දරුවෙකු රැකබලා ගන්න ක්‍රමවේදයක් ති‍ෙයනවද?

 ඡායාරූපය:

දරුවෙකු රැකබලා ගන්න ක්‍රමවේදයක් ති‍ෙයනවද?

දෙමව්පියන් බොහෝ අවස්ථාවලදි කරන චෝදනාවක් තමයි විවිධ වයස්වල දරුවන්ගේ මුරණ්ඩුකම් චර්යාමය ගැටලු හෝ ආකල්පමය වශයෙන් එහෙමත් නැත්නම් පෞරුෂයේ ගැටලූවක් නිසා ඔවුන් විවිධ අපහසුතාවන්ට ලක්වෙන බව. දරුවන්ගේ මේ වගේ ගැටලු සහගත තැන්වල දි දෙමව්පියන් බොහෝ වෙලාවට ඇඟිල්ල දික්කරන්නේ දරුවට. මේ ළමයා හරිම මුරණ්ඩුයි. කියන කිසිම දෙයක් අහන්නේ නැ. තනියම වැඩක් කර ගන්න බෑ වගේ විවිධාකාරයෙන් මේ චෝදනා එල්ල වෙන්න පුළුවන්. මේ වගේ අවස්ථාවලදි දෙමාපියන්ගේ අවධානය යොමු නොවෙන කාරණාවක් තමයි අපි දරුවන් රැකබලා ගනිපු ආකාරය නිවැරදි ද කියන දේ. දැන් ඔබට හිතෙනව ඇති දරුවන් රැකබලා ගන්නත් ක්‍රමවේද තියෙනවද කියල. ඇත්තටම දරුවෙක් රැකබලා ගනිද්දි ඒ ඒ වයසෙදි දරුවාට අවශ්‍ය ආදරය රැකවරණය කොයි ආකාරයේ ද කියල දැනගැනීම වගේම දරුවෙක් රැකබලා ගන්න හොඳම ක්‍රමය මොකක්ද කියන දේත් තේරුම් ගන්න එක දෙමාපියන්ට අතිශය වැදගත්.

බොහෝ දෙමාපියන් සිතන දෙයක් තමයි දරුවකු කියන්නේ කුඩා ශරීරයක් සහිත වැඩිහිටියෙක් කියල. මේ ආකල්පය බොහෝ වෙලාවට දරුවන් එක්ක කටයුතු කරනකොට දරුවන්ට නරක විධියට බලපෑම් කරනවා. දරුවෙක් උපත ලැබූ දා ඉඳන් කායික වශයෙන් ඔවුන් සංවර්ධනය වන බව ඕනෑම අයෙක් දන්න කරුණක්. නමුත් දරුවෙක් කායික වශයෙන් වගේම මානසිකවත් සංවර්ධන අවධි ගණනාවක්ම දරුවෙක් පසු කරනවා. දරුවෙක්ුකබලා ගැනීමේදී දෙමාපියන් මේ පිළිබඳ දැනසිටීම වගේම ඒ පිළිබඳව අවධානය යොමු කිරීමත් අතිශය වැදගත්. දරුවන්ව රැකබලාගැනීමේ විධික්‍රමය හඳුන්වන්නේ දෙමාපියභාවය කියල. දරුවකුගේ පළමු ගුරුවරයා බවට පත්වෙන්නේ එම දරුවාගේ මව්පියන්. ඔවුන් දරුවා හදාවඩා ගැනීමට භාවිත කරන ක්‍රමවේදය දරුවාගේ පෞරුෂ වර්ධනයට වගේම දරුවාගේ සමාජීය ජීවිතයටත් ප‍්‍රබල බලපෑමක් කරනවා.

