දුමින්ද - භාරත නඩුව සහ මාධ්‍ය නිරුවත

 ඡායාරූපය:

දුමින්ද - භාරත නඩුව සහ මාධ්‍ය නිරුවත

ජනමාධ්‍යවේදියෝ පෙරහරේ ඉදිරියෙන් යන කසකාරයෝ වෙති. සමාජය ඉදිරියට ගෙන යා යුත්තේ කුමන දිසාවට ද? පාර පෙන්වන්නේ ජනමාධ්‍යවේදියෝ ය. අපේ නිදහසේ අරගලයේදී ද මාධ්‍යවේදියා සිටියේ ඉදිරියෙනි. එදා ජනමාධ්‍යවේදියා සිටියේ දේශපාලනඥයාට වඩා ඉදිරියෙනි.

ජනමාධ්‍යවේදියකුට පෙරහරේ ගමන් කරන කසකාරයා මෙන්ම පෙරහර අවසානයේ අලි බෙටි එකතු කරන කසළ ශෝධකයා වීමට ද හැකිය. එයට කිසිම තහනමක් නැත. එය තීරණය කළ යුත්තේ ද මාධ්‍යවේදියා විසින්ම ය.

නීතියේ ආධිපත්‍යය රැකීමට අධිකරණ‍ෙය් ස්වාධීනත්වය රැකිය යුතුය. 1689 දී අධිකරණයට මැදිහත් වේය යන බි‍යෙන් එංගලන්තයේ ජනතාව පෙළපාලි ගියහ. ජනතාවට සහතිකයක් දෙන ‍තෙක් රජතුමාගේ ඔටුන්න පිළි නොගන්නා බව ඔවුහු පැවසූහ. විනිසුරුවන්ගේ ධුර කාලයට අත නොතබන බවට පොරොන්දු වනතුරු රජතුමා වශයෙන් පිළි නොගන්නා නැති බව ද පැවසූහ.

පසුගිය පාලන සමයේ උසාවියේ වැරැදිකරුවන් වී පැමිණෙන අයට මල්මාලා දැමීම, දෝෂාභියෝග නඩු ඇසීමේදී මිනිස්සු කැති පොලු රැගෙන උසාවිය වටකරගෙන සිටීම වැනි දේ සිදු විය. ඒවා රාජ්‍ය අනුග්‍රහයෙන් කෙරුණ බැවින් කිසිවක් කළ නොහැකි විය. එවැනි අධිකරණයක් ද තිබිණි.

අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳ ගැටලු තිබිණි. විශේෂයෙන් පත්කිරීම් පිළිබඳ දේශපාලනික ඇඟිලි ගැසීම් පිළිබඳ අධිකරණ නඩු තීන්දු, හෙජින් තීන්දුව, කුණු කූඩයට දැමීම උදාහරණ ය. මේ නිසා අධිකරණය පිළිබඳ ජනතා ගරුත්වය ගිලිහී ගොස් තිබිණි.

ඇතැම් නඩුවලද නීතිඥයන් පවසන්නේ මෙය ආරක්ෂක ලේකම්වරයාගෙන් පැමිණි ඕඩරයක් බවයි. එය ඇප්ලිකේෂන් ඩිස්මිස් යනුවෙන් තීන්දු කෙරෙනු අප දැක ඇත. අපේ රටේ අධිකරණ යථාර්ථය වූයේ එය ය.

නමුත් මෙරට අධිකරණ මඟින් රජයේ ඉහළ පෙළේ නිළධාරීන්ට මෙන්ම දේශපාලන බලපුළුවන්කාරයන්ටද එරෙහිව සෘජු නඩු තීන්දු ලබාදෙන යුගයක් නිර්මාණය වී ඇත. රටේ පාලනයේ පාදම ත්‍රිත්වයේ උත්තරීත්වයෙන් සැලකෙන අධිකරණය සම්බන්ධයෙන් මහජන ප්‍රසාදය ක්‍රමයෙන් ගොඩ නැඟෙන තත්ත්වයක් නිර්මාණය වී තිබේ. එවන් වාතාවරණ‍යක දේශපාලන ඇඟිලි ගැසීම්වලින් කළ නොහැකි බලපෑම් මාධ්‍ය භාවිතයෙන් මහජන මතයට බලපෑම් කොට මිනීමරුවන් සුදනන් ලෙස සමාජ ගත කිරීමේ වෑයමක් යළිත් අලුත් වටයකින් කරළියට පැමිණීමේ සේයාවක් ඇත.

