සංචාරක මග පෙන්වන්නන් අනතුරේ!

 ඡායාරූපය:

සංචාරක මග පෙන්වන්නන් අනතුරේ!

නීතියට පිටු පා සීගිරියට පාර කියන ‘චීන කල්ලි’

කලක සිටම ටිකෙන් ටික ලොකු වුණු අවුලක් පසුගියදා සීගිරියේදී පුපුරා ගිය බව සමාජ විශ්ලේෂකයන්ගේ පෙන්වා දීමකි. අද ඊයේ නොව කලෙක සිටම මැන්ඩරීන් බස කතාකරන චීන ජාතික සංචාරකයන්ට මෙරටට විවිධ ව්‍යාපෘතිවල ඉදිකිරීම් කම්කරුවන් වශයෙන් පැමිණ තිබෙන ඇතැම් චීන ජාතිකයන් විසින් මඟ පෙන්වීමේ කටයුතුවල යෙදී සිටින බවට කසුකුසුවක් කලක සිටම තිබිණ. එහෙත් ඔවුන් එසේ කරනුයේ දේශීය සංචාරක මඟ පෙන්වන්නන් මෙන් කිසිම සුදුසුකමක් හෝ ලියාපදිංචියක් රජය හරහා ලබා නොගෙන ශ්‍රී ලංකාවට කොකා පෙන්වමින් බවට වූ කතාබහම පසුගියදා නැවත සීගිරියෙන් ද එළියට මතු වූ බව ශ්‍රී ලංකා සංචාරක මඟ පෙන්වන්නන්ගේ සංගමය පුන පුනා කියන්නකි.

එසේ පහරකෑමට ලක්ව තිබුණේ දේශීය සංචාරක මඟ පෙන්වන්නන්ගේ සංගමයේ සාමාජිකයකු වූ විසි අට හැවිරිදි අයෙකි. ඔහු ගිහාන් දිල්රුක්ය. සැකකාර චීන ජාතිකයා දිල්රුක්ට පහර දී තිබුණේ ඔහු චීන ජාතික සංචාරක පිරිසකට සීගිරියේදී මඟ පෙන්වීමට ඉදිරිපත් වූ විටය.

එවේලේ සැකකරු තර්ජනාත්මකව තමනට කියූ බව තුවාලකරු පොලීසියට කියා තිබුණේ අදාළ චීන ජාතිකයා දෙවසරක සිටම ලංකාව ඇතුළතදී චීන්නුන්ට මඟ පෙන්වමින් සිටින්නකු හෙයින් ශ්‍රී ලාංකිකයකුට ඊට මැදිහත් වන්නට ඇති අයිතිය කුමක්ද යන්නය.

මේ පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් ගත් ඉක්මන් ප්‍රතිචාරයක් වශයෙන් මධ්‍යම සංස්කෘතික අරමුදලේ සීගිරිය ව්‍යාපෘති කළමනාකාර මේජර් අනුර නිශාන්ත පෙන්වා දෙන්නේ වහාම ක්‍රියාත්මකවන පරිදි සීගිරියට ඇතුළුවන සංචාරක මඟ පෙන්වන්නන්ගෙන් ඊට අදාළ හැදුනුම්පත් පරික්ෂා කිරීම් ඊයේ දින සිට කෙරෙන බවය.එහෙත් මේ අවුල මුල් වරට මතුව ආවක් නොවේ.

සීගිරිය පමණක් නොව රට පුරාම සැරිසරන චීන සංචාරකයන්ට මෙරටදී මඟ පෙන්වන්නට සැදී පැහැදී සිටින චීන ජාතික පිරිසක් සිටින බව සංචාරක මඟ පෙන්වන්නන්ගේ සංගමය වැඩිදුරටත් පෙන්වා දෙයි. එහෙයින් සීගිරියෙන් එළියට පැමිණි මේ අවුල තවත් ඔඩු දුවන තැනට ඉඩ නොතබන්නැයි ඔවුහු බලධාරින්ගෙන් ඉල්ලා සිටිති.

මේ අතර සීගිරිය පොලීසියේ උසස් නිලධාරියකු කියා සිටියේ මේ සිද්ධිය සම්බන්ධයෙන් සහකාර පොලිස් අධිකාරිවරයකුගේ ප්‍රධානත්වයෙන් යුතු කමිටුවක් මගින් පරීක්ෂණයක් කෙරෙන බවය.

