ස්ත්‍රීවාදිනියක් හැටියට මම මාව නම් කරන්නෙ නැහැ

 ඡායාරූපය:

ස්ත්‍රීවාදිනියක් හැටියට මම මාව නම් කරන්නෙ නැහැ

ඉනෝකා සත්‍යාංගනී කීර්තිනන්ද

ඉනෝකා සත්‍යාංගනී නම් සිනමාවේදිනිය ලාංකේය ප්‍රේක්ෂකයා හඳුනාගන්නේ ඇය විසින් නිර්මාණය කරන ලද සම්මානනීය සිනමාපටයක් වන ‘සුළං කිරිල්ලී’ චිත්‍රපටය තුළිනි. ඉන් අනතුරුව ඇය සමාජය තුළ සිය නිර්මාණ භාවිතාව තුළ මෙන්ම සමාජ ක්‍රියාකාරිනියක් ලෙස සිය සමාජ භාවිතාව තුළ ද වෙනස් විදිහට හිතන පතන කෙනෙක් විදිහට තමන්ටම වූ සුවිශේෂී අනන්‍යතාවක් ගොඩනංවා ගැනීමට සමත්වී තිබෙනවා. අද වන විට ඇය ජාතික රූපවාහිනී සංස්ථාවේ සභාපති ධුරයට පත් වී එහි ප්‍රධාන භූමිකාවට පණ පොවනවා. මේ ඇය සමඟ සිදු කෙරුණු ඇගේ ඇතුළාන්තය දිගහැරෙන සංවාදයයි.

ඔබේ සම්පූර්ණ නම?

මම ඉනෝකා සත්‍යාංගනී කීර්තිනන්ද

ඔබේ මව සහ පියා පිළිබඳව සඳහන් කළොත්

මගේ පියා ටියුඩර් කීර්තිනන්ද මව දිසෝනි පෙරේරා පියා වෘත්තියෙන් නීතිඥවරයෙක්. මව විද්‍යා ගුරුවරියක්.

අපි කැමති ඔබේ පවුල් පසුබිම පිළිබඳව දැනගන්න.

ඇත්තටම මම කොළඹ නාගරික පරිසරයක් මැද්දේ ඉපදිලා හැදිච්ච වැඩිච්ච නාගරික ජීවිතයක් එක්ක ගැටගැහිච්ච දැරිවියක්. කුඩා කාලයේදී වගේම දැනටත් මගේ වයස දක්වාම කොළඹ කේන්ද්‍රකරගත් සමාජයක තමයි ජීවත් වුණේ. මගේ අප්පච්චිගේ ගම නුවර, ගම්පොළ. ඔහුට දේශපාලන පසුබිමක් තිබෙනවා. ඔහු ගැන අතිශයින්ම සැකවින් කියනවා නම් ඔහු එක්සත් ජාතික පක්ෂයේ පැරණිම කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයෙක්. ඊට අමතරව ඔහු ලංකාවේ දැනට තිබෙන විශාලතම වෘත්තීය සමිති ව්‍යාපාරයක් වන ජාතික සේවක සංගමයේ නිර්මාතෘවරයා.

කොහොමද ඔහුගේ දේශපාලනය ආරම්භ වෙන්නේ?

ඒ ඉතිහාසය ගැන යමක් කියනවා නම් මගේ පියා කොළඹ වෘත්තීය නීතිඥවරයෙක් වෙන්නත් කලින් නීති ශිෂ්‍යයෙක්ව සිටිය කාලයේදී ඔහු නැවතිලා ඉඳලා තියෙනවා කොළඹ ඩාර්ලි පාරේ නිවසක. ඒ ගෙදර ඒ නවාතැන්පොලේ තමයි මම පෙර සඳහන් කරපු ලංකාවේ විශාලතම වෘත්තීය සමිති ජාලයක් වන එක්සත් ජාතික පක්ෂයට අනුබද්ධිත ජාතික සේවක සංගමය බිහි කිරීමේ අරමුණ සහ පසුබිම ගොඩනැගෙන්නේ. ඒ පිරිස අතර ඉඳලා තියෙනවා ආර්. ප්‍රේමදාස සහ ජේ.ආර්. ජයවර්ධන කියන හිටපු රාජ්‍ය නායකයින් දෙපලත්. ඒ වෙනකොටත් ඔවුන් දේශපාලනයට පිවිසිලා ඉඳලා තියෙන්නේ. නමුත් මගේ පියා ඒ වෙද්දී නීති ශිෂ්‍යයෙක්. ඒ අවධියේ ආරම්භ කරපු ජාතික සේවක සංගමයේ ලේකම්වරයා වෙනවා මගේ පියා. ඉන් පසුව තමයි ඔහු මගේ මව විවාහ කරගන්නේ. මගේ මව විද්‍යා ගුරුවරියක්. අවසාන වතාවට මගේ මව ඉගැන්වීම් කටයුතු කරේ කොළඹ මහ ඉස්පිරිතාලේ ගාව තියෙන පෙස්බෙටීරියන් බාලිකා විද්‍යාලයේ. එහි සේවය කරන අතර තුර තමයි දේශපාලන ප්‍රහාරයකට ලක් වෙලා මගේ පියා ඝාතනය වෙන්නෙත් මගේ මව ඔත්පල වෙන්නෙත්. ඔය කාලය බොහොම අවිචාරවත් සමයක් ඒ කාලේ දිනපතා වගේ ඝාතන සිදුවුනා. ඔය කාලයේම තමයි විජය කුමාරතුංග ඝාතනය වෙන්නෙත්. ඒ තමයි මගේ මව සහ පියා සම්බන්ධ ඉතිහාසය.

