මුහුදු රළත්, ගලේ කොටුවත් හිමි රාසිං බලය ගිලිහුණු ත්‍රිකුණාමලය

 ඡායාරූපය:

මුහුදු රළත්, ගලේ කොටුවත් හිමි රාසිං බලය ගිලිහුණු ත්‍රිකුණාමලය

ඉද්ද ගැහුව වගේ කෙළින් පාර.. නොනිදන නගරය කියන දඹුල්ලත් නිදිකිරා වැටෙන වෙලාවට, වාහන හිඟ පාරේ දඹුල්ල පහු කරගෙන ඉස්සරහට ඇදෙන මලේ බස් එක වෙට්ටු දාන්නේ පුරුද්දට…. අලි මාරු වෙන හබරණ කැලේදි අලියෙක් දෙන්නෙක් බලන්න ඇහැ ඇරගෙන ඉන්න වුවමනාව තිබ්බට, නොදැනිම පියවෙන ඇස් වලට කීකරු වෙලා නින්දට පැරදෙන්න සිද්ධ වුණා….

ඇහැරුණේ කොන්දොස්තර මල්ලිගේ සද්දෙට…..

“මලේ බහින්න… මලේ… බහින්න…”

මලේ මලේ තැඹිලිය වැන්න පොල් මලේ - රලේ රලේ මුහුදින් දමන දිය රලේ

බලේ බලේ රාසිං දෙවියන්ගෙ බලේ - ගලේ කොටුව බැන්දයි තිරිකුණාමලේ

පැරණි ජනකවියක කියවෙන විදියට නිතර නිතර රළ ගලන මහ මුහුදත්, හරි හරියට හාත්පස පෙනෙන පොල් සහ තල් රුප්පාත්, ලන්දේසින් සේම ඉංග්‍රීසිනුත් තර කර බැඳී ගල්පවුරුත් සහිත නමුත් රාජසිංහ බලය ගිලිහුණු තිරිකුණාමලයට අපි ආවේ හිමිදිරි පාන්දර.

උදා හිරු කිරණ ත්‍රිකුණාමලය පුරාවට හෙමි හෙමින් ඇතිරෙද්දි අපි බස් නැවැතුමෙන් බැහැගත්තේ නිදිමතත් අරගෙන….

“නවුෆාල්” තමයි අපේ නවාතැන භාරකරු... ඔහුව හොයාගෙන යන්න වුවමනාවක් නැතිවුණේ, අපි වෙනුවෙන් වාහනයක් බස් නැවැතුමටම එවල තිබුණ නිසා…. “යුසුෆ්” අපිව ඉක්මනටම නවාතැනට අරගෙන ගියා….

පරණ ඇඳුම් සමඟ කෙඩෙත්තුවත් හැව ඇරගත් අපි, උණුසුම් තේ පානයකින් පසු ප්‍රාණවත් හැඟීමෙන් නවාතැනෙන් පිටත් වුණේ නගර සිරි විඳින්නට…

ත්‍රිකුණාමලය කියන්නේ මුහුදු නගරයක්.. බලන බලන අත මුහුද…. ඒ නිසාම නගරය ගැන නොදන්න කෙනෙකුට උන්හිටි තැන් හොයාගන්න අමතක වෙන්න පුළුවන්…

නවාතැනේ ඉඳල ඇවිදින දුරකින් තියෙන්නේ “ඩච් බේ’ මුහුදු තීරය. කොළඹ නම් ගාලු මුවදොර පිටිය වගේ…. නඟරවැසියෝ විනෝද වෙන්න, ව්‍යායාම කරන්න එන්නේ “ඩච් බේ” එකට…. උදේ පාන්දර ඉඳලම ජනාකිර්ණ මේ මුහුදු වෙරළේ රැල්ලත් බොහොම අඩුයි…. නොගැඹුරු මුහුදු තීරයක් නිසා පිහිනන්න දන්න නොදන්න හැමෝටම ආරක්ෂාකාරීව ජල ක්‍රීඩා කරන්න සුදුසු තැනැත් තමයි මෙතැන…. ආරක්ෂාවට ජිවිතාරක්ෂක කණ්ඩායම් පවා නිරන්තරව රැඳී සිටින මෙතැන නගර මධ්‍යයටත් ඉතාමත් ආසන්නයි.

