ඔසප් ස්වස්ථතාව: විවෘතව කතා කළ යුතු ප්‍රශ්නයක්? | ඇස පාදන රැස


ඔසප් ස්වස්ථතාව: විවෘතව කතා කළ යුතු ප්‍රශ්නයක්?

 ඡායාරූපය:

ඔසප් ස්වස්ථතාව: විවෘතව කතා කළ යුතු ප්‍රශ්නයක්?

නේපාලයේ ඇතැම් පිටිසර ප්‍රදේශවල තිබෙන චවුපදි නම් චාරිත්‍ර‍යට අනුව, ඔසප් සිදු වන දින කීපය තුළ ගැහැනු ළමයින් හා කාන්තාවන්ට නිවසින් බැහැරව තනන ලද වෙනම කිලි මඩුවක ජීවත් වන්නට සිදුවේ. මෙම කිලි මඩුවලදී සිදුවන සර්ප දෂ්ටන, සීතලට ගොදුරුවීම වැනි කරුණු නිසා කාන්තාවන් මියයාම නිසා මේ වනවිට මෙම චාරිත්‍ර‍ය නීතියෙන් තහනම් කර තිබේ. එහෙත්, තවමත් එය එහි සිදුවේ. අල් ජසීරා රූපවාහිනිය ඒ පිළිබඳ වාර්තා වැඩසටහනක් නිෂ්පාදනය කළේය.

ශ්‍රී ලංකාවේ මෙවැනි අමානුෂික චාරිත්‍ර‍ දක්නට නොමැති වුණත්, වැඩි විය පැමිණීම, ඔසප් වීම, දරුවන් ලැබීම වැනි කාන්තාවන් සම්බන්ධ ජීව විද්‍යාත්මක කරුණු කිලි ලෙස සලකන අයුරු සිංහල සංස්කෘතියෙහි දක්නට ලැබේ. පුරාවිද්‍යාත්මක ස්මාරකයක් වන මඩුවන්වෙල වලව්වේ ‘මැණිකේලාගෙ කිලි කාමරයක්’ ඇති බව ක්‍රියාකාරී සමාජ මාධ්‍යකරුවකු වන ඉන්දික කොඩිතුවක්කු වරක් සටහන් කර තිබිණි. දෙමළ හා මුස්ලිම් සංස්කෘතිවල ද එවැනි ලක්ෂණ තිබේ.

කිලි සංකල්පය පිළිබඳව 2011 ජනවාරි 16 දින දිවයින පුවත්පතට ලිපියක් ලියමින් කැලණිය සරසවියේ ඉෂානි සෞම්‍යා ලියනආරච්චි පැවසූ කරුණක් වන්නේ කිල්ල පුද්ගල දියුණුව, නිරෝගී සම්පත්තිය වනසන දෙයක්‌ ලෙස සලකන ලද බවයි.

සිංහල ගැමියා ජනතාව අතර පිළිගැනෙන පරිදි, කිලි වර්ග පහක් ඇති බව ඇය පෙන්වා දෙයි.

1. වැදුම් කිල්ල (දරු උපත්)

2. කොටහළු කිල්ල (ප්‍රථම ඔසප් වීම)

3. ඔසප් කිල්ල (මාසික ඔසප් වීම)

4. විවාහ කිල්ල (කන්‍යාභාවය බිඳීමේ කිල්ල)

5. මරණ කිල්ල

මෙයින් හතරක් කෙලින්ම කාන්තාවන් සමඟ මෙන්ම රුධිරය සමඟ ද සම්බන්ධය.

කිල්ලට බඳුන් වූ පුද්ගලයාගේ ස්‌ථානයට ඇතුළුවීම, එම පුද්ගලයා ස්‌පර්ශ කිරීම වැනි කටයුතු නිසා කිල්ලට බඳුන් වන බව පොදු විශ්වාසය වන බව ඇය පවසයි.

