අවදානම් මිටියාවතට ගුවන්යානා ගොඩබස්වන අපේ ගුවන් නියමුවා

 ඡායාරූපය:

අවදානම් මිටියාවතට ගුවන්යානා ගොඩබස්වන අපේ ගුවන් නියමුවා

-නෙරංජ පෝල් තිරාණගම-

ගුවනේ පියාසැරීම සිහිනයක්ව තිබූ කාලයක කුරුල්ලන්ගේ ක්‍රියාකාරකම් නැරඹීමට කැමති එක් කුඩා දරුවෙකු ඒ සිහිනය සැබෑ කරන්නට උත්සහ දැරුවේ විල්බට් රයිට් හා ඕවිල් රයිට් සහෝදරයන් ගුවන් යානය නිපදවීමට දශක කිහිපයකට පෙරාතුව යැයි පැවසුවොත් ඔබ පුදුම වනු ඇත. ඔටෝ ලිලියන්තාල් නම් ජර්මන් ජාතික මේ මහා විද්‍යාඥයා 1891දී ග්ලයිඩරය නිර්මාණය කළ අතර ඔහු 1896දී පරියේෂණ අත්හදා බැලී‍මකදී සිදුවූ දෝෂයක් හේතුවෙන් මරණයට පත් විය. වර්තමානයේ අප ගමන් කරන ගුවන් යානා නිර්මාණය වූයේ 1906දී රයිට් සහෝදරයන්ගේ පර්යේෂණ ප්‍රතිඵලයක් ලෙසයි. කෙසේ වෙතත් අපි කතා කරන්නේ ගුවන් යානා පිළිබඳව නොවේ. ගුවන් යානා පදවමින් දැඩි වගකීමක් සහිත භාරදූර කර්තව්‍යයක් ඉටුකරන ගුවන් නියමුවන් අතර ශ්‍රි ලාංකික සුවිශේෂ ගුවන් නියමුවෙකු පිළිබඳවයි. ඔහු ශ්‍රි ලාංකික ගුවන් නියමු කපිතාන් නෙරංජ පෝල් තිරාණගමයි.

ලෝකයේ ජනගහනය අධික රටවල් දෙකක් වන චීනය හා ඉන්දියාව අතර හිමාලයේ පිහිටා ඇති භූතානය ස්වභාවික පරිසරයට මුල් තැන දෙන සාමකාමි බෞද්ධ රටක් වේ. එරටේ අණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව වනාන්තර 60% ක ප්‍රතිශයක් තිබීම අත්‍යවශ්‍ය වන අතර මේ වන විට රටේ වනාන්තර ප්‍රතිශතය 72%කි. එම නිසා බූතානය ලොව ඇති එකම කාබන්ඩයොක්සයිඩ් උදාසීන රට බවට ද පත්ව තිබේ.

භූතාන ගුවන් තොටුපළ පිහිටා තිබෙන්නේ භුතානයේ පාරෝ දිස්ත්‍රික්කයේ පාරෝ නිම්නයේය. මේ ගුවන් තොටුපල අසලින් “පාරෝ චූ“ ගංගාව ගලා බසින අතර වටපිටාව ඉතාමත් සුන්දර නමුත් පිහිටීම අවදානමකින් යුක්තය.. ගුවන් තොටුපල මුහුදු මට්ටමේ සිට අඩි 7300 ක් පමණ ඉහළින් පිහිටා ඇති අතර ධාවන පථයේ දිග මීටර් 1985 ක් වේ. ඒ වගේම ගුවන් තොටුපලේ මෙහෙයුම් සිදු වන්නේ දිවා කාලයේ දී පමණකි.ගුවන් තොටුපළ ආරම්භ වි තිබෙන්නේ 1968 දී පමණ වන අතර මුලින්ම එය භාවිත කර ඇත්තේ ඉන්දියානු ගුවන් හමුදාව විසිනි. පසු කාලීනව ගුවන් තොටුපළ සංවර්ධනය වූ අතර ධාවන පථයේ දිග අද තිබෙන ප්‍රමාණයට ගෙන ආවේ 1990 දී පමණය.

ගුවන් තොටුපලේ මගී පර්යන්ත එකක් පමණක් ඇති අතර එය භුතානයේ පාරම්පරික කලාවන් පිලිඹිබු වන ආකාරයෙන් අලංකාරව සකසා තිබේ.

මෙම ගුවන් තොටුපළට ගුවන් යානා ගොඩ බැස්සවීම සඳහා සුදුසුකම් ලත් ගුවන් නියමුවන් සිටින්නේ ඉතාමත් අතලොස්සක් පමණයි. පසුගිය කාලයේ වාර්තා අනුව එසේ සුදුසුකම් ලත් නියමුවන් ගණන 8 ක් පමණ විය.ශ්‍රීලාංකික නියමුවා අයත් වන්නේ ඒ අට දෙනාට ය.

