ඒ කාලේ කොල්ලෝ යුද්දෙට බැදුණේ කලිසම් ඇඳගෙන ගමට එන්න

 ඡායාරූපය:

ඒ කාලේ කොල්ලෝ යුද්දෙට බැදුණේ කලිසම් ඇඳගෙන ගමට එන්න

- පේද්‍රික් අප්පුහාමි -

පොළොන්නරුවේ වළේ කඩේ නමින් හැඳින්වෙන කුඩා කඩ වීදියේ ඇති සමූපකාර ගොඩනැගිලි සංකීර්ණය ඉදිරිපිට අපූරු නාම පුවරු දෙකක් දකින්නට ලැබේ.

"සේවාමුක්ත භටයින්ගේ ගොවි ජනපද ව්‍යාපාරය පොළොන්නරුව ශ්‍රී. බු. ව. 2481.10.13," යනුවෙන් වම් පස ඇති පුවරුවෙන් දැක්වෙන අතර දකුණු පස පුවරුවෙහි එම අදහසම ඉංග්‍රීසියෙන් ලියා තිබේ.

දිනය 20. 01.1947 ලෙස සඳහන්ව තිබේ.

මෙය දෙවෙනි ලෝක යුද්ධයේදී බ්‍රිතාන්‍ය රාජකීය හමුදාවට බැඳී මිත්‍ර පාක්ෂික හමුදා සමග එක්ව සතුරු පාර්ශ්වයන්ට එරෙහිව සටන් කළ ශ්‍රී ලාංකික සොල්දාදුවන් වෙනුවෙන් ඉදි කළ එකම ගොවි ජනපදය බව බීබීසී සිංහල සේවය කළ සොයා බැලීමකදී දැනගන්නට ලැබිණ.

සේවාමුක්ත භටයන්ගේ ගොවි ජනපදයෙහි පදිංචි කරවා තිබෙන්නේ දෙවෙනි ලෝක යුද්ධය අවසන් වීමෙන් පසුව හමුදා සේවයෙන් විශ්‍රාම ගැන්වූ එකී භටයන්ය.

සේවාගම, ලක්ෂඋයන, විජයබාහුපුර, සිංහපුර, වැවේ තැන්න සහ ට්‍රැක් නමයේ සිට ට්‍රැක් දාහතර දක්වා ඇති ගම්මාන එකොළහ සේවාමුක්ත භටයන්ගේ ජනපදයට අයත් බව සේවාගම පදිංචි රාජකීය යුද හමුදාවේ හිටපු සෙබළෙකු වන කෝට්ටේ කෝලිත බබුන් අප්පුහාමිලාගේ පේද්‍රික් අප්පුහාමි පැවසීය. වයස අවුරුදු අනූඅටක් වුවත් තවමත් උපැස් යුවලක් නැතිව පොත පත බලන පාපැදියෙන් ගමන් බිමන් යන මේ වයෝවෘද්ධ යුද සෙබළාට අවුරුදු හැත්තෑ එකකට එපිට සිද්ධි දින වකවානු සහිතවම තවමත් හොඳින් මතක තිබේ.

"ජපන්නු කොළඹට බෝම්බ දැම්මේ එක් දහස් නමසිය හතළිස් දෙකේ අප්‍රේල් මාසේ පස්වැනිදා උදේ. එදා ඉරිදා දවසක්. එතකොට මගේ වයස අවුරුදු විසි එකයි. රට පාලනය කළේ ඉංග්‍රීසි කාරයෝනේ. යුද්ධයක් වුනාම මිනිස්සුන්ට කොච්චර වැඩ තියෙනවද? ඉතින් අපටත් හමුදාවට බැඳෙන්න අවස්ථාව ලැබුණා." වයෝවෘද්ධ සොල්දාදුවා අතීතය ස්මරණය කරන්නේ සිනාසෙමිනි.

"යකඩ තොප්පි, යකඩ සපත්තු, බයිනෙත්තු හයි කරපු රයිෆල්, කාකි පාට දික් කලිසම් වලින් ආයිත්තන් වුණ සුදු යුද්ධ භටයෝ දැක්කම අපටත් ඒ විදියට ඉන්න ඇත්නම් කියලා හිතුණා. ඇත්තටම අපේ කොල්ලෝ ඒ කාලේ යුද්දෙට බැඳුණේ නිවාඩුවට දික්කලිසම් ඇඳගෙන ගමට එන්න තියෙන ආශාවටත් එක්ක. හේතුව කියන්න ඕන නෑනේ," දරුවන් පහළොස් දෙනෙකුගේ පියෙකු වන පේද්‍රික් අප්පුහාමි පැවසීය.

