සාගරයත් සරදම් කරන ධීවර ජීවිත

 ඡායාරූපය:

සාගරයත් සරදම් කරන ධීවර ජීවිත

දිවයිනේ හැම අතම විවිධ ජාතීන්ට අයත් ජනතාව ජීවත් වෙති. ඔවුනට ඇති ප්‍රශ්න ජාති ආගම් භේද නොසලකා පොදුවේ පවතී. උතුරෙන් විජයකලාලා කරන ප්‍රකාශ නිසා උතුරම කැලඹී ඇත, දකුණේ පාතාල මදුෂ්ලගේ කෙරුවාවල් නිසා දකුණම භීතියට පත්ව ඇත. නැගෙනහිරින් ජාතිවාදී වඳ බෙහෙත් ගැටලු පැනනැගී ඇත. මේ සියලු ගැටලු අතරේ සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව එක්ව කරන එකම එක සුන්දර මෙන්ම භයානක රැකියාවක් ඇත. ඒ ගැටලු, අභියෝග මැද්දේ කිරීමට අවශ්‍ය නිසා කරන කරදිය මත්ස්‍ය කර්මාන්තයයි. ලංකාව සතර කොනෙන්ම කරදියෙන් වටවූ ගොඩබිමක් නිසා මෙම කර්මාන්තය කිරීමේ වපසරිය වැඩිය. එමෙන්ම රටෙන් සියයට 17ක දෙනා මෙම කර්මාන්තය ජීවිකාව කරගනිමින් ජීවත් වෙති.

දශක දෙකකට පමණ පෙර මෙම ධීවර කර්මාන්තය ස්වර්ණමය යුගය සනිටුහන් කර ඇත. ඒ එවකට තිබූ පහසුකම් හා මත්ස්‍ය සම්පත් නෙලාගැනීමේදී පැනවූ නෛතික කරුණු අඩුවීම නිසාය. එම නිසා දිවයින වටා මුහුදු ප්‍රදේශවල විශාල ජනතාවකගේ අතමිට එදා සරුවිය. ඒ නිසා පිටින් පැමිණි ජනතාවද මෙම වෘත්තිය තෝරාගත්හ. බෝට්ටුවක් කුළියට රැගෙන යන විට බෝට්ටුවේ හිමිකරුගේ කොටස දුන්පසු ඉතිරියද සුළුපටු මුදලක් නොවීය. නමුත් එකල තාක්ෂණය දියුණු නැති නිසා සතිගණන් මුහුදු යන බෝට්ටු නැවත ගොඩබිමට පැමිණෙන තුරු විශ්වාස නැත. නමුත් අද තාක්ෂණය දියුණු වී ඇත. GPS සහ රේඩියෝ තරංග ඔස්සේ ඔවුහු අනෙක් බෝට්ටු සමඟ සබඳතා තබාගනිති. යම් අකරතැබ්බයකට මුහුණ දුනහොත් ඒ සඳහා පිටත් කිරීමට යාත්‍රාද ඇත. නමුත් ඊට සාපේක්ෂව අද මෙම කර්මාන්තය සඳහා නෛතික බලපෑම් වැඩිවී ඇත. ධීවර බෝට්ටු සඳහා මුහුදු සීමා පනවා ඇත. ඇතැම් දැල් එළිමෙන් කොරල්පර විනාශ වීම නිසා දැල් සඳහාද නීති පනවා ඇත. ඒ නිසා අද වන විට දීවර කර්මාන්තයේ යෙදෙන ධීවරයන්ට එතරම් සුභ කාලයක් නොවේ. නමුත් අතීතයේ සහ වර්තමානයේද ධීවරයන් බොට්ටුවට ගොඩවන්නේ භාරහාර හා පුද පූජා පවත්වායි. මේ කියමන වඩාත් සාක්ෂාත් වන්නේ විජය කුමාරතුංග ගැයූ රැල්ලෙන් රැල්ලට පාවෙන ගීතයේ මෙම පදවලිනි.

