සිංහල සිනමාව; ඉතිං ඊට පස්සෙ?

 ඡායාරූපය:

සිංහල සිනමාව; ඉතිං ඊට පස්සෙ?

‘රැලි’ සහ ‘කැරලි’ කියන්නෙ සිනමාවේ විතරක් හටගන්න දෙයක් නෙමෙයි. ලෝකයේ ඕනෑම රටක, ඕනෑම කලාවක් ඇතුළෙ කාලෙන් කාලෙට විවිධ ප්‍රවණතා; එහෙමත් නැත්නම් ‘රැලි’ හටගන්නවා. ඒ මොහොතේ පවතින සමාජ, දේශපාලන සහ ආර්ථික තත්ත්වයන්ට සමගාමීව තමයි අදාල ප්‍රවණතාවේ හැඩය තීරණය වෙන්නෙ. ‘ඉතාලි නව යථාර්ථවාදය’ මේ කාරණය පැහැදිලි කරන්න හොඳම උදාහරණයක්. කඩාගෙන වැටුණු ඉතාලි ජන ජීවිතය ඇතුළෙ තවදුරටත් පැරණි, මහේශාක්‍ය ඉතාලි සිනමාවට ඉඩක් නැති බව තේරුම් ගන්න සිනමාකරුවො පිරිසක් එකතු වෙලා ගහන කැරැල්ලක ප්‍රතිඵලයක් විදියටයි ‘ඉතාලි නව යථාර්ථවාදය’ බිහිවෙන්නෙ.

ලෝකයේ සිනමා ප්‍රවණතා

තමන්ගෙ ජනතාව ‘හිතිය යුතු පිළිවෙල’ තීරණය කරපු පාලකයොත් අතීතයේ ඉඳලම තමන්ගෙ ඒ මෙහෙයුම වෙනුවෙන් කලාව පාවිච්චි කළා. සමහර සිනමා ප්‍රවණතා බිහිවුණේ එහෙම. නාසි ජර්මනියෙන්, වියට්නාමයට පැරදුණු ඇමරිකාවෙන් වගේම සෝවියට් පාලනයෙනුත් මේ කාරණය සාක්ෂාත් කරන්න ඇති තරම් උදාහරණ හොයාගන්න පුළුවනි. ජනතාවගේ දෘෂ්ටිවාදී හිස්තැන තමන්ගෙ අධිපති මතවාදයෙන් පුරවන්න සුදුසුම මාධ්‍යයක් විදියටයි ගොඩාක් පාලකයො සිනමාව හඳුනගත්තෙ. මේක පැහැදිලි කරන්න හොඳම උදාහරණයක් තමයි මීට ටික කාලයකට කලින් ලෝකය පුරා ජනප්‍රිය වුණු ‘Rambo’ චිත්‍රපට රැල්ල. ඒක වියට්නාම් යුද්ධයේ අපකීර්තිය වහගන්න ඇමරිකාව තමන්ගෙ සිනමාව පාවිච්චි කරපු එක අවස්ථාවක්. ‘Pearl Harbor’ වගේ හොලිවුඩ් මෙහෙයුම් හරහා ජපානය ම්ලේච්ඡ ජාතියක් බව ප්‍රකාශ කරන්න දරපු සියුම් උත්සාහයන් තේරුම් ගන්න වෙන්නෙත් එතනින්ම තමයි.

1947 ජනවාරි 21 නිල වශයෙන් ආරම්භ වෙන සිංහල සිනමාව ඇතුළෙත් ගෙවුණු දශක හත පුරාවටම නොයෙක් ආකාරයේ රැළි සහ කැරළි හටගත්තා. ඒවා එකින් එක නිරීක්ෂණය කළොත්, මේ කතාවේ ‘මුල් කොටස’ ආරම්භ කරන්න වෙන්නෙ 1950 දශකයෙන්.

