ඒ මස් මොන මස්?  ඒ මස් බලු මස්? | ඇස පාදන රැස


ඒ මස් මොන මස්?  ඒ මස් බලු මස්?

 ඡායාරූපය:

ඒ මස් මොන මස්?  ඒ මස් බලු මස්?

මීට මඳ කලෙකට ඉහත හම්බන්තොට බදගිරිය, තම්මැන්නාව වැව් රක්ෂිතයේ එකම ස්ථානයක තිබී මුවන්ගේ සහ සුනඛයන්ගේ ශරීර කොටස් හම්බන්තොට වනජීවි නිලධාරීන්ට හමු වී තිබේ. ඒ සම්බන්ධයෙන් ඔවුන් තුළ පැවති සාධාරණ අනුමානය වූයේ කිසියම් පිරිසක් විසින් එම වන රක්ෂිතයෙන් දඩයම් කරනු ලැබූ මුවන්ගේ මස් සමඟ බලු මස් කළවම් කොට විකුණන බවකි.

මේ කතරගම උත්සව සමයයි. කතරගම වන්දනාවේ එන බැතිමතුන්ගෙන් යම් පිරිසක් හෝ මෙම වන්දනා ගමනේදී දඩමස් රස බැලීමට වෙරදරන බවද රහසක් නොවේ. ඉහත සඳහන් අන්දමට දඩමස් මුසු බලුමස් බැතිමතුන්ට ලැබෙනුයේ ඔවුන්ගේ එම අවශ්‍යතාව මුල්කර ගනිමිනි.

කතරගම උත්සව සමයට ශීඝ්‍රයෙන් හිස ඔසවන බලුමස් ජාවාරමේ කතාව එතෙකින් නිමා නොවේ.කතරගම පූජා නගරය හා ඒ අවට සැරිසරන සුනඛයන් රහසේ පැහැරගෙන ගොස් මරාදමන තුරු බැඳ තබන ස්ථානයක්ද පසුගිය කාලය තුළ නිරීක්ෂණයට ලක්විය. එය පිහිටියේ සෙල්ල කතරගම වතුරුවාරාම රජ මහා විහාරයෙන් ඔබ්බෙහි පිහිටි දඹේ පාර අද්දර වන ලැහැබකය. ඒසේ මරා දැමුණු සුනඛයන්ගේ හිස් සහිත පෝර උර කිහිපයක්ද එම කැළයේ ප්‍රදේශවාසීන් දැක තිබේ. මෙම ම්ලේච්ඡ සිද්ධිය සම්බන්ධයෙන් සෙල්ල කතරගම වතුරුවාරාම රජ මහා විහාරාධිපති පූජ්‍ය දෙනගම ධම්මරතන හිමියෝද සාතිශය සංවේගය පළකරති.

කතරගම ආශ්‍රිතව සිදුකෙරෙන මෙම බලුමස් ජාවාරමේ යටගියාව මුළුමනින් පිරික්සීම අසීරුකමකි. එහෙත් එහි වර්ධනය සම්බන්ධයෙන් කරන ලද විමර්ශනවලදී ගොනු කොට ගත් තොරතුරු සහ දත්ත රාශියක් අහිංසා ශ්‍රී ලංකා සත්ත්ව හිමිකම් සහ සුබසාධන සංවිධානය සතුව තිබේ. පසුගිය රජය සමයේ හම්බන්තොට වරාය, මත්තල ගුවන්තොටුපළ ආදී ව්‍යාපෘති සඳහා චීන ශ්‍රමිකයන් විශාල පිරිසක්ද එක් කර ගන්නා ලදි. ඔවුන් අතරේ බලුමසට ලොල් වූ චීන කම්කරුවෝ රැසක්ද සිටියහ. එම ප්‍රදේශවල ජීවත්වන නිශ්චිත ආදායමක් නොමැති හා මත්පැන්, මත්ද්‍රව්‍ය ආදි දුරාචාරයනට ඇබ්බැහි වූවන් එම ප්‍රදේශවල වෙසෙන නිවාස අහිමි සුනඛයන් අල්ලා මස් පිණිස චීන කම්කරුවන්ට අලෙවි කිරීම අරඹා ඇත්තේ ඒ සඳහා ඔවුන් තුළ පැවති ඉල්ලුම අනුවය. මෙසේ එක් සුනඛයෙකු රුපියල් තුන්දහස් පන්සියයත්, පන්දහසත් අතර මුදලකට අලෙවි වූ බවට තොරතුරු තිබේ. එමෙන්ම එම ව්‍යාපෘති මුවාවෙන් ඉවක් බවක් නොමැතිව සිදුකෙරුණු මහා වන සංහාරය නිසා තම ස්වාභාවික නිජබිම් අහිමි වූ ගෝනුන්, මුවන් ඇතුළු වනජීවිහු රැසක්ද එවක මෙම ‘මස් වැද්දන්’ ගේ ගොදුරු බවට පත්වූහ.

