විද්‍යාවේ අස්සන හොරට ගසන මෝහන ‘විජ්ජාව’

 ඡායාරූපය:

විද්‍යාවේ අස්සන හොරට ගසන මෝහන ‘විජ්ජාව’

මෝහනය, පුනරුත්පත්තිය සහ මනෝකාය යනු බොහෝ අයගේ සිත්වල කුතුහලය දනවන මාතෘකාය. මෙය භක්තිය, විශ්වාසය හා ඇදහීම මත පිහිටයි. එහිදී විචාරාවබෝධය යට යයි. හැඟීම් සමඟ බැඳෙයි.

1960 දී ආචාර්ය ඒබ්‍රහම් ටී. කොවුර්ගේ මූලිකත්වයෙන් පිහිටුවන ලද ශ්‍රී ලංකා හේතුවාදී සංගමයේ ප්‍රබලයෙකු වන නීතිඥ ධර්මපාල සේනාරත්න මේ පිළිබඳව වැදගත් ලේඛන රැසක් සම්පාදනය කළ විද්වතෙකි. 1978 දී කොවුර් මියගියේය. ධර්මපාල සේනාරත්න මීට වසර කිහිපයකට පෙර මියගියේය. 2005 දී හේතුවාදී සංගමය නැවත පිහිටුවීමේදී ධර්මපාල සේනාරත්න එහි පුරෝගාමියෙකුව කටයුතු කළේය.

මෝහන විද්‍යාව හා පුනර්භවය මැයෙන් ඔහු අවසන් වරට ලියූ ලිපිය ශාස්ත්‍රීය සඟරාවක් සඳහා සම්පාදනය කරන ලද්දකි. ඒ සඟරාව පළ නොවීය. මෝහන විද්‍යාව, වෙළඳ ජාවාරමක්ව ඇති මෙකල එහි සත්‍යාසත්‍යතාව අනාවරණය කිරීම අත්‍යාවශ්‍ය කාර්යක්ව තිබේ. එහෙයින් ධර්මපාල සේනාරත්න අවසන් වරට ලියූ නිබන්ධනයෙන් කොටසක් මෙහි පළ කරන්නේ සම්මත මිථ්‍යාවන්ට අභියෝග කිරීමේ ප්‍රවේශයක් ලෙසය.

 

කලකට පෙර විද්‍යාවෙන් ආචාර්ය උපාධියක්ද සහිත උගත් ප්‍රකට තැනැත්තෙකු මෝහනයෙන් පුනර්භවය ඔප්පු කරන අන්දම ගැන රූපවාහිනී වැඩසටහන් මාලාවක් ඉදිරිපත් කළ බව සමහර විට ඔබට මතක ඇත. ඔහු විසින් කැඳවාගෙන එන ලද කවුරුන් හෝ රූපවාහිනී වැඩසටහන් මැදිරිය තුළදී මෝහනයට පත් කරනු ලැබ ඔහු හෝ ඇය ලවා පසුගිය ආත්මය පිළිබඳ තොරතුරු ප්‍රකාශයට පත් කරවීම මෙහිදී සිදි කෙරිණි.

එහිදී ත්‍රිපිටකය හා විද්‍යා මූලධර්මද ඉදිරිපත් කරමින් ඒ ගැන ගැඹුරු විග්‍රහයන් ඉදිරිපත් කරන ලදි. මේ පුනර්භව නිරූපණය අතිශයින්ම අවිශ්වාසනීය බව කිව යුතු ය. එහෙත් ප්‍රේක්ෂකයින්, විශේෂයෙන්ම බැතිමත් බෞද්ධයින් ඒවා බලා සිටියේ මුව අයාගෙනය. ටික කලකට පසු මේ උගතා පුනර්භව සායනයක් ආරම්භ කළ බව අසන්නට ලැබුණි. ස්වකීය පෙර ආත්මය දැන ගැනීමට ආශා කළ පිරිස් මේ සායනය වෙත ඇදී ආවේ පෝළිම් දිගේය. උගතා මුදල් අය කරමින් ඔවුන් මෝහනයට පත්කොට ස්වකීය සේවාදායකයින්ගේ පෙර ආත්මය හෙළි කරවා දෙයි.

