හයිබ්‍රිඩ් කාර් එකක් හදන්න සිහින දකින අවුරුදු දාහතේ ‘තරුෂි’

 ඡායාරූපය:

හයිබ්‍රිඩ් කාර් එකක් හදන්න සිහින දකින අවුරුදු දාහතේ ‘තරුෂි’

දිනෙන් දින මෙරට තුළ පොලිතින් සහ ලන්ච් ශීට් භාවිතය වැඩි වෙමින් පවතී. රජය විසින් පොලිතින් සහ ලන්ච් ශීට් තහනම් කිරීමට පියවර ගනු ලැබුවත් මධ්‍යම පරිසර අධිකාරියේ වාර්තාවන්ට අනුව ශ්‍රී ලංකාව තුළ දෛනිකව ලන්ච් ශීච් මිලියන 02ක් සහ පොලිතින් බෑග් මිලියන 1.5ක් පමණ පරිහරණය කරනු ලබයි. එසේම දෛනිකව පරිසරයට මුදා හරින පොලිතින් බෑග් ප්‍රමාණය සහ ලන්ච් ශීට් ප්‍රමාණය ප්‍රතිශතයක් ලෙස සියයට 98කට ආසන්න අගයක් ගනී. දෛනිකව පරිසරයට මුදා හරින පොලිතින් ප්‍රමාණය නිසා ගොඩගැසෙන කුණු කඳු විටෙක නාය යමින් මිනිස් ජීවිත පවා රටට අහිමි කළේය. එහෙත් මිනිසුන්ට දෛනිකව අවශ්‍ය ද්‍රව්‍යයක් වන ලන්ච් ශීට් පරිසර හිතකාමී අයුරින් නිපදවීමට පාසැල් යන වයසේ සිසුවියක් සමත් වී තිබේ. ඇය රත්නපුර සුමන බාලිකා විද්‍යාලයේ උසස් පෙළ කලා අංශයේ ඉගෙනුම ලබන තරුෂි විදුෂිකා රාජපක්ෂ යි. රත්නපුර ගෝනකුඹුර ප්‍රදේශයේ පදිංචි ඇය තවමත් 17 වැනි වියේ පසුවේ. මේ කාලය තුළ ඇය විසින් නැවත භාවිත කළ හැකි ලන්ච් ශීට් එකක් ඇතුළුව තවත් නව නිපැයුම් 17ක් නිපදවීමට සමත් වී තිබේ.

“මම අටේ පංතියේ ඉඳන් තමයි මේ වගේ නව නිර්මාණ කරන්න පටන් ගත්තේ. පොඩි කාලේ ඉඳන් චිත්‍ර කලාව විෂයක් ලෙස හැදෑරුවා. මම උසස් පෙළට කරන්නෙත් චිත්‍ර. චිත්‍ර අදින්න තියෙන ආසාවත් එක්ක තමයි මේ වගේ දේවල් හදන්න හිතුවේ. මම චිත්‍ර කරන නිසා මුලින්ම දෙයක් හදනකොට කටු සටහනක් ගහගන්නවා. චිත්‍ර කරන නිසා එක පාරින් අදහස ඇඳලා මේ වැඩ කරනවා. මගේ තාත්තා මිකෑනික් කෙනෙක්. එයා මට මේ වගේ දේවල් හදන්න ගොඩාක් උදව් කරනවා. තාත්තගේ ආභාෂයෙන් තමයි මේ වගේ දේවල් කරන්න පටන් ගත්තේ. ඉස්සර තාත්තා වැඩ කරනවා බලන් ඉන්නවා. ඊට පස්සේ මාත් තාත්තා එක්ක වැඩ කරනවා..”

උසස් පෙළ කලා අංශයෙන් ඉගෙනුම ලබන විදුෂිකා මේ වන විට තාක්ෂණ විෂය හදාරන සිසුන්ටත් වඩා දක්ෂ ලෙස නව නිපැයුම් රාශියක් නිපදවීමට සමත් වී තිබේ. ඒ අතර පරිසර හිතකාමී ආහාර අසුරනය (ලන්ච් ශීට්) සුවිශේෂ එකකි. රටේ පවතින පොලිතීන් ගැටලුවට සාර්ථක විසඳුමක් ලෙස මෙය හැඳින්විය හැකිය.

