කාලය රටා මවනවා..

 ඡායාරූපය:

කාලය රටා මවනවා..

කාලය හැමදාමත් අපූරු රටා මවනවා. එක පැත්තකින් බොහෝ දේවල් වෙනස් කරනවා. තවත් දේවල් ගොඩ නගනවා. බිඳ ඉහිරවනවා. ඒ අතරින් කාලයට වෙනස් කරන්න බැරි වුණු, පෙර වගේම නිහඬව ගලාගෙන යන සිදුවීම් ඕනෑ තරම් හමු වෙනවා.

අපේ පුංචි ගෙදර දොර විවෘත කළ ගමන් මුලු ඇඟම සිප ගන්නේ සීතල හුළඟ. මහ පාරෙන් එහා පැත්තේ ලියදි හතක් අටක් පුරා විහිඳුණු වෙල් යාය හරහා හමාගෙන එන ඒ හුළඟේ නැවුම් සුවඳක් වගේම සියුම් සංගීත නාදයක් දැවටිලා තියෙනවා. මොන තරම් ජනාකීර්ණ වුණත් අපි ඉන්නේ ගම්මානයක කියලා තාමත් කියන්න පුළුවන් මේ වෙල් යාය නිසා.

මට මතක ඇති කාලයක ඉඳන් මේ කුඹුරු යාය අස්වද්දන්නේ ගුණදාස අත්තා. ඉස්සල්ලා මම කියුවා වගේ කාලයට අද වෙන තුරු ඒ දෙය නම් වෙනස් කරන්න හැකි වෙලා නැහැ. අරුණැල්ල බිමට වැටෙද්දීම ලියද්දට යන අත්තා පස පෙ‍ෙරන්නේ පසට රිදෙයිද, එහෙමත් නැත්නම් උදැල්ලට රිදෙයිද කියන හැඟීමෙන් වගේ. මොනවා වුණත් ඒ ගනුදෙනුව හරිම ආදරණීයයි. අත්තා දවස පුරාම එහෙම මඩ කරන ලියද්ද පුරා ටික වෙලාවකින් සුදට සුදේ මල් පිපෙනවා. ඒත් ඒ ඇවිදින මල් වගයක්. හතර දිහාවෙන් පියාඹලා එන සුදූ කොක්කු රෑන් පිටින් අත්තාගේ කුඹුර පුරා ඇවිදිනවා.

දැන් ගොඩ එළවළු වගා කරලා තියන බිම් කොටස ගොයම් කරල් සාරෙට බර වෙලා එද්දී අත්තා අතින් වෙනසකට අහු වෙනවා. ඒ ගොයම් පාගන කමතක් වෙන එක.

ඒත් කාලය වෙනස්ම විදිහක එක වෙනසක් කරලා. මේ ලියදි කීපය අතර කොන්ක්‍රීට් කණු ඉන්දවලා. අත්තා තමන්ගේ පුතුන් දෙන්නාට කුඹුරේ අයිතිය කොටස් කරලා බෙදා දීල. ඒත් ඒ කොන්ක්‍රීට් කණු නිසොල්මනේ අහස දිහා බලාගෙන ඉන්නවා. අත්තා මිට ඉස්සරින් වැටට හිටවපු එරබදු ගස්වල අලුත් දලු ළාවට මෝදු වෙලා. ඒ මදිවාට අත්තාගේ පුතාලා මඩ කරන ලියදි පුරා මහා ඝෝෂාවක් එක්ක ම දුම් ගුලි අහසට විදින ලෑන්ඞ් මාස්ටර් එකක් ඉබාගාතේ දුවනවා. අත්තාගේ ලියද්දේ වහලා ඉන්න එක කොකෙක්වත් මේ ඝෝෂාවට තියෙන අකමැත්ත නිසා අත්තාගේ පුතාලා මඩ කරන ලියද්ද දිහා හැරිලාවත් බලන පාටක් නැහැ.

ඒ දුම් මැකිලා යද්දී යාන්තමට ඡායාවක් වගේ ඈත ලියද්දේ අත්තා උදැල්ලත් එක්ක ඔට්ටු වෙනවා චිත්‍රයක් වගේ මැවිලා පේනවා. ඉස්සර මේ හැම ලියද්දකම එක මට්ටමට උසින් වැඩෙන වී වර්ගයක් තෝරාගෙන වගා කළත් දැන් එක ලියද්දක ජාන වෙනස් කරපු වී වර්ගයක් වගා කරලා. ඒ අත්තාගේ දෙවෙනි පුතාගේ කොටසේ. ඒ ගොයම් පැළ තද දුඹුරු පාටින් ඈතට පේනවා.

අත්තා වක්කඩ බැඳලා ලියද්දට වතුර පුරවා ගනිද්දී පුතාලා මෝටරයෙන් වතුර ලියද්දට පුරවලා යන්නත් ගිහින්. ඒ මෝටරයෙන් වතුර වැටුණු තැන ගල් බොරළු පෑදිලා. එතන තිබුණු සරු පස් පලුවක් ම හේදිලා පහළ ලියද්දට නොකියාම ගිහින්. බිත්තර වී වපුරපු පුංචි තවාන් ලියද්ද හුළඟත් එක්ක දඟ කරද්දී තවත් අපූරු සිදුවීමක් වෙනවා. ඒ සිදුවීම මම අවුරුදු කීපයක් මෙහෙමම වෙනවා දැක්කා. කාලයත් එක්ක ඒ දෙය මේ කන්නයටත් ඇවිදින්. වල් කොටලා ලස්සනට මඩ කරපු වෙල් යාය ක්‍රීඩා පිටියක් කර ගත්ත තවත් යාළුවන් කීප දෙනෙක් නිදහසේ තමන්ගේ ක්‍රීඩාව කරනවා. කොළ පාටින් දිලිසෙන තවාන මැදින් මෙයාලා වේගයෙන් එහා මෙහා දුවනවා එක පිම්මට. පහු ගිය වාරයේ ගොයම් කපලා කමත මැද ගොඩ ගහලා තියෙද්දීත් මේ විනෝදය එයාලා අත්වින්දා. ඒ කවුරුත් නොවෙයි, අහලපහළ ගෙවල් කීපයක සෙල්ලම්කාර වයසේ ඉන්න බලු නාම්බන් හතර පස් දෙනෙක්.

උදැල්ල දෑතින් ඔසාවා ගත්ත ගුණදාස අත්තා නියර දිගේ දුවගෙන එනවා කෑ මොර දීගෙනම. “දුවපන් කියුවේ හොරිකඩ බලු තඩියා, පැළ ටික විනාස නොකර”

මොන තරම් වේගයෙන් කාලය පියාඹලා ගියත් ඊළඟ කන්නයේදීත් මම මේ රූප පෙළම ආපහු දකීවි.

[චමත්ක කවීන් බණ්ඩාර]

මාතෘකා