නිවේදකයා ආදරණීය කළ 'හේම නලින්' නම් ඔහු

 ඡායාරූපය:

නිවේදකයා ආදරණීය කළ 'හේම නලින්' නම් ඔහු

ප්‍රවීන මාධ්‍යවේදී හේම නලින් කරුණාරත්න මහතා ඊයේ (5 දා) සිය දිවි සැරිය 56වන මඟ සලකුණේදී හැර ගියේය. මේ සටහන ඔහුගේ නික්මයාම වෙනුවෙනි.

ප්‍රේමකීර්ති ද අල්විස් නම් ප්‍රවීණ නිවේදකවරයා රූපවාහිනියට හඳුන්වාදුන් සරල සිංහල ලෙංගතු භාෂාව, ලෙංගතු සන්නිවේදනය ඔහුගෙන් පසු වඩාත් ආදරණීය ලෙස ජන මනසට සමීප කරන්නට සුවිශේෂී මෙහෙවරක් කළ නිවේදකවරයා හේම නලින් කරුණාරත්නය.

අසූව දශකයේ මුල් භාගයේ සහය නිෂ්පාදකවරයෙකු ලෙස ජාතික රූපවාහිනියට එක්වූ හේම නලීන් කරුණාරත්න ඔහුගේම සංකල්පයක් මත බිහිවූ ප්‍රතිභා නම් වැඩසටහනක් ඉදිරිපත් කරමින් නැවත කලාකරුවන් බොහෝ දෙනෙකුට රූපවාහිනී මාධ්‍යෙයන් කළඑළි බැසීමට අවස්ථාව ලබා දුන්නේය. ඔහුගේම සංකල්පයක් මත නිර්මාණය කළ ඔහු විසින්ම ඉදිරිපත් කළ 9.05 වැඩසටහන ඔහුගේ හඬ පෞරුෂය රූපවාහිනී ප්‍රේක්ෂකයන් දැඩිව සමීප කළා පමණක් නොව රූපවාහිනියේ සඟරාමය ආකෘතිය ජනගත කිරීමටද සමත් විය. 9.05 යනු මෙරට ප්‍රේක්ෂකයාට සමීප වු සඟරාමය වැඩසටහන්වල පුරෝගාමියාය.

ආනන්ද රාත්‍රිය සංගීතමය වැඩසටහන රූපවාහිනියට හඳුන්වා දුන්නේ හේම නලින්ය. යුගයේ අග්‍රගන්‍ය සංගීතවේදී ඩබ්. ඩී. අමරදේව සූරීන් රෝගාතුරව ඉන්නා අවස්ථාවලදී ඔහුට උපහාර පිණිස රූපවාහිනී ප්‍රේක්ෂකයාට නැවුම් අත්දැකීමක් එක් කළ මින්දද හීසර නමැති සංගීතමය වැඩසටහනද ඔහුගේ නිර්මාණයකි.

ආදරණීය නිවේදකයකු ලෙස අතිශය ජනප්‍රිය වෙමින් කුඩා දරුවාගේ සිට වැඩිහිටියා දක්වා වසඟ කරගත් ආයුබෝවන් වැඩසටහන මිනිසුන් අතරට ගෙන යාමට පුරෝගාමී මෙහෙවරක් කළේ ඔහුය.

ජාතික රූපවාහිනියට සංගීතය ප්‍රාසාංගික අත්දැකීම සමීප කිරීමට කටයුතු කළේ හේම නලීන් සහ ඔහුගේ සමකාලීනයන් විසිනි.

ජාතික රූපවාහිනියේ සිට ස්වර්ණවාහිනියට පැමිණෙන ඔහු එහි නිර්මාණ අධ්‍යක්ෂකවරයා ලෙස නව්‍ය වූ අදහස් පෙරදැරිව ස්වරණවාහිනී වැඩසටහන් පෙළට නැවුම් අත්දැකීම් එක්කරන්නට සමත්විය. ස්වර්ණවාහිනිය තුළ සුන්දර සෙනසුරාදා නම් අපූරු වැඩසටහන ඉදිරිපත් කළේද ඔහුය. ලංකාවේ රූපවාහිනී ඉතිහාසයේ පළමු වතාවට සෑම මිනිත්තු තිහකට වරක් උණුසුම් විමසුම් නම් පුවත් විකාශය ආරම්භ කළේද හේම නලින්මය.

එමෙන්ම ලංකාවේ රියැලිටි ගණයට අයත් පළමු වැඩසටහන වන මින්දද සාදය ආරම්භ කිරීමේ මූලිකත්වය ගත්තේද ඔහුය.

