ජීවත් වෙන්නේ වෙරළේ තියෙන ටිං විකුණලා ඒත් වෙරළට කසළ දාන්න එපා

 ඡායාරූපය:

ජීවත් වෙන්නේ වෙරළේ තියෙන ටිං විකුණලා ඒත් වෙරළට කසළ දාන්න එපා

 අප මට්ටක්කුලිය කාක දූපත වෙත පිය මැන්නේ සාගර සහ වෙරළ දූෂණය තේමා කරගනිමින් ජුනි 08 වෙනිදාට යෙදී ඇති ලෝක සාගර දිනය වෙනුවෙන් සැකසෙන වාර්තාවක් සඳහා දර්ශන පටිගත කර ගැනීමේ අරමුණෙනි.

අධික හිරු රශ්මිය නොතකා කාක දූපත උද්‍යානයේ බංකුවක් මත පෙම්බස් තෙපලන තරුණ යුවලක් සහ මුහුදු රළ සමඟ 'සෙල්ෆි' ගනිමින් සිටින පාසල් වියේ පසුවන යෞවනයන් කණ්ඩායමක් හැර එහි අන් කිසිවෙකු නොවිණ.

සංවර්ධනයේ මහේශාඛ්‍ය බව කියාපාන 'නෙලුම් කුළුන' පමණක් අප දෙස බලා සිටී.

එම කලාපයේ පවතින සාගර සහ වෙරළ දූෂණයේ තරම වැටහුණේ උද්‍යානය පසුකර වෙරළ වෙත පැමිණි පසුවය.

පාළු වෙරළේ වැලිකැට ගානට ඉවත ලූ ප්ලාස්ටික් බෝතල්ය. පොලිතින්, බීර කෑන්, ටයර්, ප්ලාස්ටික් කොටස්, රෙදි කැබලි, සෙල්ලම් බඩු, පොල් කටු, වීදුරු පාළු කැබලි, පරිගණක උපාංග, සපත්තු, සෙරෙප්පු ද ඊට නොදෙවෙනි තරමටය.

දර්ශන පටිගත කරමින් වෙරළේ ඇවිද ගිය අපට ඊට මඳක් ඔබ්බෙන් බෙලෙක්කයක් වැනි දෙයකින් තවත් යමකට තට්ටු කරන හඬක් ඇසිනි.

හඬ පැමිණෙන දෙසට ගිය අපට දැක ගත හැකි වූයේ හිස් බීර ටින් ගොඩක් අසල හිඳ සිටි තලතුනා යුවලකි.

කාන්තාව දඬුවකට ගසමින් බීර ටින් තුළ වූ වැලි ඉවත් කර පසෙකින් හිඳ සිටි පුද්ගලයා වෙත ගොස් දෙන්නීය. වෙරළ දෙසට මුහුණ ලා ගත්වනම සිටි ඔහු එම ටින් දෙපළු කර පසෙකින් ගොඩ ගසයි.

"නැන්දලා මොකද මේ කරන්නේ,?" මම ඇගෙන් ඇසුවෙමි.

"අපි මේ හිස් බීර ටින් එකතු කරනවා මහත්තයෝ. ඒකෙන් තමයි කීයක් හරි හොයා ගන්නේ, මුහුදෙන් එන ටින් අහුලලා සුද්ද කරලා බෝතල් කඩේට දෙනවා."

"දවසකට කීයක් විතර එකතු කරනවද?"

"දවසකට ටින් දාහක් විතර එකතු කරනවා. තව පස් හය දෙනෙක් මෙතනට එනවා. ඒ අයත් එකතු කර ගෙන යනවා. පොල්කටු, බීර ටින් අරන් යනවා."

පසෙකින් සිටි නිහඬ සගයා පිළිබඳ කරුණු විමසීමට මත්තෙන් ඇය යළිත් හඬ අවදි කළාය.

"මේ මගේ මල්ලි. එයාගේ ඇස් පේන්නේ නැහැ. අනූහතරේ තොටළඟ තියපු බෝම්බයට අහුවෙලා එයාගේ ඇස් අන්ධ වුණා. එතකොට එයාට වයස විසි එකයි."

ඇය මේ පවසන්නේ 1994 වසරේ දී

ගාමිණී දිසානායක ඇතුළු ජීවිත ගණනාවකට මරු කැඳ වූ බෝම්බ පිපිරීම පිළිබඳවය.

