කළුවර නැති දවස් හොයන අරුමෝසම් ජීවිත

 ඡායාරූපය:

කළුවර නැති දවස් හොයන අරුමෝසම් ජීවිත

මේ දැනුත් පිටකොටුවෙ -

ජෑම්, බෝ, කොට්ටම්බා පැල් තුළ

පිපිරෙමින් ඇති කපුටු බිත්තර

පැටව් එළියට ආවම -

උන් අහන පැනවලට

කපුටන්ට කෝ උත්තර ?

තාත්තා මල්වත්ත පාරේ සුදු යකඩ මුදු - මාල විකුණයි

කටු ඇනී වණ වුණු පියාපත් දවස ගානෙම බඳෙන් ගිලිහෙයි

බලන් ඉද්දිම වගේ හවසට තාත්තගෙ යටි පතුල් ඉදිමෙයි

කහ කුරුල්ලන් - නිල් කොබෙයියන් වගේ අපිටත් ඉන්න බැරි ඇයි

රුවන් බන්දුජීවයන් " මීළඟ මීවිත" හි ඔවුන් ගැන සඳහන් කර ඇත්තේ එසේය. නාගරික ලුම්පන් සංස්කෘතියේ එක් පැතිකඩක් ඔහු " කපුටන්ට කෝ උත්තර" පැදි පෙළින් විදහා දක්වයි. කොළඹ ආදී තදාසන්න නාගරික ප්‍රදේශයන්හී නොවරදවාම දැක ගත හැකි එක්තරා පුද්ගල කොට්ටාසයකි. බොහෝ විට ඔවුන් අයත් වන්නේ නාගරික ලුම්පන් සංස්කෘතියටය. මාවත් අද්දර ලෑලි තට්ටුවල හෝ පදික වේදිකාවේ වෙළඳ භාණ්ඩ අතුරා ඔවුහු තමන්ගේ දවස සරි කරගැනීමට උදේ සිට හැන්දෑ යාමය වෙන තෙක් වෑයම් කරති. ඔවුන් සියල්ලන්ම පාහේ අලෙවි කරන්නේ අන් අයගේ රුව අලංකාර කරනා ආයිත්තම් ය. මෙසේ අටුවා ටීකා සපයන්නේ අන් කවරෙකු ගැනවත් කීමට නොව පදික වේදිකාවේ විසිතුරු භාණ්ඩ අලෙවි කරන්නන් ගැන කීමටය.

 

නාගරික ප්‍රදේශයන්හි පාර අද්දර වැඩිමනක් කාන්තාවන් හා තරුණියන්ගේ නෙත් සිත් පැහැර ගන්නේ එකී විසිතුරු භාණ්ඩ අලෙවි කරන සල්පිල් වෙතය. නානා විධ වර්ණයන්ගෙන් එකී තාවකාලික වෙළඳසල් අලංකාර කර ඇති බැවින් ඕනෑම කෙනෙකුට දුරතියා ඒවා හඳුනාගත හැකිය. භාණ්ඩ නොගත්තද ඕනෑම කෙනෙකු පැමිණ ඒවා නිරීක්ෂණය කර හෝ යන්නේ ඒවායෙහි ඇති ආකර්ෂණීයභාවය හා කාන්තාවන් වසඟ කිරීමට ඇති හැකියාව නිසයි.

ඕනෑම නගරයක මාවත් අද්දර මෙකී තාවකාලික විසිතුරු භාණ්ඩ වෙළඳසල් අනිවාර්ය අංගයකි. ඒවා නේක වර්ණයන්ගෙන් අලංකාරය. භාණ්ඩ ඉතා ක්‍රමවත්ව ආකර්ෂණීය ලෙස අසුරා ඇත. බොහෝමයක් ආභරණයන් හා වෙනත් පලඳනාවන්ගෙන් යුතු නිසා ඈතදීම එහි දිස්නය ඕනෑම නෙතකට හසු වේ. ඒ සියල්ල සැබෑය. නමුදු මේවා විකුණන ඔවුන්ගේ ජීවිත මේ අරුමෝසම් භාණ්ඩ තරම් විසිතුරු නැත. ආකර්ෂණීය නැත. දිලිසෙන්නේ ද නැත. ඔවුන්ගේ ජීවිතවල නොකියූ කතා බොහෝය. එම නිසා මේ මාවත් අද්දර සිටින තාවකාලික විසිතුරු භාණ්ඩ වෙළෙන්දන්ගේ වංහුං සොයා යෑමට අප තීරණය කළෙමු.