හම්බන්තොට ප්‍රදේශයෙන් ඇරඹුණු මෙම ජීවි සුනඛයන් අලෙවි කිරීමේ ජාවාරම ඔවුන් මරා මස් වශයෙන් විකිණීම ආරම්භ කොට ඇත්තේ එය වඩාත් ලාභදායී ජාවාරමක් නිසා විය යුතුය. මේ සම්බන්ධයෙන් මීට පෙර අදහස් දැක්වූ කතරගම කිරිවෙහෙර රජ මහා විහාරාධිපති, රුහුණු - මාගම්පත්තුවේ ප්‍රධාන සංඝ නායක පූජ්‍ය කොබවක ධම්මින්ද හිමියන් ප්‍රකාශ කොට ඇත්තේ කතරගම වන්දනාවේ පැමිණෙන පුද්ගලයන් නිරන්තරයෙන් දඩමස් ඉල්ලා සිටීම මත එම ප්‍රදේශයේ වෙසෙන නීති සහ සමාජ විරෝධී ක්‍රියාවල යෙදෙන පුද්ගලයන් සුනඛයන් මරා ‘දඩමස් මැවීමට’ කටයුතු යොදා ඇති බවය.

“කතරගම වන්දනාවේ එන සමහරු හෝටල්වලින් විතරක් නෙවෙයි කතරගම ප්‍රසිද්ධ වැසිකිළිවල වැඩකරන සනීපාරක්ෂක කම්කරුවන්ගෙන් පවා දඩමස් ගැන විමසූ අවස්ථා වාර්තා වෙනවා. ඉතින් ඒ වගේ තත්ත්වක් යටතේ මේ සමාජයේ ඉන්න පවිටු පුද්ගලයෙක් දෙන්නෙක් දඩමස් විදිහට බලුමස් විකුණන එක පුදුමයකුත් නෙවෙයි.” ධම්මින්ද නාහිමියෝ කීහ.

කෙසේ හෝ කතරගම සිදුකෙරෙන මෙම දඩමස් ජාවාරම යාන්ත්‍රණය පිළිබඳව තතු දත් ආරංචිමාර්ග මඟින් බොහෝ තොරතුරුත් සපයා ගැනීමට අහිංසා ශ්‍රී ලංකා සත්ත්ව හිමිකම් සහ සුබසාධන සංවිධානයට හැකියාව තිබේ. මෙහි සුනඛයන් මරන්නා, සැපයුම්කරු සහ ජාවාරම මෙහෙයවන්නා වශයෙන් පාර්ශ්ව තුනකි. කිසියම් බැතිමතෙකු කතරගම පැමිණ එහි පදිංචිකරුවෙකුගෙන් දඩමස් පිළිබඳව විමසා සිටියහොත් ඔහු එම ජාවාරමට සම්බන්ධ අයෙකු නම් එය මෙහෙයවන්නා වෙත කැඳවාගෙන යාම සාමාන්‍යයෙන් සිදුවේ. එම මෙහෙයවන්නා බොහෝ විට නගරාශ්‍රිතව ගැවසෙන්නෙකි. එහෙත් බැතිමතා විසින් පළමුව යොමු කරන “දඩමස් ටිකක් හොයාගන්න බැරිද?” යන පැනයට මෙහෙයවන්නා දෙන පිළිතුර වනුයේ “අනේ මගේ ළඟ නම් නැහැනේ” යන්නය. එහෙත් එම පිළිතුරෙන් සිය කතාව නිමා නොකරන ජාවාරම මෙහෙයවන්නා බැතිමතාගෙන් ප්‍රශ්න පිට ප්‍රශ්න ඇසීමට පටන් ගනී. ඒ ඔහුගේ සැබෑ අනන්‍යතාව හෙළි කර ගැනීමටය. “බඩු ටිකක් නම් හොයාගන්න බැරිවෙන එකක් නැහැ. හැබැයි ටිකක් හවස් වෙයි. කමක් නැද්ද?” ඊළඟට ජාවාරම මෙහෙයවන්නා බැතිමතාගෙන් අසයි. කෙසේ හෝ එසේ දඩමස් උදෙසා පැය කිහිපයක් කල් මැරීමට බැතිමතා එකඟ වුවහොත් “එහෙනම් හවස හතරට අතනට එන්න.” කියා කිසියම් ස්ථානයක් පිළිබඳව පවසන ජාවාරම්කරු එතැනින් ඉවත් වෙයි.