දේශීය සිනමාව

සිංහල සිනමාව ආරම්භ වෙන්නෙම ඉන්දියානු අනුකාරකවාදී සිනමාවක් විදියට කියන කාරණය රහසක් නෙමෙයි. කොටින්ම කිව්වොත්, මුල් කාලීනව නිර්මාණය වුණු සිංහල චිත්‍රපට බොහොමයක් ‘සිංහල’ වුණේ භාෂාවෙන් විතරයි. ඉන්දියානු ශිල්පීන් අතින් ඉන්දියාවෙ චිත්‍රාගාර ඇතුළෙ නිර්මාණය වුණු ඒ ගොඩක් සිංහල චිත්‍රපට හැදුණෙ ඉන්දියානු චිත්‍රපටවල ප්‍රති නිෂ්පාදන විදියට. ඒ වගේම ඒ චිත්‍රපට ඇතුළෙ ප්‍රේක්ෂකයාට නිතර දෙවේලේ දකින්න ලැබුණෙත් එකම වට්ටෝරුවක කතන්දර විතරයි.

‘ප්‍රථම සිංහල චිත්‍රපටය නායගම් වෙනුවෙන් නිපද වූ බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්න තවමත් අපට සනීප කරන්න බැරිව තිබෙන ලෙඩ රාශියක් මුලදීම බෝ කළා. ‘කඩවුණු පොරොන්දුව’ පරණ වේදිකා නාට්‍යයක්. එය චිත්‍රපටයට නැගුවේ දකුණු ඉන්දියානු චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු වන ජේ. සිංහ. වේදිකා නාට්‍ය ගතියයි, දෙමළ මුහුණුවරයි මේ නිසා ආරම්භයේදීම අපේ සිනමාවට එකතු වුණා. හින්දි තාල කොපි කිරීම, ප්‍රධාන කතාවට අතිරේක වශයෙන් විකට කතාවක් කියන ආයා – අප්පු ජෝඩුව, පණ්ඩිතමානී භාෂාවෙන් ලියවුණු දෙබස් ආදිය ආවෙත් මේ චිත්‍රපටයෙන්. මේ විෂම අංග වගේම සිනමාවේ සිද්ධාන්තවලින් ඈත් වෙලා වේදිකා නාට්‍යයටම වඩාත් හේත්තු වන ගතියක් මේකෙන් ආරම්භයේදී ම එක් වුණා…’

– (ජයවිලාල් විලේගොඩගේ නොපළ ලිපි – සුනිල් මිහිඳුකුල, පි.12)

හැබැයි අවුරුදු කීපයක් ඇතුළත මේ තත්ත්වය තරමක් දුරට වෙනස් කරලා දේශීයත්වයට නැඹුරු වුණ සිනමාවක් හොයාගෙන යන්න සිරිසේන විමලවීර වගේ සිනමාකරුවො උනන්දු වෙනවා. 50 දශකය කියන්නෙ ජාතික චින්තනය වගේ මාතෘකා ටිකක් සැරට ලාංකේය දේශපාලන කරළියේ කතාබහට ලක්වෙන කාලයක්. බෞද්ධ පුනරුදය, අමද්‍යප ව්‍යාපාරය, දේශමාමක සාහිත්‍යය වගේ කාරණා හැම එකක්ම මෙතනදි අඩු වැඩි වශයෙන් සිනමාව සංවිධානය වෙන්න බලපානවා. 1956 සිද්ධවුණු දේශපාලන පෙරළියත් එක්ක ජාතික චින්තනය උත්කර්ෂයට නැංවීමේ මෙහෙයුම වඩාත් තදින් ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. සැබෑ සිංහල සිනමාවේ පළමු වෙඩිමුරය විදියට ගොඩක් අය හඳුන්වන ‘රේඛාව’ නිර්මාණය වෙන්නෙත් 1956 අවුරුද්දෙ. තාත්විකත්වයට ළඟ සිනමා ධාරාවක් ආරම්භ වෙන්නෙ එතනින් බවයි බහුතරයක් සිනමා විචාරකයන්ගෙ අදහස.

