ජීවිත දහස් ගණනකට අරමුණක් දුන් කර්නල් රත්නප්‍රිය

 ඡායාරූපය:

ජීවිත දහස් ගණනකට අරමුණක් දුන් කර්නල් රත්නප්‍රිය

කතාවක් කියන්න ද? හැබැයි ඒක හැමෝම දන්න ඒත් දැන් හැමෝටම අමතක වෙච්ච කතාවක්. මීට අවුරුදු 10කට විතර කලින් ලංකාවට කිව්වේ ඉන්දියන් සාගරේ මුතු ඇටය කියලා නෙමෙයි ඉන්දියන් සාගරේ ලේ බින්දුව කියලා. උතුරයි දකුණයි එකතු වෙලා කරපු අවුරුදු 30ක යුද්දෙදී උතුරේ දකුණේ කියලා වෙනසක් නැතුව හැමෝම ලේ දැක්කා. හැමෝගෙන්ම ලේ වැගිරුණා. දකුණේ අම්මලාගේ විතරක් නෙමෙයි උතුරේ අම්මලාගෙත් ඇස්වලින් කඳුළු වැගිරුණා. හැමෝටම ගොඩක් දේවල් අහිමි වුණා. යුද්ධයේ බිහිසුණු අත්දැකීම් හැමෝම අත්වින්දා.

යුද්දේ ඉවර වෙලත් දැන් වසර නවයක් ගත වී හමාරයි. ඒත් තාමත් මිනිස්සු යුද්දෙ අමිහිරි මතක මතක් කරනවා. ඒ අමිහිරි මතක ගොන්න අතරේ හැංගුණ මනුස්සකම් තිබුණු මිනිසුන් ගැන අහන්නට ලැබෙනවා. කිලිනොච්චියේ ‍විශ්වමඩු සිවිල් ආරක්ෂක දෙපාර්තුමේන්තුව දෙසින්ද ඒ වගේ මනුස්සකම් එක්ක බැඳුණු කතාවක් අපිට අහන්න ලැබුණා. විශ්වමඩු සිවිල් ආරක්ෂක දෙපාර්තුමේන්තුවේ සේවයේ නිරතව සිටි කර්නල් රත්නප්‍රිය බන්දු ඊයේ දින අඹේපුස්ස යුද හමුදා කඳවුරට ස්ථාන මාරුවක් ලැබුවා. ඔහු විශ්වමඩු ප්‍රදේශයෙන් සමුගන්න මොහොතේ ප්‍රදේශවාසීන් ඉතාම සංවේදී අන්දමින් ඔහුට සමුදුන්නා. බාල මහලු කවුරුත් හඬමින් ඔහුගේ නික්ම යාම ගැන කම්පා වුණා.

උතුරුකරයේ මිනිස්සුන්ගේ මේ තරම් සිත් දිනාගත්ත කර්නල්වරයා ගැන වංහුං හොයලා බලන්න 'රැස' අපි තීරණය කළා.

යුද්ධයෙන් පසුව ගත වුණු කාලය වැය කළේ උතුරේ අහිමි වුණු සමාජ ආර්ථික තත්ත්වයන් නගා සිටුවන්න. ඒ සඳහා රජය විවිධ වැඩපිළිවෙළ දියත් කළා. ඒ අතරින් වැදගත් තැනක් හිමිවන්නේ සිවිල් ආරක්ෂක දෙපාර්තුමේන්තුවට. එයට හේතුව වෙන්නේ උතුරුකරයේ ජනතාවට තමන්ගේ අහිමි වුණු සමාජ තත්ත්වය, ආර්ථිකය, අධ්‍යාපනය ඇතුළු අනෙකුත් අවශ්‍යතා නගා සිටුවීම සඳහා සිවිල් ආරක්ෂක දෙපාර්තුමේන්තුවෙන් සිදු වුණේ කිව නොහැකි තරම් සේවයක්.