“අඹු දරුවෝ,මා දෙවියෝ රකීවා එන තුරු මා උදයේ”

“අසරණයෝ මා වාගේ, දෙවියනි කෝ බිලිඳු මගේ

රැකදේවා අසරණ මා තනිවේවා මා සාගරයේ”

ගීතයේ ඒ පද තුළ ගැබ්ව ඇති ධීවරයාගේ දුක, බියකරු බව, කාත් කවුරුත් නැති ප්‍රචණ්ඩ මුහුද මැද තනි වීම, පැමිණෙන අභියෝග සඳහා මුහුණ දීම යන කාරණා ධීවරයාගේ හදවතේ තබාගෙන ජීවිකාව සරුකරගැනීමට පාරම්පරික හුරු පුරුදු රැකියාව සඳහා පිටත් වේ. ඔවුන්ගේ මේ දුෂ්කර ගමන නවතා වෙනත් කර්මාන්ත සඳහා යොමු වුවහොත් මෙරට ජනතාවගේ බත් පත රස කරන නැවුම් මාළු කෑල්ලද පිටරටින් ගෙන ඒමට සිදුවේ. ශ්‍රි ලංකාවේ මත්ස්‍ය අස්වැන්නේන් විශාල ප්‍රමාණයක් අපනයනය කරති. ඒ මගින් ලංකාවේ රුපියල ඉහළ අගයක පවත්වාගැනීමට නිහඬ සේවාවක් කරති.

අනාදිමත් කලක සිට රටේ ආර්ථිකය ශක්තිමත් කරන ධීවර කර්මාන්තය ගොඩනැගීම වෙනුවට ඔවුන් ආණ්ඩුවෙන් ඉල්ලූ එකම දෙය වන භූමිතෙල් සහනාධාරයටද කණකොකා හැඬූ අතර බස් රථවලට භූමිතෙල් භාවිතා කිරීම නිසා යැයි කියා රජය භූමිතෙල් මිල ඉහළ දැම්මේය. ධීවරයන්ට පමණක් භූමිතෙල් මිල අඩු කළා කීවද බහුතර ධීවර ප්‍රජාවට එය භුක්ති විදීමට නොහැකි විය. ඒ වෘත්තීය සමිති හරහා ක්‍රියාත්මක වන ධීවර සංගම් අතළොස්සක් තිබීම හේතුවෙනි. බහුදින බෝට්ටු සඳහා සමිති, සංගම් නැත්තේ මුහුදු ගොස් එන දිනය ස්ථීරව කිව නොහැකි නිසා යැයි ධීවරයෝම කියති.

“අපි දවස් 30,40 එක දිගට මුහුදු යනවා, දැන් නම් එතරම් හොඳ නෑ. මුහුද වාරකන් නිසා සැරයි. පොඩි මාළු අහුවෙන්නෑ. ඒ නිසා දින ගණන 50, 60 වෙන්නත් පුළුවන්. මොකද අපි අරන් යන අයිස් අපහු නිකන් ගෙනාවොත් අපිට පාඩුයි. අනෙක උතුරේ ධීවරයන් දකුණට ඇවිත් මාළු අල්ලනවා, ඒක නවත්තන්න ඕනේ. එතකොට මීගමුවේ බෝට්ටුවලට මාළු නෑ. මීගමුවේ සියලුම බෝට්ටු එක් මධ්‍යස්ථානයකින් GPS හරහා නරඹනවා. ඒ නිසා අපිට අවශ්‍ය විදිහට මාළු අල්ලන්න බෑ. ඒක අපිට ලොකු පාඩුවක්.

මාළු ප්‍රමාණය අඩුවුණත් අපිට පාඩුයි, වැඩිවුණත් පාඩුයි. මොකද මාළු වැඩිවුණත් මිල අඩු වෙනවා. එතකොට ලාභයක් නෑ. ගොඩක් තරුණයන් මේ නිසා රට හැර යනවා. ඉස්සරහට ධීවර කර්මාන්තය වළපල්ලට යන තත්වයක් තමයි තියෙන්නේ. කවුරුත් මේ පිළිබඳව අවධානය යොමුකරන්නේ නෑ. අඩු තරමේ අපේ ආරක්ෂාවටවත් වගකියන්න කවුරුත් නෑ. බලධාරීන් ධීවරයාගේ ප්‍රශ්නවලට විසඳුම් දෙන්න ඕනා" එසේ පැවසුවේ වසර 20ක් පමණ ධීවර රැකියාවේ නිරත මීගමුව මාලන් පෙරේරායි.