කොටහළු කිල්ල ලෙස සැලකෙන්නේ ගැහැනු ළමයකුට මුල් වරට ඔසප් වීමයි. ඒ හා ආශ්‍රිත චාරිත්‍ර‍ පිළිබඳව ඉෂානි සෞම්‍යා ලියනආරච්චි වැඩිදුරටත් මෙසේ සටහන් කරයි.

“මේ කිල්ල පවතින අවස්‌ථාවේදී එම දැරිය කෙරෙහි යක්‍ෂ, පිසාචාදීන්ගේ බැල්ම පවතින බව ගැමි මතයයි. එබැවින් එම කිල්ල ඇයට මෙන්ම අන් මිනිසුන්ට ද බලපානු ලබයි. එම හේතුව නිසාම ඈව අන් අයගෙන් වෙන්කර තබනු ලබයි. ඒ සඳහා ඈට කොළ මඩුවක්‌ තනන අතර, තම පියා ඇතුළු කිසිදු පිරිමියෙක්‌ දක්‌නට නොදීමත්, ශබ්ද නගා කතා කිරීම, සිනාසීම වැනි කාර්යයන් නොකළ යුතු වේ. වැඩිහිටියන් විසින් අනුමත කරන ආහාරපාන ගෙන, ශරීර කෘත්‍ය සඳහා පමණක්‌ ඇගේ හිස සිට සුදු රෙද්දකින් වසා ගිරයක්‌ අතටදී ඒ සඳහා වැඩිහිටි කතක්‌ ද සමඟ යා යුතු වේ.

“ඈට තැම්බුම් හොඳි, බත්, එළවළු ආදිය හැරුනු විට මස්‌, මාළු, බිත්තර, බැදුම් වර්ග, කිරි, තෙලෙන් පිසූ ආහාර, අනුභවයට නොදෙයි. තෙල් ආහාර, පුළුටු ආහාර නිවසේ සෑදීම පවා තහනම් කරන්නේ එවන් ආහාර උදෙසා යක්‍ෂ පිසාචාදීන්ගේ ඇල්ම බැල්ම රැඳෙන නිසාය. එවන් ආහාර අනුභවයට නොදෙන්නේ මාසික ඔසප් වීමේදී ඇති වන බඩේ අමාරු අසනීප ආදිය වළක්‌වා ගැනීම සඳහාය.

“පසුව දින හතක්‌ ගත වූ විට ඈව කිල්ලෙන් මුදාගැනීම සඳහා පවිත්‍ර කරනු ලබයි. එබැවින් ස්‌නානය කිරීම සඳහා ඈව තිර හතක්‌ හෝ කිහිපයක්‌ ඇතුළත සිටුවා තැබීම, දෙවියන්ට පුද පූජා පැවැත්වීම, පහන් දැල්වීම, වී ගොඩක්‌ මත තබා ස්‌නානය කරවීම, සුදු මල් දැමූ වතුර කළයකින් නෑවීම, අවසානයේදී එම මැටි කළය බිඳීම ද පුද පිළිවෙත් කීපයකි. සියලු වස්‌ දොස්‌ දුරුවීම, සෞභාග්‍යය උදාවීම උදෙසා එකී කාර්ය කරනු ඇතැයි සැලකිය හැකිය. නැකතට නිවසට පා තබන විට ඒ සඳහා සුදුසු අයෙක්‌ හෝ ඈ විසින්ම පොල් ගෙඩියක්‌ දෙපලු වන සේ බිඳින්නේ ද වස්‌ දොස්‌ දුරු වී සෞභාග්‍ය උදා වේ යෑයි විශ්වාසයක්‌ නිසාය. එය හරියටම දෙපලු වී එහි වතුර පිරී ගොස්‌ තිබිණි නම් ඉදිරි අනාගතයම වාසනාවන්ත වන බව ගැමියන්ගේ විශ්වාසය විය.