විතාරණගේ මරීනා ප්‍රනාන්දු සහ විතාරණගේ සුරංජිත් ප්‍රනාන්දු අක්කා මලෝ වෙති.

සුරංජිත්ගේ හිස් බැල්ම දෙස බැලූ විට ඔහු විසි වසරකට ඉහත තම තුරුණු ඇසින් දුටු මුහුද සිහි කරමින් සිටින්නේ දැයි සිතේ.

"මේ බීර ටින් අතපත ගාන කොට සුරංජිත්ට මොකද හිතෙන්නේ?,"මම ඔහුගෙන් විමසුවෙමි.

"මට ඉතින් ඇස් දෙක පේන්නේ නැහැ. පොල්කටු, බියර් ටින්, ප්ලාස්ටික් කෑලි අක්කා ඇහිඳිනවා. අපි කීයක් හරි හොයා ගන්නවට වඩා මුහුද හොඳට තිබ්බොත් තමයි හොඳ. මුහුද ජරා වුණා කියන්නේ පළාතම අපිරිසිදුයි. ඒ දිහා බලන්න අප්‍රියයි."

ඉතින් මා ඔහුට තවත් ප්‍රශ්න යොමු කළ යුතුද?

"ජේසු පිහිටයි මහත්තයෝ. ගිහින් එන්න."

මිනිසුන් ඉවතලන කසළ එකතුකර බඩවියත රැක ගන්නා දෑස් නොපෙනෙන සුරංජිත් දෑස පෙනෙන අප සියලු දෙනාට කියා දෙන්නේ අපූරු පාඩමක් නොවේද?

වෙරළ දූෂණය අතින් ශ්‍රී ලංකාව "පස්වෙනි තැනට"

සාගර දූෂණය සම්බන්ධයෙන් 2010 වසරේ එක්රැස් කරන ලද දත්ත ඇසුරෙන් 'යුනිවර්සිටි ඔෆ් ජෝර්ජියා' සරසවියට අනුබද්ධව කටයුතු කරන මහාචාර්ය ජෙනා ජැම්බෙක්ගේ ප්‍රධානත්වයෙන් 2015 වසරේදී පරීක්ෂණ වාර්තාවක් එළිදැක්විණි.

ඉහත කී වාර්තාවෙහි අඩංගු සංඛ්‍යාලේඛනවලට අනුව ලොව වෙරළ කලාපය දුෂණය කරන රටවල් අතරින්

ශ්‍රී ලංකාව පස්වන ස්ථානයට වර්ගීකරණය කර තිබිණ.

අදාළ වාර්තාවට අනුව චීනය, ඉන්දුනීසියාව, පිලිපීනය සහ වියට්නාමය ශ්‍රී ලංකාවට ඉදිරියෙන් පසුවන රටවල්ය.

එම වාර්තාවට අනුව ශ්‍රී ලංකාව තුළ දිනකට

එක් පුද්ගලයෙකු උත්පාදනය කරන කැලිකසළ ප්‍රමාණය කිලෝග්‍රැම් 5.1

උත්පාදනය කෙරෙන සම්පූර්ණ කැළිකසළ ප්‍රමාණය කිලෝග්‍රෑම් 7,429,768

උත්පාදනය කෙරෙන ප්ලාස්ටික් කැලිකසළ ප්‍රමාණය කිලෝග්‍රෑම් 5,163,689

ශ්‍රී ලංකාව වසරකට කළමනාකරණය නොකරන ලද කසළ මෙට්‍රික් ටොන් මිලියන 1.59 ක් බැහැර කරන බව ද ඉහත කී වාර්තාවේ සඳහන් වේ.

"දෝෂ සහිත වාර්තාව නිසා සාධනීය වෙනසක්"

කෙසේ නමුත් එකී වාර්තාව සැකසීම සඳහා කරන ලද උපකල්පනය කිරීම් සහ ගණනය කිරීම්වල පැවති දෝෂයක් හේතුවෙන් ශ්‍රී ලංකාව පස්වන ස්ථානයට වර්ගීකරණය වී ඇති බව සමුද්‍රජීවී පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍යධිකාරී ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර පවසයි.

එකී වාර්තාවේ දෝෂ පැවතියත් එය සාධනීය ආකාරයෙන් යොදා ගැනීමට සිය ආයතනය ක්‍රියා කළ බව ඔහු කියා සිටියේ බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමිනි.