“අපේ රටේ කාලයක් තිස්සේ ආහාර දවටන ලෙස ලන්ච් ශීට් භාවිත කරනවා. ඒ වගේම ආහාර ගැනීමෙන් පසු ලන්ච් ශීට් එක කුණු ගොඩට දානවා. කවදාවත් ඒක නැවත පාවිච්චි කරන්න බැහැ. මේ හේතුව නිසාම රට වටේම කුණු කඳු ගොඩ ගැහිලා. මේකට විසඳුමක් විදිහට තමයි මම මේ ලන්ච් බෑග් එකයි ලන්ච් ශීට් එකයි නිර්මාණය කළේ. ඒක හැදුවේ හිරු එළියට දිරාපත් වෙන රෙදි වර්ගයකින්. ඒ නිසා කුණු ගොඩට විසි කළත් පරිසරයට හානියක් වෙන්නේ නැහැ. ඒ වගේම තමයි මේ ලන්ච් ශීට් එක කිහිප වරක්ම භාවිත කරන්නත් පුළුවන්. තාම අපි මේක කොපමණ කාලයක් භාවිත කරන්න පුළුවන්ද කියල පරීක්ෂණ කරනවා. මට විශ්වාසයි සතියක් විතර භාවිත කරන්න පුළුවන් කියලා. සමහර විට ඊටත් වඩා වැඩි වෙන්න පුළුවන්. මේකට මට පේට්න්ට් බලපත්‍රයකුත් තිබෙනවා. ඒත් තාම වෙළෙඳ පොළට නිකුත් කළේ නැහැ. ඉදිරියේදී වෙළෙඳ පොළට නිකුත් කරන්න කටයුතු කරනවා. එහෙම වුණොත් දැන් තිබෙන පොලිතින් ගැටලුවට මේක ලොකු විසඳුමක් වේවි.”

ඇයගේ හැකියාව මෙම නිර්මාණවලට පමණක් සීමා වී නැත. ඇය විසින් එදිනෙදා ජීවිතයේ පැවැත්ම සඳහා අත්‍යවශ්‍ය නිර්මාණ රාශියක් බිහි කිරීමට සමත්වී තිබෙනවා. ඒ ගැන ඇය අපට පැවසුවේ මහත් ආඩම්බරයෙනි.

“මම රාහු කාලය පෙන්වන ඔරලෝසුවක්, අලින්ට පළඳවන පා ආවරණයක්, මදුරු උගුලක්, වතුර මෝටරය ස්වංක්‍රීයව පාලනය වන පාලන උපකරණයක්, හොදි හැඳිගාන මැෂින් එකක්, සාමාන්‍ය බයිසිකලයකට මෝටරයක් සවි කරලා මෝටර් බයිසිකලයක්, පරිසර හිතකාමී බෑගයක් වගේ නව නිපැයිම් 17ක් මේ වන විට සිදු කරලා තිබෙනවා. ඊට අමතරව මදුරුවන් මරන්නේ නැතුව අල්ලන්න මදුරු උගුලක් නිර්මාණය කළා. ඒ මදුරු උගුලේදී මදුරුවන් බිත්තර දාන්න ආවාම ආපහු යන්න බැරි වෙන්න ඒක ඇතුළේ හිර වෙනවා. ඒ වගේම මම නිර්මාණය කරපු රාහු කාලය පෙන්වන ඔරලෝසුවටයි, පරිසර හිතකාමී ලන්ච් පැකට් එකටයි, මදුරු උගුලටයි පේට්න්ට් බලපත්‍රය ලැබුණා. දැනට රාහු කාලය පෙන්වන ඔරලෝසුව විකුණන්න තියෙනවා.”

මේ හැමදේම කරන්න තරුෂිට හයියක් වෙලා ති‍ෙබන්නේ ඇගේ පියා. වෘත්තියෙන් මිකෑනික් කෙනෙක් වන පියාගේ ආභාසය ඇයට කුඩා කාලයේ සිට ලැබී ඇති බව තරුෂි අප සමඟ පැවසීය.

“මේ හැමදේම කරන්න මට මගේ තාත්තා තමයි උදව් කරන්නේ. ඊට අමතරව මම කලින් ඉගෙන ගත්ත රත්නපුර ගෝනකුඹුර මහා විදුහලෙන් මට ලොකු සහයෝගයක් ලැබුණා. දැන් ඉගෙන ගන්න ඉස්කෝලෙට ගියේ සාමාන්‍ය පෙළ සමත් වෙලා. ඒකට මට ඉන්ටර්වීව් එකකට මුහුණ දෙන්න සිදුවුණා. ඒ ඉන්ටර්වීව් එකේදී ගුරුවරු මගේ දක්ෂතා දැකලා කිව්වා, මට ටෙක් කරන්න කියලා. ඒත් මම කුඩා කාලයේ සිට කැමති වුණේ චිත්‍ර කරන්න. ඒ නිසා මම චිත්‍ර තෝරා ගත්තා. ඒත් මම මේ වගේ නව නිපැයුම් කරන එක නැවැත්තුවේ නැහැ. මේ හැමදෙයක්ම කරන්න දැන් ඉගෙන ගන්න ඉස්කෝලෙන් පවා මට විශාල සහයෝගයක් ලැබෙනවා.”

ඒ වගේම තමයි තරුෂි නිර්මාණය කරපු නිපැයුම්වලට පළාත් සහ ජාතික මට්ටමින් සම්මාන සහ ඇගයීම්ද ලැබී තිබෙනවා.

