වැව් බැම්ම නො‍වේ ජීවිතය දෙන්න

 ඡායාරූපය:

වැව් බැම්ම නො‍වේ ජීවිතය දෙන්න

අම්පාර මහඔය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අංක 137 ලාහුගල ග්‍රාම නිලධාරී වසමට අයත් වරාපිටි ය ගමේදී පැටියාගල කන්ද හා කිරලේගොඩ කන්ද යාකොට මුන්දෙනිආරු හෙවත් මහඔය හරස් කොට ජලාශයක් සෑදීමට නියමිතය. ප්‍රංශ ආධාර යටතේ සිදු කිරීමට යෝජිත ජලාශ ව්‍යාපෘතිය නිසා පවුල් 1200කට අයත් දස දහසකට අධික ජනතාවක් සෘජු හා වක්‍ර වශයෙන් අවතැන් වීමේ අනතුරට ලක්ව තිබේ.

එයට එරෙහි විරෝධතාවක් පසුගිය සෙනසුරාදා (26) වරාපිටිය විහාරස්ථානයේ දී පැවැත්විණි. මෙම ව්‍යාපෘතිය සිදු කරන බවට තීරණය කොට දැනට වසර පහක් පමණ කාලයක් ගතව ඇතත්, ඒ වෙනුවෙන් පරීක්ෂණ කටයුතු, ඉඩම් මැනීම් කටයුතු සිදු වුවත් ඊට සම්බන්ධ නිලධාරීන් ගම්වැසියන් හමුවීමට පැමිණි පළමු අවස්ථාව එය විය. එම අවස්ථාවට ව්‍යාපෘති භාර ප්‍රංශ රජයේ නියෝජිතයින් මෙන්ම, මහවැලි අධිකාරියේත් වාරිමාර්ග දෙපාර්තුමේන්තුවේත් නිලධාරීහු ද ගම්වැසියන් විශාල සංඛ්‍යාවක් ද එක් වූහ.

ගම්වැසියන්ගේ ඉඩම්වල අස්වැන්න වශයෙන් නෙළා ගත් පැණි කොමඩු, දෙහි, වට්ටක්කා, දොඩම්, මඤ්ඤොක්කා, බඩ ඉරිගු, කව්පී වැනි භෝග වර්ග ප්‍රංශ නියෝජිතයන්ට පිළිගන්වමින් ගම්වැසියන් ප්‍රකාශ කර සිටියේ මෙතරම් වටිනා අස්වැන්නක් ලබා දෙන බින්තැන්නේ හදවත බදු සාරවත්ම භූමිය ජලයෙන් යට නොකරන ලෙසයි.

මහඔය හා පදියතලාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස දෙකට අයත් වරාපිටිය, අඹගහවත්ත, මුඩගල, බෝකොටුව, කීනාතුමුල්ල, වහව, මරංගල, දොරකුඹුර, මිරිස්වත්ත, ඌරාවුල, කෝමාන, කොළානයාය යනාදී ගම්බිම් ගණනාවක් මෙලෙස යටවීමට නියමිත ය.

2018 උදාවන්නේ ඌව වෙල්ලස්ස ජනතාව, යුරෝපා ජාතිකයින්ට එරෙහිව අවි ඔසවා දෙසිය වසරක් පූර්ණය කරමිනි. 1818න් පසුව ඔවුන්ට තම ගම්බිම් අතහැර යාමට සිදුවිය. 1818 ඌව වෙල්ලස්ස කැරැල්ලට පණ දුන් ජනතාවගේ තුන්වැනි පරම්පරාවට නැවතත් තම ගම්බිම් රැක ගැනීමට අරගල බිමට ඒමට සිදුවීම දෛවයේ සරදමකි.

මේ දුක්ගැනවිල්ල පිළිබදව වරාපිටිය සුරැකීමේ සංවිධානයේ සභාපති බී.එම්. සුගතපාල මහතා මෙසේ රැසට අදහස් ප්‍රකාශ කළේ ය. ” මේ ප්‍රදේශවල ඉන්නේ 1818 ඌව වෙල්ලස්ස කැරැල්ල නිසා මෙහාට ආව උදවිය. පවුල් 11ක් තමයි මුලින්ම ඇවිත් පදිංචි වෙල තියෙන්නේ.

මේ වෙනකොට අපේ ගමේ විතරක් පවුල් 430ක් ඉන්නවා. අනෙක් ගම් එක්ක ගත්තම අඩුම තරමින් පවුල් 1200කට විතර උන්හිටිතැන් නැති වෙනවා මේ වැව හැදුවොත්. දැන් හැම දේම දියුණු වෙලා. ගමට විදුලිය තියෙනවා, පාර තියෙවා, ගෙවල් දොරවල් සියයට සියයක් හදලා.

