ආදරයේ බස උගෙන සංහිඳියාවේ පාලම තනන දෙමළ භාෂා ගුරුතුමී

 ඡායාරූපය:

ආදරයේ බස උගෙන සංහිඳියාවේ පාලම තනන දෙමළ භාෂා ගුරුතුමී

බස දන්නෝ ලොව ජයගන්නෝ යනු ප්‍රකට කියමනකි. භාෂාවට ජාති ආගම් භේද කුල කිසිවක් නොමැත. ජාතීන් අතර සංහිඳියාව ඇතිකරලීමට බස හරහා මහත් වෙහෙසක් ගෙන කටයුතු කරන ජේසුදාසන් රෝච් මේරි නියුජිනි අපට මුණ ගැසෙන්නේ තමන් උපන් මන්නාරමට සැතපුම් සියයක් එපිට අනුරාධපුරයේදීය. ඒ සිය සිංහල සැමියාගේ නිවෙසේදීය. ඒ පළාතේ සිටින දරුවන්ට දෙමළ බස ඉගැන්වීමේ යෙදී සිටින ඇය මේ වන විට පළාතේ කා අතරත් ප්‍රසිද්ධ දෙමළ ගුරුවරියයි.

ඔබේ උපන්ගම, පවුලේ විස්තර මොනවාද?

මං උපන්නේ මන්නාරමේ. පදිංචිය වුණේ පල්ලිමුනේ පල්ලිය ගාව. අපේ පවුලේ සහෝදරයෝ හතර දෙනයි. තාත්තාට විතරයි රස්සාවක් තිබුණෙ. තාත්තා මන්නාරම රජයේ රෝහලේ කාර්ය සහායකයෙක්.

ඉගෙනීමේ කටයුතු සිදුවුණේ කොහොමද?

මම පළමු පන්තියේ ඉඳලා සාමාන්‍ය පෙළ දක්වා මන්නාරම සාන්ත ලුසියා විදුහලේ අධ්‍යාපනය හැදෑරුවා. සාමාන්‍ය පෙළ සමත්වෙලා උසස් පෙළ දක්වා මන්නාරම සාන්ත සේවියර් බාලිකා විදුහලේ අධ්‍යාපනය ලැබුවා. එතනින් සමත්වෙලා ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ විද්‍යා හා තාක්ෂණ පීඨයට ඇතුළු වෙන්න වාසනාව ලැබුණා.

පාසල් අධ්‍යාපනය ලබද්දි සිංහල භාෂාව හදාරන්න අවස්ථාවක් ලැබුණාද?

සිංහල භාෂාව ඉගෙනගන්නව තියා පාසලේ නියමිත විෂය ධාරාව හදාරන්නවත් හරිහැටි පහසුකම් අපිට තිබුණෙ නැහැ. ඒ යුද්ධය නිසා. ගුරුවරුන් මන්නාරමට එන්නේ ත්‍රිකුණාමලය හරහා යාපනයට ගිහිල්ලා. මේ නිසා ගුරුවරු හිඟයි. අවුරුදු දෙකක් පාසලේ ගත කළත් හරිහැටි ඉගෙනගෙන තිබුණෙ අවුරුද්දක කාලයක් විතරයි. අපේ මාමා කෙනෙක් ඉන්නවා බණ්ඩාරවෙල. එයා කතෝලික පූජකවරයෙක්. අපේ ගෙදර ආපු හැම වෙලාවකම සිංහල අකුරු කියල දුන්නා. මේ නිසා මගේ හිත ඇතුළෙ අලුත් බලාපොරොත්තුවක් ඇති වුණා භාෂාව පිළිබඳව. ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගන්න ඒ තරම් ම අමාරුවක් දැනුණෙ නැහැ. ඒ වුණත් අපි ජීවත්වෙන රටේ තියෙන සිංහල වගේ වෙනත් භාෂා ගැන දැනගැනීමට මට විශාල ආශාවක් ඇති වුණා. මං උසස්පෙළ හදාරනකොට අධිෂ්ඨාන කළා විශ්විද්‍යාලයට ගිහිල්ල කොහොම හරි සිංහල භාෂාව ඉගෙනගන්නවා කියලා. සිංහල භාෂාව විතරක් නෙවෙයි තවත් වෙනත් භාෂාත් ඉගෙනගන්න පුළුවන්නම් මේ ලෝකය පුළුල්ව දකින්න විඳින්න පුළුවන් කියලා මට තේරුණා.