"දුමින්දට දුන් නඩු තීන්දුව වැරදියි - භාරත ඇතුළු පිරිසට වෙඩි වැදී තිබෙන්නේ වෙඩි වැදුනු දුමින්ද ඔසවාගෙන යන විටයි"

මේ පසුගිය දිනෙක ජාතික පුවත්පතක, මෙරට විභාග වූ ආන්දෝලනාත්මක ඝාතන නඩුවක් සම්බන්ධයෙන් වාර්තා කර තිබූ අන්දමය. ඝාතනයට ලක් වූයේ එම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි. ඝාතනය සිදුවන විට බලයේ සිටි ජනාධිපතිවරයාගේ දිගුකාලීන දේශපාලන මිත්‍රයෙකි. දිගුකාලීන පෞද්ගලික මිත්‍රයෙකි. එමෙන්ම ඔහුගේ වෘත්තිය සමිති උපදේශකවරයෙකි.

2011 ඔක්තෝ්බර් 8 වන දින පළාත් පාලන මැතිවරණය පැවැත්වෙද්දී අංගොඩ වල්පොල ප්‍රදේශයේදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඇතුළු පස් දෙනෙකු ඝාතනය කරමින්ද පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ඇතුලු සිව් දෙනෙකුට තුවාල සිදුකරමින්ද අවසන් වූ ගැටුම සම්බන්ධයෙන් හතළිස් දෙදෙනෙකු ලබාදුන් සාක්ෂි ඔස්සේ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් ඉදිරියේ විභාග වූ නඩුවට අදාළව 2016 සැප්තැම්බර් 8 වන දින ලබාදුන් මහාධිකරණ තීන්දුව ගැන ප්‍රශ්න කරන මාධ්‍ය වාර්තා, පුවත් මේ දිනවල මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍ය කිහිපයක රසමසවුල්ල බවට පත්ව තිබෙණු දක්නට ලැබේ.

දුමින්ද ඔසවාගෙන යාමට පෙර භාරතට වෙඩි වැදී බිම වැටී සිටි බවට භාරතගේ රියදුරා ඇතුළු ඇසින් දුටු සාක්ෂිවලින් නඩුවේදී ඔප්පු වී තිබිණ. භාරත ඇතුළු පිරිසට වෙඩි තැබූ සරත් බණ්ඩාර වෙඩි තබා අවසන් වීමෙන් පසුව දුමින්දව එම ස්ථානයෙන් ගෙන ගොස් තිබේ. භාරතව එම ස්ථානයෙන් ගෙන යන විට විනාඩි 15ක් පමණ ගත වී තිබුණු බවද නඩුවේදී ප්‍රකාශ වී තිබිණ. එම සිදුවීම උසාවියට ඉදිරිපත් වූ සාක්ෂි මඟින් පැහැදිලිව ඔප්පු වී තිබියදී මාධ්‍යවේදීන් යැයි කියා ගන්නා පිරිසක්, උසාවියේ කිසිම සාක්ෂියකින් ඔප්පු නොවූ කාරණයක් විකෘති කර ජාතික පුවත්පත් ඔස්සේ සමාජගත කර මාධ්‍ය වෘත්තිය බරපතළ ලෙස නින්දාවට පත් කරන්නේ මිනිමරුවන්ගේ සන්තෝසමේ රසට වහවැටීදැයි අපට සාධාරණ ගැටලුවක් පැන නැඟේ.