“උත්සවශ්‍රීයෙන් කිලි මංගල්‍යය හෙවත් කොටහළු මඟුල අවසන් වූ නමුදු කොටහළු කිල්ල තෙමසක්‌ වන තුරු රඳා පවතියි. එකී කාලය තුළදී ද පූජ්‍ය ස්‌ථානවලට නොයා සිටීමට ගැමියෝ වගබලා ගනිති. එබැවින් කොටහළු කිල්ල ද ලාංකේය ගැමි ජන සමාජයේ මුල්බැස ගෙන වර්තමානය දක්‌වාම දිව ආ ප්‍රබල සංකල්පයක්‌ බැව් කිව හැකිය. කොටහළු කිල්ලෙන් අනතුරුව මසක්‌ පාසා සිදුවන මාසික කිල්ල හෙවත් ඔසප් කිල්ල ද තවත් එක්‌ වැදගත් කිලි අවස්‌ථාවක්‌ ලෙස ගැනේ. මෙම දිනවලදී ස්‌ත්‍රියට වාසය කිරීමට මෙන්ම කුටියක්‌ අතීතයේ නිවෙස්‌වල විය. එම කාලය ඇතුළතදී ඇය ගෙදර දොරේ කටයුතුවලට සහභාගි නොවී එම කුටිය තුළ විසිය යුතු වූ අතර ඇය සඳහා ආහාරපාන සැපයීම ගෙදර සෙසු අයගේ කාර්යයක්‌ විය. (සිංහල විශ්ව කෝෂය) මෙකී කිල්ල ක්‍රියාත්මක වන කාලයේදී අතීත කාන්තාවෝ එම දින තුන තුළ ස්‌නානය නොකර සිටීමට වගබලා ගත්හ. ස්‌නානය කිරීම නිසා ශරීරයෙන් පිටවිය යුතු රුධිර ප්‍රමාණය ඉවත් නොවී ඒවා ගර්භාෂය තුළ ඉතිරි වී ගර්භාෂ පිළිකා ආදී අවදානම් තත්ත්වයනට මුහුණ දීමට සිදුවන බව ඔවුන්ගේ පිළිගැනීමයි. යක්‍ෂ, පිසාචාදීන් සිටිනවා යෑයි සලකනු ලබන ළිඳට, ගඟට, සොහොන් භූමියට සවස්‌ යාමය හෙවත් ගොම්මන් වැටෙන වේලාව යෑයි හඳුන්වන කාලයේ යැම නුසුදුසු වේ. එමෙන්ම ඔසප් කාලය තුළදී පූජ්‍යස්‌ථාන (විශේෂයෙන්ම දේවාල) කරා ගමන් නොකිරීමට ද අතීත කාන්තාවෝ කටයුතු කළහ.”

ඔසප් වීම ආශ්‍රිත මෙවැනි චාරිත්‍ර‍ තවමත් සිංහල සමාජයේ පවතී. එමගින් ගැහැනු ළමයින් හා කාන්තාවන් සම්බන්ධයෙන් ඇති වන සමාජ ආකල්ප විෂමතාවලට හේතු වන බව පෙනේ. එපමණක් නොව, ඔසප් වීම ආශ්‍රිත ඇතැම් චාරිත්‍ර‍ හේතුවෙන් ගැහැනු ළමයින්ගේ හා කාන්තාවන්ගේ සනීපාරක්ෂාවට ද හානි සිදුවේ. විශේෂයෙන්ම, පවිත්‍ර‍තාව හා සම්බන්ධ වන ඇතැම් කරුණු හේතුවෙන් ගැහැනු ළමයින් හා කාන්තාවන්ට ගැටලුවලට මුහුණ දෙන්නට සිදුවේ.

වැඩිවිය පැමිණි පසු දින ගණනක් කාමරවල සිර කරගෙන තබාගැනීම ගැහැනු ළමයින්ගේ අධ්‍යාපනයට බලපාන කරුණකි. එසේම, වැඩිවිය පැමිණීමත් සමග පනවනු ලබන තහංචි ගැහැනු ළමයාගේ ශාරීරික, මානසික වර්ධනයට බලපායි. වැඩිවිය පැමිණීමත් සමඟ ගැහැනු ළමයින්ට ක්‍රීඩා වැනි ක්‍රියාකාරකම් තහනම් කිරීම අද ද සුලබය.