බුද්ධ පරිනිර්වාණයටත් පෙර සමයේ සිටම මෙරට පැවැති ජනප්‍රිය නැව්තොටක් වෙන ‘ගෝකණ්ණ”තොට තමයි දැනට ත්‍රිකුණාමලය විදියට හැඳින්වෙන්නේ…., ලංකාවේ පළමු චෛත්‍යය ලෙස සළකෙන ගිරිහඩු සෑයත් මේ නඟරයට බොහොම කිට්ටුවෙන් තමයි තියෙන්නේ… ආගමික වැදගත් කම් අතින් ගත්තොත් බෞද්ධයින් උදෙසා වැදගත් වන ගෝකණ්ණ රජමහා විහාරයත්, හින්දු භක්තිකයින්ගේ වැදගත්ම සිද්ධස්ථානයක් වන තිරුකෝණේ්ශ්වරම් කෝවිලත් ඇතුළු බෞද්ධ, හින්දු, කතෝලික සහ ඉස්ලාම් පූජනිය ස්ථාන ගණනාවකුත් තිරිකුණාමලයේදී දැකගන්න පුළුවන්.

ත්‍රිකුණාමලේට කියන්නේ “සහජිවනයේ නගරය” කියලා… හේතුව සිංහල, දෙමළ, මුස්ලිම් කියන ජනවර්ග සමාන අනුපාතයකින් වෙසෙන නගරයක්වීම… ඒත් හමුවෙද්දි ජාතිය ආගම ගැන නොහිතා එකිනෙකා සමඟ හිනා වෙලා කතා කරන බාහිර සුහදතාවය,නගරයේ වෙසෙන එක් එක් ජාතීන් අතර ඒ විදියටම නෑ කියල පෙන්නන්න පුළුවන් හේතු ගණනාවක් දැකපු නිසා “තිත්ත ඇත්ත” නම් නඟරයේ සැබෑ සහජිවනයක් නෑ කියන එක තමයි…

මාළු සුවඳ, ත්‍රිකණාමලයට උරුම දෙයක්…. බලන බලන හැම තැනම ධීවර කටයුතු වලට සම්බන්ධ මොනවා හෝ සලකුණක්…. උදේම ගොඩට එන සුළු පන්න ධීවර යාත්‍රා ත්, එ්වායේ මාළු අස්වැන්න රැස් කරන කඩිසර සේවකයොත්, රට පුරාම නගර වලට මාළු පටවන ධීවර වෙළඳ සැළත්, ආම්පන්න ගබඩා කරන, සේවක පඩි නඩි ගෙවන, කරවල විදිහට වේලන්නට තෝරා ගත් මසුන් සකසන වාඩිත්, කරවල අලෙවිසැලුත් ත්‍රිකුණාමලයෙදි දකින්න ලැබෙන සුලබ දේවල්. රටේ ඕනෑම අහුමුල්ලක දකින්න පුළුවන්, මාතර හෝටලයක් ත්‍රිකුණාමලෙදි දැකගන්නත් අපිට පුළුවන් කම ලැබුණා.

ඊළඟට අපි ගියේ සෙනසුරු කෝවිලට. ලෝකෙටම සෙනසුරු කෝවිල් තියෙන්නේ දෙකයි. එකක් තියෙන්නේ ඉන්දියාවේ…අනෙක තියෙන්නේ ලංකාවේ… ලංකාවෙත් ත්‍රිකුණාමලේ… ඒ නිසාම සෙනසුරු අපල ගැන විශ්වාස කරන ඕනෑම කෙනෙක් රටේ මොන අහුමුල්ලක හිටියත් ඒ අපලෙන් බේරෙන්න ත්‍රිකුණාමලේ සෙනසුරු කෝවිලට එන එක පුරුද්දක්. නිල් පාට මල්, එළගි තෙල් පහන්, කිරිබත් ගුලි සමඟ මුසුවුණු බැතිමතුන්ගේ විශ්වාසයන් දකිමින් කෝවිල් බිමේ ඇවිද ගිය අපි, දේවාලයේ තිබුණු පුදපූජා ලබන කපුටු රූපයත් බලාගෙන ආපහු ආවා….

නෙල්සන් සිනමාහලත් තිකුණාමලය නගරයේ ප්‍රකට ස්ථානයක්. දෙමළ ජනයාගෙන් බහුතරය දුෂ්ඨයා පරදින, විරයා දිනන සැලෝලයිඩ් පටවලට දක්වන රුචිකත්වය නිසාම කලකට පෙර මේ නගරය පිරී තිබි ඇත්තේ සිනමා හල් වලින්. නඟරයට සිනමාහල් හයක් පමණ තිබුණු බව තමයි අතීත මතක ඇත්තවුන්ගේ වදන් සාක්ෂ්‍ය වලින් දැනගන්නට ලැබුණේ… ඒත් දැන්නම් එය දෙක තුනකට සීමා වෙලා… ඉතිරි වෙලා තියෙන සිනමාහල් වලින් නෙල්සන් සිනමාහල ප්‍රසිද්ධ එකක්.