60 දශකයට එද්දි අපට මුණගැහෙනවා පවුල, පරම්පරාව සහ ආර්ථිකය වගේ කාරණාවන්ට ටිකක් වැඩිපුර නැඹුරු වුණු ‘ගම්පෙරළිය’ වගේ චිත්‍රපට. සමකාලීන සිංහල සිනමාවට සාපේක්ෂව බලද්දි ‘අහම්බයක්’ විදියට හඳුන්වන්න පුළුවන් වුණත් ගම්පෙරළිය හරහා අපට දකින්න ලැබෙන්නෙ යථාර්ථවාදී සිංහල සිනමාවක ආරම්භක ලක්ෂණ. ඒ වගේම පුද්ගල චිත්තාභ්‍යන්තරයේ ස්වභාවයන් ගැන කතා කරන්න පෙළඹුණු රන්සළු, දෙලොවක් අතර වගේ චිත්‍රපට විචාරක අවධානය දිනාගන්නෙත් මේ කාලෙමයි. නමුත් ඉන්දියානු වට්ටෝරු සිනමාව එක්ක කරට කර තරගයක් දෙන්න නම් මේ කෘතීන්ට පුළුවන්කමක් ලැබෙන්නෙ නැහැ.

70 දශකය

සිංහල සිනමාවේ ඉතාමත් සුවිශේෂී කාල සීමාවක් විදියටයි 70 දශකයත් අපට තේරුම්ගන්න වෙන්නෙ. එක පැත්තකින් ජනප්‍රිය සිනමාවේ ස්වර්ණමය යුගය විදියට. ජාතික චිත්‍රපට සංස්ථාවේ නිල ලේඛනයන්ට අනුව 70 – 80 දශක කියන්නෙ සිනමා ප්‍රේක්ෂකාගාරය අතුරු සිදුරු නැතුව පිරිල තිබුණු යුගයක්.

ඊට අමතරව 70 දශකයේ සිද්ධවෙන තවත් වැදගත් දෙයක් තමයි, සිංහල සිනමාවේ අලුත් කැරැල්ලක ආරම්භය සනිටුහන් වීම. සිනමාව ගැන උනන්දුවක් දක්වපු, සිනමාව හදාරපු තරුණ පරම්රාවක් ක්ෂේත්‍රයට පිවිසීම හරහා තමයි ඒ කැරැල්ල නිර්මාණය වෙන්නෙ. වාමාංශික දේශපාලන නැඹුරුවක් සහිත මේ නව පරම්පරාව රැකියා විරහිත, පරාරෝපණය වුණු, අක්මුල් නැති ලාංකේය තාරුණ්‍යය කෙරෙහි වැඩි අවධානයක් යොමුකරනවා. නිම්වළල්ල, අහස් ගව්ව, වල්මත් වූවෝ, සෙලීනාගේ වලව්ව, බඹරු ඇවිත්, පළඟැටියෝ සහ පාරදිගේ වැනි චිත්‍රපට හැදෙන්නෙ එහෙම. රංජිත් ලාල්ගෙ ‘නිම් වළල්ල’ චිත්‍රපටය ආරම්භක ලක්ෂණ පෙන්නුම් කළත් නිශ්චිතව මේ ධාරාව පටන්ගන්නෙ ධර්මසේන පතිරාජයන්ගෙ ‘අහස්ගව්ව’ චිත්‍රපටයෙන්. වසන්ත ඔබේසේකර, පතිරාජ එල්.එස්. දයානන්ද වගේ සිනමාකරුවො ගැනත් මෙතනදි අමතක කරන්න බැහැ. පසුකාලීනව නිර්මාණය වෙන ‘මිල්ලෙ සොයා’ වගේ චිත්‍රපටවලටත් යම් බලපෑමක් කරන්න මේ සිනමා ධාරාවට පුලුවන් වුණු බව තමයි විචාරකයන්ගේ අදහස. සමහරු ‘ධර්මසේන පතිරාජගේ දශකය’ විදියටත් 70 දශකය හඳුන්වනවා.

