කුස් පුරවන්න කොස් ගස් ඉන්දවූ ආතර් වී දියෙස් සියවසක මතක

 ඡායාරූපය:

කුස් පුරවන්න කොස් ගස් ඉන්දවූ ආතර් වී දියෙස් සියවසක මතක

ඔහු උපන්නේ පී. ජෙරමියෙස් දියෙස් මහතාට දාව සෙලෙස්තිනා රුද්‍රිගු - ජෙරමියෙස් දියෙස් මැතිනියගේ කුසෙනි. මුලින්ම හැරී දියෙස්ය. දෙවනුව ලිලියන් විලීෂියා දුවණියය. ඒ පවුලේ තුන්වැනියා වශයෙන් ආතර් වින්සන්ට් පුතා ඉපදුණේ 1886දීය. ඊළඟට එඩ්මන් විල්සන් පුතාය. ඉන් අනතුරුව ඇඩ්ලින් මෙට්ලි, එලන් මාරියා හා රොස්ලින් නම් දූවරු තුන්දෙනාය. ඉන්පසු බඩපිස්සා වශයෙන් උපන්නේ චාල්ස් මාටින් දරුවාය. මෙසේ වූ පවුලේ පියාණන්ගේ ප්‍රධාන ව්‍යාපාරය වූයේ මත්පැන් රේන්දයය. ඔහුට අයත් ඉස්කාගාර කිහිපයක්ද, තැබෑරුම් කිහිපයක්ද රාවට පෙරාගන්නා පොල්ගස් දහස් ගණනකින් යුතු වතු කිහිපයක්ද විය. එහෙයින්ම එතුමන් යටතේ දහස් ගණන් දෙනා රැකී රක්ෂාවෙහි නිරත වූහ.

ආතර් වි. දියෙස් පුතා ඉපදෙන විට ලංකාවට බෞද්ධ ජාතික පුනරුදයක් ඇතිකිරීමේ බලාපොරොත්තුවෙන් ඇමරිකාවේ සිට සෙන්පති හෙන්රි ස්ටීල් ඕල්කට්තුමා ඇතුළු පිරිස මෙහි පැමිණ සිය කටයුතු ආරම්භ කර වසර කිහිපයක් ගතවූවා පමණි. තම පවුලේ ප්‍රධාන ආදායම් මාර්ගය වශයෙන් මෙම මත්පැන් ව්‍යාපාරය පැවතුණද කුඩා කල සිටම ආතර් පුතා එයට සහයෝගයක් දීමට ඉදිරිපත් වූයේ නැත. එහෙත් පළාතේ සමකාලීන කතෝලික ධනවතුන් මෙවැනි ව්‍යාපාරවලින් මුදල් උපයා ගනිද්දී බෞද්ධ ධනවතෙකු හැටියට ජෙරමියෙස් දියෙස් මහතා මෙසේ කටයුතු කිරීම සිංහල බෞද්ධයන් වැඩි පිරිසකගේ ගෞරවයට ද ලක් වී තිබිණ.

සෙන්පති ඕල්කොට්තුමා ලංකාවට පැමිණියේ වර්ෂ 1873දී පූජ්‍ය මොහොට්ටිවත්තේ ගුණානන්ද හිමිපාණන් විසින් බෞද්ධ පාර්ශ්වය වශයෙනුත්, ගරු දාවිත් ද සිල්වා දේවගැතිතුමා කතෝලික පාර්ශ්වය වශයෙන්ද දෙදිනක් පුරා (අගෝස්තු 24 – 26) පුරා කරන ලද මහා ආගම්වාදයේ වාර්තා පොතක් ඇමෙරිකාවේදී නැවත මුද්‍රණය කර තිබී කියවන්නට ලැබීම නිසාය. ඉන්පසුව මෙහිදී පූජ්‍ය හික්කඩුවේ ශ්‍රී සුමංගල නා හිමිපාණන් ඇතුළු පැවිදි ගිහි නායකයන් හා සමඟ රට පුරා දේශණ මාලාවක් පවත්වා රටේ ජනතාව දැනුම්වත් කරවා ඉන්පසු ඉදිරි පරපුර වෙත බෞද්ධ අධ්‍යාපන ක්‍රමයක් සැලසුම් කිරීමට ඔවුහු කතිකා කර ගත්හ.