එහෙත් තවමත් ඔවුන් චීන ජාතික සංචාරකයන්ගේ රියදුරන් හෝ රිය සහායකයන් ලෙස පැමිණ සංචාරක වීසා පමණක් ලබාගනිමින් ශ්‍රී ලංකාවට කරනා හානිය සුළුපටු නොවන බව දේශීය සංචාරක මඟ පෙන්වන්නෝ වැඩිදුරටත් කියා සිටිති.

ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා ස්ථාන සහ වෙනත් සංස්කෘතික වටිනාකම් සහිත ස්ථාන සම්බන්ධයෙන් මෙලෝ හසරක් නොදන්නා මේ චීන ජාතික පිරිස් නිසා සංචාරකයන් වශයෙන් ලංකාවට පැම්ණෙන චීන ජාතික විද්වතුන් සහ ධනවතුන් නැවත මෙරටට නොපැමිණීම පමණක් නොව ඔවුන්ගෙන් ලංකාවට ලැබෙන අයහපත් ප්‍රචාරය හේතුවෙන් අනාගතයේ ශ්‍රී ලංකාවට පැමිණීමට අපේක්ෂාවෙන් සිටින බොහෝ දෙනකු ද එම අදහස වෙනස් කර ගත හැකි බවත් විද්වත්තු අවධාරණය කරති.

තව දුරටත් මෙසේ අත්තනෝමතිකව හැසිරීමට අනවසරයෙන් සංචාරක මඟ පෙන්වන්නන් වශයෙන් කටයුතු කරන චීන ජාතික පිරිස්වලට ලංකාව තුළදී ලැබෙන්නේ නම් පළාත් සභා සහ සංචාරක අමාත්‍යංශය මගින් පුහුණුවීම් ලැබූ තමන්ව කබලෙන් ළිපටම වැටෙනු ඇතැයි දේශීය සංචාරක මඟ පෙන්වන්නන්ගේ මැසිවිල්ලකි. එය එසේ වුවහොත් තමනට සිදුවන්නේ සීගිරියට යාබද රථ ගාලට සමීපව ඉදිකොට තිබෙන කුඩා කුටියට වී හූල්ලන්නට පමණක් බව ද එම පිරිස් කියති.

මෙහි අවදානම සංචාරක සංවර්ධන අධිකාරිය මගින් ප්‍රකාශයට පත් කොට තිබෙන දත්ත වාර්තා අනුවද හඳුනාගත හැකි බවත් බොහෝ දෙන්නෙක් කියති. ඒ අනුව පසුගිය වසර කිහිපය තුළදීම ශ්‍රී ලංකාවට වැඩිපුරම පැමිණ ඇත්තේ චීන ජාතිකයන් බවත් එසේ විවිධ රටවලින් ලංකාවට පැමිණි මුළු විදෙස් සංචාරකයන් අතරින් චීන ජාතිකයන් දෙවැනි වන්නේ ඉන්දියානුවන්ට පමණක් බවත් අසන්නට තිබෙන්නකි.

එහෙත් එතරම් විශාල සංචාරක පිරිසක් පැමිණෙන චීනයෙන් ලංකාවට වැඩිපුරම පැමිණෙන්නේ වඩයක් සහ ප්ලේන්ටියක් ගිල දමා ඔහේ තැන තැන ඇවිද මෙරටින් තවත් මොක මොකවත් ආදායම් මාර්ගයක් සොයන්නන් බව බොහෝ සංචාරක කලාප අවටින් ජීවිකාව සරිකර ගන්නා අයගෙන් අසන්නට ලැබෙන්නකි. එසේ ඔවුන් ලංකාවෙන් මෙසේ තව තවත් අමතර ආදායම් උපයා ඒවාත් පිටරටටම රැගෙන යයි නම් රටට ඇති සෙත කුමක්දැයි ඔවුහු ප්‍රශ්න කරති.

එසේම චීන ජාතිකයන් ශ්‍රී ලංකාවට පැමිණෙන වෙනත් බොහෝ විදෙස් සංචාරකයන්ගෙන් අයවිය යුතු ආදායම් මඟ හරින්නේ ගුවන් තොටින් මෙරටට ගොඩබසින අවස්ථාවේ සිටම බවත් එහෙත් තවමත් සංචාරක සංවර්ධන අධිකාරියෙන් මේ පිළිබඳ එතරම් සැලකිල්ලක් යොමුව නැති බවත් දේශීය සංචාරක මගපෙන්වන්නන් ඉදිරිපත් කරන තවත් ගැටලුවකි.