"අපි 25, 30 වගේ ස්ථානයකට වර්ගීකරණය කර තිබුණා නම් මේ ගැන එච්චර හිතන්නේ නැහැ. පස්වන තැනට වර්ගීකරණය වුණු එක ලොකු බලපෑමක් වශයෙන් අරගෙන ලංකාවේ වෙරළ කලාපය පිරිසිදුව තබා ගන්නේ කෙසේද කියන දේ ගැන වැඩි ආයාසයක් යොදලා ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගත්තා," ඔහු පැවසීය.

"වැරදීමකින් හෝ, අපට දුන් පින්තූරය හොඳ විදිහට යොදාගෙන වෙරළ කලාපය පිරිසිදු කිරීමේ උත්සාහයක අප යෙදී සිටිනවා."

සාගරය දූෂණය වන ප්‍රධාන ක්‍රම

සාගරයට අපද්‍රව්‍ය එක් වූ පසු ගත හැකි පියවර සීමා සහිත බව කී ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර සාගරයට අප්‍රද්‍රව්‍ය එක්වීම වැලැක්වීම සඳහා ප්‍රමුඛත්වය දිය යුතු බව පෙන්වා දෙයි.

සමුද්‍රජීවී පරිසර ආරක්ෂණ අධිකාරිය පෙන්වාදෙන පරිදි සාගරය දූෂණය වන ප්‍රධාන ක්‍රම දෙකකි:

සාගරය තුළින්ම සිදුවන දූෂණය: නැව් මගින් සිදුවන තෙල් විෂවීම් සහ වායු විමෝචන, නැව් මගින් බහැර කෙරෙන අපවිත්‍ර ජලය, රසායනික ද්‍රව්‍ය විෂවීම් සහ ආක්‍රමණික ජීවීන් මගින් සිදුවන බලපෑම්

ගොඩබිම ඔස්සේ සිදුවන දූෂණය: ගංගා ඇලදොළ ඔස්සේ සාගරය වෙත ගලා එන ඝන සහ මළ අපද්‍රව්‍ය, සංචාරක, කෘෂි සහ ධීවර කර්මාන්ත හේතුවෙන් සිදුවන දූෂණික තත්ත්වයන්

සමුද්‍රජීවී පරිසර ආරක්ෂණ අධිකාරිය පවසන පරිදි ගොඩබිම ඔස්සේ වෙරළ කලාපය වෙත පැමිණෙන දූෂණ කාරක කොටස් දෙකකි:

ඝන අපද්‍රව්‍ය: ධීවර කර්මාන්තය හේතුවෙන් එක්වන දැල්, රෙජිෆෝම් සහ ෆයිබර් කොටස්/ සංචාරක කර්මාන්තය හේතුවෙන් එක්වන ප්ලාස්ටික් බෝතල්, හැඳිගෑරප්පු වැනි කොටස්/ පොලිතීන්, රෙදි, ප්ලාස්ටික් කොටස් වැනි ගොඩබිම ඔස්සේ පැමිණෙන සෙසු ද්‍රව්‍ය

ද්‍රව අපද්‍රව්‍ය: කර්මාන්ත ශාලා මගින් පිටකරන රසායනික ද්‍රව්‍ය, කෘෂි රසායනික ද්‍රව්‍ය, අසූචි

ගොඩබිම ඔස්සේ සිදුවන දූෂණය ශ්‍රී ලංකාව තුළ සාගර දූෂණයට වැඩි වශයෙන්ම බලපාන බව සමුද්‍රජීවී පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍යධිකාරී ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර පෙන්වා දෙයි.

බටහිර, දකුණ සහ යාපනය

80% වෙරළ කලාපය දූෂණය වීමට බලපාන්නේ ගොඩබිම ඔස්සේ ගංගා ඇලදොළ මාර්ගයෙන් ගලා එන අපද්‍රව්‍යයි. සාගරයෙන් සිදුවන දුෂණය 20%ක්."

ඊට අමතරව අසල්වැසි ඉන්දියාව, බංග්ලාදේශය, තායිලන්තය සහ ඉන්දුනීසියාව වැනි රටවල සිට මුහුදු තරංග ඔස්සේ දූෂිත ද්‍රව්‍ය ශ්‍රී ලංකා වෙරළ කලාපය වෙත පැමිණෙන බව නිරීක්ෂණය වී ඇතැයි ද ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර සඳහන් කළේය.