අද වන විට ඔබ අනුරාධපුරයේ පදිංචිවෙලා, සිංහල අයට දෙමළ භාෂාව උගන්වනවා. ඔබ කොහොමද සිංහල භාෂාව ඉගෙන ගත්තේ?

ඒක බොහෝම දිග කතාවක්. 2009 පෙබරවාරි මාසයේ දවසක් තාත්තට කොළඹ යන්න වුවමනා වෙලා ලෑස්ති වෙනකොට මං කීවා මටත් යන්න ආසයි කියලා. මුළු ළමාවියම මන්නාරමට කොටුවෙලා ජීවිතය ගතකරපු මට විශාල ආසාවක් තිබුණා වෙනත් පළාත් බලන්න යන්න. මේ වෙනකොට මං ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයට තේරිලා හිටියේ. කොහොම හරි තාත්තා එක්ක කොළඹ යන්න පිටත්වෙලා අපි මැදවච්චිය මුරපොළේ මහා දුකක් විඳල මැදවච්චිය දුම්රිය ස්ථානයට ආවා. එතනින් ටිකක් ගන්නකොට එක තරුණයෙක් මා දිහා උනන්දුවෙන් බලනවා දැක්කා. කවදාවත් හිතුවේ නැහැ මගේ දෛවය මේ ගමනත් එක්ක වෙනස් වෙයි කියලා. එයාගේ නම ආසිරි. එයා අනුරාධපුරයෙන් බහිනකොට පොඩි කොළ කැබැල්ලක එයාගේ ලිපිනයයි දුරකථන අංකයයි ලියල දුන්නා තාත්තට හොරෙන්. එයා යුදහමුදාවේ කොමාන්ඩෝ බළකායේ සේවය කරල ඒ වෙනකොට සේවයෙන් ඉවත්වෙලා සිසිල් බීම සමාගමක අලෙවි පරීක්ෂකවරයෙක් හැටියට සේවය කරමින් හිටියෙ.

එයා එක්ක ගනුදෙනු කළේ මොන භාෂාවෙන්ද?

මට සිංහල බැහැ. එයාට දෙමළ බැහැ. ඉංග්‍රීසියෙන් තමයි අපි ලිපි හුවමාරු කර ගත්තේ. දවසක් එයා ආවා මාව බලන්න මන්නාරම අපේ ගෙදරට. මේ වෙනකොට අපේ අම්මට තාත්තට මං විස්තරේ කියල තිබුණෙ. අම්මාගේ කැමැත්තක් තිබුණෙම නැහැ. දවසක් ආසිරි ඇවිත් කීව මෙහෙම බලන්න යන්න එන්න අමාරුයි. කසාද බඳින්න අනුරාධපුරේ යමු කියලා. අපි ඔක්කෝමලා අනුරාධපුරේ එන්න පිටත්වෙලා මැදවච්චියට ආවාම එතැන මුරපොළෙන් යන්න දුන්නේ නැහැ. පස්සේ ආසිරි වෙන දවසක් ඇවිත් මන්නාරමේදී අපි විවාහ වෙලා විවාහ සහතිකය මැදවච්චිය මුරපොළට පෙන්නලා අනුරාධපුර ආසිරිගේ නිවසට ආවා. මෙහෙම ඉන්නකොට දවසක් ආසිරි කීවා ඉංග්‍රීසි කතාකරල හරියන්නේ නැහැ සිංහල ඉගෙන ගන්න කියලා. ආසිරි මට වුවමනා සියලුම පොත්පත් පත්තර ගෙනත් දුන්නා. වටපිටාව හැමෝම සිංහල නිසා සිංහල භාෂාව හොඳින් ඉගෙනගන්න මට අවස්ථාව ලැබුණා.

අද ඔබ අනුරාධපුරයේ පාසල් ළමයින්ට වගේම වැඩිහිටියන්ටත් ද්‍රවිඩ භාෂාව උගන්වන ගුරුවරියක්. කොහොමද මේ අවස්ථාව උදාකර ගත්තෙ?

දවසක් ආසිරිගේ යාළුවෙක් ඇවිත් කීවා ඔයාට දැං හොදට සිංහල කතාකරන්න ලියන්න පුළුවන්. ඔයාගේ දැනුමෙන් සිංහල අයට දෙමළ භාෂාව කියල දෙන්න කියලා. මේ වෙලාවේ මගේ මතකය මගේ පාසල් කාලයට ගියා. මං ඒ කාලයේ සිංහල ඉගෙනගන්නේ කොහොමද කියල නිතරම හිතුවා. ඒ අනුව මුලින්ම මං හය වසරේ ඉගෙනගන්න ළමයින් පස්දෙනෙකුට දෙමළ භාෂාව ලියන්න කියවන්න ඉගැන්වුවා. ඒ අය බොහෝම හොඳට දෙමළ භාෂා විභාගයෙන් සමත්වුණා.

