පැහැර ගැනීම් මිනිස් ජාවාරම් ස්ත්‍රී දූෂණ සහ ලිඳුල නගරාධිපති

 ඡායාරූපය:

පැහැර ගැනීම් මිනිස් ජාවාරම් ස්ත්‍රී දූෂණ සහ ලිඳුල නගරාධිපති

 මේක අවුරුද්දක් තිස්සේ අධිකරණ ක්‍රියාමාර්ගයක් පැවැතුණු සිදුවීමක් මේ ළමයි දෙනනයි කාන්තාවයි අතුරුදහන් වෙන්නේ 2017 මැයි මාසේ. ඒ ඉදලා මේ වෙනකම් කිසිම තොරතුරක් තිබුණේ නැහැ. මේ පිටුපස හෙළිදරව් නොවුණු විශාල කතාවක් තියන බව පැහැදලියි. මේ සම්බන්ධයෙන් අපක්ෂපාතීව විමර්ශන සිදු විය යුතුයි. විත්තිකරුවන් කෙතරම් බලවත් වුවත් අගතියට පත් අයට යුක්තිය ඉටු කර දීම සියලු පාර්ශ්වවල වගකීමක්.

 

කාන්තාවක හා දරුවන් දෙදෙනකු පැහැරගෙන යෑම, දරුවන් විකිණීම, එම කාන්තාව දූෂණයට ලක් කිරීම ආදී බරපතළ චෝදනා මත ලිඳුල නගරසභා සභාපතිවරයා, නාගරික මන්ත්‍රීවරයකු ඇතුළු සිව් දෙනෙකු ඊයේ (05) අත්අඩංගුවට පත් වීම මේ වන විට විශාල ආන්දෝලනයක් ඇති කිරීමට හේතු වී තිබේ. පුරපතිවරයා හිටපු ඇමතිවරයකු වන සී.බී.රත්නායකගේ ගෝලයෙකු වීමත්, එම කාන්තාවගේ අතුරුදහන් වීම සම්බන්ධයෙන් වසරකට වැඩි කාලයක් පොලිසිය දැක්වූ ඇල්මැරුණු ප්‍රතිචාරයට එම දේශපාලන සාධක හේතු වී ඇතැයි පෙනී යෑමත් මේ පිළිබඳ අවධානය වඩාත් තියුණු වීමට හේතුවකි. සැබැවින්ම සිදු වී ඇත්තේ කුමක්ද? මෙය හුදෙකලා සිදුවීමක් පමණද? එසේත් නැතිනම් දේශපාලන බලය ඇති පිරිසකගේ අනුග්‍රහය මත සිදු වන සංවිධානාත්මක මිනිස් ජාවාරමක් පිළිබඳව මේ සිදුවීම ඉඟි කරන්නේද?

අතීත පුවත

සිදුවීමට මුහුණ දුන් කාන්තාව, කුඩා වියේ සිටම අවාසනාවන්ත සිදුවීම් දාමයකට මුහුණ පෑ තැනැත්තියකි. වයස එකොළහ සම්පූර්ණ වන විටම ඇගේ දෙමාපියන් ජීවිතයෙන් සමුගන්නා අතර මෙලොව තනි වන ඇය එතැන් පටන් හැදී වැඩී ඇත්තේ කොළඹ ළමා ගම්මානයකය. යෞවන වියේදී ඇය ආගරපතන ග්ලෙන්ලෙන් වත්තේ පදිංචිව සිටින තරුණයකු සමග ආදර සම්බන්ධයක් පටන් ගන්නා අතර, කෙටි කලකින් ඔවුහු විවාහ දිවියට එළැඹෙති. එවිට ඇගේ වයස අවුරුදු 19කි. ඉන් පසු ඔවුන් දෙදෙනා ආගරපතනේ පිහිටි නිවසේ පදිංචියට පැමිණෙන අතර, දියණිය සහ පුතු ඔවුන්ගේ කැදැල්ලට එක් වන්නේ එහිදීය.

