ජනගහන වර්ධනය සහ අභියෝග

 ඡායාරූපය:

ජනගහන වර්ධනය සහ අභියෝග

ලෝක ජනගහන දිනය අද (11) ට යෙදී තිබේ.මේ ලිපිය ඒ නිමිත්තෙනි.

දරුවන් යනු මාපියන්ට පමක් නොව රටට, ලෝකයට අයිති වටිනා සම්පතක් බව බොහෝදෙනකු අවිවාදයෙන් යුතුව පිළිගන්නා කරුණකි. දරුවකු බිහිකිරීම අඹුසැමි යුවළක් අතර සිදුවන අතිශය පෞද්ගලික කාරණාවක් වුවත් එය රටේ සමාජ, ආර්ථික ක්ෂේත්‍රයට බලපාන වැදගත් සාධකයක් බවට පත්වන්නේ සෑම මිනිස් උපතක්ම රටේ ජනගහණයට එක්වන නිසයි.

එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ ප්‍රක්ෂේපණවලට අනුව ශ්‍රී ලංකාවේ ජනගහනය මිලියන 25-26 ක් දක්වා වැඩිවීමේ තත්ත්වයක් මතුව ඇති බව වාර්තා වේ. එහෙත් අපේ රටේ ජන සංඛ්‍යාවේ පදනම මිලියන 20 ක් පමණ වෙතැයි පැවසේ. එය සරලව තැකිය නොහැකි සංකීර්ණ තත්ත්වයකි. එසේ තිබියදී ආගමික සහ ජාතිකත්වය පිළිබද මතධාරීහු ජාතියේ පැවැත්ම වෙනුවෙන් වැඩිපුර දරුවන් බිහි කළ යුතු බව පවසති. එහෙත් දරුවන් වැඩි සංඛ්‍යාවක් සිටින ද්‍රරිද්‍රතාවය ඇතුළු සමාජ ආර්ථික ප්‍රශ්නවලින් පෙළෙන පවුල්වල මාපියන් දරුවන් සමග සියදිවි හානි කරගත් අවාසනාවන්ත සිදුවීම් ද වරින් වර රටේ විවිධ ප්‍රදේශවලින් වාර්තා වේ. එවැනි ගැටලුකාරී තත්ත්වයන් තුළ වැඩිවෙමින් තිබෙන ජනගහණයත් සමග අනාගතයේදී රටක් ලෙස අපට මුහුණ දීමට සිදුවන සමාජ ආර්ථික ගැටලු හමුවේ පවුල නැමති කුඩා ඒකකය සමබර ලෙස පවත්වාගෙන යාමේ අවශ්‍යතාවය කැපී පෙ‍නෙන ආකාරයෙන් ඉස්මතු වෙමින් තිබේ.