දැන් මගෙන් දෙමළ ඉගෙන ගන්න පාසල් ළමයින් විතරක් ඉන්නවා තිස්පහක් විතර. මං වැඩිපුරම කැමති කුඩා කණ්ඩායම්වලට උගන්වන්න. තෝරාගත් නිවසකට ළමයින් කැඳවලා ඒ ඒ තැන්වල පංති පවත්වනවා. පොඩි පංතිවල ළමයින්ට උගන්වන එක හරිම අමාරුයි. මොකද වරදින සිංහල පවා කියල දීල තමයි නිවැරදිව දෙමළ භාෂාව කියල දෙන්න වෙන්නේ. ඒ වුණත් රජයේ රැකියා කරන අයට සම්පූර්ණයෙන්ම දෙමළ භාෂාවෙන්ම තමයි කියල දෙන්නෙ. ප්‍රශ්නෝත්තර ක්‍රමයට අනුව යමින් තමයි මේ ඉගැන්වීම සිදුකරන්නේ. පාසල් ළමයින්ට නම් ඔවුන්ගේ අනුමත පාසල් විෂයධාරාව අනුව උගන්වනවා.

භාෂාව හැදෑරීමේදී වගේම භාෂාවක් ඉගැන්වීමේදී මේ භාෂා දෙකේම ව්‍යාකරණය ඉතාම වැදගත්. මේ ගැන ඔබේ අදහස මොකක්ද?

මං මේ ඉගැන්වීම කරන්නෙ සම්පූර්ණයෙන්ම ඒ පිළිබඳ වැටහීමකින්. මං උසස් පෙළ හදාරලා විශ්ව විද්‍යාලය දක්වා ඉගෙන ගත්තා. වෙනසකට තියෙන්නේ මං සම්පූර්ණයෙන්ම දෙමළ මාධ්‍යයෙන් අධ්‍යාපනය හදාරල, සිංහල භාෂාව පොතපත ඇසුරින් වගේම ප්‍රායෝගිකව හැදෑරීමයි. මේ වෙනකම් මට දෙමළ භාෂාව, සිංහල අයට ඉගැන්වීමේදී කිසිම ගැටලුවක් මතුවුණේ නැහැ. ඒ වගේම මගෙන් ඉගෙනගත්ත ලොකු කුඩා හැමෝම විභාගවලින් සමත් වෙනවා. ඒ කියන්නේ මං උගන්වන ක්‍රමවේදය හරි කියන එකයි.

භාෂාව මඟින් රටක ජනතාවට සිදු කළ හැකි බලපෑම ඔබ දකින්නේ කවර ආකාරයටද?

මං ජීවත්වුණු පරිසරය අනුව හැමදාම දැක්කේ එක් භාෂාවක් කථාකරන නගරයක යුදගැටුම්. මගේ මුළු ළමා කාලයම වගේම පාසල් කාලය පුරාම මේ දුක් කඳුළු අත්වින්දා. ජාතීන් අතර සහජීවනයට භාෂාව අත්‍යවශ්‍යයි. අවබෝධය, සුහදතාව වර්ධනයට භාෂාවෙන් සිදුවන්නේ විශාල සේවාවක්. අදවෙනකොට පාසල් ළමයින්ට කුඩා අවධියේ සිටම සිංහල අයට දෙමළ භාෂාවත්, දෙමළ අයට සිංහල භාෂාවත් පාසල් මට්ටමින් උගන්වනවා. ඒක ඉතාම හොඳ තීරණයක්. පාසල් මට්ටමින් ආරම්භ කරන ජාතික තලයේ වැඩසටහන් තුළින් අපට නොපෙනෙන අප ලද විශාල ජයග්‍රහණ තියෙනවා. නමුත් රාජ්‍ය සේවකයන්ට ඔවුන්ගේ වැටුප් වර්ධක සඳහා පමණක් පවත්වන භාෂා කඩඉම් විභාගය, ජාතීන් අතර සංහිඳියාව ඇතිකරන්න ප්‍රමාණවත්ද කියල මට තියෙන්නේ සැකයක්.

[උපුල් තම්මිට]

මාතෘකා