තරුණ නිෂ්පාදකවරුන්ට නව්‍ය අදහස් අනුව නිර්මාණ කිරීමට අවශ්‍ය දිරිය ලබා දෙමින් තම රූපවාහිනී අත්දැකීම එම නිර්මාණ කර්තව්‍යයන් සාර්ථක කර ගැනීමට හේම නලින් බෙදා හදා ගත්තේ ඉතා සතුටිනි. ස්වර්ණවාහිනිය සමග එක්වූ නව නිර්මාණකරුවන් හේම නලින් සොයාගෙන යාම සැලකුවේ එම නිර්මාණවලට ආශිර්වාදයක් ලෙසය. හාට් බීට් වැනි වැඩසටහන් එලෙස තරුණ නිර්මාණකරුවන්ගේ අදහස් සහ හේම නලින්ගේ ගුරු හරුකම් මධ්‍යෙය් නිර්මාණය වූ නව ආකෘතීන්ය.

ස්වර්ණවාහිනි සජීවි විකාශයන්වල අලුත් නැම්මක් ඇති කිරීමට හේම නලින් දක්වන ලද දායකත්වය අතිවිශිෂ්ඨය.

හේම නලින් ප්‍රකටව සිටියේ කිසිදිනෙක කිසිවකුගේ සිත රිදවීමට අකමැති මාධ්‍යෙව්දියකු ලෙසය. කෙනෙකුට බැන වැදීම වෙනුවට තර්කානුකූල ප්‍රශ්න නගා එම පුද්ගලයාටම සත්‍ය තේරුම් ගැනීමට ඉඩ හැරීම හේම නලින්ගේ ක්‍රමයකි. ඕනෑම අයෙකුට ඇහුම්කම් දීමේ ඔහු සතු ගුණාංගය අද නිර්මාණකරුවන් අතර සුලබ නැත.

ඉතා සංවේදී චරිතයක් වූ හේම නලින් ඕනෑම තරාතිරමක ඕනෑම වයසක පුද්ගලයෙක් හමුවේ වුවද සිය සුපුරුදු ලෙංගතු සිනහව සමගින් දොඩමලුවීමට තරම් නිහතමානී වූවේය. පරිසරයට හා ශ්‍රී ලාංකේය උරුමයට දැඩිව ඇලුම්කල චරිතයක් වු ඔහු නූතනත්වයටද එකසේ ආදරය කළේය.

හේම නලින් සැම විටම විශ්වාස කළ කාරණයක් වූයේ නිවේදකයා යනු දැඩි වගකීමක් සහිත පෞර්ෂයක් ලෙස කටයුතු කළ යුතු බවයි. තමන් විසින් වගකීම භාරගන්නා නිර්මාණ පිළිබඳ දැඩි කැපකිරීමකින් අධ්‍යයනය කිරීම හේම නලින්ගේ ක්‍රමය බවට පත් විය. බොහෝ රාත්‍රී වනතුරු ස්වර්ණවාහිනි පරිශ්‍රය තුළ රැඳී සිටිනා හේම නලින් කරුණාරත්න එදා එහි සිටි බොහෝ දෙනාට ආගන්තුක දර්ශනයක් නොවීය. තම වගකීම පිළිබඳ දැඩි අවධානයක් සැමවිටම රඳවා ගැනීමට ඔහු සැමවිටම වගබලා ගත්තේය.

අද ලංකාවේ සිටින බොහෝ මාධ්‍යකරුවන් පිරිසකට හේම නලින් ගුරුවරයෙක් විය. ඔහුගේ ගෝල බාලයන් නොමැති විද්‍යුත් මාධ්‍ය ආයතනයක් මෙරට නොමැති තරම්ය.

මෑතකදී ඔහු විසින් බිහි කළ නිවේදක පරපුර ගැන ඔහුගේ අදහස මා විසින් විමසූ අවස්ථාවක ඔහු ලබාදුන් පිළිතුර මම මෙම සටහන අවසනට පෙර සටහන් කරමි.

'මට දැනුම දෙන්නත් පුළුවන්, අවස්ථාවක් දෙන්නත් පුළුවන්, ඒත් සදාචාරය දෙන්න බැහැ'

අවසන් සමයේ මෙම නිර්මාණශීලී රූපවාහිනී මාධ්‍යකරුවා සිය 'සටන් බිම' ගැන කුමන තක්සේරුවක සිටියේද යන්න තේරුම් ගැනීමට එම ප්‍රකාශය ප්‍රමාණවත් යැයි සිතමි.

ඔහුගේ අභාවය සමඟ බොහෝ දෙනෙක් හේම නලින් කරුණාරත්න ගැන කතා කරනු ඇත. ඔහුව පසසනු ඇත. ඔහුට කෘතඥතාව පළ කරනු ඇත. කෙසේ වෙතත් ඔහු වෙනුවෙන් අපට දැක්විය හැකි අතිමහත් වූ ගෞරවය නම්, ඔහු ආදරය කළ නිවේදන වෘත්තිය යළිත් නිවැරදි මඟට ගෙන ඒමයි. වෘත්තීය නිවේදන කලාව මෙරට විද්‍යුත් මාධ්‍ය තුළට ගෙන ඒමයි. සදාචාරය මෙම වෘත්තිය තුළට ගෙන ඒමයි.

හේම නලින් කරුණාරත්න නම් වූ සොඳුරු හිතවතාණනි...

ඔබට සුබ ගමන්!

මාධ්‍යවේදී [උදිත චන්දිමාල්]

මාතෘකා