මෝහනයට පත් කරනු ලැබූ තැනැත්තෙකු පියවරෙන් පියවර මානසික වශයෙන් අතීතය දක්වා කැඳවාගෙන යා හැකිය. මෙම ක්‍රියාදාමය ප්‍රතිගමනය ලෙසින් හඳුන්වනු ලැබේ. යම් තැනැත්තෙකු ළමා අවධිය දක්වා ප්‍රතිගමනය කළ විට ඔහු හැසිරෙන්නේ ළමයෙකු ලෙසය. දැනට මුළුමනින්ම අමතක වී ඇති ස්මරණයන් මේ දැන් ලබන අත්දැකීමක් ලෙස සිහිපත් කරවීමට මෙහිදී හැකි වේ. සැබවින්ම ප්‍රතිගමනය මානසික ප්‍රතිකාරයක් ලෙස ප්‍රතිඵලදායක වේ. ප්‍රචලිත ලෙස භාවිතයේද පවතී. පුනර්භවවාදීන් දක්වන්නේ මේ ප්‍රතිගමනය ඉන් ඔබ්බටත් පවත්වාගෙන ගොස් මව් කුස ගත කළ කාලය ද ඉක්මවා ගොස් පෙර ආත්මය නැතහොත් ආත්ම දක්වා දීර්ඝ කළ හැකි බවය. මෙය මුළුමනින්ම මිථ්‍යාවකි. මුසාවකි.

බ්‍රයිඩ් මර්ෆි කතාව

මෝහනයෙන් පුනර්භවයක් හෙළිදරව් කර ගත හැකි වෙතැයි අදහස කරළියට එන්නේ ප්‍රථමයෙන්ම 1956 දී එක්සත් ජනපදයේ The Secret for Marphy යන පොත ඒමත් සමඟය. මෙය රචනා කළ Morey Brentein යන අය මෝහනය පිළිබඳ අත්හදාබලමින් සිටි ආධුනිකයෙක් විය. Virginia Tighe නම් වූ කාන්තාවක මෝහනයට පත් කරන ලද අවස්ථා කිහිපයකදීම තමා පෙර ආත්මයකදී අයර්ලන්තයේ Bridey Murphy නමින් ගත කළ ජීවිතය ගැන ඇය සඳහන් කිරීම පිළිබඳ විස්තරය මේ පොතේ දැක්වේ.

ක්‍රිස්තියානියේ ඉගැන්වීමෙන් දේව නිර්මාණවාදය මෙවකට ප්‍රතික්ෂේප වෙමින් තිබුණු හෙයින්ද මෙය අනුවේදනීය කතා පුවතක් වන හෙයින්ද මේ පොත පිළිබඳ එක්සත් ජනපදයේ පමණක් නොව සමස්ත ලෝකයේම මහත් ආන්දෝලනයක් ඇති වීම පුදුමයට කරුණක් නොවේ.

මේ පිළිබඳ උණුසුම කොතරම්ද යත් මෙම පොත පිට වී මාස තුනක් තුළදී පිටපත් 1,7500ක්ද Tighr (ටයිග) මහත්මිය පසුගිය ආත්මය ගැන කළ ප්‍රකාශ අඩංගු හඬපට 30,000ක්ද විකිණී අවසන් වූයේය. පුනර්භවය පිළිබඳව වූ මේ කතා පුවත ඩොලර් 5,00,000කට මිලදී ගන්නා ලදුව එය පදනම් කරගෙන සිනමාපටයක් නිපදවන ලදි. කතා පුවත මිලට ගත් The Chicago American පුවත්පත එය කොටස් වශයෙන් පළ කළේය. මෝහනය මඟින් පුනර්භවය හෙළිදරව් කර ගනිමින් ඒ හරහා මානසික ප්‍රතිකාර ගැන වෙළඳ ප්‍රචාරක දැන්වීම් විශාල වශයෙන් ප්‍රචාරය වීමෙන් ඒ ප්‍රතිකාර ක්‍රමයද Past Life Theraphy ලෙස බෙහෙවින් ජනප්‍රිය විය. ඒ ගැන යූරෝපා පුරා පොත්ද ලියවිණි. මේ කතාව පදනම් කරගෙන ගීතද රචනා කෙරිණි.

මේ කතාවේ සත්‍යාසත්‍ය බව ගැන විවිධ දෙනා විවිධ අදහස් පළ කළ අතර ඒ අතර මෝහන විද්‍යාඥයෝද වූහ. එහිලා විශාල වශයෙන් විචාර ලියවිණි. කරුණු සොයා බැලීමට ඉදිරිපත් වූවන් අතර විද්‍යාඥයෝ පමණක් නොව නීතීඥ කණ්ඩායම්ද වූහ.

විද්‍යාඥයින් පිරිසක් ඒ ගැන විග්‍රහ කරමින් ලියූ ලේඛන එකතුවක්ද A Scientific Report on the Search for Bridey Murphy නමින් පළ විය. ඒ ලිපි එකතුව ලංකාවේ ඇමරිකානු මධ්‍යස්ථාන පුස්තකාලයේදීද බ්‍රිතාන්‍ය කවුන්සිල පුස්තලාකයේද නොතිබුණු නමුත් පේරාදෙණි සරසවි පුස්තකාලයේ තිබුණු අතර එය මට කියවීම සඳහා ලබාදුන් එවකට එහි බෞද්ධ දර්ශනය පිළිබඳ මහාචාර්ය කේ.එන්. ජයතිලක මහතා ගැන මෙහිදී ස්තූති පූර්වකව සඳහන් කළ යුතු ය. දැනට මේ කතාව ගැන ඇති අවසන් නිගමනය කුමක්ද? අන්තර්ජාලයේ දැක්වෙන විකිපීඩියා විශ්වකෝෂය සියලු තොරතුරු විග්‍රහ කරමින් ඒ ගැන නිගමනය කරයි.