"අපට දියතලාවේ කඳවුරේදි හොඳ පුහුණුවක් දුන්නා මහා බර මල්ලක් පිටේ බැඳගෛන. යකඩ උල් බෝතල් කටු පුරුවලා තියෙන අඩි දහයක් පළල වලකින් එහා පැත්තට පනින්න ඕනෑ. පිම්ම වැරදුණොත් ඉවරයි. බයටම පනිනවා. ඕන්න ඔහොමයි සුද්දෝ අපට පුහුණුව දුන්නේ. මම බරවාහන එළවන්නත් පුහුණු වුණා."

පුහුණුවෙන් පසුව ඔහු ඇතුළු කණ්ඩායම බ්‍රිතාන්‍යයට රැගෙන යනු ලැබිණ.

"ඉතාලියේ තිබුණ සුද්දන්ගේ මහ කඳවුරට ගහන්න ඇවිත් තමයි ජපන්කාරයෝ සල්ලන් වුණේ. මම මේවා දෑහින්ම දැක්කා. මම බරවාහන රියදුරෙක් හැටියට තමයි රාජකීය හමුදාවට සේවය කළේ. මගේ මාසේ පඩිය රුපියල් හැටයි. මොකද මම රියදුරෙක්නේ. රුපියල් හතළිස්පහක් පඩි ගත්ත අයත් සිටියා. තවමත් අපට පැන්ෂන් එක ලැබෙනවා."

විනාඩියක් පමණ නිහඬව සිටි විශ්‍රාමික සොල්දාදුවා නැවතත් මතකය අවදි කළේය.

"එකදහස් නමසිය හතළිස්පහේ අගෝස්තු දහනමවැනිදා තමයි යුද්ධෙ අවසන්වුණේ. හතළිස් හයේ ජනවාරී මාසේ හමුදා සේවයෙන් විශ්‍රාම ගන්වලා අපි ලංකාවට එව්වා."

'යුනිෆෝම් එක වේයෝ කෑවා'බොහෝ කාලයක් සිය හමුදා ඇඳුම් ආරක්ෂා කරගෙන සිටියත් පසුව ඒ සියල්ල විනාශ වූ බවද පේද්‍රික් අප්පුහාමි පැවසීය.

"වැහි කාලෙට ගෙදර තෙමෙනවා. හැම තැනම වේයෝ. ඉතින් යුනිෆෝම් එකත් වේයෝ කෑවා. මගේ බිරිඳට ටිකක් සනීප මඳි. හමුදා ඇඳුම පරිස්සමට තියෙන කාලේ අපි දෙන්නා එකට ඉඳල ගත්තු පිංතූරෙ තමයි ඔය මේසෙ උඩ තියෙන්නේ."

ශ්‍රී ලාංකික තරුණයන් දස දහස් ගණනක් බ්‍රිතාන්‍ය රාජකීය හමුදාවේ සේවය කළ බවත් ඩී.එස්. සේනානායක අගමැතිවරයා සේවාමුක්ත භටයන්ගේ ගොවිජනපද ව්‍යාපාරය ආරම්භ කළේ සේවාමුක්ත භටයන්ගේ සුභසාධනය පිණිස එංගලන්ත ආණ්ඩුවෙන් ලබාදුන් අරමුදල්වලින් බවත් ඔහු පැවසීය.

" ඩී.එස්. සේනානායක අගමැතිතුමා දැනුම් දීමක් කළා අපට පොළොන්නරුවෙන් අක්කර දාහතක ඉඩමකුත් මධ්‍යම පාන්තික නිවසකුත් දෙනවා කියලා. සේවාමුක්ත භටයෝ දහ දාහකට වඩා පොළොන්නරුවට ආවා."

එහෙත් එහි පැවති ඉතා දුෂ්කර තත්ත්වය හේතුවෙන් එහි නැවතුණේ අටසිය දෙනෙකු පමණි.

"බොන්න වතුර ටිකක් නෑ. ඒ මදිවට මැලේරියා මදුරුවෝ. අද සේවාගම පාසල තියෙන තැන තමයි අපේ කඳවුර තිබුණේ. අපි අක්කර විසිදාහක විතර කැළෑවක් එළිපෙහෙලි කළා. ගෙවල් හැදුවා. ඒ කියන්නේ අපේ ගෙවල් දොරවල් ඉඩකඩම් අපිම සකස්කරගත්තා. ආණ්ඩුවෙන් උදව් කළා. හැබැයි පොරොන්දු වුණ අක්කර දාහත වෙනුවට ලැබුනේ ගොඩින් අක්කර තුනයි මඩින් අක්කර පහයි. අර කියපු මධ්‍යම පාන්තික නිවසයි විතරයි. මේ පොළව සංවර්ධනය කරන්න අපි විඳපු දුක කියලා නිමකරන්න බෑ."පොළොන්නරුවේ සේවාමුක්ත භටයින්ගේ ජනපදයේ දැනට ජීවතුන් අතර සිටින්නේ සොල්දාදුවන් සත් දෙනෙකු පමණි. විජයබාහුපුර පදිංචිව සිටින අනූහය හැවිරිදි වෙලගෙදර සේකර ද එයින් එක් අයෙකි. සෙස්සන් මිය ගොසිනි.