තව දුරටත් ඒක පාර්ශ්වික, සාවද්‍ය වාර්තාකරණයට යොමු වන ඉහත පුවත්පත'දුමින්ද සිල්වා ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව නඩුවේදී ඉදිරිපත් වූ කිසිදු සාක්ෂියකින් නිසියාකාරව තහවුරු වී නොමැති බව සිය තීන්දුවෙන්ම ප්‍රකාශකොට ඇති විනිසුරුවරිය මෙම ගැටුම ආරම්භ වූයේ භාරතගේ ආරක්ෂකයා දුමින්ද සිල්වාට වෙඩි තබා බිම හෙළීමත් සමඟ ඔහු වහා ඔසවා රැගෙන යන විට බව මෙම නඩු විභාගයේදී අනාවරණය වී තිබියදීත් විත්තිකරුවන් වැරදිකරුවන් කොට මරණ දඬුවම නියම කිරීම බරපතළ ගැටලුවක් යැයි' සඳහන් කරයි.

මේ නම් මෙරට අධිකරණයට මෑත ඉතිහාසය තුළ එල්ල කළ දරුණුම චෝදනාවක් මෙන්ම අපහාසයකි. මරණ දඬුවම තබා අවම තරමේ එක් දිනකට හෝ විත්තිකරුවකුට සිර දඬුවමක් නියම කිරීමේදී නිසියාකාරව ඔප්පු නොවූ සාක්ෂි ගැන සැලකිලිමත්ව දඬුවම් නියම නොකරන බව මෙම අධිකරණ වාර්තාකරුවන් හෝ ජනාධිපති නීතිඥවරයා නොදන්නවා නොවේ. ඊටත් වඩා ඛේදජනක කාරණය වන්නේ, මෙම පුවත්පත් වාර්තාවේ දැක්වෙන ලෙස 'චෝදනාව ඔප්පු නොවී ඇති බවට විනිසුරුවරිය වාර්තාවේ' ලියා ඇත්නම් මරණ දඬුවම ලබා දීමට තරම් අඳ බාල අධිකරණයක් මෙරට ඇති බවට මෙම පුවත්පත් වාර්තාව කරන වක්‍ර අපහාසයයි. අනෙක් අතට ජනාධිපති නීතිඥ අනිල් සිල්වා යනු විත්තියේ නීතිඥවරයායි. විත්තිය වෙනුවෙන් පෙනී සිටින්නාගේ ප්‍රකාශ පමණක් දිගින් දිගමට ප්‍රමුඛ පුවත් බවට උලුප්පා මාධ්‍ය මඟින් ප්‍රකාශයට පත් කිරීම අභියාචනාධිකරණයේ දැනට විභාගවන නඩුවේ විත්ති පාර්ශ්වයට සහායවන මහජන මතයක් නිර්මාණය කර වක්‍රාකාරයෙන් අධිකරණයට බලපෑම් එල්ල කිරීම බව ඉතා පැහැදිලිය. භාරත ලක්ෂ්මන් ඝාතන නඩු තීන්දුවේදී විත්තිය නිදහස් කිරීමට බෙදුණු තීන්දුව ප්‍රකාශයට පත් කළ මහාධිකරණ විනිසුරු ශිරාන් ගුණරත්න පවා ප්‍රකාශයට පත් කළේ, නඩුවේ 3 වැනි විත්තිකාර චමින්ද රවි ජයනාත් නොහොත් දෙමටගොඩ චමින්ද ඉන්දියාවෙන් පිටුවහල් කිරීමෙන් පසු ලබාදුන් සාක්ෂි සම්බන්ධයෙන් වූ ගැටලුවක් මිස ඉහත ජනාධිපති නීතිඥවරයාගේ ප්‍රකාශය උපුටා දක්වමින් පළ කළ පුවත්පත් වාර්තාවල සම්බන්ධ කාරණා නොවේ.

තව දුරටත් මාධ්‍ය මඟින් පැහැදිලි නොකරන කාරණය වන්නේ, එලෙස භාරත ලක්ෂ්මන්ගේ ආරක්ෂයා වූ සැරයන් රාජ්පුරගේ ගාමිණී විසින්ම මෙම වෙඩි තැබීම් සියල්ල සිදුකළා නම් ඔහුගේ රාජකාරි පිස්තෝලය දුමින්දගේ ආරක්ෂකයෙකු ලෙස කටයුතු කළ සැරයන් කරුණාරත්නගේ ලාච්චුවක තිබී සොයා ගත්තේ කෙසේදැයි යන්නයි.