ඒ 2012 වර්ෂය. අපේ කතාවේ කතානායකයා වන කර්නල් රත්නප්‍රිය බන්දු විශ්වමඩු ප්‍රදේශයට පය ගැහුවේ 2012 වර්ෂයේ ඔක්තෝම්බර් පළමුවැනිදා. ඊට පෙර ප්‍රධාන මාණ්ඩලික නිලධාරී තනතුරක් හොබවන ඔහුට මෙතැන් පටන් භාරවෙන්නේ උතුරුකරයේ සුණු විසුණු වුණු ජීවිත අර්ථාන්විත කිරීමේ වගකීම. විශ්වමඩු ප්‍රදේශයේ සිවිල් ආරක්ෂක දෙපාර්තුමේන්තුවක් ආරම්භකොට යුද්ධයෙන් හෙම්බත් වුණු උතුරුකරයේ ජනතාවගේ ජීවිතවලට නැවත අරමුණක් ලබාදීමේ වගකීම ඔහුට හිමි වෙනවා. විශ්වමඩු ප්‍රදේශයේ කැස්ටෝ නම් එල්.ටී.ටී. ඊ නායකයාගේ කඳවුර පිහිටලා තිබුණු භූමිය තමයි පසුකාලීනව විශ්වමඩු සිවිල් ආරක්ෂක දෙපාර්තුමේන්තුව වෙන්නේ.

" අවුරුදු 30 ක යුද්ධයත් එක්ක පීඩාවිඳපු, හමුදාමය නායකත්වයක් යටතේ හිටපු මිනිස්සු තමයි අපේ සිවිල් ආරක්ෂක දෙපාර්තුමේන්තුවට බැඳුණේ. ඔවුන්ට සමාජයේ නායකත්වයක් තිබුණේ නැහැ. ඒ නිසා මෙතැනින් එහාට ඒ මිනිස්සුන්ගේ ජීවිතවලට නායකත්වයක් දෙන්න වගේම අරමුණක් හදන එක අපේ වගකීම වුණා. මම කාලයක් ඒ මිනිස්සු එක්ක ඉඳලා ඒ සමාජයේම කෙනෙක් විදිහට ජීවත් වෙලා

ඒ අයගේ ජීවිතය අවබෝධ කරගන්න උත්සාහ කළා. මම මේක පටන් ගන්න යද්දි ගොඩක් සංවිධානවලින් මට තර්ජන ආවා.

'පුළුවන්නං 100ක් බඳවාගෙන පෙන්නන්න' කියලා කිව්වා. ඒ කිසිම දෙයක් සතේකට මායිම් නොකර මම වැඩ කළා. දවස් 14ක් ඇතුළත අපිට ස්ථීර ගොඩනැඟිල්ලක් හදන්න පුළුවන් වුණා. පළවෙනි දවසෙම 4000කට වැඩි පිරිසක් අපේ දෙපාර්තුමේන්තුවට බැඳුණා. වැඩිපුරම බැඳුණේ දමිල තරුණ තරුණියන්. දැන් උතුරේ තියෙන ජනප්‍රියම රාජ්‍ය ආයතනය තමයි අපේ ආයතනය."

හෙම්බත් වුණු ජීවිත හරි අපූරුවට හරිගස්සන්න පටන් ගත්ත හැටි කර්නල් රත්නප්‍රිය බන්දු අපිට කිව්වේ එහෙම. යුද බියෙන් වෙලී ගිය ජීවිත නැවත යථාතත්වයට අරගන්න එක වගේම ඒ ජීවිතවලට අරමුණක් ලබාදෙන එක ලේසි පහසු කාරණයක් නෙමෙයි. කර්නල් රත්නප්‍රියට පැවරෙන්නේ ඔවුන්ගේ ජීවිතවලට ඉලක්කයක් නිර්මාණය කරන එක. ඔහු ඒකට අපූරු ක්‍රමවේදයක් අනුගමනය කළා.

"මුල් කාලේ නම් අපේ වැඩේ ගැන ඒ ළමයින්ට පොඩි අවිශ්වාසයක් තිබුණා. ඒත් ක්‍රමානුකූලව අපේ සංකල්ප එක්ක වැඩ කරද්දි ඔවුන් අපිත් එක්ක සහෝදරත්වයෙන් බැඳුණා. මම ඔවුන්ට නව සංකල්පයක් හඳුන්වා දුන්නා. ඒක තමයි 'එක පවුලක්' කියන සංකල්පය. ඒ පවුල හැදෙන්නේ කණු හතරකින්. ගරුත්වය, විශ්වාසය, දයාව, කැපවීම යන අංග එකතු වුණාම තමයි එක පවුලක් හැදෙන්නේ. මේ සංකල්පය එක්ක තමයි මම වැඩ කරන්න පටන්ගත්තේ. ඒ වගේම 'අවි රහිත සංකල්පය' ගැනත් කියන්න ඕනේ. මේ කිසිම වැඩකදි අපි එක අවියක්වත් පාවිච්චි කළේ නැහැ. ඒ නිසා තමයි මිනිස්සු මට ආදරේ.."