ආගරපතනේ ජීවිතයට එතරම් ප්‍රිය නොකරන ඇය වතුකරය අතහැර කොළඹ පදිංචියට යෑමට සැමියාට නිතර ඇවටිලි කළාය. එහෙත් කොළඹින් නිවසක් කුලියටගෙන ජීවත් විමට තරම් වත් කමක් නොමැති බැවින් සැමියා ඊට එකඟ නොවේ. මෙය කෙමෙන් ඔවුන් අතර සමගිය පළුදු වීමට හේතු වෙයි. සැමියා ඒ අතර කොළඹ රැකියාවකට යයි. 2017 වර්ෂයේ ජුනි මාසයේ දිනක ඔහුගේ මවගෙන් ලැබුණු දුරකථන ඇමතුමකින් කියැවෙන්නේ තමන් බෙහෙත් ගැනීමට ගොස් ආපසු නිවසට පැමිණ බලන විට තම ලේලිය සහ ඇගේ දරුවන් දෙදෙනා අතුරුදන්ව සිටි බවයි.

අතුරුදහන් වීම

ඔවුන් මේ පිළිබඳව ආගරපතන පොලිසියට පැමිණිල්ලක්ද කරනු ලබන අතර එතැන් සිට තම දරු දෙදෙනා හා බිරිද පිළිබදව කිසිදු තොරතුරක් සොයා ගත නොහැකි වූ ජෙගදිස්වරම් මේ පිළිබදව ළමා හා කාන්තා කාර්යංශයට මෙන්ම අදාළ සියලු අංශ වෙතද පැමිණිලි කරයි. ලබන අතර මේ පිළිබදව ආගරපතන පොලිසිය මගින් නුවරඑළිය මහෙස්ත්‍රාත් අධිකරණයේ ඒ ආර් 1291 යටතේ නඩුවක් ගොනු කරනු ලබන අතර, එතැන් සිට මේ දක්වාම ජෙගදිස්වරම් මේ නඩුව කැඳවූ සෑම වාරයකදීම අධිකරණයේ පෙනී සිට ඇති අතර මෙහිදී මුදල් අය කිරීමකින් තොරව නීතිඥ එස් මොහන්රාජ් මහතා මෙම අසරණ පියා වෙනුවෙන් පෙනී සිටියේය.

තම බිරිඳ සහා දරුවන් පිළිබදව කිසිදු හොඩුවාවක් නොමැතිව බොහෝසෙයින් අසරණව සිටින ජෙගදිස්වරන්ට මාස තුනකට පසු ලිඳුල ප්‍රදේශයේ විහාරස්ථානයක සිටියදි තම පුතා හමු වන අතර බිරිඳ සහ දියණිය පිළිබදව කිසිදු තොරතුරක් හමු වන්නේ නැත. මෙහිදී තම බිරිද කලින් සිටි ළමා නිවාසයේ ඇය හා බොහො කුළුපගු මාමා කෙනෙකු සිටින බව සිහි වන ජෙගදිස්වරන් ඔහු සොයා ගොස්, කිසියම් අවස්ථාවක බිරිඳ දුරකථන ඇමතුමක් ලබා දුනහොත් එම අංකය තමන්ට ලබා දෙන ලෙස ඉල්ලා සිටියේය. ඒ අනුව ඉකුත් අප්‍රේල් මාසයේ දිනක ළමා ගම්මානයේ සිටින කුළුපග මාමාගෙන් ලැබුණ දුරකථන ඇමතුමෙන් කියැවුණේ සසිකලා කොළඹ ප්‍රදේශයේ රැකියාවක් කරමින් සිටින බව පවසමින් තමන්ට දුරකථන ඇමතුමක් ලබා දුන් බවයි. ඒ අනුව ජෙගදිස්රන් හට බිරිදගේ දුරකථන අංකය ලැබෙන අතර, ඔහු ඒ අනුව ගොස් තම බිරිඳ කොළඹ ප්‍රදේශයේ සිටියදී සොයා ගත්තේය.

බිරිඳගේ හෙළිදරව්ව

බිරිඳ එහිදී හෙළි කළ කරනු අනුව ඇය නිවසින් පැමිණි පසු, ආරපතන රෝහලේ කම්කරුවකු සහ ත්‍රීරෝද රථ රියදුරෙකු සමග නගරාධිපතිවරයාගේ නිවසට පැමිණ ඔහුගේ අනුදැනුම මත ගාල්ල හික්කඩුව ප්‍රදේශයේ පදංචිව සිටින නගරාධිපති වරයාගේ පෞද්ගලික ලෙකම්වරයාගේ මාමා කෙනෙකට ළමයා හදා වඩා ගැනිමට දී තිබේ. ඉන් පසු විදේශ ගමන් බලපත්‍රය සකස් කොට මෙම කාන්තාව විදේශ ගත කරන බවට ඔවුන් පවසා ඇත. එතැන් සිට සැකකාර රෝහල් කම්කරුවාගේ නිවසේ මෙන්ම තිරොද රථ රියදුරාගේ නිවසේද ඇය නතර කරගෙන සිට ඇති අතර, එහිදී ත්‍රී රෝදරථ රියදුරා තමන් දූෂණය කළ බවද ඇය පවසා ඇත. මෙසේ මාස තුනක පමණ කාලයක් සිටි අතර ඔවුන් ඇය විදේශගත කරන බව පවසා මෙසේ රඳවාගෙන සිට ඇත. ඒ වන විටත් පිරිමි දරුවා ඇය සමඟ සිටි බවත්, විදෙස්ගත වීමට ඔහු බාධාවක් බැවින් ඉහත සැකකරුවන් එම දරුවා තලවකැලේ පතන ප්‍රදේශයේ විහාරස්තානයකට සැලසුම් සහගතව ගෙනවිත් දමා ඇත.