“මම නිර්මාණය කරපු මේ දේවල්වලට සබරගමු පළාත් තරඟවලින් සහතික සහ ත්‍යාග ලැබුණා. විශේෂයෙන් සබරගමු පළාත් පාසැල් නව නිපැයුම් තරඟයෙන් හොඳම නිපැයුමට හිමි සම්මානය ලැබුණා. ඒ වගේම මම නිර්මාණය කරපු අලි සපත්තුව සබරගමු පළාත් තරඟයෙන් තේරිලා, කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති තරඟයකටත් ඉදිරිපත් වුණා. එකෙදි සහභාගීත්වයට කුසලතා සහතිකයක් ලැබුණා. මේ සහතිකවලට අමතරව චිත්‍ර තරඟවලින් දිනලත් සහතික ලැබිලා තිබෙනවා.”

ඇයගේ දක්ෂතා එක් ක්ෂේත්‍රයකට පමණක් සීමා නොවුණු බව ඇය සමඟ කතා කිරීමේදී අපට අවබෝධ විය. ලොවෙන් එකෙක් එක් දෙයකට වෙයි සමත කියන කියමන බොරුවක් බවට පත් කරමින් ඇය චිත්‍ර කලා ක්ෂේත්‍රයෙන්ද දස්කම් පාන්නියකි. ක්ෂේත්‍ර කිහිපයක දස්කම් පාන ඇය මේ වන විට ඇය උසස් පෙළ විභාගය සඳහා සූදානම් වන හෙයින් මෙවැනි නිර්මාණ කටයුතුවලින් තාවකාලිකව ඉවත් වී ඇත. එහෙත් ඇයගේ එකම අබිප්‍රාය වී ඇත්තේ හයිබ්‍රිඩ් කාර් එකක් නිර්මාණය කිරීමයි. ඒ සඳහා අවශ්‍ය දැනුමද ඇය සතුව පවතින බව ඇය අප සමඟ පැවසීය.

“දැනට මම උසස් පෙළ විභාගය නිසා මගේ නිර්මාණ සිදු කිරීම තාවකාලිකව නවත්වලා තිබෙන්නේ. ඒත් මගේ ලොකු හීනයක් තිබෙනවා හයිබ්‍රිඩ් කාර් එකක් හදන්න. ඒකට තමයි මම දැන් උත්සාහ කරන්නේ. ඒත් සල්ලි නැති නිසා එක ටිකක් අමාරු වැඩක් වේවි. ඒත් මම ඒක කොහොම හරි කරනවා. කවුරු හරි උදව් කරන්න කැමැති නම් මම කැමැතියි ඒක කරන්න.”

කැලේ පිපෙන මල් කැලේම පරවෙලා යෑමට අවස්ථාව ලබා නොදී ඒ මල්වල සුවඳ සහ ලස්සන ලෝකය හමුවේ තැබීමට අවශ්‍ය කාලය උදා වී තිබේ. තරුෂිත් එවන් කැලේ පිපී ඇති මලකි. ඇය බහුවිධ දක්ෂතාවලින් පරිපූර්ණ වූ සිසුවියකි. ඇයගේ දක්ෂතා තවදුරටත් ඔප මට්ටම් කළ යුතු වේ. ඒ සඳහා අතහිත දීමට කවුරුන් හෝ ඉදිරිපත් වන්නේ නම් ශ්‍රී ලංකාවේ නාමය ලෝකය ඉදිරියේ තවදුරටත් බැබලීමට හේතුවක් විය හැකිය.

නව නිර්මාණ යනු නව චින්තනයේ උපතයි. මිනිසුන්ගේ නිර්මාණ කුසලතා යොමු විය යුත්තේ වඩාත් දියුණු ලෝකයක් වෙනුවෙනි. තරුෂිගේ නිර්මාණ බොහොමයක් ඒ අරුත කුළුගන්වන ඒවා වුවද එක් නිර්මාණයක් ඊට පටහැණි අරමුණකට සේවය කරයි. ඒ, ‘රාහු කාලය පෙන්වන ඔරලෝසුව’ය. නිර්මාණයක් ලෙස මෙන්ම වෙළෙඳ භාණ්ඩයක් ලෙසද සාර්ථක විය හැකි වුවද, මානව ප්‍රගමනයට බාධා කරන ආචීර්ණකල්පික මතවාද පෝෂණය කරන නිර්මාණයක් ‘නව නිපැයුමක්’ ලෙස අගය කළ නොහැකිය. තරුෂිගේ කුසලතා ඉහළින්ම අගය කරන අතරම එම විවේචනයද ඇයට තිළිණයක් ලෙස පිරිනැමීමට අපි කැමැත්තෙමු.

[දිනුක මලින්ද හේරත්]

මාතෘකා