ප්‍රමාණයෙන් විශාල බෝට්ටු දින 40 හෝ 50 පමණ ගමන් කරයි. ගමන සඳහා විශාල අයිස් කැට 600ක් පමණ රැගෙන යයි. ගමන අවසන් බව කියැවෙන්නේ එම අයිස් ප්‍රමාණය මතය. අයිස් වලට ප්‍රමාණවත් මත්ස්‍යයන් නෙළාගැනීමට නොහැකි වුවහොත් දින ගණන තවත් වැඩිවේ. අයිස් කැට 100 බැගින් ගෙන යන මධ්‍ය ප්‍රමාණයේ බෝට්ටු ඇත. ඒවා දින 7ත් 10ත් අතර ගමන් කරයි. අයිස‍් කැට 15ක පමණ එක්දින බෝට්ටුද‍ ඇත. සිතූ පරිදි බෝට්ටු දැමිය නොහැකිය. ඒවා සඳහා බලපත්‍ර අවශ්‍ය වේ. බොහෝ බෝට්ටු හිමියෝ කුලීකරුවන් යොදවා තම බෝට්ටු මුහුදු යවති. සාමාන්‍යයෙන් එක් බෝට්ටුවක සේවකයෝ 4 දෙනෙකු පමණ ගමන් කරති. බහුදින යාත්‍රා අස්වැන්න නෙළා ගොඩබිමට පැමිණෙන්නේ දහසක් බලාපොරොත්තු සමඟිනි. නමුත් එම සතුට තීරණය වන්නේ එදින ලෙල්ලමේ පවතින මාළු මිල අනුවය. නෙළාගත් මාළු අස්වැන්න විකුණා ලබාගන්නා මුදල ඔවුන් භාරදෙන්නේ බෝට්ටු අයිතිකරුටය. බෝට්ටු අයිතිකරු ගමන සඳහා වැය වූ මුදල මුළු මුදලෙන් අඩු කර ඉතිරියෙන් 50% ක් තබාගෙන අනෙක් මුදල මුහුදු ගිය ධීවරයින් සිව්දෙනාට දෙයි. එම මුදල හතරට බෙදූ විට එක් අයෙකුට හිමිවන්නේ සොච්චම් මුදලකි. එම මුදලින් ගමන යෑමට ගත් ණය පියවා, දූ දරුවන් සමඟ සතියක් පමණ ගතකර නැවත දියඹට යෑමට ඔවුන්ට සිදුවේ. ධීවර රැකියාව කරන්නවුන්ගේ ජීවිකාව ගෙවෙන්නේ එසේය.

තම පියාගෙන් තමන්ට උරුම වූ ධීවර රැකියාවේ යෙදෙන මීගමුව ඩෙවොන් රසිකගේ අදහස් මෙසේය,

"දරුවෝ දාලා යද්දි දුකයි. යන්නෙ අවදානම් ගමනක්නේ. ඒත් දැන් හුරුයි. අපිට වෙන කරන්න රස්සාවක් නැති නිසා කරනවා. අපිට දීර්ඝ කාලයක් සිට ඩීසල් සහ භූමිතෙල් ප්‍රශ්න තියෙනවා. ඩීසල් මිල වැඩිවීම නිසා විශාල මුදලක් වැයවෙනවා. නමුත් මාළු මිල අඩුයි. නිසි මිලක් නෑ. පිටින් පැමිණෙන අය ව්‍යාජ ක්‍රමයට මාළු අල්ලනවා. ඒ නිසා එතැනත් පාඩුව අපිටමයි. අනෙක ලංකා අයිස් සමාගම හැමදාම අපිට කියනවා අයිස් මිල පහත හෙළා සහනාධාර දෙනවා කියලා. නමුත් කිසිදු දෙයක් ලැබෙන්නේ නෑ. අයිස් සඳහා විශාල මිලක් වැයවෙනවා. ඒ වගේම භූමිතෙල් සහනාධාරය දෙනවා කිව්වට මීගමුවේ කාටවත් දීලා නෑ. ඒ වගේම ලෙල්ලමේ මාළු මිල අඩු නිසා හරිහමන් ආදායමක් ලැබෙන්නෙත් නෑ.