ඔසප් වීම කිල්ලක්, අපවිත්‍ර‍ දෙයක් ලෙස සැලකීම නිසා ගැහැනු ළමයින්, කාන්තාවන් අවමානයට ලක් කිරීමක් ද සිදුවේ. නවීන සමාජය මෙවැනි ජීව විද්‍යාත්මක සාමාන්‍ය සිදුවීම් දෙස වඩා දියුණු ඇසකින් බැලීම අවශ්‍යය.

ඉල්ලීමක් ඉදිරිපත් වන්නේ නම් ශ්‍රී ලංකාවේ කාන්තාවන්ටත් ඔසප් නිවාඩුවක් ලබාදිය යුතු යයි කැබිනට් මණ්ඩලයට නිර්දේශ කිරීමට තමන් සූදානම් බව කාන්තා කටයුතු ඇමතිනී චන්ද්‍රානි බණ්ඩාර මහත්මිය 2017 වසර මුලදී පැවසුවාය.

චීනයේ පළාත් ගණනාවක් තුළ දැනටමත් ක්‍රියාත්මක ඔසප් නිවාඩුව ශ්‍රී ලංකාවේත් ක්‍රියාවට නැගිය හැකි දැයි බීබීසී සංදේශය වැඩසටහන විසින් කරන ලද විමසීමකට ප්‍ර‍තිචාර ලෙස ඇය එසේ පැවසුවාය.

ශ්‍රී ලංකාවේත් එවැනි නිවාඩුවක් ලබා දිය යුතු යයි තමන් පෞද්ගලිකව විශ්වාස කරන බව පවසමින් ඇමතිවරිය මෙසේ ද පැවසුවාය: “දරන්න බැරි වේදනාවක් එන කාන්තාවෝ ඉන්නවා. මමත් ඒ වගේ කාන්තාවන් ගැන හොඳට දන්නවා. ඒ නිසා මගේ පෞද්ගලික මතයක් හැටියට මම හිතනවා එහෙම නිවාඩුවක් දෙන්න පුළුවන් නම් හොඳයි කියල.”

එවැනි ක්‍රමයක් ශ්‍රී ලංකාවේ ස්ථාපනය කිරීමට පෙර එහි ඇති ප්‍රායෝගික ගැටලු දීර්ඝ වශයෙන් සාකච්ඡාවට බඳුන් කළ යුතුව ඇති බව කාන්තා කටයුතු පිළිබඳ ඇමතිවරිය පැවසුවාය.

මේ පිළිබඳ සමාජ ජාල ඔස්සේ සංවාදයක් ඇති වූ අතර, එයට පක්ෂව මෙන්ම එරෙහිවද මත ඉදිරිපත් විය. ශ්‍රී ලංකාවේ දැනටත් නිවාඩු වැඩිවීම නිසා මෙවැනි නිවාඩු නොගැලපෙන බව කී අයද සිටියහ.

ගමේ ගොඩේ මිනිසුන් ඔසප් වීමට මාසෙ මාරුවයි කියති. තරමක් අසභ්‍ය වදනක් ලෙස සැලකුණත්, මෙය ඇත්තෙන්ම විද්‍යාත්මක යෙදුමකි. එයින් කියවෙන්නේ දින 28ක් වන ඔසප් චක්‍රයේ එක් චක්‍ර‍යක් අවසන් වී අලුත් චක්‍ර‍යක් ආරම්භවීම පිළිබඳවයි.