‘‘මෑත කාලයේදී අපේ රටේ ජනසංඛ්‍යාව ශීඝ්‍රයෙන් වර්ධනය වෙමින් තිබෙනවා වගේම අනාගයේදිත් එය වර්ධනය වනවා. එසේ වීමට ප්‍රධාන සාධකය මෑත කාලයේ අපේ රටේ සිදුවූ සඵලතාවයේ ශීඝ්‍ර වර්ධනයයි. එසේ සඵලතාවයේ ශීඝ්‍ර වර්ධනය සඳහා කාන්තාවන් සහ පිරිමින් විවාහ වන සාමාන්‍ය වයස සෑහෙන දුරට පහළ බැසීම, ජනතාවගේ ආයු අපේක්ෂා කාලය ශීඝ්‍ර ලෙස වර්ධනය වී තිබීම වගේම රටින් බැහැරව යන පිරිසගේ සංඛ්‍යාත්මක අඩුවීම හේතු වී තිබෙනවා. 1981 වසරේදී අපේ රටේ ජන සංඛයාව මිලියන 14.8ක් පමණයි. 2012 වසරේදී පැවැති අවසන් ජන සංගණනයට අනුව එය මිලියන 20.4ක්. 2017 දී රටේ ජන සංඛ්‍යාව මිලියන 21.4ක් පමණ වනවා. නමුත් මේ වන විට කර තිබෙන ප්‍රක්ෂේපණවලට අනුව අනිවාර්යයෙන්ම අපේ රටේ ජන සංඛ්‍යාව මිලියන 25ක් දක්වා වර්ධනය වෙනවා. නමුත් අපේ රටේ ජන සංඛ්‍යාවේ පදනම මිලියන 20යි. එයට තවත් මිලියන 5ක් 6ක් එකතු වීම තුළ අනිවාර්යයෙන්ම ප්‍රශ්න රැසක් නිර්මාණය වෙනවා. මේ වැඩිවීමට සහ අනාගතයේ සිදුවන ශීඝ්‍ර වර්ධනයට හේතුව මුලින් කී සජීවි දරු උපත් බිහිකිරීමේ හැකියාව හෙවත් සඵලතාවයේ ශීඝ්‍ර වර්ධනයයි. මෙම සඵලතාවයේ වර්ධනය මනින ආකාරය සරලව කියනවා නම් යම්කිසි කාන්තාවක් ඇයගේ ප්‍රජනන සමය අවසන් කරන විට එනම් අවුරුදු 50 එලැඹෙන විට සජීවී දරුවන් කී දෙනකු බිහිකළාද යන්නයි. 1981 දී අපේ රටේ කාන්තාවන් සජීවී දරුවන් 3-4ක් බිහිකර තිබෙවා. නමුත් 1998 වන විට සඵලතා අගය 1.9යි. නමුත් 2012 වන විට එය 2.4 දක්වා වර්ධනය වී තිබෙනවා. අපට ආසන්න රටවල් වන කොරියාවේ සඵලතා අගය 1.3යි. ලෝකයේ බොහේ රටවල්වල එය ක්‍රමික අඩුවීමක් සිදුවෙද්දි අපේ රටේ ක්‍රමික වර්ධනයක් සිදුවී තිබෙනවා. අපේ රටේ සංවර්ධනය හොදින් අත්කරගත් අධ්‍යාපන මට්ටම දියුණු දිස්ත්‍රික්ක වන කොළඹ, යාපනය, කළුතර, ගම්පහ, යාපනය ආදී දිස්ත්‍රික්කවල සඵලතාවය අඩුයි. නමුත් සංවර්ධනය අත්පත් කරගෙන නැති අධ්‍යාපන මට්ටම පහළ නුවරඑළිය, ත්‍රිකුණාමලය, අනුරාධපුරය, අම්පාර වැනි දිස්ත්‍රික්කවල සඵලතාවය ඉතා වැඩියි.”

කොළඹ විශ්ව විද්‍යාලයේ ජනගහන විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යේෂ්ඨ මහාචාර්ය ඉන්ද්‍රලාල් ද සිල්වා මෙරට ජනගහනය පිළිබද වත්මන් තොරතුරු ආනාවරණය කරන්නේ ඒ ආකාරයෙනි. එහෙත් ඒ සීඝ්‍ර වර්ධනය රටේ ආර්ථික, සමාජීය සංවර්ධනයට හිතකර වන්නේ ද යන්න රටක් ලෙස අප හමුවේ තිබෙන ප්‍රධාන ගැටලුවක් බවට පත්වී තිබේ. මහාචාර්ය ඉන්ද්‍රලාල් ද සිල්වා මහතා ඒ තත්ත්වය පිළිබඳ මෙසේ පවසයි.