"අපි සිතනවා ශ්‍රී ලංකා වෙරළ කලාපය හොඳ තත්ත්වයක තිබෙනවා කියලා. නමුත් එහෙම නොවෙයි. වෙනත් රටවලට සාපේක්ෂව අපේ වෙරළ කලාපය යම්කිසි දූෂණ තත්ත්වයකට මේවන විට මුහුණපාලා තිබෙනවා."

බටහිර, දකුණ සහ යාපනය අවට වෙරළ කලාප වඩාත් දුෂණයට ලක්ව ඇති බව ඔහු පැවසීය.

ආකල්පමය වෙනසක්

පොලිතින් වැනි ඝන අපද්‍රව්‍ය සාගරයට මුදාහැරීම වැලැක්වීම සඳහා ඇළමාර්ග පවිත්‍ර කිරීම, වෙරළ පිරිසිදු කිරීම, ගංගා සහ ඇළදොළ මුහුදට එක්වන ස්ථාන තුළ සිරස් දැල් වැට යෙදීම සහ ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් දියත් කිරීම වැනි පියවර රාශියක් ගෙන ඇති බව ඔහු සඳහන් කළේය.

පොලිතින් රකුසාගෙන් සාගරය සහ වෙරළ තීරය ඇතුළු පරිසර ආරක්ෂා කිරීම සඳහා ආයතනික මට්ටමින් නීති සහ ක්‍රියාමාර්ග ගනු ලබනවා සේම ඒ සඳහා පුරවැසියන් වශයෙන් ලබා දියහැකි දායකත්වය කෙබඳුද?

පොලිතින් සහ ප්ලාස්ටික් කසළ කළමනාකරණය කිරීම සහ අවම කිරීම සඳහා ලොව බොහෝ රටවල් මේවනවිට පියවර ගනිමින් සිටිති.

පොලිතින් භාවිතය තහනම් කිරීමට එරෙහිව උද්ඝෝෂණ කළ එකම රට ශ්‍රී ලංකාව විය හැකි යයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ද මෑතකදී ප්‍රකාශ කර තිබිණි.

කසළ කළමනාකරණය සම්බන්ධයෙන් ශ්‍රී ලාංකිකයන්ගේ ආකල්පමය වෙනසක් සිදුවිය යුතු බව ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාරගේ අදහසය.

"කෙන්යාවේ එහෙම වුණත් ශ්‍රී ලංකාවේ එහෙම නැහැ"

උදාහරණයක් වශයෙන් කෙන්යාව මෑතකදී පොලිතින් නිෂ්පාදනය, අලෙවිය සහ භාවිතය තහහනම් කරමින් ඒ සඳහා දැඩි නීති ගෙන ඒමට කටයුතු කළ බව ඔහු පෙන්වා දෙයි.

"කෙන්යාවේ ඒ සඳහා ශ්‍රී ලංකාවේ මුදලින් ලක්ෂ තිස් පහක පමණ දඩයක් නියම කළා. මුලදී ඒ සඳහා දැඩි විරෝධයක් ආවා. නමුත් දැන් මාස නවයකට පස්සේ ඒ මිනිස්සු කියන්නේ අපි දිනුවා. රට දැන් පිරිසිදුයි. හුළඟට ෂොපින් බෑග් පියාඹන්නේ නැහැ. ගංවතුරට පොලිතින් ගහගෙන ගිහින් බ්ලොක් වෙන්නේ නැහැ," ඔහු විස්තර කළේය.

"ලංකාවේ වෙන්නේ ඒකෙ අනෙක් පැත්ත. පොලිතින් තහනමට විරුද්ධ අය රටට ආදරේ නැහැ."

පොලිතින් ඇතුළු කසළ පරිසරයට මුදාහරින සහ මහමඟ දමා යන පුද්ගලයන්ට එරෙහිව ශ්‍රී ලංකාව තුළ පවතින නීති ලිහිල් බව කී ආචාර්යවරයා, "එවැනි පුද්ගලයන්ට රුපියල් පනස් දහසක හෝ ලක්ෂයක දඩයක් නියම කළ යුතුයි කියා මම සිතනවා," යනුවෙන් වැඩිදුරටත් සඳහන් කළේය.

ස්තූතිය- ஈbbc සිංහල

[සුනෙත් පෙරේරා]

මාතෘකා