල්කරගෙන පැවැත්වීම යනාදියයි.

බුදුරජාණන් වහන්සේ බුද්ධත්වය කරා යන ගමනේදී ගණනය කළ නොහැකි තරම් ඇස් ඉස් මස් ලේ ආදිය දන් දුන්හ. ඒ උතුම් සිරිත ක්‍රියාවට නංවමින් අප ඇඟේ දුවන ලේ බිඳක් පහන් සිතින් යුතුව ජීවිතයක් ජීවත් කරවීම පිණිස දන් දෙන්නට කිසි සේත්ම පැකිළිය යුතු නැත. ඒ තුළින් රැස් කර ගත හැකි පින අප්‍රමාණය. ඇත්තටම ජීවිතයක් බේරා ගන්නට නම් ඔබ වෛද්‍යවරයෙකුම විය යුතු නැත. සිතේ කරුණාව උපද්දවා ගැනීමට හැකියාව ඇත්නම් ඔබටත් මේ ලෝකයේ ජීවිතය අයැදින රෝගීන් වෙනුවෙන් බොහෝ දේ කිරීමට පුළුවන.

වෛද්‍ය ලාවන්‍යා විජේසේකර
ජ්‍යේශ්ඨ ලේඛකාධිකාරී
ජාතික රුධිර මධ්‍යස්ථානය

මාතෘකා