කොළඹ නගරයේ තදාසන්න ප්‍රදේශයන් අතරින් මුල්තැනක් හිමිවන්නේ මහරගම නගරයටය. ලංකාවේ රෙදිපිළි අලෙවියේ කේන්ද්‍රස්ථානය 'පමුණුවට' හිමි වන නිසාම මහරගම යනු කලබලකාරී නගරයක් බව හැමෝම දන්නා කරුණකි. එහි බලන බලන හැම අතම පෙනෙන්නේ රෙදිපිලි වෙළඳසල්ය. තොග හා සිල්ලරට තරගෙට රෙදිපිළි අලෙවි කරනා වෙළෙන්දන්ය. ඒ අතරින් පදික වේදිකාව අද්දර තමගේ ජීවිත හොයනා තවත් මිනිසුන් කොටසකි. ඒ පෙර කී විසිතුරු භාණ්ඩ අලෙවි කරන්නන්ය.

භර්මා ශිවම් යනු අපට හමු වූ එක්තරා අපූරු පුද්ගලයෙකි. තම සහෝදරයාත් සමඟ වසර 15ක් තිස්සේ මහරගම නගරයේ මේ ව්‍යාපාරය කරන භර්මා අපට කිව්වේ මෙවැනි කතාවක් ය.

" අපි උදේ 7ට විතර මෙතැනට ඇවිත් ඔක්කොම බඩු ලෑස්ති කරනවා. ආයිමත් මේවා අස් කරන්නේ රෑ 7න් පස්සේ. අපි ඔක්කොම විකුණන්නේ ලේඩිස් අයිටම් තමයි. මාල, වළලු, කරාබු, කොණ්ඩකටු මේ හැම දෙයක්ම අපි විකුණනවා. චූටි බබාලාටත් එක එක ජාති තියනවා මෙතැන. දවසම බිස්නස් කරලා අපිට ජීවත් වෙන්න පුළුවන් ගාණක් ලැබෙනවා. අපි ළඟට බඩු ගන්න වැඩිපුරම එන්නේ ඉතින් නෝනලා තමයි. ලස්සන නෝනලා ඉන්න මහත්තුරුත් ඇවිත් බඩු අරගෙන යනවා. "

භර්මා කියන ආකාරයට ඒවා "සුකුරුත්තන් බඩු" ය. ඕනෑම මාදිලියක එකී සුකුරුත්තන් බඩු ඔවුන් සතුව ඇත. ඒ නිසා ඔවුන් ළඟ ඇති හොඳම දේ කෙසේ හෝ තෝරාගෙන මිලට ගැනීමට කාන්තාවන් වගබලා ගන්නා විත්තියත් භර්මා අප සමඟ පැවසීය.

"නෝනා මම ඉස්සර ඉඳන්ම කළේ බිස්නස් තමයි. එක එක ජාතියේ බිස්නස් කළා. දැන් කාලයක් ඉඳන් මේ බිස්නස් එක කරන්නේ. මුලින්ම මම මේවා විකුණුවේ පිටකොටුවේ. මෙහෙ බිස්නස් හොඳයි. ගෑනු ළමයිනුයි ගෑනුයි දෙගොල්ලොම මෙතැනට එනවා බඩු ගන්න. ගෑනු ළමයි වැඩියෙන් ගන්නේ කියුටෙක්ස්, මේකප්. ගෑනු අය ගන්නේ මාල, කොණ්ඩ කටු. මේ තොරම්බල් බඩු විකුණුවාට මේවා තරම් ජීවිතේ ලස්සන නෑ නෝනා. ජීවිතේ දුක තමයි ඉතින් අපිට. ජීවිතේ ගැටගහන්නේ බොහොම ආමාරුවෙන්. මේ රස්සාවටත් තට්ටු කරන්න බලාගෙන සමහරු ඉන්නවානේ. 'මෙතැනින් ලෑල්ල අයින් කරගන්න පාරේ යන එන්න ඉඩ නෑ' කියලා වෙලාවකට බලපෑම් එනවා. ඒත් මොනා කරන්නද? අපිට කඩ නැති නිසා මෙතැන තමයි ඉන්න තියෙන්නේ. "