දෙමටගොඩ චමින්ද ටී 56 (යුධ හමුදාවට අයත් බවට යුධ හමුදාව විසින් තහවුරු කළ) දින දෙකකට පෙර සරත් බණ්ඩාර විසින් අඹේපුස්ස ප්‍රදේශයෙන් රුපියල් ලක්ෂයක මුදලකට මිලදී ගෙන තිබේ. සිදුවීම ඇති වූ ස්ථානයේ තිබී සොයාගත් උණ්ඩ කොපු 27 දෙමටගොඩ චමින්දගේ නිවසෙන් සොයා ගත් ටී 56 ගිනි අවියෙන් නිකුත් වී ඇති බවට රජයේ රස පරීක්ෂක වාර්තාවේ දැක්වේ. දුමින්ද සිල්වා මිනීමැරුම් චෝදනාවෙන් ගලවා ගැනීම සිය ප්‍රමුඛ මාධ්‍ය වගකීම බවට පත්කරගත් මාධ්‍යකරුවන් යැයි කියාගත් පිරිසක් මේවා මඟහැරෙන්නේ කෙසේදැ‍යි මහජනතාවට පැහැදිලිවන දිනය වැඩි ඈතක නොවේ.

මාධ්‍ය ගැත්තන් විසින් තව දුරටත් දිගින් දිගටම උලුප්පා පෙන්වීමට උත්සහ දරන තවත් කාරණයක් වන්නේ, දුමින්ද සිල්වා ඇතුලු පස් දෙනෙකුට මරණ දඬුවම දුන් නඩු තීන්දුවට අදාළ පසුබිම නිර්මාණය වන්නේ ජනවාරි 8 සිදු වූ දේශපාලන පෙරළියෙන් පසු බවයි. මෙය හුදෙක් නඩු තීන්දුව දේශපාලනික බලපෑමට යටත් වූ බවට පෙන්වමින් එය දේශපාලනික තීන්දුවක් බවට සනාත කිරීමට ගන්නා තවත් නින්දිත උත්සහායකි. නමුත් එලෙස ව්‍යාජයක් මවා පෙන්වන මාධ්‍ය සගයන් මඟ හරින කාරණය වන්නේ 2015 ජනවාරි වන විටත් ඝාතන සිදුවීමට අදාළ ලඝු නොවන නඩු විභාගයද අවසන්ව පැවති බවයි. අනෙක් අතට මෙම නඩු විභාගය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර කිසියම් සාධනීය මැදිහත්කමක් කළා යැයි කිසිවෙකු පවසනවා නම් එයම අමු මුළාවකි. පොලිසියට විරුද්ධව චෝදනා කිරීම හැරුණුකොට මෙම නඩු විභාගය ඔස්සේ යුක්තිය ඉටු වීම වෙනුවෙන් හිරුණිකා 'යමක්' කළා දැයි අධිකරණ වර්තාකරුවන් නොදැන සිටිනවා යැයි විශ්වාස කළ නොහැකිය.

7781-15 දරණ භාරත ඝාතන නඩුව ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයක විභාග කිරීම සහ කඩිනමින් විභාගකොට අවසන් කිරීමේ වර්තමාන රජයේ අවශ්‍යතාව මත සිදුකළ බවට හුවා දැක්වීමේ අසාර්ථක උත්සහයක කොන්ත්‍රාත්තුව මේ දිනවල මාධ්‍ය මඟින් ඉටුකරමින් ඇත. ඇත්තටම භාරත ඝාතන නඩුව කඩිනම් කිරීම රජයේ තීන්දුවක්ද යන්න පැහැදිලි කර ගැනීමට මෙරට විභාග වූ අනෙක් ත්‍රිපුද්ගල නඩු තීන්දු විමසා බැලීම අවශ්‍යය.

