'හල්ගුටි' කන හැටි රස කර කියාදෙන වෙලගෙදර පොඩිනෝනා

 ඡායාරූපය:

'හල්ගුටි' කන හැටි රස කර කියාදෙන වෙලගෙදර පොඩිනෝනා

වයස අවුරුදු 101යි

අහස් යාත්තරා තෙල්වලින් ළිප ගිනි මෙළෙව්ව හැටි

‘රැස’ අතේ ජනාධිපතිතුමාට පණිවිඩයක්

හතළිස් ගණන්වල සිරිතක් තිබුණා, ගැහැනු ළමයින්ටත් පිරිමින්ගේ නම් තියන. ඒ දවස්වල ප්‍රසිද්ධ පිරිමි චරිතයක නමක් තමයි එහෙම තියන්නේ. ඒ නිසා මගේ ලොකු දුව ලැබුණම නම දැම්මේ සෝමසිරි කියලා. එකට හේතුව තමයි 1945 වර්ෂයේ මෙහෙ රෙජිස්ටාර් මහත්තයෙක් හිටියා සෝමසිරි කියලා. අවුරුදු හැත්තෑ තුනක් වෙලත් අදටත් මේ නම නිසා මගේ ලොකු දුව අපහසුවට පත් වෙන අවස්ථා තියනවා. එයාට මේ නම නිසා ජන්දේ දාන්න යන්න වුණේ පිරිමි පෝලිමේ. මේ නම නිසා ලොකු දුව මාත් එක්ක රණ්ඩු වෙච්ච වාර අනන්තයි."

මේ වනිගනෙත්ති විදාන රාළලාගේ පොඩිනෝනා මාතාවයි. අත්තනගල්ල වෙලගෙදර එල්ලක්කල පදිංචි පොඩිනෝනා මාතාව උපත ලබා ඇත්තේ 1917 වර්ෂයේ වෙසක් මස 12 වැනි දිනයි. 1941 වර්ෂයේ නිලොරිස් අප්පුහාමි සමග විවාහ වී ඇති ඇය දරුවන් හයදෙනෙකුගේ මවකි. අද වන විට ඉන් ජීවත් වන්නේ දරුවන් සිව් දෙනෙකි.

තනිවීම

පොඩිනෝනා මාතාවගේ මව මියගොස් ඇත්තේ ඇය කුඩා සන්ධියේදීය. මව මියයෑමෙන් පසු පියා දෙවන කසාදයක් සිදුකරගෙන තිබෙන අතර කුඩම්මා තමනට දැක්වූයේ 'කුඩම්මාගේ සැලකිල්ලම' යැයිද පොඩිනෝනා මාතව වැඩිදුරටත් පැවසුවාය.

"අම්මා නැති වෙලා තියෙන්නේ මල්ලි හම්බවෙන්න ගිහින් කියල මට කිව්වේ ආච්චි. අම්මා අඩු වයසින් තමයි නැති වෙලා තියෙන්නේ. මම පවුලේ වැඩිමලා. මට ඒ වෙනකොට සහෝදරයෝ ඉඳලා නැහැ. අප්පොච්චා ඊට පස්සේ කුඩම්මා කෙනෙක් ගෙනාවා. එයා ආවට පස්සෙ මගේ ජීවිතේ වෙනස් කම් ගොඩක් වුණා. මොකද අප්පොච්චා නිතරම ගෙදර හිටියේ නැහැ. එයා ගොවිතැන් කළා වගේම වතු කළමනාකරුවෙකු හැටියටත් වැඩ කළා. මේ නිසා මට කුඩම්මාගේ අණසකට නතු වෙන්න සිද්ධ වුණා."

කුඩම්මා

පොඩිනෝනා මාතාව හා ඇගේ වැඩිමහල් දියණිය 'සෝමසිරි' අද වුවත් දකින ඕනෑම අයෙකුට එකවර සිතෙන්නේ මේ දෙදෙනා අක්කා නගෝ විය හැකි බවයි. පොඩි නෝනා මාතාව එතරම්ම ලස්සනය. අතර ළමා කාලයේ මෙන්ම තරුණ කාලයේද ඇය අහල ගම් හතකටම සිටි සුරුපිනිය බව ඇය ගෙන් ප්‍රකාශ විණි. ඇය සොයා මා පසුගිය දහවැනිදා ඇයගේ නිවසට ගිය අවස්ථාවේ පොඩි නෝනා සහ සෝමසිරි මට පෙනුණේද මව සහ දුව ලෙස නොව අක්ක නගෝ ලෙසය.

බාහිර පෙනුමෙන් සුන්දර වුවද, කුඩා කල ඇයට ගෙවන්නට සිදු වී ඇත්තේ සුන්දර දිවියක් නොවේ. ඉතා අමිහිරි, කටුක ජීවිතයකි.