මිනිස්සුන්ගේ ජීවිත හදනවා කියන එක ජීවිතවලට අරමුණක් දෙනවා කියන එක බිඳුණු බලාපොරොත්තු එක්ක ජීවත් වුණු මිනිස්සුන්ට හුස්මගන්න බලාපොරොත්තු දෙනවා කියන එක තනි මනුස්සයෙක්ට කරන්න අමාරු වැඩක්. ඒත් යාපනය, කිලිනොච්චි, මුලතිව් ප්‍රධාන අණදෙන නිලධාරී කර්නල් රත්නප්‍රිය යුද හමුදාවේ සහයෝගය ඇතුව ඒක අපූරුවට කරනවා. ඔහු කියූ ආකාරයට කෘෂි ව්‍යාපෘති, කර්මාන්ත පුහුණු, රූපලාවණ්‍ය, හස්ත කර්මාන්ත ආදී ව්‍යාපෘතිය රාශියක් මේ වන විට ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම උතුරුකරයේ පෙර පාසල් 261ක් ඔවුන් ආරම්භ කරලා තියෙනවා. අධ්‍යාපනය කියන වචනයේ අරුතක්වත් නොදැන ජීවිත කාලයම යුද්ධයේ බිහිසුණුකම අත්වින්ද දරු දැරියන් 58,146ක් විධිමත් අධ්‍යාපනය ලබනවා.

කර්නල් රත්නප්‍රිය වසර පහකට අධික කාලයක් මෙසේ තමන්ගේ උපරිම සේවය උතුරුකරයේ හෙම්බත් වුණු ජීවිත අර්ථාන්විත කරන්න කැප කරනවා. මේ කාලය තුළ ඔහුට වැඩිපුරම කාලය ගත කරන්න වුණේ එල්.ටී.ටී.ඊ සංවිධානයේ සිට පුනරුත්ථාපනය වුණු තරුණ තරුණියන් සමඟ. ඔවුන් සමඟ කටයුතු කළ ආකාරය ගැනත් ඔහුගෙන් විමසන්න අපි අමතක කළේ නැහැ.

"මේ ළමයි ඔක්කෝම මානසික බිඳවැටීම්, අහිමි වීම් එක්ක ජීවිතය ගත කරපු අය. ඔයුන්ගේ ඒ බිහිසුණු අතීතය මම නැවත නැවත හාරවුස්සන්න ගියේ නැහැ. ඒත් ඔවුන් මට ඒ අතීතය ගැන කියලා තියෙනවා. මිනිස්සු මගේ ඔෆිස් එකට කියන්නේ ' ඩිස්පෙන්සරිය' කියලා. එයාලගේ ඕනේම ප්‍රශ්නයකට උත්තර මං ළඟ තිබුණා. ඒ වගේම තමයි දෙන්නෙක් අතර ආදරයක් ඇති වුණු වහාම ඒ දෙන්නා ඇවිත් කතා කරන්නේ මාත් එක්ක. එතන ඉඳන් ඔවුන්ගේ විවාහය දක්වා ඒ කටයුතු සියල්ලම අපි ඔවුන්ට කරලා දෙනවා. මම අත්සන් කරන්න ගියපු විවාහ උත්සව ගාණ ගණන් කරන්නත් බැරි තරම්. "

ඔහු නික්ම එන විට ඔවුන් හඬා වැලපීම පුදුමයක් නැති වග ඔබට ඔහුගේ වචනවලින්ම පසක් වනවා ඇති. හමුදා සේවයට එහා ගිය මිත්‍රත්වයකින් මිනිසුන් සමඟ ගනුදෙනුකොට ඔවුන්ගේම "එකෙකු" බවට පත් වී ඔවුන්ගෙන් සමුගෙන එන විට දැනෙන හැඟීම ඔහුටද අද දැනෙනවා ඇති. කර්නල් රත්නප්‍රිය කියූ ආකාරයට විශ්වමඩු සිවිල් ආරක්ෂක දෙපාර්තුමේන්තුවේ වසර පහකට අධික කාලයක් සේවයේ නිරත වුණා. මේ කාලයේදී අමතක නොවන මතක රාශියක් ඔහුගේ මතක පොතක එක් වෙලා හමාරයි. ඒ මතක හාරවුස්සන්නත් අපි අමතක කළේ නැහැ.