උඩතලවින්න නඩුව, වාස් ගුණවර්ධනට එරෙහි නඩුව, ක්‍රිෂාන්ති කුමාරස්වාමි ඝාතන නඩුව, අඟුලාන නඩුව, සිවලෝගනාදන් විද්‍යා ඝාතන නඩුව ආදී මෙරට මහජන අවධානයට දැඩිව පාත්‍ර වූ ආන්දෝලනාත්මක සිදුවීම් සියල්ලම එලෙස ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් ඉදිරියේ විභාග කෙරුණ අතර ඒ සියල්ලම කඩිනමින් විභාග කෙරිණ. එබැවින් භාරත ඝාතන නඩුවට විශේෂ දේශපාලන සැලකිල්ලක් යොමු කළ බවට නැඟෙන තර්ක පුස්සක් බවට පත්ව ඇත.

එමෙන්ම පද්මිණී රණවක විනිසුරුවරිය තීන්දුව ලබාදෙමින් කළ ප්‍රකාශය හැල්ලුවට ලක් කිරීමටත් එම්.සී.බී.එස්. මොරායස් විනිසුරුවරයා මතය ප්‍රකාශ කිරීමෙන් වැළකීමටත් කටයුතු කළ බව විත්තියේ පාර්ශ්වය විසින් උත්සහ ගනිමින් ඇත. ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් විසින් විභාග කරන නඩුවක තීන්දුවට පත් කිරීම කරන්නේ එක් විනිසුරුවරයෙක්/වරියක් විසින් වන අතර අන් අය එයට කැමැත්ත හෝ අකමැත්ත ප්‍රකාශ කිරීම පමණක් සිදුවන බව දැන දැනම ඔවුන් මේ උත්සහ කරන්නේ මහාධිකරණ තීන්දුව හෑල්ලුවට ලක් කිරීම මිස වෙන කුමක්ද?

බලපුලුවන්කාර වැරදිකරුවකු වෙනුවෙන් පෙනී සිටිමින් මෙරට නීතිය ක්‍රියාත්මක වීමට බලපෑම් කිරීමට සිය පෑන සහ පිටු වෙන්කරන පුවත්පත් මෙන්ම මහජනතාවට අයත් සංඛ්‍යාත ඔස්සේ සිය ශ්‍රව්‍ය දෘශ්‍ය හඬ රූප විකාශනය කරන විද්‍යුත් මාධ්‍ය දෙහිඅත්තකණ්ඩියේ සෝමාවතී සහ කච්චතිව් බාලක්‍රිෂ්ණන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරවීමට නම් කඩිනමින් කටයතු කරති.

රංජන් රාමනායකගේ හුදු ප්‍රකාශයක් අලළා පිටු ගණන් ලියවෙන පුවත්පත්වල අධිකරණ තීන්දුවකට එරෙහිව පාරට බසින, අධිකරණය තුළදීම අධිකරණයට අසභ්‍ය වචනයෙන් බැන වදින චීවරධාරීන්ට එරෙහිව වචනයක්වත් ලියවෙන්නේ නැත. අධිකරණ තීන්දුවක් අන්ත සාවද්‍ය තොරතුරු සහිතව වාර්තා කරන, ඒ ඔස්සේ තීන්දුවට නිග්‍රහ කරන, විනිසුරුකරුවන් හෑල්ලුවට ලක් කරන මාධ්‍ය ආචාරධර්ම අමු අමුවේ කඩන මාධ්‍ය ආයතනවලට එරෙහිව අධිකාරණයට අපහාස කළා යැයි චෝදනා එල්ල වෙන්නේ නැත.

සිව්වැනි ආණ්ඩුව යැයි ඔලුව උස්සා, කොන්ද කෙළින් කර පවසන මාධ්‍යවේදීන්, මෙවැනි මූල්‍ය බලයේ බලපුළුවන්කාරයන්ගේ අතකොලු තම පෑනෙහි පාලක බලවේගය බවට පත් කරන මාධ්‍යවේදීන් කියා ගත් පිරිසට සෘජු පිළිතුරු ලබාදිය යුතු කාලය එළඹ තිබේ.

[මොහොමඩ් සිල්මි]

මාතෘකා