මැද මාවතේ සිනමාව

‘මැද මාවතේ සිනමාව’ කියන්නෙත් මේ කාල වකවානුවේ අතිශය ජනප්‍රියත්වයක් හිමිකරගත්ත සිනමා ධාරාවක්. ප්‍රේක්ෂක රසවින්දනය හෑල්ලු කරන ඉන්දියානු වට්ටෝරු ආකෘතිය සහ ජීවිතයේ ‘ඇත්ත’ විග්‍රහ කරන යථාර්ථවාදී සිනමාව අතර මැද තැනක ස්ථානගත වුණු සිනමාවක් විදියටයි විචාරකයො මේ ‘මැදමාවතේ සිනමාව’ හඳුන්වන්නෙ. වෙස්ගත්තෝ, වැලිකතර, දුහුළු මලක්, දියමන්ති, වසන්තයේ දවසක්, අපේක්ෂා වගේ නිර්මාණ ‘මැද මාවත’ට උදාහරණ වශයෙන් දක්වන්න පුළුවනි.

1990 සහ 2000 දශක දෙක ඇතුළෙ ක්‍රියාත්මක වුණු ‘වැඩිහිටියන්ට පමණයි’ චිත්‍රපට රැල්ල සහ විකට චිත්‍රපට රැල්ල ගැනත් කෙටියෙන් හරි සිහිපත් නොකළොත් මේ කරුණු දැක්වීම අසම්පූර්ණ වෙන්න ඉඩ තියෙනවා. මොකද ඒ තරමටම රටපුරා ව්‍යාප්ත වුණු ‘වැඩිහිටියන්ට පමණයි’ සිනමාවක් සහ ‘අඩු වියදම්’ විකට චිත්‍රපට ගොන්නක් ඒ කාලෙ අපට දකින්න ලැබුණා. හැබැයි ඒ ධාරාවන්ට ප්‍රතිවිරුද්ධව යමින්, තමන්ගෙ සිනමා භාවිතාව හරහා කැරළි ගහපු ප්‍රසන්න විතානගේ, අශෝක හඳගම, සුදත් මහදිවුල්වැව වගේ සිනමාකරුවන්ගේ ආගමනය සිද්ධ වෙන්නෙත් 90 දශකයේම තමයි.

රජ කතා සහ ජාතක කතා රැල්ල

මෑතකාලීනව එක පෙළට නිර්මාණය වෙන්න පටන්ගත්ත රජ කතා සහ ජාතක කතා රැල්ල ගැනයි ඊළඟට කතා කරන්න සිද්ධ වෙන්නෙ. ජැක්සන් ඇන්තනී මහත්මයගෙ ‘අබා’ (2008) චිත්‍රපටය මේ ප්‍රවණතාවයේ නිශ්චිත ආරම්භය විදියට හැඳින්වීමේ වරදක් නැහැ. විජය රජ්ජුරුවන්ගෙ ඉඳලා දේවානම්පියතිස්ස, දුටුගැමුණු, පරාක්‍රමබාහු හරහා වළගම්බා දක්වා රජවරු ගැන ඓතිහාසික කතා තේමාවන්ගෙන්, මද්දුමබණ්ඩාර, අනගාරික ධර්මපාල වගේ චරිත කතාවලින් සහ බෞද්ධ සාහිත්‍යයේ එන කතාවලින් සිංහල සිනමාවට හිඟයක් තිබුණෙ නැහැ පහුගිය අවුරුදු අට, නමය පුරාවටම. 2009 ජනවාර්ගික යුද්ධය අවසන් වීමත් එක්ක තමයි මේ ධාරාව උත්කර්ෂයට නැගෙන්නෙ. ‘අධිපති මතවාදය සංවිධානය කිරීම වෙනුවෙන් කලාව යොදාගැනීම’ කියන්නෙ ලෝකයේ ගොඩක් රටවල් සාර්ථකව අත්හදා බලපු ක්‍රමවේදයක්.