දෙමාපියන් තම අත්දැකීම් මත පදනම් වෙලා හරි තමන් නිවැරදි යැයි සිතන ක්‍රමවේදයන් දරුවන් වෙනුවෙන් භාවිත කරනවා. මේ වගේ එක ක්‍රමවේදයක් තමයි ධනාත්මක දෙමාපියභාවය කියන්නේ. මෙම කාණ්ඩයේ දෙමාපියන් දරුවන්ට කොන්දේසි විරහිතව ධනාත්මකව සලකනවා. දරුවන්ට ඔවුන්ගේ හැකියාවන් වර්ධනය කරගනිමින් අභියෝගවලට මුහුණ දීමට ඔවුන් තුළ පවතින හැකියාවන් වර්ධනය කරගැනීමට උපකාර කරීම මොවුන්ගේ ප්‍රධානම ලක්‍ෂණයක්. දරුවන් තුළ ස්වාභිමානය නැතිනම් ආත්ම සංකල්පය වර්ධනය කළ හැකි ආකාරයට දරුවාගේ පරිසරය සකස් කිරීම තමයි මෙම දෙමව්පියන් සිදු කරන්නේ. මෙම ක්‍රමවේදය දරුවන්ට බොහෝ අවස්ථාවලදී ධනාත්මකව බලපානව වගේම ඔවුන්ගේ පෞරුෂයත් ඉතා හොඳින් සංවර්ධනය වෙනවා. මේ වගේම තවත් ක්‍රමවේදයක් තමයි අධ්‍යාත්මික දෙමාපියභාවය කියන්නේ. මේකෙදි දරුවන් තුළ විශ්වාසවන්ත භාවය ඇති වන ආකාරයෙන් තමයි දරුවන් රැකබලා ගන්නේ. තුළ තමා පිළිබඳ විශ්වාසවන්තභාවයක් ගොඩනැංවෙන ආකාරයට කටයතු කිරීමෙන් දරුවන්ගේ පෞරුෂයේ හොඳ සංවර්ධනයක් සිදු වෙනවා. සහසම්බන්ධිත දෙමාපියභාවයත් මේ වගේමයි. දරුවා හා මව අතර ඉතා හොඳ සබඳතාවයක් ගොඩනංවා ගන්නවා වගේම පවු‍ෙල් සමාජිකයන් අතර අන්‍යොන්‍ය ගරුත්වය එකිනෙකාට ලබා දෙනවා. මෙතනදි වැදගත්ම දෙයක් තමයි බොහෝ අවස්ථාවලදි පවුලක් ඇතුළෙ තීරණ ගන්නේ මව හෝ පියා. නමුත් මෙවැනි දෙමාපියන් තම දරුවන් වයසින් බාල වුවත් සමහර අවස්ථාවලදි තීරණ ගැනීම්වලට ඔවුන්වත් සම්බන්ධ කර ගන්නවා. දරුවකු පවුළ තුළ ගරුත්වය ලබා දෙන්න පහසු එක් ක්‍රමයක් තමයි එ්ක. මගේ පවුල ඇතුළේ මටත් වටිනාකමක් තියෙනවා කියල දරුවට දැනෙන්නට හැරීමෙන් දරුවා තුළ හොඳ සමාජ සම්බන්ධතාවන් වර්ධනය වෙනවා වගේම ශක්තිමත් පෞරුෂ සංවර්ධනයකුත් සිදු වෙනවා.

බොහෝ අවස්ථාවල නව යොවුන් දරුවන් තුළ ගැටුම් සහගත තත්ත්වයන් මතු වීමට ප්‍රධානම සාධකයක් තමයි පවුල තුළ ඔවුන්ට අවශ්‍ය ගරුත්වය නොලැබී යාම. ස්වයං අනන්‍යතාවය සොයන නවයොවුන් දරුවාට පවුල තුළම එම අවස්ථාව අහිමි වීම බොහෝ ගැටලූවලට හේතුවක්. නවයොවුන් වියට ප්‍රථම දරුවා දෛනික ජීවිතයේ ක්‍රියාකාරකම් සිදුකිරිමට එකඟතාවන් ඇතිකර ගැනීම ඒ කියන්නේ දරුවාගේ වගේම දෙමාපියන්ගේ කැමැත්ත දෙකටම ගරු කරමින් පාඩම් කිරීමට සෙල්ලම් කිරීමට රූපවාහිනිය නැරඹීමට වගේ ක්‍රියාකාරකම්වලට අවස්ථාව සලසා ගන්නවා නම් ගැටළුවක් ඇති නොවෙන ආකාරයට ඔබගේ හා දරුවාගේ කටයුතු දෙකම කරගැනීමේ හැකියාව ඔබට ලැබෙනවා. දරුවන්ට කොන්දේසි විරහිතව ධනාත්මකව සැලකීම ගැටලු සහගත වෙන්න පුළුවන් කියල ඔබට හිතෙන්න පුළුවන් .දරුවන්ට ගරු කිරීම ඔවුන් සමඟ සුහදව එකඟතාවන් පවත්වා ගැනීමෙන් මේ ගැටළු සියල්ල සෞම්‍ය විධියට විසඳගන්න පුළුවන්.