බිලී කටු මිල වැඩියි. සමහර ඒවා හයිය නෑ කැඩෙනවා, තන්ගුස් නූල්වල මිල වැඩියි. වියදම ආදායමෙන් අඩු කරද්දි මුදලක් ඉතිරි වෙන්නේ නෑ. මේ ප්‍රශ්න වලට විසඳුම් ලබාගැනීම සඳහා සංගම් දැම්මා, හරිගියේ නෑ. ඒ නිසා අපේ ප්‍රශ්න සෘජුවම කියන්න කෙනෙක් නෑ. මොකද මුහුදු රස්සාවේ අපිට ගෙදර ඉන්න දවසක් හරියට කියන්න දන්නැති හින්දා. මේ වගේ ප්‍රශ්න නිසා ගොඩාක් අය රට ගියා රස්සාව දාලා, සමහරු බෝට්ටුවෙන් ඕස්ට්‍රේලියා, ඉතාලි වගේ රටවලට ගියා සමහරු ඒවයිනුත් අනාත වුණා. ඒ නිසා දිනෙන් දින කර්මාන්තය වැටීගෙනයි යන්නේ. රට යවන්නත් මාළු අඩුවෙලා. මේ කර්මාන්තයට දිරිගන්වලා, මේ අයගේ ගැටලුවලට විසඳුම් දීලා කර්මාන්තය නඟාසිටුවනවා නම් රටට විශාල මුදලක් පිටරටවලින් ගන්න පුළුවන්”

ජීවන අරගලයේ කටුක වේදනා ධීවරයන්ගේ ජීවිත වලට උඩින් වියන් බැද ඇත. දහසක් බාදක මැද මොවුන් තමන් විදින දුක තම දරුවන්ට නොදී ඔවුන් අධ්‍යාපනයෙන් පෝෂණය කිරීමට වෙහෙසෙන්නෝය.

මුහුද මැදදී දේශගුණික වෙනස්කම් නිසා ඇති වන ලෙඩරෝගවලට මුහුණදීමට සිදුවේ. ඇතැමුන්ට ජීවිත පවා අහිමිවූ වාර ගනන අනන්තය. කුණාටු සහ ජලය නැතිවීම, ආහාර නරක්වීම, අස්වැන්න නෙළාගැනීමට කල්ගතවීම නිසා ගෙනගිය ආහාර ප්‍රමණය ප්‍රමාණවත් නොවීම වැනි ගැටලුවලට මුහුණ දීමට සිදුවේ. ගමන් ගන්නා යාත්‍රාවේ යාන්ත්‍රික දෝෂ නිසා දින කීපයක් එක තැන ගත කර නැවත අසවැන්න නැතිව තවත් බෝට්ටුවක ආධාරයෙන් ගොඩබිමට පැමිණි වාර අනන්තය. සංක්‍රමනික මත්ස්‍යයන් වසරේ එක් කාර්තුවකට පමණක් ශ්‍රි ලංකා මහුදට පැමිණීම නිසා වසරේ ඇතැම් මාසවල අස්වැන්න සැලකිය යුතු ලෙස පහත වැටේ. අයිස්, ඉන්ධන, සහ අනෙකුත් අවශ්‍යතා සඳහා වියදම් වූ මුදල් බෝට්ටුවේ හිමිකරු ඊළග ගමනේ අස්වැන්නෙන් කපාගනී. මාස ගණනාවකට මුදල් නැති නිසා ඔවුන්ගේ දරු පවුල් සඳහා ණය ගැනීමට සිදුවේ. එවැනි අසරණයට ලක්වූ ජීවිතයක් ධීවරයා ගත කරයි.

මහාපරිමාණයේ ඉදිකිරීම් හා වැඩකට නැති සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට පෙර කළයුත්තේ පාරම්පරික ධීවර කරමාන්තය නඟා සිටුවීමටයි. මේ මගින් යාන්තම් දිවි ගැටගසාගන්නා අසරණ ධීවර ජනතාවගේ හෙට දවස ආලෝකමත් කළ හැකිය. විදෙස් ආයෝජකයින් මෙරටට ගෙන්වා නිසි මිලට මාළු අපනයනය කිරීම සඳහා නිසි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළහොත් ධීවර කර්මාන්තයේ හෙට දවස සරුවනු ඇත. මේ පිළිබඳව රජය විසින් නිසි ක්‍රියාමාර්ගයකට නුදුරේදීම එළැඹිය යුතුය. නැති නම් ධීවර කර්මාන්තයේ මළගම අතළගය.

සටහන සහ ඡායා [අසේල ලියනගේ]

මාතෘකා