"කුඩම්මා ආවට පස්සේ අප්පොච්ච්ට මං ගැන හොයල බලන්න වේලාවක් තිබුණේ නැහැ. මම හැදුණේ එහෙමයි. කුඩම්මට දරුවෝ එක්කෙනා දෙන්න හම්බ වෙන කොට මට ලැබුණ සැලකිලිත් නැති වුණා. මම ගියේ වල්පොළ රජයේ විද්‍යාලයට. ඒ දවස්වල පහට යනකම් ඕනෑ පාටක ඇඳුමක් අඳින්න පුළුවන්. ඒ වාගේම පහෙන් පස්සේ ගැහැනු ළමයින්ට සුදු ළමා සාරිය අඳින්න පුළුවන්. පිරිමි ළමයි සුදු සරමයි, කමිසයයි ඇන්දා. මම අටට ඉගෙන ගත්තත් කවමදාවත් සෙරෙප්පු දාල නැහැ. මෙතන ඉඳල සැතපුම් දෙකක් තියනවා ඉස්කෝලෙට. පයින් තමයි ගියේ. හැබැයි මට අටේ විභාගේ ගන්න බැරි වුණා. ඊට කලින් මට ඉස්කෝලෙ ගමන නවත්තන්න වුණා. මගේ ජීවිතේ දුකම් දවස ඒක තමයි."

බීරළු පටි

ඇගේ පාසල් ගමන නිමා වීමෙන් පසු ඉවුම් පිහුම් හා මැහුම් ගෙතුම් ඉගෙන ගැනීම සදහා වැඩි කාලයක් ගත කොට තිබේ. මේ සදහා ඥාතීන් ගේද උදව් ලැබී ඇති අතර පසුව එම උගත් දෑ ආශ්‍රයෙන් කුඩාවට ව්‍යාපාරයක් කරගෙන යාමටද ඇය සමත් වන්නීය.

"මට ඇත්තටම ඕනෑ වුණේ අටේ විභාගේ පාස් වෙලා ගුරුවරියක් වෙන්න. නමුත් ඒකට අවස්ථාවක් ලැබුණේ නැහැනේ. ඉතින් මම කළේ දෑතේ වැඩ ඉගන ගන්න උත්සාහ කළ එක. ඒක හරි ගියා මම බීරළු පටි ගෙතුවා, ගෙතුම් කට්ටෙන් ගොතන දොර ජනෙල් රෙදි විව්වා. මාගල්, පැදුරු, වට්ටි, පෙට්ටි විව්වා. මේ නිසා මට ආදායමකුත් ලැබුණා.

ඒ දවස්වල වට්ටියක් ශත දෙකයි. පෙට්ටියක් ශත පහයි. මම මේ සල්ලි එකතු කරලා මට ඕනෑ දේවල් ගත්තා. ඇඳුම් ගත්තා. මට මතකයි 'විනොලියා' කියලා සබන් කැටයක් තිබුණා මම ඒක තමයි වැඩි පුර ගත්තේ. ඒ වගේම 'ටිප්ටොප්' කියල දත් මදින කුඩු වර්ගයක් තිබුණා. මම එ්කත් ගත්තා. මේ දවස්වල මම කෑම හදන්නත් ඉගෙන ගත්තා.

අහසින් තෙල්

අහසින් තෙල් ලැබෙනවා නම් ඊට වඩා මොනවාද? අද නම් ඕනෑම අයෙකුට එසේ සිතේන්නට පුළුවන. මේ කියන්න යන කතාව මීට වසර අසූවකට පෙර අහසින් තෙල් ලැබුණ කතාවකි.

"ලොකු සද්දයක් එක්ක අහස් යාත්‍රාවක් ගියා. ඒ එක්කම අපේ මේ වෙලට ලොකු දෙයක් වැටුණා. අපි ඒ පැත්තට දුවලා ගියා. බලද්දී ලොකු පෙට්ටියක් වගේ එකක් තිබුණා. වැටුණ තැන ලොකු වළක් හෑරිලා තිබුණා. අපේ ගමේ අය විතරක් නෙමෙයි අහල ගම්වල අයත් මේ පෙට්ටිය බලන්න අවා. ටික වේලාවක් යද්දී කීප දෙනෙක් කිට්ටු වෙලා බැලුවා මොකද්ද කියලා. බලද්දී තිබුණේ තෙල්. මේ අහස් යාත්‍රාවෙන් වැටිලා තියෙන්නේ තෙල් ටැංකියක්. පස්සේ අපේ අය වළන්, මුට්ටි ගෙනල්ල මේ තෙල් පුරවාගෙන ගෙවල්වලට අරන් ගියා. ගිනි අවුළුවන්න වගේ දේවලට මේ තෙල් පාවිච්චි කළා මට මතකයි."