දරුවන්ට යහපත් විධියට බලපාන ක්‍රමවේදයන් වගේම දරුවන්ට අයහපත් ලෙස බලපෑම් කරන ක්‍රමවේදත් තියෙනවා. දරුවන් නොසලකා හැරීම මේ වගේ එක් කබලා ගැනීමේ ක්‍රමවේදයන් දරුවන්ගේ අවශ්‍යතා පිළිබඳව එතරම් සැලකිල්ලක් නොදැක්වීම ඔවුන් පිළිබඳ අවධානය යොමු නොකිරීම දරුවන්ට අවශ්‍ය ගරුත්වය නොලැබීම වගේම ඔවුන් පිළිබඳ විශ්වාසයක් දෙමාපින් තුළ මෙම රැකබලාගැනීමේ දී දැකගන්න බැහැ. මෙම දරුවන් පෞරුෂය අතින් දුර්වල වෙනවා වගේම සමාජීය ජීවිතයත් අඩපණ වෙනවා. තවත් දෙමාපියන් පිරිසක් ඉන්නවා දරුවන්ට අධි ආරක්‍ෂාවක් සලසන හෙලිකොප්ටර් දෙමාපියභාවය කියල මේක හදුන්වන්න පුළුවන්. මෙම දෙමාපියන් දරුවාට තනිව කිසිඳු දෙයක් කිරීමට අවස්ථාවක් ලබා දෙන්නේ නැහැ. දරුවා සමාජීය ජීවිතයට හුරු කිරීමට ඔවුන් බියක් දක්වනවා. මෙම ක්‍රමවේදය දරුවාට ඉතාමත්ම අහිතකරයි. විවාහ ජීවිතයේ දී වගේම කියා ස්ථානයක සේවය කිරීමේ දී මෙවැනි දරුවන් දැඩි අපහසුතාවයකට ලක් වෙනවා. දරුවන්ට අසීමිත නිදහස ලබා දෙන දෙමාපිය කොට්ඨාසයකුත් ඉන්නවා. දරුවන්ට අවශ්‍ය සීමාවන් හඳුනාගැනීමට ඇති නොහැකියාව වගේම දරුවන්ට අවශ්‍ය සීමාවන්ට දරුවන් යටත් කර ගැනීමට දෙමාපියන්ට ඇති නොහැකියාවත් සමඟ දරුවන් බොහෝ ගැටලුවලට මුහුණ දෙනවා. විවිධ ඇබ්බැහි වීම්වලට මෙවන් දරවන් පහසුවෙන්ම ලක් වෙන්න පුළුවන්.

ලංකාව ඇතුළත කරන ලද පර්යේෂණවලට අනුව ලංකාවේ බහුතරයකට සුදුසුම දෙමාපියභාවය වෙලා තියෙන්නේ දරුවන්ට අවශ්‍ය නිදහස ගරුත්වය ලබා දෙන අතර ඔවුන්ට අවශ්‍ය අවස්ථාවලදී සෘජු නීති අනුගමනය කිරීම කියන දෙකේ එකතුවක්. නමුත් තම දරුවාට සුදුසුම ක්‍රමවේදය හදුනා ගැනීම දෙමාපියන්ගේ වගකීමක්.

මනෝ උපදේශිකා [ඉවෝනි දිල්කි] ඡායා crcsrilanka.org

මාතෘකා