ඔබ එන තුරු දූදරුවෝ බලාසිටී

 ඡායාරූපය:

ඔබ එන තුරු දූදරුවෝ බලාසිටී

වෙසක් මාසයේම නැඟ ආ පොසොන් සඳ අවපසට ගොස් වැඩි දොහක් නැත. අනුරාධපුරයේ හැම අතකම ඇහැළ ගස් කහ මලින් බර වී, හමා ඇදෙන වියළි මඳ නළේ සැලෙන්නේ දෙව් ලියන්ගේ කන්පෙති මතින් එල්ලා හැලෙන දිව්‍යමය කරාබු විලසිනි. මැයි ගස් යට මැයි මල් වැටී රතු පලස් මවා ඇත. මිහින්තලා කන්දට ඇදෙන විසල් පඩි පෙළ දෙපස ඇති සුදු අරලිය මල් දෙවැට සුදු ඇඳුමින් සැරසී පෙරමඟ බලා සිටින සුන්දර නව යොවුන් බාලිකාවන් දෙදෙනකු සිහිපත් කරවයි.

මේ හැම දසුනක්ම සිතින්‍ දකිමින් මම ලංඩනයේ තවත් සෙනසුරාදා සැඳෑවක් හිස් අහස දෙස බලාගෙන ගතකරමින් සිටිමි. මල් ගස් මෙහිද මලින් බර වී ඇත. එහෙත් එදා, පොසොන් මස පරිසරයෙන් මත් වී මා ලැබූ ජීවය නම් මේ අහලකවත් නැත. සිතේ ඇත්තේ සාංකාවකි. එය දුකක්ද නැතිනම් තනිකමක් දැයි මට නොතේරේ. අප ආදරය කළ සුන්දර මිනිසකුගේ ආදාහනය සිදුවූයේ ඊයේ දවසේය. එයින් විස්සෝප වූ සිත හදා ගන්නටත් මත්තෙන් තවත් අසුභ පුවතකි.

සේනානායක යන නාමය ලංකාවේ කවුරුත්ම දන්නා ඉතාමත්ම ප්‍රචලිත නාමයක් වූයේ සුදු අධිරාජවාදීන් ලංකාව අතහැර ගිය දිනයේ පටන්ම එය කරලියේම වැජඹුණු නිසාවෙනි. දේශපාලනය නිසා සේනානායක නාමය වැජඹුණද කාලයත් සමඟ එය ජනතාවගෙන් ඈත්වී අදවන විට ඉතිහාස පොතේ පිටුවකට පමණක් සීමාවී ඇති බව අපි සැවොම දන්නා කාරණයකි.

එහෙත් මේ වලව්කාර සේනානායක පවුලට අමතරව තවත් සේනානායකලා ලංකාවේ විසූහ. ඔවුන් අතරින් දෙදෙනක්ද ලංකාවේ ප්‍රචලිත වූහ. මිනිසුන්ගේ ආදරයට පාත්‍ර වූහ. ඒ සාහිත්‍යයට හා කලාවට ඔවුන් කළ අනුපමේය සේවය නිසාවෙනි.

මගේ මතකයට පළමුව එන සේනානායක නම් සිංහල සාහිත්‍යයට මහා සේවයක් කළ ජී බී සේනානායකයන්ය. එතුමා දැයට දායාද කළ කෙටි කතා, නවකතා සහ කවි අදටත් මිනිසුන් රස විඳින හා ඒ ගැන කතාබහ කරන අමරණීය නිර්මාණයන්ය. ඉර හඳ පවතින තුරු ඒවා මිය යන්නේ නැත. ජී.බී සේනානායකයන් කලකට ඉහතදී භෞතිකව අපගෙන් වෙන්වූවත් අදටත් ජීවමානව සිටින්නේ එතුමා අපට දායාද කළ මේ අමිල නිර්මාණ නිසාවෙනි.

මා ඉහත සඳහන් කළ, සාහිත්‍යයේ උන්නතිය උදෙසා තම දිවිය කැප කළ අනෙක් සේනානායක නම් සෝමවීර සේනානායකය. අද දවසේ ලැබුණ අසුබ පුවතකින් කියැවුණේ එතුමන්ද අප හැර ගොස් ඇති බවය.

ලෝකයම කඩා වැටුණා වැනිය. මේ වසර කිහිපය තුළ හැම මසකම මෙවැනිම සුන්දර කලාකරුවන්, යුඟ පුරුෂයන් කී දෙනෙකු නම් අප හැර ගියාද?