‘‘ඒ වැඩි වන ජනගහනයට අවශ්‍ය වන නිවාස, සෞඛ්‍ය,ආහාර, අධ්‍යාපන, විදුලිය සහ බලශක්තිය, පිරිසිදු පානීය ජලය, ප්‍රවාහන හා යටිතල පහසුකම් සපයා දීම වගේම කසල කළමනාකරණය වගේම ඉදිරියේදී තදබල ලෙස ඇතිවිය හැකි පාරිසරික ගැටලු ආදී ගැටලු රාශියකට නිසැකවම අපට මුහුණ දීමට සිදුවනවා. ජනගහනය වේගයෙන් වැඩිවනවා වගේම ජන සංඛ්‍යාව සීඝ්‍රෙයන් වියපත් වීමත් තවත් බරපතල ප්‍රශ්නයක්.. එය අපේ රටේ ඉදිරි ආර්ථික සංවර්ධනයට ඍණාත්මක බලපෑමක් එල්ල කරනවා. නමුත් මීට පෙර අපේ රටේ හොඳ ප්‍රජා විද්‍යාත්මක පාරිතෝෂිකයක් තිබුණා. ඒ කියන්නේ රටේ ජන සංඛ්‍යාව තුළ රටේ සංවර්ධනයට දායක විය හැකි වැඩ කළ හැකි වයස් කණ්ඩායම්වල බහුතරයක් සිටියා. නමුත් ඒ කණ්ඩායම හොඳන් පාවිච්චි කරලා නෙවෙයි අපි මෙතැනට ඇවිත් තිබෙන්නේ. ඒ නිසා මේ සිදුවන සීඝ්‍ර ජනගහන වේගය අපේ රටට හොඳ තත්ත්වයක් නෙවි. ජන සංඛ්‍යාව ශීඝ්‍රයෙන් වැඩිවන විට පවතින භූමිය බෙදා ගැනීම සම්බන්ධ අර්බුද තවත් බරපතල ලෙස මතුවිය හැකියි. මෙය දැඩි අභියෝගාත්මක තත්ත්වයක්”

දරුවන් ලබන සංඛ්‍යාව හා ඔවුන් අතර පරතරය තීරණය කිරීමේ මූලික හිමිකම මව්පියන්ට තිබෙන බව මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර සමුළුව විසින් තීරණය කරනු ලැබුවේ මීට පනස් වසරකට පෙර 1968 දී වුවත් සංවර්ධනය වෙමින් තිබෙන රටවල මිලියන 214 ක් කාන්තාවන්ට තවමත් සුරක්ෂිත හා කාර්යක්ෂම පවුල් සැලසුම් ක්‍රමවල අඩුවක් තිබෙන බව එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල පවසයි. ලිංගික හා ප්‍රජනන සෞඛ්‍යාරක්ෂාව සහ ප්‍රජනන හිමිකම් යටතේ පවුල් සැලසුම සඳහා ආයෝජනය කිරීම යනු අනාගත පරම්පරා ගණනාවක සහ මිලියන ගණනක් කාන්තාවන්ගේ සෞඛ්‍යය හා යහපැවැත්ම වෙනුවන් කරනු ලබන ආයෝජනයක් බව එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ අදහසයි. එහෙත් පවුල් සැලසුම් ක්‍රම භාවිත කිරීම පිළිබඳ තවමත් සමාජයේ ඇතැමුන් තුළ ඇත්තේ අඳුරු අදහසකි.

‘‘පවුල් සැලසුම් ක්‍රම පිළිබද සමාජය තුළ විවිධාකාර වැරදි මත තිබීම අවාසනාවන්ත තත්ත්වයක්. අනවශ්‍ය දරු උපත් පාලනයට, පවුලට අවශ්‍ය දරුවන් සංඛ්‍යාව ලබාගැනීමට, දරුවන් අතර නිසි පරතරය තබාගැනීමට සහ මාතෘ සහ ළමා මරණ අනුපාතය අඩුකර ගැනීමට පවුල් සැලසුම් ක්‍රම උපකාරී වනවා. එසේ නැතිව ජනගහනය පාලනය කිරීම පවුල් සැලසුමේ අරමුණ නොවන බව අවධාරණය කළ යුතුයි.”

එසේ පවසන්නේ ශ්‍රී ලංකා පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍ය සංජීව ගොඩකන්ද මහතාය.