"වර්ජිනියා ටයිග ප්‍රකාශ කළ සෑම කරුණක්ම අමතකව තිබුණු ඇයගේ ළමා අවධියේ අත්දැකීම් පිළිබඳ මතකයන් බවට අද විද්‍යාඥයෝ බොහෝ දෙනා සෑහීමට පත් වී සිටිති." Most scientists today are satisfied that thing Virginia Tighe said can the explained as a memory of her long forgotten childhood.

එහෙත් බෞද්ධ භික්ෂූහු බණ දේශනා කරන විටදී පුනර්භවය තහවුරු කරන සාධකයක් සේ දැනුදු මේ කතාව උපුටා දක්වති. බැතිමත් බොදුණුවෝ සාදුකාර දෙමින් ඒ බණ අසා සිටිති. පුනර්භවය ගැන අප ලියන විට අප විවේචනය කිරීමට පමණක් නොව උසුළු විසුළු කරමින් අපහාසයට උපහාසයට ලක් කිරීමටද සැබෑ කරුණු නොදත් ඒ බොදුණුවෝ තවමත් මේ කතාව උපුටා දක්වති. තමාම පුද්ගලිකව පුද්ගලයන් මෝහනයට පත් කොට ඔවුන්ගේ පෙර ආත්මය හෙළිදරව් කරගත් බව කියන තවත් ප්‍රකට බෞද්ධයෙකු නම් අමරසිරි වීරරත්න මහතාය. ඉන් සමහරුන් තමා දුටුගැමුණු රජු සමයේ ගත කළ ජීවිතය ගැනද තොරතුරු හෙළිදරව් කොට තිබේ. ‘අවරදිගුන් දුටු පුනරුත්පත්තිය’ නමින් වීරරත්න මහතා විසින් පොතක්ද ලියා තිබේ. එහි දැක්වෙන හාස්‍යජනක කරුණු සඳහන් කරමින් මෙහි ඉඩකඩ නාස්ති කිරීමට මම නොකැමැත්තෙමි.

මානසික රෝග විශේෂඥයෙකු වන වෛද්‍ය එච්.බී. ජයසිංහ මහතා විසින් මෝහනය සහ පුනර්භවය යන මැයෙන් කොළඹදී දේශනයක් පවත්වන ලදි. මේ සඳහා පැමිණෙන මෙන් මා වෙතද ඉල්ලීමක් කරන ආ නමුත් අලුත් යමක් ඇසීමට නොලැබෙන බව නිසැක ලෙසම දැන සිටි බැවින් මා ඊට සහභාගි වූයේ නැත. දේශනය ඇසීමට ගිය තැනැත්තන්ගෙන් පසුව දැනගත් පරිදි මගේ නිගමනය නිවැරදි බව තහවුරු විය.

වෛද්‍ය විද්‍යාත්මක තාක්ෂණික කරුණු සමඟ මුසු කරමින් කෙරුණු ඒ දේශනයෙන් ප්‍රකාශ වූයේ මෝහනයෙන් පුනර්භවය හෙළි වන බවය. ඒ දේශනය 2009.06.15 වැනි දින Daily News පුවත්පතේද පළ විය. බොහෝ දෙනාගේ ඉල්ලීම මත මේ පිළිබඳ විවේචනයක් 2009.06.20 දින The Island පුවත්පතටද 2009.06.25 දින Daily News පුවත්පතටද මවිසින් ලියන ලදි. දොස්තර මහතා ඊට පිළිතුරු දීමට ඉදිරිපත් නොවූ නමුත් බැතිමත් බොදුණුවන් රැසක්ම ඉදිරිපත් වූ බැවින් විවාදයක් ලෙස ඒ සාකච්ඡාව කලක් තිස්සේම පැවතිණි.