මගේ සිත හැත්තෑවේ දශකයේ අග භාගයට දිවයයි. එකල මා චිත්‍රකතා බැලීමට හා කියවීමට පිස්සු වැටී සිටි කාලයයි. සතුට පත්තරය හැරුණු කල ලේක්හවුසියෙන් නිකුත් කළ දිනමිණ හා සිළුමිණ පුවත් පත් වලද පසු පිටේ චිත්‍ර කතාවක් පළ විය. දයා රාජපක්ෂයන් හා බන්දුල හරිශ්චන්ද්‍රයන් බොහෝ විට ඒවයේ චිත්‍ර ඇඳි චිත්‍ර ශිල්පීහු වූහ. මේ අතර " පෙති ගෝමර" නමින් චිත්‍ර කතාවක් සිළුමිණේ පළ විය. එහි චිත්‍ර ඇන්දේ බන්දුල හරිශ්චන්ද්‍රයන් වූ අතර කතාව සෝමවීර සේනානායකයන් ගෙනි. ඒ මා කියවූ සෝමවීර සේනානායකයන්ගේ පළමු නිර්මාණයයි. එයින්ම එකල කුඩා කොලුවකු වූ මගේ සිත එතුමන් කෙරෙහි ඇදී ගියේ නිරායාසයෙනි.

ඉන්පසු පත්තර වලට කතා හා විශේෂාංග ලියූ දෙනගම සිරිවර්ධන, කරුණාදාස සූරියආරච්චි හා චන්ද්‍රසිරි දොඩංගොඩ ආදී ලේඛකයන්ගේ නිර්මාණ සමඟම සෝමවීර සේනානායකයන්ගේ ලිපි හා කතාද මා කියැවූයේ පිස්සුවෙන් මෙනි.

අසූව දශකයේ උදාවත් සමඟම චිත්‍රකතා හා පුවත් පත් අතික්‍රමණය කරමින් අපගේ නිවෙස්වල ආලින්දයට පැමිණි රූපවාහිනිය නම් වූ ඒ අරුම පුදුම යන්ත්‍රය වටා බාල මහලු සැවොම රොද බැඳ ගත්තේ මලකට පෙම් බැඳි බඹර කැලක් පරිද්දෙනි. එයින් ඇරඹි ටෙලි නාටක කලාව ලාංකීය කලා රසයට ලොල් රසික ප්‍රජාවට ලැබුණු තවත් අගනා දායාදයක් විය. නවමු රසක් විය.

මෙහිදී තැනුණු ටෙලි නාටක ගොන්නේද අපගේ කතා නායක සෝමවීර සේනානායකයන් ඉතාමත්ම කැපී පෙනෙන මෙහෙයක් ඉටු කළේ එතුමන්ගේ ඒ තිබූ නිසග ලිවීමේ හැකියාවේ මහිමයෙනි. මට මේ මොහොතේ දයා රාජපක්ෂයන්ද සිහිවේ. ඔවුන් තුළ තිබුණේ කතා උල්පත්ය. ඒවා එකිනෙකට හාත්පසින්ම වෙනස් වූ නවතම නිර්මාණ විය. කතාව ගලාගෙන ගියේ ඉතාම හැඩට, ලස්සනට සහ කිසිදු ඒකාකාරීබවකින් තොරවය.

සෝමවීර සේනානායකයන් ලියූ " පළිඟු මැණිකේ" ලාංකීය රසික සමාජය තුළ කිසිදා නොමැකෙන අමරණීය මතකයක් ඉතිරි කළේය. මෙම නාටකය මට මතක හැටියට මුලින්ම ලිවීම ඇරඹුවේ ධම්ම ජාගොඩයන් වෙනත් නමකින් බැව් මා කොහේ හෝ කියවා ඇති බැව් යාන්තමින් මට මතකය. කෙසේ හෝ එහි එතුමන් මැවූ " සූර සේන" වැනි චරිත හා " පට් පට් ගාලා සම්තින් සෙවීම" වැනි දෙබස්, වසර 30ක් පමණ ගත වී ඇතත් අදටත් අපට මතකය.