ඔබේ සහෝදර සහෝදරියෝ ගැන කිව්වොත්

මම තමයි පවුලේ වැඩිමලා. මට බාල සහෝදරයෙක් සහ සහෝදරියක් සිටිනවා. මගේ සහෝදරයා අලුත් කඩේ උසාවියේ වෘත්තීය නීතීඥවරයෙකු ලෙස සේවය කරනවා. ඔහුගේ නම පණ්ඩුල කීර්තිනන්ද. මගේ සහෝදරිය ප්‍රශාන්ති කීර්තිනන්ද. ඇය දැනට සෑහෙන කාලයක් තිස්සේ එංගලන්තයේ වාසය කරනවා.

පාසල් සමය පිළිබඳ මතකය කොහොමද?

මගේ මුල්ම පාසල සුජාතා විද්‍යාලය. දැන් ඒ පාසල පිහිටා තිබෙන්නේ නුගේගොඩ. නමුත් ඒ කාලේ තිබුණේ බොරැල්ලේ කින්සි පාරේ. සුජාතා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබලා මම කොළඹ විශාකා විද්‍යාලයට ඇතුළු වෙනවා. පාසල් සමයේ මතකය ගත්තොත් මම ඉස්කෝලේ යන කාලේ පාඩමට ඇලිච්ච ළමයෙක් නෙමෙයි. ඊට වඩා බාහිර ක්‍රියාකාරකම් වලට තමයි මම යොමු වුණේ. බාහිර ක්‍රියාකාරකම් කියන්නේ ගීත ගායනය, චිත්‍ර අඳින්න, නාට්‍ය හදන්න, නාට්‍ය පිටපත් ලියන්න වගේ දේවල්.

පාසල් ජීවිතයෙන් පස්සේ?

පාසල් ජීවිතයෙන් පස්සේ මම කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨයට තේරෙනවා. මට මතක විදිහට ඒ 1986 වසරේ. ඇත්තටම ඒ කාලය අපිට විශ්ව විද්‍යාල අත්දැකීම් ලබන්න බැරි තරමට අපි විශ්වවිද්‍යාලයෙන් බැහැරව සිටි කාලයක්. මම නීති පීඨයේ අවසන් වසර තෙක්ම ගිහිල්ලා 1992 දී නීති උපාධියෙන් බැහැර වෙනවා. ඊට පස්සේ දැන් මම සිටින කලා ක්ෂේත්‍රයට පිවිසෙනවා.

ජීවිතේ ඒ හැරවුම් ලක්ෂය සිද්ධ වෙන්නේ කොහොමද?