ගාල්ලෙන් කොළඹට ඇවිත් ඔහුගේ වචනයෙන්ම කියනවා නම් 'තොරම්බල්" විකුණන ඩී. ජී. රනිල් කුමාර අපිත් එක්ක තමන්ගේ අදහස් බෙදාගත්තේ එසේය. රනිල් කියන ආකාරයට ආභරණ හා වෙනත් ආයිත්තම්වලට අමතරව නිය ආලේපනවල සිට රූපලාවන්‍ය අමුද්‍රව්‍ය ඔහු විකුණනු ලබයි. තරුණ මහළු භේදයකින් තොරව සියලුම කාන්තාවන්ගේ රූ සපුව හැඩ කරන්නට රනිල් රූපලාවණ්‍ය අමුද්‍රව්‍ය විකුණුවද තමන්ගේ බිරිඳ ඒවා භාවිතා කරන්නේ නැත. රනිල් කියන්නා පරිද්දෙන් ඇය 'සරල ගැහැනියකි'. පුදුම වන්නට දෙයක් නැත. ඔවුන්ගේ ජීවිත එහෙමය. අන් අය හැඩ කරන්නට දිවා රෑ නොබලා වෙළඳාම් කරන ඔවුන්ගේ ජීවිත හැඩ වන්නේ ඒ තොරම්බල් විකුණා ඉතිරි වන ලාභයෙන් ය. රනිල් කියූ පරිදි සමහර දිනවලදී එයද ඉතා සුළු අගයක් ගනියි. එයින් ණය තුරුස් ගෙවා අවසන් වූ විට තම දරු පවුලේ බඩගිනි නිවීමට ඉතිරි වන්නේ සොච්චමකි.

ඒ ඔවුන්ගේ ජීවිතවල හැටිය. මහරගමින් ඔබ්බට ගිය විටද ඒ ජීවිත එසේම ය. නුගේගොඩත් එහෙමය. කවදත් සෙනඟ පිරි නගරයක් වුණු නුගේගොඩ බැලූ බැලූ තැන හිස් ලූ ලූ අත දිව යන ගැහැනුන් සහ මිනිසුන්ය. තම රාජකාරිය කෙසේ හෝ ඉටු කර ගැනීමට ඔවුහු වෙහෙසෙති. මහරගම තරම්ම පදික වෙළෙඳුන් නොමැති වුවද නුගේගොඩද විසිතුරු ආභරණ වෙළෙන්දෝ සිටිති. හේවා වෙළෙන්ගොඩගේ මහින්ද යනු වසර 10ක් තිස්සේ මහරගමත්, නුගේගොඩත් මේ වෙළඳාම කළ තැනැත්තෙකි.

" මං ළඟට වැඩිපුර බඩු ගන්න එන්නේ තරුණියෝ තමයි. එයාලානේ ලස්සනට ඉන්න කැමති. එයාලා ගොඩක් මාල වළලු අරගෙන යනවා. දැන් ඉන්න කෙල්ලෝ හරියට කෑවේ බිව්වේ නැතත් ලස්සනට ඉන්නවා. මටත් ඉන්නේ දුවයි පුතාලා දෙන්නයි. පුතාලා දෙන්නත් කරන්නේ මේ බිස්නස් එකම තමයි. හොඳ ලාභයක් තියෙනවා මේකෙන්. ඒ නිසා කාටවත් අත නොපා අපි ජීවත් වෙනවා. "

මහින්දගේ අදහස එබඳු ය. කාලයක් තිස්සේ විසිතුරු ආභරණ අලෙවි කරන ඔවුහු ජිවිතය සතුටින් ගත කරති. මහින්ද පැවසූ පරිදි තම මුනුපුරන් පවා මේ රැකියාව කරනවා දැකීම තමාගේ අපේක්ෂාවය.

පිටකොටුව යනු ලංකාවේ නොනිදන නගරවලින් එකකි. දිවා කාලයේද රාත්‍රියේද පිටකොටුව තරම් අවිවේකී නගරයක් නැති තරම් ය. විසිතුරු භාණ්ඩ අලෙවි කරන වෙළෙන්දෝ පිටකොටුවේද සිටිති. එහෙත් ඔවුන්ගේ වෙළඳාම මඳක් වෙනස් ස්වරූපයක් ගනියි. සංඛ විශ්වනාදන් සහ ශංකර් රොෂාන් යනු සහෝදරයෝ දෙපළකි. තම වැඩිමහල් සොහොයුරා සමඟ මේ දෙපළ පිටකොටුව මහ වීදිය අසල ලෑලි තට්ටුවක විසිතුරු ආයිත්තම් වෙළඳාම් කරති. ඔවුන්ගෙනුත් අදහස් විමසීමට අපි අමතක නොකළෙමු.

"මෙතැන ගෑනු පිරිමි හැමෝටම ඕනේ බඩු තියෙනවා. දැන් ගෑනු අය වගේම පිරිමිත් ලස්සනට ඉන්න එක එක ඒවා දානවානේ. අපේ අයියාගේ තමයි මේ කඩේ. අපි මේක බලාගන්නේ. අපි පිටකොටුවේ එක එක රස්සා කළා. මේකෙන් ලැබෙන ආදායම හොඳයි. ඒ නිසා අපි දැන් මේවා විකුණනවා. මේ ජීවිතේ හොඳයි. ලැබෙන ගානෙන් දවස ගෙවා ගන්නයි ගෙදරට කීයක් හරි දෙන්නයි පුළුවන්. "

ජීවිතේ ඒ තරම් බරක් නැති මේ තරුණයන් දෙපළ අප සමඟ කීවේ එවැනි කතාවක් ය. ඔවුන්ට මුදල් අවශ්‍ය වන්නේ දවස ගෙවා ගැනීමට හා නිවසට කීයක් හෝ යැවීමට පමණි. ඔවුන් සතුව ඇති ආයිත්තම් අනෙක් ඒවාට වඩා වෙනස් ය. ඔවුන් සතුව වැඩියෙන්ම ඇත්තේ කාන්තාවන් පලඳින ආභරණවලට වඩා පුරුෂ පක්ෂය පලඳින ආභරණය.