මීළඟ හැරවුම

එතනින් පස්සෙ අපට හැරෙන්න වෙනවා මේ සටහනේ දෙවන කොටසට. වඩාත් හොඳින් පැහැදිළි කළොත්, මුලින් කතා කරපු ‘ඊළඟට මොකද වෙන්නෙ?’ කියන ප්‍රශ්නයට උත්තරයක් හොයන්න දැන් කාලය ඇවිත් තියෙන බව සිහිපත් කිරීම තමයි මෙතනින් එහාට සිද්ධ වෙන්නෙ. මේ දක්වා කතා කරපු හැම සිනමා ප්‍රවණතාවක් ඇතුළෙම තියෙනවා සියුම් නිරීක්ෂණයකින් හඳුනාගන්න පුළුවන් වෙන එක්තරා සුවිශේෂී බවක්. ඒ තමයි, ඒ ගොඩක් ප්‍රවණතා ආසන්න වශයෙන් දශකයකට වැඩි කාලයක් එක දිගට නොපැවතුණු බව. සමහර ප්‍රවණතා එතනින් එහාට පැවතුණත් ඒක ඒ තරම් ක්‍රියාකාරී පැවැත්මක් නෙමෙයි. අපේ සිනමාව ඇතුළෙ ගත්තත්, ලෝක සිනමාව පැත්තෙන් ගත්තත් මේ කාරණයෙ එක්තරා සමානකමක් තියෙනවා. කොහොමත් එක දිගට එකම දෙයක් බලාගෙන ඉන්න කිසිම ප්‍රේක්ෂකාගාරයක් කැමති වෙන්නෙ නැහැ.

ඒ කියන්නෙ සිංහල සිනමාව මේ වෙනකොට නතර වෙලා ඉන්නෙ තමන්ගෙ මීළඟ හැරවුම ඉස්සරහ. ඒ ඉදිරි ගමන අධි තාක්ෂණික හොලිවුඩ් හීන ඇතුළෙ හිරවෙයිද? එහෙමත් නැත්නම් ඇත්ත ජීවිතයට ළඟ කේරළ සිනමාව පැත්තට හැරෙයිද? කියන කාරණය ගැටලුවක්. සමහරවිට දෙමළ, තෙළිඟු චිත්‍රපට ප්‍රතිනිර්මාණය කිරීමේ සිනමාවක් ආපහු කරළියට එන්නත් බැරි නැහැ. කොහොම වුණත් ඒ ‘හැරවුම’ නිරවුල්ව පැහැදිලි කරගැනීම කර්මාන්තයක් විදියට අපේ සිනමාවේ පැවැත්මට ඉතාම වැදගත්. ඇත්තටම අපේ සිනමාවෙ ‘ඊළඟට මොනවා වෙයිද?’

[සෞම්‍ය සඳරුවන් ලියනගේ]

මූලාශ්‍ර

අද්‍යතන සිංහල සිනමාවේ විෂය ක්ෂේත්‍රය – ධම්මික ගංගානාත් දිසානායක

ජයවිලාල් විලේගොඩගේ නොපළ ලිපි – සුනිල් මිහිඳුකුල

ශ්‍රී ලංකාවේ ජාතික චිත්‍රපටි නාමාවලිය විමසුම – අජිත් ගලප්පත්ති

ජාතික චිත්‍රපට සංස්ථාවේ නිල වෙබ් අඩවිය

මාතෘකා

 
 
 
රටේ අපරාධ රැල්ල අඩු කිරීමට කළ යුත්තේ ?