ප්‍රථමයෙන් පිටකොටුවේ ගෙයක් කුලියට ගෙන ඉංග්‍රීසි බෞද්ධ විද්‍යාලයක් පිහිටුවීමෙන්ද ඉන් අනතුරුව එහිදී එයට විවිධ ආගම් බලපෑම් ඇති වූ හෙයින් ඉඩකඩ ඇති පහසු ඉඩමක් මරදානෙන් ලබා ගැනීමෙන් එම විදුහලට ‘ආනන්ද විද්‍යාලය’ යැයි නම් කිරීමෙන් එම කටයුත්තේ එක්තරා සන්ධිස්ථානයක් සනිටුහන් කර ගැනීමටද හැකිවිය. මෙසේ කටයුතු කෙරෙමින් තිබියදී ආනන්ද විද්‍යාලයේ සහ පිටකොටුවේ පරම විඥානාර්ථ බෞද්ධ සංගමයේ කටයුතු සිදුකෙරෙන අන්දම පිළිබඳවද ආතර් වී. දියෙස් මහතාගේ සුවිශේෂී සැලකිල්ල යොමු කෙරිණ.

මේ වනවිට දැනට පවතින ගාලු පාර පිහිටියේ පානදුර මංසන්ධියේ පරණ පාර නම් වූ ජෙරමියෙස් දියෙස් මැතිතුමාගේ ‘එඩ්මන්ඩ් හවුස්’ මන්දිරය ඉදිරියෙනි. එක් දිනෙයක මන්දිරයේ සිටි ආතර් වී. දියෙස් මහතා දුටුවේ විශාල කොස් කඳන් කිහිපයක් පටවාගත් බර කරත්ත කිහිපයක් එම පාර දිගේ ලී මෝලක් කරා ගෙනයන බවය. මෙය දුටු එතුමන්ට ඇති වූයේ මහත් වූ සංවේගයකි. කුමක් හෙයින්ද යත් එම මහා කොස් ගස්වලින් මතු දිනෙකදී වුවද මහා කොස් ඵල ප්‍රමාණයක් ලබාගත හැකිව තිබුණු බවද පෙනෙන්නට තිබුණු බැවිනි. එහෙයින් එතුමෝ මෙසේ අනීවාරතයේ කොස් ගස් කැප්පවීම තහනම් කළ යුතු යැයිද අදහසක් සිතට නඟා ගත්තේය. එසේම හැකිතාක් රට පුරා කොස් පැළ සිටුවීමේ ව්‍යාපාරයක්ද තමන් විසින් ඇරඹිය යුතු යැයිද සිතා ගත්හ. මෙසේ සිතාගත් එතුමෝ තමන්ගේ වත්තේ පැවති මහා කොස් ගස් කිහිපයේ එක් කොස් ගසක් සතුන්ට වෙන්කර තැබූහ. ලේන, කපුටු, ගිරා, සැලළිහිණි ආදීන්ට එම ගසේ ඉදී තිබෙන කොස් ඵලවලින් ඔනෑ හැටියට භුක්ති විඳීමට ඉඩකඩ ලැබිණ. එසේ සතුන් භුක්ති විඳින වරකා මදුළුවලින් ඉන්පසුව බමට වැටෙන කොස් ඇට තවාන් කර පැළ ලබාගන්නටද එතුමෝ කටයුතු සලසා තිබිණ. එසේම එසේ තවාන් කරන ලද කොස් පැළ බෙදා දීමට මන්දිරය ඉදිරියේම එතුමෝ තැනක් වෙන්කර තිබිණි. මෙසේ හැකි තාක් රට පුරා නොමිලේ කොස් පැළ බෙදා දීමෙන්ද කොස් ගස් ඇති කිරීමට එතුමෝ දීර්ඝකාලීන වැඩපිළිවෙලක් යෙදූහ. එතුමන්ගේ ඒ මුල් යුගයේදීම එහි ආදර්ශ පාඨය වූයේ ‘බත් නැතිදාට කොස්’ යන්නය. එසේම මෙම කටයුතු දීප ව්‍යාප්තව ප්‍රචාරය කෙරෙද්දී එතුමා කොස් ගස සඳහන් කළේ ‘බත් ගස’ යනුවෙනි.