හල්ගුටි

පොඩිනෝනා මාතාව ඒ දිනවල හදන ලද ප්‍රධාන රසකැවිල්ලක් වී ඇත්තේ 'හල්ගුටි'ය. ඇය පැවසූ ලෙස ඇගේ 'හල්ගුටි' සඳහා ඒ දිනවල ඉහළ ඉල්ලුමක් තිබී ඇත. සමහර විට මේ කෑම හදන්න දන්නා එකම එක්කෙනා ඇය විය හැකිය.

"හල්ගුටි හදන්නේ හල් කියන ගෙඩියේ මදයෙන්. හල් ගෙඩියේ ලෙල්ල ඇරලා මදේ ගාලා ගන්නවා. ඊට පස්සේ රෙද්දක ඔතලා වතුරේ දාලා තියෙනවා. මෙහෙම කරන්නේ කහට අයින් කරන්න. ටික වේලාවක් වතුරේ තියලා, හල්පිටිවල වතුර අයින් කරලා හාල් පිටි, පොල්, සීනි දාලා මිට මොළවලා ගුලියක් හදා ගන්නවා. ඊට පස්සේ වණ්ඩුවේ තම්බලා ගන්නවා. මේකට හල්ගුටි කියල නම හැදිලා තියෙන්නෙ හල්වලින් හදන නිසා සහ මිට මොළවල ගුලියක් ලෙස මෙය හදන නිසයි. පුදුම රසක් තියෙන්නේ. අද කාලේ මේ වගේ කෑම නැහැ. මම මේ වගේ කෑම කාපු නිසා තමයි අදටත් මේ විදිහට ශක්ති සම්පන්නව ඉන්නේ."

නිලොරිස් අප්පුහාමි

ඇයට ඇගේ සැමියා හමු වන්නේ යෝජනාවකිනි. නිලොරිස් අප්පුහාමි මේ යෝජනාව කරන්නේ කෙළින්ම ඇයටයි. එහිදී පොඩිනෝනා මාතාව නිලොරිස්ට පවසන්නේ පියාගෙන් විමසන ලෙසයි. ඒ අනුව වහා ක්‍රියාත්මක වන නිලොරිස් අප්පුහාමි, පොඩිනෝනා ගේ පියා වන චාර්ලිස් අප්පුහාමි හා මව වන ජේන් නෝනා හමු වෙයි. නිලොරිස්ගේ ගති පැවතුම් පිළිබඳ අවබෝධයක් තිබූ චාර්ලිස් අප්පුහාමි, තම දියණිය ඔහුට විවාහ කර දීම සදහා කැමැත්ත පළ කරයි. ඒ අනුව නම් දීම හා විවාහය ඉතා ඉහළින් ගත් බව පොඩිනෝනා කියන්නීය.

"රබන් ගහලා, වෙඩි පත්තු කරලා තමයි මාව කැන්දන් ගියේ. මට මුලින්ම ලැබුණේ දුව, සෝමසිරි වික්‍රමාරච්චි. දැන් එයාගේ වයස 73යි. දෙවෙනියා චන්ද්‍රලතා එයාට දැන් 70යි. තුන්වෙනියා ඉන්ද්‍රරත්න, එයා මේ වෙනකොට ජීවතුන් අතර නැහැ. හතරවේනියා ධර්මසිරි එයාට 64යි. පස්වෙනියා සේනාරත්න. එයත් මේ වෙන කොට ජීවතුන් අතර නැහැ. බඩපිස්සා පරාක්‍රම රන්ජිත්. එයාට මේ වෙනකොට 53 යි.

අමතක වූ පන්දාහ

"අවුරුදු සීයක් මම ජීවත් වෙයි කියල මම කවමදාවත් හිතුවේ නැහැ." පොඩිනෝනා සිය ආයුෂ පිළිබඳ කතා කළේ ආඩම්බරය මුසු සතුටකිනි.

"මට ගොඩක් සතුටුයි. මම පොඩි කාලේ අම්මා නැති නිසා ගොඩාක් දුක් වින්දා. මගේ ආයුෂ ගැන මේ ගම් පළාත් වල අය කතා කරනවා. ආණ්ඩුවෙන් මට රුපියල් විසිපන්දහසකුත් එක්ක උපහාරයකුත් පිරිනැමුවා. ආණ්ඩුවේ යුතුකම් ආණ්ඩුව කරනවා. ඒ වගේම ආණ්ඩුව පොරොන්දු වෙලා තිබෙනවා අපි වගේ අයට මාස් පතා රුපියල් පන්දහසක් දෙනවා කියලා. නමුත් දැන් ලැබෙන්නේ රුපියල් 1,900 ක් විතරයි. ගිය අයවැයට පොරොන්දු වුණ මුදල හිඟ මුදලත් එක්ක මේ අයවැයට කලින්වත් දෙන්න කියල ලියන්න පුතේ. මේ පොඩි නෝනා, ජනාධිපතිතුමාට කිව්වා කියල ලියන්න. එතුමාට දීර්ඝායුෂ ලැබෙන්න ඕන."

[ප්‍රසාද් පුර්ණමාල් ජයමාන්න]

මාතෘකා