පිටකොටුව මහ වීදියේ මඳක් සැරිසරන විට පෙට්ටි කඩයක අරුමෝසම් විකුණන එක්තරා පුද්ගලයෙකි. ඔහු නමින් උදය කුමාර්. ගම්පල ප්‍රදේශයෙන් කොළඹට විත් මේ අරුමෝසම් වෙළඳාම කරන ඔහු අපිට කිව්වේ මෙහෙම කතාවකි.

"මම විකුණන්නේ පිරිමි අය දාන අයිටම්ස්. ගොඩක් අය යන ගමන් ඇවිත් අරන් යනවා. මම අවුරුදු 10 ක් තිස්සේ මේවා විකුණනවා. දෙවෙනි හරස් වීදියේ බසාර් එකෙන් බඩු ගන්නේ. පුංචි ලාභයක් තියාගෙන අපි විකුණනවා. මට ඉන්නේ නෝනයි දුවලා දෙන්නයි. මෙහෙ කුලියට අපි ඉන්නේ. මේ ජීවිතේ හරිම අමාරුවෙන් ගත කරන්නේ. කෙල්ලො දෙන්නෙක් ඉන්න නිසා එයාලට හොඳට උගන්නන්නයි මට ඕනේ. එයාලට ලොකු ඉස්කෝලෙකට දාලා එයාලා හොඳ තැනකට ගෙන්නයි මම මෙච්චර දුක්විඳින්නේ. "

ඔහු ද පියෙකි. දිවා රෑ වෙහෙසී ඔහු රුපියල් සත එකතු කරන්නේ තම ජීවිතය සැපවත් කරන්නට නොවේ. තම දියණියන් දෙදෙනාගේ ජීවිතය සැපවත් කරන්නටය. ඔහු සුබ සිහින දකින්නේ ඔවුන් දෙදෙනාගේ ජීවිත එළිය කරන්නටය. අන් අයට ඔහු අරුමෝසම් විකුණන්නේ දියණියන් දෙදෙනාට මේ අරුමෝසම් ලෝකය තුළ තැනක් හදන්නටය.

තොරම්බල්, අරුමෝසම්, සුකුරුත්තන් කුමන නමකින් හැඳින්වූවත් එයින් කෙරෙන්නේ එකම කාර්යයකි. ඒ මිනිසුන් අලංකාර කිරීමය. මනා පෙනුමක් ලබාදීමය. භර්මාලා, රනිල්ලා, සංඛලා, රොෂාන්ලා, උදයකුමාර්ලා උදේ සිට හැන්දෑ වෙනකන් වෙහෙසෙන්නේ අන් අයගේ ජීවිත බාහිරින් අලංකාර කිරීමටය. පිට ඔපයට කවදත් කැමති ඉහළ මධ්‍යම හා පහළ මධ්‍යම පාංතිකයන් ඔවුන් වෙත ඇදෙන්නේ තමන්ට නොමැති යම් කිසි අලංකාරයක් ආයිත්තම් හා අනෙකුත් උපකරණවලින් ලබාගැනීමටය.

අප සිතනා තරම්ම අපට පෙනෙනා තරම්ම ඔවුන්ගේ ජීවිත සුන්දර නැත. අරුමෝසම් වැනි නේක වර්ණ ජීවිත ඔවුන්ට උරුම නැත. ඔවුන් ජීවත් වන්නේ අරුමෝසම් විකුණා ලැබෙන සොච්චමෙන් ය. ඒ ජීවිතවලට සතුට හිමිවන්නේ ඒ සොච්චමෙන් ය. උදේ සිට හැන්දෑ වන තෙක් රවන ගොරවනා මුහුණුවලින් පීඩාවට පත් වුණු පුපුරු ගහන ගිනි කාෂ්ටකෙන් ද හිත්පිත් නැතිව හමනා රළු සුළඟින් ඇවිස්සෙන දූවිල්ලෙන් ද හෙම්බත් වුණු ඒ මුහුණු අදත් හෙටත් ඉදිරියටත් අරොමෝසම්වලින් ජීවිතය හොයනවා ඇත.

මාතෘකා