ජාවාරම මෙහෙයවන්නා විසින් පවසනු ලැබූ වෙලාවට නියමිත ස්ථානයට ගොස් සිටින බැතිමතා හමුවට පැමිණෙනුයේ වෙනත් පුද්ගලයෙකි. ඔහු බොහෝ විට මෝටර් සයිකලයකින් පැමිණෙන හෙල්මටයක් හිස පැළඳගත් අයෙකි. “තව කිලෝ දෙකමයි ඉතුරු වෙලා තියෙන්නේ. කටු මුකුත් නැහැ. නියම බඩු. කිලෝ එක එක්දාස් පන්සීයට විකුණුවේ. කමක් නැද්ද? කිලෝ දෙකටම තුන්දහක් දෙන්න” එසේ පැමිණෙන පුද්ගලයා ඒ ආසන්න තැනෙක තබා ඇති බෑගයක් ගෝනි මල්ලක් වැනි දෙයක් පෙන්වා කුටු කුටු ගාමින් කියයි. ඒ සමඟම බැතිමතුන්ගෙන් රුපියල් තුන්දහස ලබාගන්නා ඔහු “බයවෙන්න එපා. අපි පොලීසියයි වනජීවියයි අල්ලගෙන තියෙන්නෙ” යනුවෙන් බැතිමතාට මානසික උත්තේජනයක් දෙන සැපයුම්කරු තම මෝටර් සයිකලයෙන් සුරුස් ගා මාරු වී යයි. දැනට තොරතුරු වාර්තා වී ඇති අන්දමට මෙලෙස දඩමස් මුවාවෙන් බලුමස් විකිණීමේ ජාවාරමින් ලොකුම ලාභය උපයනුයේ ජාවාරම මෙහෙයවන්නාය. සැපයුම්කරුට ලැබෙනුයේ ඊට අඩු මුදලකි.

සුනඛයන් මරන්නාට සහ පාරිභෝගිකයන් අල්ලා දෙන තැනැත්තාට ලැබෙනුයේ එම මුදලෙන් අටෙන් පංගුවක් වැනි සුළු මුදලකි. මීට අමතරව කතරගම පූජා නගරයෙන් බැහැර බොහෝ දෙනෙකුගේ අවධානයට යොමු නොවන ප්‍රදේශවල මෙලෙස දඩමස්, දඩමස් මුසු බලුමස් සේම මුළුමනින්ම බලුමස්ද අධිශීතකරණවල බහා විකුණනු ලැබේ. එමෙන්ම ඒවා සැබෑ දඩමස් බව ඇඟවීම පිණිස එම ශීතකරණ තුළම මුවන්ගේ හෝ ගෝනුන්ගේ ශරීර කොටස් ප්‍රදර්ශනය කරවීම මෙම ජාවාරම්කරුවන්ගේ ප්‍රධාන උප්පරවැට්ටියකි. මීට අමතරව වනයේ වෙසෙන මුවන්, ගෝනුන් ආදි සතුන් බොන වතුරට වසවිස මුසුකොට ඔවුන් මරා මසු පිණිස අලෙවි කිරීමේ ජාවාරමක සුලමුල සොයා ගැනීමට වනජීවි නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා සමඟ හම්බන්තොට ප්‍රදේශයේ සංචාරය කළ වනජීවි නිලධාරීන්ට හැකිවිය. එසේ වසවිස ශරීරගත වූ සතුන්ගේ මාංශ අනුභවයද අප ජීවිත මාරක උවදුරුවලට ලක්කර ගන්නක් බව කිව යුතු නොවේ.

ඒ අනුව අවසන් වශයෙන් කිව යුත්තේ මෙවර කතරගම වන්දනාවේ යන ඔබ අමුවෙන් හෝ පිසූ මස් වශයෙන් මිලදීගෙන අනුභව කරන දඩමස් බොහෝ විට බලුමස් හෝ වසවිස ශරීරගත වූ වනජීවියෙකුගේ මස් විය හැකි බවය.

[සහන් සංකල්ප සිල්වා]

මාතෘකා