එහිදී මතු වූයේ විශේෂඥ දොස්තර මහතෙකු විවේචනය කිරීමට ඔබ කවුද වැනි බොළඳ තර්ක පමණි. කරුණු නොදත් සමහරු ඉහත සඳහන් Bridey Murphy කතාවද උපුටා දැක්වූහ. එක්සත් ජනපදයේ වර්ජිනියා සරසවියේ මහාචාර්ය ඉයස් ස්ටීවන්සන් මහතාගේ ප්‍රශංසාවට පවා ලක් වූද "නැවත උපන් දැරිය" නමින් පළ වූ "ලංකාවේ ප්‍රථම පුනරුත්පත්ති පර්යේෂණය" ලෙස හඳුන්වන ලද්දා වූ ද එච්.එස්.එස්. නිශ්ශංක මහතාගේ පුනර්භව කතාවද අර දොස්තර මහතා මෙන් මේ විචාරකයින් විසින් උපුටා දක්වන ලදි.

ඒ ඔවුන් කරුණු නොදැන සිටි හෙයිනි. නැවත උපන් දැරිය කතාව මුළුමනින්ම ප්‍රබන්ධයක් බව මවිසින් පැහැදිලි සාක්ෂි සහිතව හෙළිදරව් කරන ලද්දේ 1971 තරම් ඈතදී බව මොවුහු දැන නොසිටියහ. ඒ වසරේදී

ශ්‍රී ලංකා හේතුවාදී සංගමය විසින් පළ කරන ලද Ceylon Rationalist Ambassador නම් වූ ස්වකීය වාර්ෂික සඟරාවේ මගේ හෙළිදරව්ව ප්‍රථම වරට පළ කරන ලද අතර ඉන් අනතුරුව ප්‍රකාශයට කත් කෙරුණු 'හේතුවාදී සංදේශය' නම් කෘතියේ එහි සිංහල අනුවාදයද දැක්විණි. 1980දී ආචාර්ය ඒබ්‍රහම් කොවුර් විසින් ඉන්දියාවේදී ප්‍රකාශයට පත් කරන ලද Gods, Demons and Spirits නම් කෘතියේ එය මගේ නමින්ම වෙනම පරිච්ඡේදයක් ලෙස දක්වා ඇත.

නැවත උපන් දැරිය පිළිබඳ වූ ඊනියා විද්‍යාත්මක පුනරුත්පත්ති පර්යේෂණය මෙහෙයවන ලද්දේ (දැනට ආචාර්ය) එච්.එස්.එස්. නිශ්ශංක, පේරාදෙණිය සරසවියේ බෞද්ධ දර්ශනය පිළිබඳ මහාචාර්ය කේ.එන්. ජයතිලක, විද්‍යෝදය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය

කේ. එන්. එම්. සුමතිපාල යන මහත්වරුන් සහ වජිරාරාමවසී පියදස්සි හිමි ඇතුළු විද්වත් මණ්ඩලයකි විසිනි.

සුමතිපාල මහතා මා වෙත පෞද්ගලිකව ස්වකීය අත්අකුරෙන්ම එවූ ලිපියක මෙසේ සඳහන් කළේය.

"පුනරුත්පත්තියක් ඇතැයි හෝ නැතැයි කීමට මට නුපුළුවන. මා ඒ පිළිබඳ ප්‍රත්‍යක්ෂ වශයෙන් කිසිවක්ම නොදන්නා හෙයිනි. කොත්මලේ ඥානතිලකා ( නැවත උපන් දැරිය) බැලීමට මාද ගිය බව සැබෑය. එහි සිදු වූ සිද්ධීන් මම දිටිමි. එය පුනරුත්පත්තියක් යැයි ප්‍රත්‍යක්ෂ වශයෙන් කීමට මට නුපුළුවන. මා එවකට "සිළුමිණ" පත්‍රයට දුන් ප්‍රකාශයක ඒ බව විස්තර කර ඇත. එයින් කුඩා ඡේදයක් පොත අග බහා ඇත. එම ඡේදය සුපරික්ෂාකාරීව කියවුවහොත් මෙය පුනරුත්පත්තියට ප්‍රත්‍යක්ෂ සාක්ෂියක් වශයෙන් නොපිළිගන්නා බව පෙනී යනවා ඇත. ' සිළුමිණ'ට දුන් ලිපියෙන් පොතට ගෙන ඇත්තේද පරීක්ෂණයට ඉතාම වාසි වන ඡේදය පමණි. මුළු ලිපියම කියවුවහොත් මා පුනරුත්පත්තියක් ඇතැයි කීමට කොත්මලේ කතාව ප්‍රමාණවත් සාක්ෂියක් ලෙස නොපිළිගන්නා බව පෙනී යනවා ඇත. එම නිසා මා මේ පර්යේෂණයට සහභාගි වුවද ඒ ගැන කරන නිගමනයට මා සම්පූර්ණයෙන් එකඟ නොවන බව කරුණාවෙන් සලකන්න."

මේ පුනරුත්පත්ති කතාව ප්‍රබන්ධයක් බව වටහා ගැනීමට මේ ප්‍රකාශය පමණක් නොසෑහේද?

නීතිඥ [ධර්මපාල සේනාරත්න]

මාතෘකා