මැයි 28දා ඔසප් ස්වස්ථතාව පිළිබඳ ජාත්‍යන්තර දිනය ලෙස ලොව පුරා සමරනු ලැබේ. 2014දී ආරම්භ වූ ඔසප් ස්වස්ථතා දිනයේ අරමුණ කාන්තාවන් සහ ගැහැණු ළමයින් ඔසප් චක්‍ර‍ නිසා මුහුණ දෙන අභියෝග පිළිබඳ දැනුවත් කිරීම හා එම අභියෝග ජය ගැනීම සඳහා විසඳුම් අවධාරණය කිරීමයි. මේ නිමිත්තෙන් එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල විසින් 2018 මැයි 28දා කොළඹදී ‘පෑඩ්මෑන්’ බොලිවුඩ් චිත්‍ර‍පටයේ විශේෂ දර්ශනයක් පැවැත්වීය.

‘පෑඩ්මෑන්’යනු අඩු වියදම් සනීපාරක්ෂක තුවා නිෂ්පාදනයෙන් ඔසප් ස්වස්ථතාව පිළිබඳ සංකල්පයේ විප්ලවයක් ඇති කළ දකුණු ඉන්දියානු ජාතිකයකු වූ අරුණාචලම් මුරුගානන්දම්ගේ දිරිවඩනසුලු ජීවිත කතාව ඇසුරින් නිර්මාණය කරන ලද චිත්‍ර‍පටයකි. ඔහු ඒ සඳහා පර්යේෂණ කිරීමට පෙළඹෙන්නේ ඔහුගේ බිරිඳ ඇගේ ඔසප් සමයේදී කිළිටි රෙදි කැබලි හා පුවත්පත් කඩදාසි භාවිතා කරනු දැකීමෙනි. මෙම චිත්‍ර‍පටය විසින් ස්ත්‍රී පුරුෂ ඒකාකෘතිකරණය සහ ඔසප් වීම අපකීර්තියක් බවට සමාජයේ තිබෙන අදහස වැනි කරුණු රැසක් අභියෝගයට ලක් කරනු ලැබේ.

‘එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ ශ්‍රී ලංකා නියෝජිත රිට්සු නකේන් මහත්මිය ඔසප් ස්වස්ථතා දිනයේ වැදගත්කම පිළිබඳ මෙසේ පැවසුවාය:“ඔසප් වීම ආශ්‍රිතව තිබෙන, එය අපකීර්තිමත් දෙයකි යන අදහස විසින් ස්ත්‍රී පුරුෂ සමාජභාවී සමානාත්මතාව යටපත් කරනු ලැබේ. ඒ පිළිබඳ විවෘත සංවාදයක් ඇති කිරීමෙන් අපට ඔසප් ස්වස්ථතාව හා සනීපාරක්ෂාව සම්බන්ධයෙන් ආරක්ෂිත ක්‍ර‍ම හා සෞඛ්‍ය සම්පන්න ආකල්ප ප්‍ර‍වර්ධනය කළ හැකිය. ඔසප් වීම කාන්තාවන්ට හා ගැහැණු ළමයින්ට පමණක් නොව, පිරිමින්ට හා පිරිමි ළමයින්ටත් අදාළ වන දෙයක් බව තේරුම් ගැනීම වැදගත්ය. ඔසප් වීම පිළිබඳ සංවාදයට පිරිමින් සහ පිරිමි ළමයින් ඇතුළත් කර ගැනීමෙන් එය සාමාන්‍ය දෙයක් බවට පත් වන අතර කාන්තාවන් හා ගැහැණු ළමයින් වෙනුවෙන් වඩා සුරක්ෂිත සහ උපකාරශීලී වාතාවරණයක් නිර්මාණය කළ හැකිය. ”

එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ අධ්‍යයනයක් අනුව, ශ්‍රී ලංකාවේ මව්පියන්ගෙන් 60%ක් සිය දියණියන් ඔසප් දිනවලදී පාසල් නොයවති. 80%ක් මව්පියන් සිතන පරිදි මෙම දිනවලදී නෑම මගහැරිය යුතුය.