"රාජකීය හමුදාවෙන් මුදාහැරියට පස්සේ මම අදහස් කළේ පොලීසියට බැඳෙන්න. නමුත් ගොවිතැනට ඇති ලැදිකම නිසා පොළොන්නරුවට ආවා. මගේ උපන්ගම මාතලේ මුවන්ගම. බිරිඳ තවමත් ජීවතුන් අතර සිටිනවා," වෙලගෙදර සේකර බීබීසී සිංහල සේවය සමග අදහස් දක්වමින් පැවසීය.

"අපි එදා වැඩවර්ජන දෙකක් කළා. එකක් පොරොන්දු වුණ ඉඩම් අක්කර දාහත වෙනුවට අක්කර අටක් ලබාදීමට විරෝධය පළකරමින්. එදා ඉඩම් ඇමතිව සිටි සී. පී. ද සිල්වා අපට කිව්වා උඹලා ඔක්කොම සමසමාජ කාරයොයි කොමිනිස් කාරයොයි නිසා ගොවිතැන් කරයිද නැද්ද කියලා විශ්වාසයක් නෑ. සමහර විට දාල යන්නත් පුළුවන් ඒ හන්දා අක්කර අට හොඳටම ඇති කියලා. දෙදාහක් විතර ආපු සෙනඟෙන් ඉතුරුවුණේ සුළු පිරිසක් නිසා කථාවත් ඇත්තනේ."

එබැවින් පළමු වැඩ වර්ජනය අසාර්ථක විය."අනෙක් වැඩ වර්ජනය කළේ අපේ ඉහළ නිලධාරීන් දාහතර දෙනෙක් සේවයෙන් පහකිරීමට විරුද්ධව. භාරදුන්න වැඩ කොටස හරියට කළේ නෑ කියල තමයි ඒ අයගේ වැඩ තහනම් කළේ. අපි උසස් නිලධාරීන්ට කරුණු කාරණා පෙන්වා දීලා වැඩතහනම ඉවත්කරගත්තා."

රට රැක ගැනීමටත් සංවර්ධනය කිරීමටත් විශාල මෙහෙවරක් කළ තමන්ට එදා මෙන්ම අදත් නිසි සැලකිල්ලක් නැති බවට මෙම සේවා මුක්ත භටයෝ චෝදනා කරති.

"මුල් කාලෙදි අපට රුපියල් පන්සීයක පැන්ෂන් පඩියක් ලැබුණා. අවුරුදු හත අටක ඉඳලා දෙදාහක් ලැබෙනවා. සුද්දෝ එහෙම වැඩපිළිවෙළක් සකස්කරලා දුන්නත් අපේ අය කරන්නේ බොරුව."

විජබාහුපුර පදිංචි අසූහතර හැවිරිදි ජේමිස් නැන්දා රාජකීය හමුදාවේ සෙබළෙකුගේ බිරීඳකි.

"මහත්තයා නම් දැන් ජීවතුන් අතර නෑ. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති තුමාගේ තාත්තා තමයි ඇල්බට් සිරිසේන ආරච්චි මහත්තයා. අපේ මහත්තයාගේ හොඳම යාළුවා. උන්නැහෙත් සේවාමුක්ත භටයෙක්. ලක්ෂඋයන ගමේ තමයි පදිංචිවෙලා හිටියේ. මේ පැත්තේ ඇවිත් ගියොත් වතුර කෝප්පයක් හරි බොන්නේ අපේ ගෙදරින් විතරයි."

බොහෝ සේවා මුක්ත භටයන්ගේ නිවෙස්වල දැන් පදිංචිව සිටින්නේ ඔවුන්ගේ දරු මුණපුරන්ය. බ්‍රිතාන්‍ය රාජකීය හමුදාවේ සොල්දාදුවන් වූ තම ඥාතීන්ගේ සෙබල පළඳනා මහාර්ඝ වස්තූන් සේ ඔවුහු තවමත් ආරක්ෂා කරති.

[ආර්.ජී. ධර්මදාස]

මාතෘකා