ගුවන් තොටුලේ ජාත්‍යන්තර මෙහෙයුම් සිදු කරනු ලබන්නේ භුතානයේ ජාතික ගුවන් සේවය වන “ඩෘක් එයාර්“ ගුවන් සමාගමයි. ඉන්දියාව, බංගලිදේශය, නේපාලය, තායිලන්තය හා සිංගප්පූරුව යන රටවලට මෙම ගුවන් තොටුපලේ සිට මෙහෙයුම් සිදු වේ. ඊට අමතරව දේශීය ගුවන් මෙහෙයුම් ද සිදුවේ.ගිරි ශිඛර අතරින් සිදුවන භුතාන ගුවන් ගමන සහමුලින්ම ත්‍රාසජනක අත්දැකීමකි.බුහුටි ලෙසත්,ශූර ලෙසත් ගුවන් යානා හසුරුවන නියමුවෙකුට හැර සාමාන්‍ය නියමුවෙකුට මෙහි ගුවන් ගමන තිගැස්සෙන සුළු අත්දැකීමක් සේම,කළ නොහැකි මට්ටමේ කටයුත්තකි.තිරාණගම ගන්නේ එවැනි ත්‍රාසජනක අත්දැකීමකි.අනෙක් අතට දැනට තියෙන තොරතුරු අනුව මෙතෙක් මේ ගුවන් තොටුපලෙන් පිටවුන හෝ මේ ගුවන් තොටුපලට ගොඩබෑම අරමුණු කර ගනිමින් ගුවන් ගත වූ යානයක් හෝ කිසිම ගුවන් අනතුරක් භූතානයේ වාර්තා වෙලා නැත. අනතුරුදායක බව ඉහළ නිසා ඉතාම් පරිස්සමින් මෙහෙයුම් සිදු කිරීම සහ ගුවන් මෙහෙයුම් ගණන අඩු වීම මීට හේතුව බවයි බොහෝ දෙනා පවසනුයේ.

පැරෝ ගුවන් තොටුපළ එම රටේ ඇති එකම ජාත්‍යන්තර ගුවන් තොටුපළ වන අතර එය පිහිටා ඇත්තේ පැරෝ චූ ගං ඉයුරේ ඇති ඉතා ගැඹුරු මිටියාවතකය. පැරෝ සිට අඩි දහඅට දහසක් උස කදුපන්ති අතර ඇති එම ගුවන් තොටුපළ ලොව වඩාත් අභියෝගාත්මක ගුවන්තොටුපළවලින් එකක් බවට පත්ව ඇත. මෙම ගුවන් තොටුපල පැරෝ සිට අඩි දහඅට දහසක් උඩ කඳු පන්ති අතර පිහිටා ඇති අතර 1968දී ඉන්දියානු දේශ සීමා මාර්ග සංවිධානය විසින් භූතාන රාජකීය රජය වෙනුවෙන් හෙළිකොප්ටර් මෙහෙයුම් සඳහා මෙම ගුවන්තොටුපළ ගොඩනංවා තිබේ. පැරෝ ගුවන් තොටුපළ මුහුදු මට්ටමේ සිට අඩි 7332ක් උසින් ද මීටර් 3900 ක් දිගු ගුවන් තොටුපළක් ද සහිතයි. 1981දී ස්ථාපිත Drukair ගුවන්සේවය එරට ප්‍රථම ගුවන් සේවය වන අතර 2010දී භූතාන ප්‍රථම පෞද්ගලික ගුවන් සේවය වන Bhutan airlines ගුවන් සේවය ආරම්භ කර තිබෙනවා. මෙහි ගුවන් ධාවන පථය මීටර් 1402 - මීටර් 1964කි. 2010 වසරේ වරලත් ජාත්‍යන්තර ගුවන් තොටුපළක් ලෙස පත් වූ පැරෝ ගුවන්තොටුපළේ, දැනට ගුවන් කටයුතු සිදුකරන්නේ Airbus A319 යානා සහ ATR 42 යන සැහැල්ලු කුඩා යානාවන්වලින් පමණයි. 2018 මාර්තු 4වන දින මැලේසියාවේ අත්හදා බැලීමක් ලෙස A320NEO ගුවන් යානාව ද ගොඩබස්වා තිබුණේ සාර්ථක ප්‍රතිඵල ලබා දෙමින්.