ඔසප් ස්වස්ථතාව පිළිබඳ කතා කරමින් වෛද්‍ය අසන්ති ප්‍ර‍නාන්දු බලපිටිය මහත්මිය පැවසුවේ ඒ පිළිබඳ විවෘතව කතා කිරීම වැදගත් බවයි.

“සමාජයේ මිථ්‍යා මත තිබෙනවා. මේ පිට වන්නේ අපිරිසිදු රුධිරය බව කියන එක එවැනි මතයක්. එය වැරදියි. මෙහිදී සිදු වන්නේ ගැබ් ගැනීම සඳහා සූදානම් වුණ ගර්භාෂ බිත්තිය, ගැබ් ගැනීමක් සිදුනොවීම නිසා ගැලවී රුධිරය සමඟ ඉවත්ව යාමයි. ඔසප් වීම සිදුවන දිනවල පිරිසිදුකම ඉතා වැදගත්. ඔසප් දිනවලදී නාන්නට හොඳ නැහැ වගේ අදහස් තියෙනවා. ඒ වුණාට මේ දිනවල නාලා පිරිසිදු වෙන එක ඉතා වැදගත්. අප කියන්නේ සනීපාරක්ෂක තුවා හෝ රෙදිකඩ පැය හතරකට වරක් මාරු කරන්නය කියලායි. එහෙත්, සමහර විට, පාසල් දරුවන්ට එහෙම ඒ සඳහා පහසුකම් නැති නිසා උදේ පාසල් පැමිණ, සවස පන්ති ගොස් එනතුරුත් එකම සනීපාරක්ෂක තුවාය පාවිච්චි කරන අවස්ථා තිබෙනවා. ගැහැණු ළමයින්ට හා කාන්තාවන්ට ඔසප් ස්වස්ථතාව වෙනුවෙන් පහසුකම් සැලසීම සමාජ වගකීමක්. ඒ වගේම, ඒ දිනවලදී ඔවුන් මුහුණ දෙන ශාරීරික, මානසික ගැටලුවලදී ඔවුන්ට විශේෂයෙන්ම සැමියා, දරුවන් ඇතුළු පවුලේ අයගෙනුත්, සමාජයෙනුත් උපකාර අවශ්‍යයි. ඒ නිසා ඔසප් ස්වස්ථතාව කියන්නෙ කාන්තාවන්ගේ ගැටලුවක් නෙමෙයි. එය සමාජමය කාරණයක්."

කාන්තාවන් සිය ජීවිත කාලය තුළදී දින 2500 - 3000 අතර කාලයක් ඔසප් වීම සමඟ ගත කරන බව වෛද්‍ය අසන්ති ප්‍ර‍නාන්දු බලපිටිය පෙන්වා දුන්නාය. එබැවින් එම දිනවලදී ඔවුන්ගේ ජීවිතය ගත වන ආකාරය කාන්තාවන්ගේ හා ගැහැණු ළමයින්ගේ හැකියාවන් සහ ජීවිත මල් ඵල ගන්වා ගැනීමට බලපායි. එයින් ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවට බලපෑම් සිදුවන අතර, වෙනස්කම් කිරීමට, ගැහැණු ළමයින්ට හා කාන්තාවන්ට අධ්‍යාපනය මගහැරීමට, රැකියා හා වෙනත් ජීවන අවස්ථා අහිමි වීමට හේතු විය හැකියි.

ඔසප් වීම යනු සාමාන්‍ය ජීව විද්‍යාත්මක ක්‍රියාවලියකි. එසේ වෙතත්, එය ලොව පුරාම පාහේ අපකීර්තිමත් කාරණයක් ලෙස සැලකේ. එබැවින් බොහෝදෙනෙක් ඒ පිළිබඳ කතා කිරීමට මැලිකමක් දක්වති. ඒ පිළිබඳ නිහැඬියාව බිඳීම සමාජ සංවර්ධනයට ඉවහල් වන කාරණයක් වන්නේ එබැවිනි.

[අජිත් පැරකුම් ජයසිංහ]

මාතෘකා