පාසල, පන්සල, ප්‍රජාශාලා, පෙරපාසල් ආදිය හැම දෙයක්ම හදලා. හැම පවුලකටම අඩුම තරමින් ත්‍රීවිල් එකක්, මෝටර් සයිකලයක් හරි තියෙනවා. මිනිස්සු අවුරුද්දට කන්න දෙකක් ගොවිතැන් කරනවා. බඩඉරිගු, වට්ටක්කා, පැණි කොමඩු, කව්පි, දෙහි, ගම්මිරිස්, පොල්, කජු වගේ බෝග වර්ග වගා කරනවා. රජයේ අනුග්‍රහයෙන් හිටවපු රබර් අක්කර 1500ක් තියෙනවා අපේ ගමේ විතරක්. තව අවුරුද්දකින් දෙකකින් ඒවගෙන් කිරි කපන්න පුළුවන්.

අපේ මිනිස්සු යුද්ධයෙන් පස්සේ හුස්ම ගන්න පටන් ගත්තා විතරයි. මේ ගම්බිම් යට කරාම අපි කොහාට ද යන්නේ. තවම කියල නැහැ වන්දි දෙන්නේ කීයද, අපව පදිංචි කරන්නේ කොහෙද කියල කියල. හම්බවෙන අක්කර බාගෙ ඉඩමේ ජීවිත් වෙන්න පුළුවන් ද කියලවත් හිතාගන්න බෑ. අපි කියන්නේ ගමට අවම හානි වන ආකාරයට වැව හදන්න. වැව නිසා අනාථ වන අයට ඉඩම් හා නිවාස ලබා දෙන්න. අපි මුළු ජීවිත කාලෙම හම්බකරගත්තු හැම දේම වතුරට යට වෙන්නයි හදන්නේ.”

වරාපිටිය සුරැකීමේ සංවිධානයේ ලේකම් උපනන්ද මෙසේ ප්‍රකාශ කළේ ය. ”2014 මුලින්ම වැව මැනීම් කටයුතු ආරම්භ වෙන කොට අපි විරුද්ධ වුණා. මේ ව්‍යාපෘතියට විරුද්ධව අත්සන් දාහකින් යුක්ත ලිපියක් එවක ජනාධිපතිතුමාට යොමු කළා. එතකොට මේ ව්‍යාපෘතියට ණය දෙන්න කැමති වෙලා හිටියේ ආසියනු සංවර්ධන බැංකුව. මේ සම්බන්ධයෙන් පුවත්පත් ලිපි පවා පළ වුණා.

පස්සේ ඒ ගොල්ලෝ කිව්වේ ජනතාව අකැමැති නම් මේක කොහොමටවත් කරන්නෙ නෑ කිව්වා. යට වුණත් යට වෙන්නේ ගගේ ඉදන් මීටර් 300ක් ඇතුළත විතරයි කිව්වා. මිනිස්සු අලුතින් ගෙවල් හැදුවා එහෙම කිව්වට පස්සෙත්. පොල් හිටෙව්වා, කජු හිටෙව්වා, රබර් හිටෙව්වා. 1818 ඉදන් අවුරුදු දෙසීයක් ජීවත් වෙච්ච අපි දැන් අනවසර පදිංචිකාරයෝ වෙලා. අපේ ගමේ විතරක් පවුල් සියයකටවත් සින්නක්කර ඔප්පු නෑ. අපේ පාසලත් වතුරෙන් යටවෙනවලු. අපි මේවා කිව්වට අහන්න කෙනෙක් නෑ.

ලංකාවේ ගංගා 103කි. සංඛ්‍යාලේඛන වලට අනුව වැව් 35 000කි. ඒ තිබිය දී දැදුරු ඔය ජලාශය ළගදී විවෘත කළේය. මහඔය ජලාශය සෑදීමට ද සූදානම්ය. ගැටලුව ඇත්තේ මේසා වැව් ප්‍රමාණයක් හා ගංගා ප්‍රමාණයක් තිබිය දී පසුගිය වසරටත් සහල් පිටරටින් ගෙන ඒමයි. තිබෙන වැව් ප්‍රමාණය හොදින් පිළිසකර කර නොගෙන, තිබෙන ජලය කළමනාකරණය නොකර තව තවත් සාරවත් භූමි ජලයෙන් යට කිරීමෙන් ඇති සංවර්ධනය කුමක්ද? සංවර්ධනය රටකට ඉතා අවශ්‍යය කටයුත්තකි. එහෙත් එය කළ යුත්තේ විනිවිධභාවයෙන් යුක්තවය.

එම ව්‍යෘපාතිය නිසා අනාථ වන පිරිසක් වේ නම් ඔවුන්ට ඒ සදහා නිවාස හා ඉඩම් ලබාදීමත් ඔවුන්ගේ ජීවින තත්ත්වය උසස් කිරීමට වැඩපිළිවළක් තිබිය යුතු ය. රටක ජනතාවක් අනාථ කොට තවත් පිරිසකට ලබාදෙන සංවර්ධනය කුමක් ද. ජලාශයක් ගොඩනැගීම අදට හෙටට පමණක් නොව, වසර දහස් ගණනකට මිනිසුන්ට, වන සිව්පාවුන්ට ප්‍රයෝජනයක් අත්වන කටයුත්තකි. එවන් කටයුත්තකට තම ගෙවල් දොරවල් ඉඩකඩම් පරිත්‍යාග කරන මිනිසුන්ට පළමුව සෙත සැලසීම කාගෙ කාගේත් යුතුකමකි.

[ගාමිණී බස්නායක]

මාතෘකා