‘‘දරුවන් බිහි කිරීමට පමණක් සීමා නොවී ඔවුන් වෙනුවෙන් කළ යුතු විශේෂ කාර්යභාරයක් දෙමාපියන්ට පැවරී තිබෙනවා. ඒ සඳහා නිසි සැලසුමක් අවශ්‍යයි. එසේ නැති වූ විට අඹුසැමියන් අතර අන්‍යෝන්‍ය අවබෝධය නැතිවෙනවා. දරුවන්ගේ සහ දෙමාපියන්ගේ බැඳීම බිඳ වැටෙනවා. එයින් දරුවන්ගේ සුරක්ෂිත භාවය පිළිබඳ ගැටලු ඇතිවෙනවා. ඔවුන් මානසික ආතතියට ලක්වනවා. ජාත්‍යන්තර සමීක්ෂණ වාර්තා අනුව ලෝකයේ ධනවත්ම සහ දියුණු රටක් ලෙස පිළිගැනෙන ආමරිකා එක්සත් ජනපදයේ කාන්තාවන්ගෙන් සියයට 63ක් ම පිළිගෙන තිබෙනවා පවුල රැකගැනීමට පවුල් සැලසුම් ක්‍රමවලින් විශාල පිටුවහලක් ලැබෙන බව. අධ්‍යාපනය සහ රැකියාව තුළින් කාන්තාවන්ට හිමි තැන ලබාගැනීම සඳහා පවුල සැලසුම් කිරීම තීරණාත්මක සාධකයක් වී තිබෙන බවත් එම සමීක්ෂණයෙන් හෙළි වී තිබෙනවා. වෛද්‍ය විද්‍යාත්මක නිර්දේශය අනුව කාන්තාවක් මවක වීමට සුදුසුම වයස අවුරුදු 25-35ත් අතර කාලයයි. දරු උපත් දෙකක් අතර පරතරය අවුරුදු 3ක් වීම සුදුසුයි. ඒ වගේම වෛද්‍ය විද්‍යාත්මක නිර්දේශය යම් කාන්තාවකගේ ගර්භනී භාවයන් 5කට අඩුවීම සුදුසුයි යන්නයි. පස්වන ගර්භනී භාවයෙන් පසු ඒවා අනතුරුදායක ගැබ් ගැනීම් ලෙස හඳුන්වනවා. මෙම සාධක පුද්ගල සාධක මත වෙනස් විය හැකි අතර ළමුන් අතර නිසි පරතරයක් නැතිවීමෙන් නොමේරු දරු උපත් සහ අඩු බර දරු උපත් සිදුවෙනවා. ඒ වගේම එය දැනට ජීවත්වන දරුවා පවා මියයාමේ අවදානමක් ඇතිකරවනවා සේම ළමාවියේ මන්දපෝෂණයට සහ විවිධාකාර ආබාධ සහිත දරුවන් බිහිවීමටත් හේතුවක්. වැඩිවිය පත් දරුවන් සිටින ඉහළ වයස්වල කාන්තාවන් ලැජ්ජාව නිසා පවුල් සැලසුම් ක්‍රමවලට යොමු නොවීම තුළ ඔවුන් ගබ්සාවන්ට පෙළඹෙනවා. එය අනතුරුදායක තත්ත්වයක්. මීට දශක කිහිපයකට පෙර පිරිමි ආර්ථික තත්ත්වයෙන් ඉහළ මට්ටමක සිටි නිසා පවුලකට දරුවන් වැඩි සංඛ්‍යාවක් සිටීම ආර්ථිකයට ප්‍රබල ලෙස බලපෑවේ නැහැ. නමුත් පසුගිය ශතවර්ෂයේ අවසන් භාගය වන විට ඒ තත්ත්වය බොහෝ දුරට වෙනස් වුණා. තිරසාර සංවර්ධන ඉලක්ක අතර පවුල් සැලසුම ඉහළ ප්‍රමුඛත්වයක් ගනු ලබනවා. එම නිසා රටේ සංවර්ධනය සහ අනාගතය ගැන සිතා පවුල් සැලසුම් පිළිබඳ නිවැරදි තොරතුරු සහ අදහස් ජනතාව අතරට ගෙනයාම අත්‍යවශ්‍යයි.”

ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍ය සංජීව ගොඩකන්ද මහතාගේ එම අදහස එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල ද අවධාරණය කරන්නකි. එනම්, පවුල් සැලසුම හුදෙක්ම මානව හිමිකම් පිළිබඳ කාරණයක් පමණක්ම නොව එය කාන්තාවන් බලසම්පන්න කිරීම, දිළිඳුකම දුරලීම සහ තිරසාර සංවර්ධනය සාක්ෂාත් කරගැනීම සම්බන්ධ ඍජු කාරණාවක් බව වටහා ගැනීමට කාලය එළැඹ තිබේ.

ඡායා - අන්තර්ජාලය ඔස්සේ

[සුරේකා නිල්මිණි ඉලංගකෝන්]

මාතෘකා