නෙල්සන් සිනමාහල අසලම තියෙන බෝගස් හතරත්, සුවිශේෂී අතීත කථාවක වර්තමාන සළකුණක්. අතීත මහනුවර රාජධානීයේ ප්‍රබලම නැව් තොට වුණේ ත්‍රිකුණාමලය. ලංකාවට දෙවැනි වර උපසම්පදාව ගෙනැවිත් පිහිටවූ සියම් මහා නිකායේ ආරම්භය සනිටුහන් කරන මෙම බෝගස් හතර, සියමෙන් උපසම්පදාව රැගෙන මෙරටට පැමිණි උපාලි තෙරුන් ප්‍රමුඛ කණ්ඩායම පිළිගත් පීඨිකාව ඉදිකළ ස්ථානයේ සිටවූ බෝගස් හතරයි. අතීතයේ මේ ස්ථානය හඳුන්වා තිබෙන්නේ මල්වත්ත හැටියටයි. දැන් නම් මල් ගස් දකින්නට නැතත්, පුරා විද්‍යා දෙපාර්තමේන්තුවෙන් මේ බෝ ගස් හතර පිහිටි බිම සංරක්ෂණය කර තිබීම නම් පැසසිය යුතුයි.

පැය ගණනක නගර චාරිකාවෙන් පස්සේ කුසගින්නත්, වෙහෙසත් නිසා ආපසු නවාතැන කරා පැමිණි අපි දහවල් කෑමෙන් පස්සේ ටික වේලාවක් විවේක ගත්තේ සවස් වරුවේ තවත් සොඳුරු ගමනාන්තයකට යන්න බලාගෙන.

කන්නියාව තියෙන්නේ ත්‍රිකුණාමල නගරයට කිලෝමීටර් දෙක තුනක් විතර වයඹ දෙසට වන්නට. මහඔය, මදුනාගල සහ කන්නියාව ප්‍රසිද්ධ වෙන්නේ ඒ නගර ආශ්‍රිතව ඇති උණුවතුර ළිං නිසා… ලංකාවේ ප්‍රසිද්ධම උණුදිය උල්පත් තියෙන්නේ ඔය කිව්ව ස්ථාන වල වුණාට, තවත් අප්‍රසිද්ධ ස්ථාන ගණනාවක උණුදිය උල්පත් දකින්න පුළුවන්. ඓතිහාසික කත්න්දර ගණනාවක් අතර උණුදිය උල්පත් ඇතිවෙන්න බලපාන විද්‍යාත්මක සාධක විදිහට විද්‍යාඥයින් දක්වන්නේ, මැග්මා හෝ ලාවා තාප මූලාශ්‍රයක් ආශ්‍රිතව ගලායන අභ්‍යන්තර ජලධාරාවක් පොළොව මතු පිටට පැමිණිමක් විදියටයි.

මද්දහනෙන් පසු “යුසුෆ්” ගේ ගමන් රථයට නැඟුණු අපි කන්නියාවට ගියේ උණුවතුර ළිං දකිනු අටියෙන්… යා යුතුව ඇත්තේ කෙටි දුරක් වුණත්,තල් රුප්පා මැදින් යනකොට දැනෙන දාහය නම් ඉවසන්න බැරි තරම්. දකුණෙදි තැඹිලි වගේ උතුරෙදි නැගෙනහිරදි දාහය නිවාගන්න තල් කුරුම්බා පානය කරන එක ගොඩක් දෙනාගේ පුරුද්දක්. එ් පුරුද්දට අනුගත වෙමින් අතරමඟ තැනකදි තල්කුරුම්බා රස බලන්නත් අපි අමතක කළේ නෑ.. ඇත්තටම තල් කුරුම්බා පානය කරන්න නම් බෑ… තල් පිත්තකින් කපල දෙන පුංචි හැන්දක් වගේ උපංගයකින් හාරගෙන කන්න තමා තියෙන්නේ…

අතීතයේදී පාලනයකින් තොරවත්, පසුකාලීනව කොටි ත්‍රස්තවාදීනුත්, යුධ සමයෙන් අනතුරුව ප්‍රාදේශිය සභාවත් පාලනය කළ උණුවතුර ළිං සහිත බිම වර්තමානයේ පවතින්නේ පුරාවිද්‍යා පාලනය යටතේ……