තවත් අතකින් මේ කාරණයේ බරපතළකම පෙන්වා දෙන විද්වතුන් සහ සමාජ විශ්ලේෂකයන් අවධාරණය කරන්නේ විදේශිකයන් වීසා ලබා ලංකාවේ රැඳී සිටීමේදී ඔවුන් සම්බන්ධයෙන් රට තුළදී සිදුකෙරෙන පසුවිපරම විධිමත් ද යන්නය.

ඒ වගට උදාහරණ පෙන්වමින් ඔවුන් කියන්නේ ඉඳහිට වීසා නැතිව මෙරට රැඳී සිට අත් අඩංගුවට පත්වූ විදේශිකයන් පිළිබඳ වාර්තා වූවත් වර්තමානයේ රට තුළට රැකියා සඳහාම පැමිණෙන විදේශිකයන් සම්බන්ධයෙන් දැනට වඩා වැඩි විපරමක් සිදුකිරීම කාලෝචිත බවය. ඒ වග පෙන්වා දෙමින් ඔවුහු අවධාරණය කරන්නේ මුතුරාජවෙල අවටදී පමණක් නොව රාත්‍රි කාලයේදී කොළඹ වීදි පුරා සැරිසරන චීන ජාතික කම්කරුවන් පමණක් නොව කැසිනෝහල්වල මෙන්ම කොළඹ අවට ගණිකා වෘත්තියේ නිරත බොහෝ චීන කාන්තාවන් සම්බන්ධයෙන් ද එය එසේම බව ඔවුන්ගේ පෙන්වා දීමකි.

ඊටත් වඩා මේ වන විටත් ශ්‍රී ලංකාවේ මුල් බැසගත් චීන ජාතිකයන්ගේ වගතුග ඇතැමුන් පෙන්වා දෙන්නේ හම්බන්තොට අවට දිගු කලෙක සිටම චීන ජාතිකයන් වැඩිපුර සැරිසරන බවය. එවැනි එක් චීන ජාතික මහාචාර්යවරයකු කලෙක සිටම හම්බන්තොට ජීවත්වෙමින් ලංකාවේ කරුණු සොයමින් ඒ ඇසුරින් පොත් ලියා ඒ රටට යැවීම සම්බන්ධයෙන් ලංකාවේ බොහෝ දෙනකු එතරම් සැලකිල්ලක් දැක්වූ බවක් නොපෙනෙන බවත් ඇතැමුන් කලෙක සිට පෙන්වා දෙන්නකි.

එසේම හම්බන්තොට අවට ජීවත්වන ඇතැම් ගැමියන්ගේ වගතුග සොයා සැරිසරන සමහර චීන ජාතිකයන් ඔවුන්ගේ පරම්පරාගත චීන නෑදෑකම් විමසන්නේ පුදුමාකාර උනන්දුවකින් බවත් අසන්නට තිබෙන්නකි. එහෙත්

ශ්‍රිී ලංකාව ලෝක වෙළෙඳ සංවිධානයේ සෙවණැලිවී තිබෙන ඇතැම් රටවල් සමඟ ජාත්‍යන්තර වෙළෙඳ ගිවිසුම් අත්සන් කිරීමේදී වඩාත් පරෙස්සම් විය යුතු බව පසුගිය කාලයේදී විවිධ සමාජ ක්‍රියාධරයන් සහ විද්වතුන් මහජන සංවාදවලට එක්වෙමින් කියා සිටින්නකි.

මේ අනුව සීගිරියෙන් පහර කෑවේ එකම එක ශ්‍රී ලංකිකයකු හෝ සංචාරක මඟ පෙන්වීමේ ක්ෂේත්‍රය පමණක් නොව එය ඊට වඩා වැඩි සමාජ, ආර්ථික සහ සංස්කෘතික අවදානමක් වශයෙන් සැළකීම වැදගත් බව එම සිද්ධිය සම්බන්ධයෙන් ජනමාධ්‍යවලින් මෙන්ම සමාජ මාධ්‍ය ජාල මගින්ද අදහස් දැක්වූ බොහෝ දෙනකු විසින් අවධාරණය කරන ලද්දකි.

සටහන [කාංචන කුමාර ආරියදාස] [නුවන් මහේෂ් ජයවික්‍රම]

ඡායා [කාංචන කුමාර ආරියදාස]

මාතෘකා