මෙසේ දියෙස් මහතාණන්ගේ පවුලේ තොරතුරු සඳහන් කරනවිට කිවයුතු එක් විශේෂ කාරණයක් වන්නේ එතුමන්ගේ පවුලේ බූදලය ගැන සඳහන් කරනවිට කළුතර ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයකම එම පවුලට අයත් වතු 181ක් තිබුණු බවය. වත්තක් වශයෙන් ගණන් ගත හැක්කේ අඩුම ගණනේ අක්කර සියයකටවත් වැඩි එකක් වශයෙනි. එහෙත් මෙම දියෙස් පවුලේ සමහර වකුවල අක්කර දෙදහස් ගණනක් තිබූ බවද වාර්තාගතය. එම වතුවලින් වැඩි කොටසක් පොල්වතු වූ අතර ඔවුන්ගේ ආදායම් මාර්ගය වූ මත්පැන් ව්‍යාපාරය උදෙසා පොල්ගස්වලින් රා මැද ගැනීම මහා පරිමාණයෙන් සිදු කෙරිණ. මෙම කටයුතු මෙසේ සිදු කරද්දී දියෙස් මහතාගේ පියාණන් වූ පී. ජෙරමියෙස් දියෙස් මහතාණන් හා මෑණියන් වූ සෙලෙස්තිනා රුද්‍රිගු ජෙරමියෙස් දියෙස් මැතිනිය එක් දිනයක නීතිමය ගිවිසුමකට එලැඹියේ දෙදෙනාගෙන් කෙනෙකු මියගිය හොත් නිරායාසයෙන්ම මෙම සම්පූර්ණ බූදලයම අනික් තැනැත්තාට හිමිවිය යුතු බවය. මෙසේ කටයුතු කෙරෙමින් තිබියදී ඉන් වසර ගණනාවකට පසුව දිනෙක ජෙරමියෙස් දියෙස් මැතිතුමෝ හදිසි හෘදයාබාධයකින් අභාවප්‍රාප්ත වූහ. ඒ අනුව සියලුම බූදලයේ අයිතිවාසිකම් සෙලෙස්තිනා රුද්‍රිගු මැතිනියට හිමිවිය.

මුලින්ද කී පරිදි ආතර් පුතා පියාණන් සිටි යුගයේ සිටම මෙම මත්පැන් ව්‍යාපාරයට සහයෝගයක් නොදැක්වූ හෙයින්ම එක් දිනෙක මෑණියන් පුතා සමඟ කියා සිටියේ “පුතේ මේක අපේ බුදුහාමුදුරුවොත් ප්‍රතික්ෂේප කළ අසාධාරණ වෙළඳාමක් නිසා අපි මේක ටිකෙන් ටික අත්හරිමු” කියාය. මෙම අදහස ආතර් පුතාගේ සිතේද කලක සිටම පැවති අදහසක් වූ හෙයින්ම එය ඔහුගේ සිතට මහත් වූ ප්‍රීතියක් ගෙනදෙන කාරණයක්ද විය. ඉන්පසුව සිදුකෙරුණේ එම වතුවලින්, පොල්ගස්වලින් රා පෙරාගැනීම ක්‍රම ක්‍රමයෙන් නවතා දමා එම කටයුතුවල නිරත වූ අයට එහි වෙනත් භවබෝග සම්පත් ඇති කරගැනීමට කටයුතු සලසා දීමය. ක්‍රම ක්‍රමයෙන් තැබෑරුම්ද වසා දැමීමය. ඉන්පසුව මේ උදාර අම්මාත් පුතාත් එකතුව සිදුකරන ලද්දේ පියාණන් විසින් මත්පැන් ව්‍යාපාරයෙන් හරිහම්බ කරගන්නා ලද කෝටි සංඛ්‍යාත බූදලය සුරා සූදු විරෝධී ව්‍යාපාරයක් වෙනුවෙන් වියදම් කිරීමය. ඒ සමඟම මුලින්ම සිදු කළා සේ බෞද්ධාගමේ දියුණුව උදෙසා සහ අපේ රටේ ජනතාව ස්වයංපෝෂිත පිරිසක් බවට පත්කිරීමට කටයුතු කිරීමය.