හේතුව වෙන්නේ පශ්චාත් යුද සමයෙදි පුරාවිද්‍යා කැණීම් වලින් උණුවතුර ළිං ආශ්‍රිතව පැවැති අතීත විහාරාරාම සංකීර්ණයක නටඹුන් මතුවීම… මේ ස්ථානයේ තිබී ඇත්තේ භාතික තිස්ස රජු සමයේ ඉදිකෙරුණු රජමහා විහාරයක නටබුන්. එකී රජමහා වෙහෙරේ චෛත්‍යයේ ගොඩැල්ල උණුවතුර ළිං පිහිටි තැනට කිට්ටුවෙන්ම දැකගන්නට හැකියාව එහි යන එන්නන්ට ලැබේ. මෙම ළිංසංකීර්ණය මෙම විහාරයේ වැඩ විසූ භික්ෂුන්ට පැන් සැනහීමට යොදාගත් ඒවා බව කියැවෙන අතර විල්ගම් වෙහෙර වාසී භික්ෂූන්ද මෙම සථානය පැමිණ පැන් සැනහුණු බව කියැවේ.

නමුත් රාවණ රජ සමයද ඈඳා ගත් ජනප්‍රවාද ගණනාවක් මේ උණුවතුර ළිං පිළිබඳව අසන්නට පුළුවන්. ඉන් ප්‍රසිද්ධම කථාව හෝ කථා ගණනාවක සංක්ෂිප්තය සටහන් වෙන්නේ මෙහෙම. “රාවණා රජ්ජුරුවන්ගේ මවට කුෂ්ඨ රෝගයක් වැළඳී තිබේ. එයට පිළියම් සොයා වෙහෙසෙන රාවණාට දිනක් සිහිනයක් දක්නට ලැබේ. සිහිනයෙන් කියැවුණු තැනට පැමිණ උල්පත සොයා ගත් රාවණා රජු ළිඳක් බඳවා, එතැන ම දේවාලයක් ඉදිකොට උල්පතේ උණුදියෙන් අම්මා නෑවී ය. ඇගේ කුෂ්ඨ රෝගය ඉක්මනින් ම සුව වීලු. එතැන් පටන් උණුදිය ළිඳ හා දෙවොල පූජනීයත්වයට පත් වීලු.”

අප මෙම ළිං වෙත යන විට එහි බොහෝ සෙනගක් හිටියත් ටික වෙලාවකින් සෙනඟ අඩුවෙලා ගියා... මෙම ජලයේ සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 42ක් පමණ වන බව ලේඛණ වල සදහන් වෙතත් එම ස්ථානය‍ේ ළිං ජලයෙහි සංයුතිය පිළිබද විද්‍යාත්මක දැනුවත් කිරීමක් හෝ ඓතිහාසික පුවත් ඇතුළත් දැනුවත් කිරිම් සහිත පුවරු දක්නට නැහැ. එය විස්තර නොදැන මෙතැනට පැමිණෙන්නන්ට සිදුකරන බලවත් අසාධාරණයක් විදියට තමයි පේන්නේ….

මෙම ජලය කුෂ්ඨ රෝග වලට සුවය සදන බව විශ්වාස කරන නිසා කුඩා ළමුන් එහි ගෙනගොස් නෑවීම බොහෝ ද්‍රවිඩ වැසියන්ගේ පුරුද්දක්. මෙම ජලයේ සල්ෆර් අධිකවීම එවැනි ප්‍රතිඵල ලැබිමට හේතුවන බව විද්‍යාඥයින්ගේ මතයයි. ළිං හතක් දක්නට ඇති සංකීරණයෙහි එක් එක් ළිඳෙහි වතුර ට අත පෙවූ අපිත් ඒ එකිනෙකෙහි උණුසුම සසඳා බැලුවා... එකිනෙකට වෙනස් උෂ්ණත්වයක් පවතින බව සාමාන්‍යයෙන් දැනුනු අතර එක් එක් ළිඳෙහි ජලයේ ඇති උෂ්ණත්වයය වරින් වර වෙනස් වන බවක් හඳුනාගන්නට පුළුවන් වුණා…..

සවස්වරුව දක්වාම උණුවතුර ළිං ආශ්‍රිතව ගත කල අපි යළි නවාතැන් පොළ වෙත ගියේ පසු දිනයේදී ගෝකණ්ණ විහාරයත්, පැරණි ගෝකණ්ණ විහාරය මත ඉදිවුණු තිරුකෝණේ්ශ්වරම් කෝවිලත් දැකගනු බලාපොරොත්තුවෙනි.

[email protected]

සටහන [ඥානේන්ද්‍ර ප්‍රදිප් පතිරණ]

ඡායාරූප [දුලිප් සිකුරාජපති] [ළහිරු අබේගුණවර්ධන]

මාතෘකා