මොවුන් පසුව මෙම කාන්තාව විදේශ ගමන් බලපත්‍රය සකස් කිරීම සඳහා කොළඹට රැගෙන විත් ඇත අතර, ඇය නතරකොට ඇත්තේ නාගරික මන්ත්‍රීවරයාගේ නැගණියගේ නිවසේ ය. පසුව, කාන්තාව අතුරුදන්වීම පිළිබඳව පොලිසිය අදාළ අංශ දැනුවත් කර තිබීම නසා ගුවන්තොටුපළ හරහා විදේශගත විමට නොහැකි බව දැනගත් මොවුන් ඇය කොළඹ ප්‍රදේශයේම රැකියාවකට යොමු කර තිබේ. ඇය ළමා ගම්මානයේ මාමාට දුරකථන ඇමතුම ලබාගෙන ඇත්තේ ඒ අතරතුරය. එයින් ඇය සිටින තැන සැමියාට හෙළිදරව් වෙයි.

අධිකරණ නියෝගයක්

ඉන් පසු මෙම සිදුවීම පිළිබදව නුවරඑළිය මහෙස්ත්‍රාත් අධිකරණයේ විභාග වන ඒ. ආර් 1291 දරන නඩුව කැඳවූ දිනයෙදි අධිකරණය දැනුවත් කිරීමෙන් පසු අදාළ සියලු දෙනා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහෙස්තාත්වරයා නුවරඑළිය පොලිසියට නියෝග කර තිබේ. සැකකරුවන් අත්අඩංගුවට ගැනෙන්නේ ඒ අනුවය. ඔවුන් 4වැනිදා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම මස 11 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලදි.

පසුව 5 වන දින මෙම සිදුවීමට අදාළව, එම දැරිය භාරයේ තබාගෙන සිටි අඹු සැමි යුවළ මෙන්ම තවත් එක් අතරමැදියකු සහ ළමයාගේ මව අධිකරණයට ඉදිරිපත් කරන ලද අතර එහිද ඔවුන් සියලු දෙනාද මෙම මස 11වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නුවරඑළිය මහේස්ත්‍රාත් ප්‍රමිත ජයසෙකර මහතා නියෝග කළේය. පරිවාස වාර්තාවක් ලබා ගන්නා තෙක් අදාළ දැරිය නුවරඑළිය එස්.ඕ.එස්. ළමා ගම්මානයේ තැබීමටත් නියෝග කරන ලදි.

මෙම සිදු වීම සම්බන්ධයෙන් අදහස් දැක්වු නීතිඥ ඒස් මොහන් රාජ් මහතා මෙසේ පැවසුවේය. ‘‘මේක අවුරුද්දක් තිස්සේ අධිකරණ ක්‍රියාමාර්ගයක් පැවැතුණු සිදුවීමක් මේ ළමයි දෙනනයි කාන්තාවයි අතුරුදහන් වෙන්නේ 2017 මැයි මාසේ. ඒ ඉදලා මේ වෙනකම් කිසිම තොරතුරක් තිබුණේ නැහැ. මේ පිටුපස හෙළිදරව් නොවුණු විශාල කතාවක් තියන බව පැහැදලියි. මේ සම්බන්ධයෙන් අපක්ෂපාතීව විමර්ශන සිදු විය යුතුයි. විත්තිකරුවන් කෙතරම් බලවත් වුවත් අගතියට පත් අයට යුක්තිය ඉටු කරදීම සියලු පාර්ශ්වවල වගකීමක්.”

[චන්දන තිලක් ද සිල්වා]

මාතෘකා

 
 
 
රටේ අපරාධ රැල්ල අඩු කිරීමට කළ යුත්තේ ?