මානසික පීඩනය හා ලිංගික අප්‍රාණිකත්වය

 ඡායාරූපය:

මානසික පීඩනය හා ලිංගික අප්‍රාණිකත්වය

විවාහ ජීවිතයේ සුවයට බාධා කරන හේතු සාධක රාශියක් පවතිනවා. විවාහයක් දික්කසාදයක් දක්වා යාමට මෙවැනි හේතු අතිශය තීරණාත්මක සාධකයක්. විවාහයක් දික්කසාදයක් දක්වා ගමන් කිරීමට පවතින හේතු අතර වැදගත් හා තීරණාත්මක හේතු සාධකයක් තමයි ලිංගික ගැටලු. ලිංගික බෙලහීනතාව නැතිනම් ලිංගික අප්‍රාණිකත්වය කියන්නේ විවාහ ජීවිතය දෙදරා යාමට හේතු වන වැදගත්ම සාධකයක්. ලිංගික අප්‍රාණිකත්වය සරලව හඳුනා ගන්නවා නම් ලිංගික කාර්යයේදී ලිංගය ප්‍රාණවත් නොවීම. විවාහ ජීවිතයේ ගැටලු රාශියක් ඇති කිරීමට මෙය හේතුවක් වෙනවා.

ලිංගික අප්‍රාණිකත්වය හෙවත් ලිංගික බෙලහීනතාව ඇති වීමට හේතු සාධක කිහිපයක් බලපෑම් කරනවා. දියවැඩියාව කොලෙස්ට්‍රොල් වැනි කායික රෝගී තත්ත්වයන් හේතුවෙන් රුධිර නාල සිහින් වීම ලිංගික අප්‍රාණිකත්වය ඇති කිරීමට හේතුවක් වෙන්න පුළුවන්. ඒ වගේම මත්පැන්, දුම්වැටි හෝ මත්ද්‍රව්‍ය හේතුවෙන් රුධිර නාලවල නිකොටින් වැනි රසායනික තැන්පත් වීම හේතුවෙනුත් ලිංගික අප්‍රාණිකත්වය ඇති වෙන්න හැකියාව පවතිනවා. තවත් අතෙකින් විවිධ විකිරණවලට නිරාවරණය වීමත් මෙයට හේතුවක්. මීට අමතරව මානසික වශයෙන් ඇති වන පීඩන ගැටළුකාරී ස්වභාවයන් වගේම ජීවිත කාලය තුළ ලැබූ අත්දැකීම්වල ස්වභාවයන් ද ලිංගික අප්‍රාණිකත්වයට හේතුවෙනවා.

මෙම ලිපියේ අරමුණ ලිංගික අප්‍රාණිකත්වය ඇති වීමට මානසික හේතු බලපාන්නේ කොහොමද කියන දේ ගැන. ලිංගික කාර්යයකට වැදගත්ම වන ඉන්ද්‍රිය බවට පත්වෙන්නේ මොළය. ලිංගික කාර්යයක මූලිකම පියවර ආරම්භ වන්නේ ද මොළයෙන්. උදාහරණයක් විධියට ගත්තොත් ලිංගිකව උත්තේජනය කරවන වස්තුවක් දැකීමෙන් ඇති වන සංජානනය තුළින් මොළයේ ස්නායු උත්තේජනය වීමෙන් රුධිර නාලිකා හරහා ලිංගේන්ද්‍රයට රුධිරය ගමන් කිරීම හේතුවෙන් ලිංගික කාර්යයකට අවශ්‍ය ආකාරයට ලිංගය ප්‍රාණවත් වීම සිදු වෙනවා.

ඒ වගේම තමයි ලිංගික කාර්යයකදී ස්වස්ථතාව ඉතා වැදගත් සාධකයක්. පිරිසිදුකම තුළ සුඛ ස්වස්ථතාව ලිංගික උත්තේජනයට සෘජුවම බලපෑම් කරන සාධකයක් බවට පත්වෙනවා. තමන්ගේ සහකරුගේ හෝ සහකාරියගේ පිරිසිදුකම ප්‍රජානනයට බලපෑම් කරන්න හැකියාව පවතින ප්‍රබලතම සාධකයක්. ලිංගික කාර්යයකට සම්බන්ධ වනවිට එම පරිසරයේ ස්වභාවය, පෞද්ගලික පිරිසිදුකම වගේම කාංසාජනක අත්දැකීම් ලිංගික එක්වීම සම්බන්ධව පවතින ආකල්ප වැනි සියලුම දේ මෙයට බලපාන්න පුළුවන්.

ලිංගිකත්වය සම්බන්ධව මනසේ සිටින විසකුරු නාගයෙක් තමයි මෙම ආකල්ප. එය පලවා හැරීම යහපත් විවාහයකට ඉතා වැදගත්. කොන්ඩම් භාවිත නොකර කාන්තාවන් කිහිප දෙනෙක් සමඟ ලිංගික සබඳතා පැවැත්වූ තරුණයෙකු තුළ "HIV ඒඩිස් ඇති වේ" යැයි පැවති බිය ඔහුට ලිංගික අප්‍රාණිකත්වය ඇති කිරීමට හේතුවක්. ලිංගික කාර්යයක මූලිකම අවස්ථාව වන ප්‍රජානනයට ලැබෙන උත්තේජනයේ ධනාත්මක හෝ සෘණාත්මක බව සමස්ත ලිංගික ක්‍රියාවලියේම සාර්ථකත්වයට හේතුවක්. ලිංගික එක් වීමකදී මානසික යහපැවැත්ම පවත්වා ගැනීම යහපත් ලිංගික සම්බන්ධයකට මූලිකම අඩිතාලම සකස් කරනවා.

[මනෝ උපදේශිකා ඉවෝනි දිල්කි]

මාතෘකා