ඒ අනුව කොස් පැළ පමණක් නොව කොස් ඇට බෙදාදීමද පැපොල්, දෙහි, නාරං, අඹ ආදී පෝෂ්‍යදායක පළතුරු ඇට පවා රටපුරා බෙදා දීහටද පානදුරේ තම මන්දිරයේ පැළ බෙදාදීමේ අංශයක් ඇති කිරීමෙන්ද දියෙස් මහතා සිය රට උදෙසා මහා මෙහෙවරකට පියවර තැබූහ. පසුකලෙක ආනන්ද විද්‍යාලයේ ශිෂ්‍ය නිවාසය ඉදිකරන අවස්ථාවේදී ශත දහයකට විකුණන ලද ආනන්ද කොඩියක් සමඟ ගෙවත්තේ සිටුවන්නට කොස් ඇටයක් දීමේ කටයුත්ත නිසාම එතුමාට රට පුරා ‘කොස් මාමා’ යන නම හිමිවිය. එතුමෝ ඉන්පසුව දියෙස් මහත්මයා කියනවාටත් වඩා රටවැසියන් ‘කොස් මාමා’ හැඳින්වීම අගය කළහ. ඉන්පසුව එතුමා විසින් රජයෙන් කරන ලද ඉල්ලීම අනුව කොස්ගස් කැපීම නීතියෙන් තහනම් කෙරිණ. දිසාපති කාර්යාලයෙන් ලබාගන්නා ලද අවසරයකින් තොරව කොස්ගසක් කැපීම එයින් තහනම් කෙරිණ. මෙසේ වූ උදාර හැඟීමකින් යුතුව - කිසිදු ලාභාපේක්ෂාවකින් තොරව පානදුරේ ආතර් වී. දියෙස් කොස් මාමා විසින් සිදුකරන ලද මහ මෙහෙය නිසාම දෙවැනි ලෝක මහා සංග්‍රාමය ඇති වූ අවස්ථාවේදීද කොස්ගසේ - බත්ගසේ අගය මනා ලෙස පැහැදිලි කෙරිණ.

මේ ගෙවී යන්නේ වර්ෂ 1918 ආරම්භ කරන ලද දියෙස් කොස් මාමාගේ කොස් ව්‍යාපාරයේ ශත සංවත්සරයයි. එය උදෙසා එතුමාගේ ජාතභූමිය වූ පාන්දුරයෙන්ද සමාසන්න හැඟීම් ඇති පුද්ගලයන් ඒකරාශීව වෙසෙන ප්‍රදේශවලින්ද යළිත් කොස්ගස ව්‍යාප්ත කිරීමේ කාර්යයන් මහා පරිමාණයෙන් කෙරෙමින් පවතී.

ඒ අතර මෙම 31 වැනිදා පානදුරයේ නගර මධ්‍යයේ

ආතර් වි. දියෙස් පින්වතාගේ ප්‍රතිමාවක් විවෘත කිරීමට කෘතගුණ දත් පිරිසක් කටයුතු සැලසුම් කර ඇත. රටට, ජාතියට, ආගමට උදාර සේවාවක් ඉටුකළ මෙවන් උත්තමයන්ගේ නාමයන් ඉදිරි පරපුරේද හදවත්වල නිධන්ගතව පවතිනු ඇත.

 

තුන් හෙළයේ සාගිනි දුරලන්නට

කොස් රුක කප් රුක සේ අගයා

මුළු රටටම පිළිසරණ සෙවණ දී

මිහි බට ඉටු දෙවියකු විලසා

බැබැළුණු ගුණ අබරණින් වෙසෙස්

මැතිඳුනි, ආතර් වි. දියෙස්

ඇතෙක් බරට තිබූ දේපළ වස්තුව

පොදු මෙහෙවරට පුදා

මත්පැන් මත්දුම් තොර සුචරිතවත්

දැයක් තනනු උදෙසා

ඇප කැප වී දෑ අබිමන පෑවේ

ඔබ වැනි උතුමෙකු නැත තව බිහි වූවේ

තුන් හෙළයේ.....

නිමක් නොමැති සැප සිතින් ඉවත හැර

පොදු දන සැපත පතා

බත් නැතිදා කොස් යන හෙළ පිරුළෙන්

මුළු ගම රට සරසා

එතෙරින් පැළැඳූ ගරු නම් නැත පැතුවේ

‘කොස් මාමා’ නම ගරු නම සේ සිතුවේ

(ප්‍රවීන ගීත රචක ප්‍රේමදාස ශ්‍රී අලවත්තගේ මහතාගේ ප්‍රබන්ධයකි)

ආතර් වී. දියෙස් පින්වතාගේ අවසාන බුද්ධ පූජෝපහාරය වූයේ වලානේ තුන්හුලස් ඉඩමේ ඉදිකරවන ලද බුද්ධ ප්‍රතිමාව පූජෝපහාර දක්වා විවෘත කිරීමය. වර්ෂ 1960 වෙසක් දිනයේදී එය මැනවින් ඉටුකළ දියෙස් පින්වතාණෝ ඉන් මාස දෙකකට පසුව පරිත්‍රාණ ධර්ම දේශනාවක් අසමින් සිටියදී ජූලි 31 වැනිදා උදේ අභාවප්‍රාප්ත වූහ.

[සෝමසිරි කස්තුරිආරච්චි]

මාතෘකා