එපමණක්ද එතුමන් තැනූ, " අසල් වැසියෝ", " මැණික් නදිය ගලා බසී", " යශෝරාවය", " දූ දරුවෝ" ," සත්පුර වැසියෝ" හා " නෑදෑයෝ" වැනි ටෙලි නාට්‍ය ගොන්න මැණික් මල් දමක ඇමිණූ අමිල මාණික්‍යම හැර වෙන නම් කුමක් කියා මා අර්ථ ගන්වන්නද? ඒවා ඒ තරම්ම අමිලය. අමරණීයය.

එතුමා මැවූ යශෝරාවයේ වීරසේකර මහත්තයා, සුදු හාමිනේ හා බලදේව වැනි චරිත හුදු මනංකල්පිත චරිත නොව අප අතරම ජීවත් වූ චරිත ලෙස අපට දැනුණේ එතුමා ඒවායේ දෙබස් ලියූ ශූරකම නිසාය. ජී ඩබ්ලිව් සුරේන්ද්‍ර, අයිරාංගනී සේරසිංහ හා ලකී ඩයස් වැනි ප්‍රතිභා සපිරි නළු නිළියන් ඒ චරිතවලට පණ පිහිට වූ බව ඇත්තකි.

" දූ දරුවෝ හා " නෑදෑයෝ" වැනි මහා පතරංග ජාතක වැනි ඉතා දිඟ නාටක වුවද අප කිසිදු කම්මැලි කමක් හෝ වෙහෙසක් නොමැතිව එක කොටසක් හෝ නෑර නැරඹුවේ ඒවායේ තිබූ අපේ කම නිසාය. නැවුම් වූ රසවත් බව හා ජීවමාන බව නිසාය. අපේ ජීවිතයේම කොටසක් වූ නිසාය. ඒවා ඒ තරමටම අපේ දිවිය හා බද්ධ වී පැවතිණි. ඒවා අපේ එදිනෙදා දිවි පැවැත්මේ අංගයන්ම විය.

තවත් මෙලෙසම රසික දන මන කිති කැවූ "ගිරය" ටෙලි නාට්‍යයද එතුමා ලිවීය. තව නම් නාට්‍ය බොහෝය.

එපමණක්ද එතුමා චිත්‍රපට තිර පිටපත් රචකයකුද විය. " වෑ කන්ද වලව්ව" හා " අම්මාවරුනේ" එම සිනමා පටයන්ය.

එතුමන් ලියූ සම්මානනීය නවකතා සහ කෙටි කතාද විශාල ප්‍රමාණයකි. ඒ අතුරින් " යශෝරාවය" , " බලදේවගේ ලෝකය", " මැණික් නදිය ගලා බසී" සහ " අඹුසැමියෝ" යන නවකථා මගේ මතකයට එයි.

එහෙත් තවත් මෙවැනි නිර්මාණ කිරීමට අද එතුමන් අප අතර නැත. කොහේදෝ ඈත ලෝකයකට පිටවී ගොසිනි. අද අප මේ ජීවත් වන කුරිරු ලෝකයට වඩා එය කොතරම් නම් සුන්දර ඇතිද?

ඉතිං ආදරණිය සෝමවීර සේනානායකයනී, ඔබ සියලු දෙනාම නොමැති මේ අඳුරු මනුසත් ලොවේ අපි ඉතා දුකින් හා තනිකමින් පසු වෙමු. ඔබ අපට ඉතිරි කොට ගිය ඔබගේ දෑස වන් නිමැවුම් නැවත නැවතත් කියවමින්, නරඹමින් ඔබ නාමය සිහිපත් කරන්නෙමු. මේ රාත්‍රිය ඉතා දිගුය. සීතලය. වලාකුළු රහිත අහසේ මට පෙනෙන්නේ එකම එක තාරකාවකි. අනෙක් තාරකා පැහැදිලි නැති මුත් ඊට මඳක් ඈතින් ඒවා ඇති බව මම දනිමි. මගේ දෑස් බොඳ වී ඇත. ඒ මේ දිනවල මල්වල පරාගයන් නිසා ඇසේ ඇතිවූ ආසාදනයෙන් නිසා නම් නොවන වග මට පැහැදිලිය. ඔබ නැවත නොඑන වග සහ මේ ලෝකයේ නොමැති වග මම අකමැත්තෙන් හෝ පසක් කරමි. එය සත්‍යයම වන නිසාවෙනි. එහෙයින් සබඳ, මේ පාළු රාත්‍රි යාමයේ ඔබට "සුබ ගමන්! " කියා කියනු හැර මා වෙන නම් කුමක් කරන්නද?

[චන්දන ගුණසේකර]

මාතෘකා