1976 ජූනි 17 වන දින යුද හමුදා නිලධාරී කරූ තිරාණගම මහතා හා එම මැතිනියගේ කනි‍ටු පුත් ලෙස උපන් නෙරංජ කුඩා කාලයේ සිටම ගුවන් නියමුවෙකු වශයෙන් සේවය කිරීමට සිහින මැව්වේ ඔහුට වයස අවුරුදු හතේ දී තම පවුලේ අය සමඟ ස්විස්ටර්ලන්තය බලා ගිය ගමනේදීය. කොළඹ ශාන්ත පීතර විද්‍යාලයේ ඉගෙනුම ලැබූ ඔහු ලන්ඩන් උසස් පෙළ හදාරා වයස අවුරුදු දාහතේ දී රත්මලාන උපාලි ඇවියේෂන් හා සම්බන්ධවී කපිතාන් හිරන්ත පෙරේරා යටතේ ගුවන් යානා පැදවීම පිළිබඳ මූලික පුහුණුව හා දැනුම ලබා ගත්තේය. ඉන්පසු ශ්‍රි ලංකා ගුවන් හමුදාවේ ගුවන් නියමුවෙකු වශයෙන් සේවය කොට පසුව කැනඩාවේ ටෙරොන්ටෝ හි Island Air, කැනඩාවේ ටෙරොන්ටෝ හි Canadian Flyers, ඇමරිකා එක්සත් ජනපදයේ ෆ්ලොරිඩා හි Comair තුර්කියේ ස්ථාන්බුල් හි Onur Air යන ගුවන් සේවයන් හි සේවය කර ඇති අතර මේ වන විට භූතානයේ පැරෝ හි Bhutan Airlines ගුවන් සේවයේ සේවය කරයි.

2004 වසරේ ගල්කිස්ස උසස් බාලිකා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ අවන්ති ලීලාමනි පෙරේරා මෙනෙවිය හා විවාහ වූ මේ වන විට ඉතා ප්‍රීතිමත් සාමකාමි ජීවිතයක් ගෙවන නෙරංජ දියණියන් දෙදෙනෙකුගේ ආදරණීය පියෙකු වෙයි.

ගුවන් නියමුවරයෙකු ලෙස ඔහුගේ ගුරුවරයා බවට පත් වන්නේ කපිතාන් එල්මෝ ජයවර්ධනයන්ය. වෘත්තීය පිළිබඳවත් ජීවිතය පිළිබඳවත් නෙරංජ, කපිතාන් එල්මෝ ජයර්ධනගෙන් ලැබූ පන්නරය ඔහුගේ සාර්ථකත්වයේ රහසයි. භූතාන එයා ලයින්ස් හී Sangay wanchuk, Chenga, Karma Dupchu යන කපිතාන්වරුන්ටත් භූතාන civil aviation හී රාජකාරියේ නියුතු ශ්‍රි ලාංකික කපිතාන්වරයෙකු වන Mohamed Ameen මහතාත්, ඔහුගේ කල්‍යාණ මිත්‍රයන් වන දීපාල් පින්ටෝ හේවාගම, කැළුම් අතුකෝරාළ යන කපිතාන්වරුන්ටත් ඔහුගේ සොහොයුරෙකු වන කපිතාන් රංග ශමේන්ද්‍ර තිරාණගම යන ගුවන් නියමුවන් නෙරංජ නියමුවෙකු ලෙස ඉදිරියට යන ගමනේ දී ඔහුට සහයෝගය හා මඟ කියා දුන් කපිතාන්වරුන් වෙති.

කපිතාන් නෙරංජ දකින සිහිනවල තවමත් අවසානයක් නැත. ඒ අතර කපිතාන් නෙරංජගේ අවසන් බලාපොරොත්තුව වන්නේ ඔහු විශ්‍රාම ගිය පසු නැවතත් තම මව්රටට පැමිණ දුප්පත් අසරණ දරුවන්ගේ අධ්‍යාපනය සඳහා පාසලක් විවෘත කිරීමයි. මේ සඳහා කැනඩා රජයත් ඔහුගේ ලඟම හිතවතුන් හා මිතුරන්ගේ දායකත්වයෙන් ආරම්භ කිරීමට ඔහු බලාපොරොත්තු වෙයි. මේ වන විටත් ශ්‍රි ලංකාවේ වෙසෙන දුප්පත් දරුවන්ට අධ්‍යාපනය ලැබීමට මූල්‍යමය වශයෙන් උපකාර කරමින් නිහඬ මෙහෙවරක් සිදුකරන්නේ ඔහුගේ නිහතමානීත්වය විදහා දක්වමිනි.

[තිළිණි මීගහපල][ප්‍රභාත් සුරංග]

මාතෘකා