" අපේ එක සාමාජිකයෙක් හිටියා එල්.ටී.ටී.ඊ යේ ප්‍රමුඛ පෙළේ නායකයෙක්. ඔහු පුනරුත්ථාපන වුණත් ඔහුගෙන් යම් යම් ප්‍රචණ්ඩකාරී හැසිරීම් අපිට දකින්න ලැබුණා. ඔහුට විශාල ජවයක් තියෙනවා කියලා මට තේරුණා. ඒ ජවය යමකින් පිට කරන්න ඔහුට අවශ්‍යයි. මම තීරණය කළා ඔහුට වැවක් සැදීමේ වගකීම භාර දෙන්න. ඔහුගේ නායකත්වයෙන් මාස තුනක් ඇතුළත රජයේ මුදල් පාවිච්චි කරන්නේ නැතුව අපි අක්කර 50කට වැඩි වැවක් හැදුවා. ඒ කටයුත්තේදි ඔහු ක්‍රියා කරපු හැටි, ඒ ජවය මට කවදාවත් අමතක වෙන්නේ නැහැ. "

උතුර දකුණ කියලා අපි කාලයක් බෙදාගෙන හිටියා. දැන් එහෙම් නැහැ. උතුරට හමන හුළඟම දකුණටත් ඒ වගේම හමනවා. දකුණේ ජීවිත වගේම උතුරේ ජීවිත විතැන් වෙමින් පවතිනවා. උතුරේ ඇති වෙමින් පවතින සහජීවනය ගැනත් කර්නල්ගෙන් අහන්න හිතුවා.

"දකුණේ අය උතුර ගැන මවාගෙන ඉන්න චිත්‍රයට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් උතුරේ චිත්‍රය. ඒ මිනිස්සු යුද්ධය කියන වචනයවත් නැවත අහන්න කැමති නැහැ. සාමය තමයි ඒ අයගේ බලාපොරොත්තුව. ඒ අය ඉතාම කැමැත්තෙන් ඉන්නේ දකුණත් එක්ක සහයෝගයෙන් අත්වැල් බැඳගන්න. ඒත් ලංකාවේ බහුතරයක් ජනමාධ්‍ය සහ විවිධ පිරිස් ආයිමත් ජාතිවාදය පතුරවන්න හදනවා. ඒකට අපි ඉඩදෙන්නේ නැහැ. "

උතුරේ ජන ජීවිතය කෙමෙන් කෙමෙන් යථා තත්ත්වයට පත්වෙමින් පවතිනවා. ඒ ජන ජීවිතවල නොමැකෙන මතක සටහන් ගොන්නක් ඉතිරි කරන්න අපේ කතානායකයා කර්නල් රත්නප්‍රිය සමත් වෙලා තියෙනවා. ඔහු කියූ ආකාරයට විශ්වමඩු ප්‍රදේශයේ ගත කළ කාලය ඔහුගේ ජීවිතයේ ද අමතක නොවන අමරණීය මතක ගොඩක් එක් කළ සුන්දර මිනිසුන් සමඟ ගත කළ කාලයක්.

මිනිස්සුන්ගේ හදවත් දිනන එක කලාව. ඒක හැමෝටම කරන්න බැහැ. කෙතරම් විශාල සේවයක් කළ ද මිනිස්සුන්ගේ හදවතේ කාවදින චරිතයක් වෙන්න හැමෝටම බැහැ. ඒත් කර්නල් රත්නප්‍රිය ඒක කරලා පෙන්නුවා. ඔහු නික්ම යන විට මිනිසුන් හඬා වැලපුණා පමණක් නොව ඔහු යන මග පවා අහුරමින් ඔහුගේ ගමනට බාධා කළා.

යුද්ධය නිමා වී රට එක්සත් වුණාට මිනිසුන්ගේ හදවත් එකතු කරන එක අමාරු වැඩක් වුණා. කර්නල් රත්නප්‍රිය වැනි චරිත වෙහෙස දරන්නේ එසේ වෙන් වුණු උතුරු දකුණු හදවත් යා කිරීමේ කාර්යයට. ඒ නිසාම කර්නල් රත්නප්‍රිය බන්දු උතුරුකරයේ වැසියන්ගේ මතකයේ සදා නොමැකෙන අමරණීය මතකය වනු ඇත.

සටහන [නිර්මාණි බණ්ඩාරනායක]

ඡායා [කංචන ආරියදාස]

මාතෘකා