ජීවිතේ පෙරළිය සිද්ධ වෙන්නේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය හදාරමින් සිටියදීමයි. මම කුඩා කල ඉඳලම සිනමාවට ලැදියි. සරලවම කියනවා නම් ෆිල්ම් පිස්සෙක්. මට මතකයි මම කුඩා අවධියේ මගේ පියා මගේ උපන්දිනයකට තෑගි දෙනවා වීඩියෝ ඩෙක් යන්ත්‍රයක්. මගේ ළමා කාලයේ අවසන් හරියෙදි තමයි රූපවාහිනිය ලංකාවට එන්නේ. අපේ ගෙදර තිබුණා ලොකූ රූපවාහිනී යන්ත්‍රයක්. ඉතින් වීඩියෝ යන්ත්‍රයක් ලැබීම මට ලොකු දෙයක් වුණා. ඒ කාලේ ගාලු පාරේ තිබුණා මැරතන් වීඩියෝ කියලා වීඩියෝ හලක්. මම මට දෙන පොකට් මනී වලින් සති අන්තේ අඩු ගානේ චිත්‍රපටි හතරක් පහක් වත් අරන් යනවා. ඒ වගේ පොඩි කාලේ ඉඳන්ම සිනමාවට තිබුණේ ලොකු ඇල්මක් සහ කැමැත්තක්. ඊට පස්සේ විශ්වවිද්‍යාලයේ ඉන්න අතරේ අපේ ගෙදර තිබුණ ඩේලි නිවුස් පත්තරේක මම දැක්කා දැන්වීමක් දාල තියෙනවා දකුණු ආසියාවේ තිබුණ විශාලම රූපවාහිනී නිෂ්පාදන ආයතනය වෙච්ච ටෙලිසීන් ආයතනයට නවක අධ්‍යක්‍ෂවරුන් බඳවා ගන්නවා කියලා. 1992 මට මතක හැටියට. ඒ ආයතනයේ හිටියා ඩී. බී. නිහාල්සිංහ මහත්මයා. ඔහුගේ සහෝදරයා ඩී. බී. සුරනිමල මහත්මයත් ලංකාවේ වෙළඳ ක්ෂේත්‍රයේ හිටපු නිර්මාණශීලී අධ්‍යක්ෂවරයෙක්. ඉතින් ඒ දෙන්නා එක්ක මාධ්‍ය හැදෑරීමේ පිපාසාවක් මට තිබුණා. මම ඒක නිසාම ඒකට අයදුම් කළා. මට කැඳවීමක් ලැබුණා ඊට පස්සේ. ඒ ගියාම එතන හිටපු එකම කාන්තාව මම විතරයි. මාව ඒ සම්මුඛ පරීක්ෂණයෙන් තේරෙනවා. එතනින් තමයි මගේ නිර්මාණ ජීවිතය ආරම්භ වෙන්නේ.

ඒ කොහොමද?

මම ටෙලිවීව් එකෙන් 1996 දී මගේ ප්‍රථම ඒකාංගික නාට්‍ය නිෂ්පාදනය කරනවා. ඒක ජාතික රූපවාහිනියේ ලෝක කාන්තා දිනය දවසේ විකාශය වෙනවා. ඊට පස්සේ මගේ ප්‍රථම ප්‍රසාංගික නාට්‍ය ස්වාධීන රූපවාහිනියේ ‘උරුම ලද්දෝ’ නමින් විකාශනය වෙනවා. ඒත් එක්කම මම 1997 වසරේ දී සුමති ටෙලි සම්මාන උළෙලේ හොඳම යොවුන් අධ්‍යක්‍ෂවරිය ලෙස සම්මාන ලබනවා සහ එතනින් පස්සේ මගේ වෘත්තීය ජීවිතය ආරම්භ කරනවා.

ඔබ පිළිබඳව සමාජයේ මතයක් තිබෙනවා වෙනස් විදිහට හිතන පතන කෙනෙක් කියලා. සරලවම කියනවා නම් රැඩිකල් චරිතයක් කියලා. ඇතැම් අය ඔබව හඳුන්වනවා ස්ත්‍රීවාදිනියක් කියලා.

ඔය වාදිනියක් කියන දේත් එක්ක තමයි ගැටලුව මතුවෙන්නේ. මොකද දැන් අපි දන්නවා සාමාන්‍ය පරිසරය තුළ මේ ස්ත්‍රී සත්ත්වයා කියන කෙනාට පාරිසරිකව සහ සමාජීයව බලපාන සාධක සහ තත්ත්වයන් තියෙනවා. පාරිසරිකව කියන්නේ පවතින තත්ත්වයන් යටතේ අපිට ක්‍රියා කළ යුතු පිළිවෙත් තියෙනවා. සමාජ මතවාදාත්මක රාමු තුළ අපට යම් යම් ඉල්ලීම් සහ බලකිරීම් තියෙනවා. ඒ කියන්නේ ගැහැනු සත්ත්වයෙක් මෙලෙස ක්‍රියාකළ යුතුයි කියලා. විශේෂයෙන් ඕක බලපාන්නේ මිනිස් සත්ත්වයාට. මොකද වෙනත් සත්ත්ව වර්ගයන් තුළ ජෛව විවිධත්වය අනුව ඒ කියන්නේ භෞතික වශයෙන් ඔවුන් තුළ තිබෙන ජානමය සහ ස්ත්‍රී - පුරුෂ ලිංග බේදය මත ඔවුන්ට තිබෙන ශාරීරික ක්‍රියාකාරීත්වයට මුල් තැන දීලා ඔවුන් සම්බන්ධයෙන් පිළිවෙත් හා න්‍යායපත්‍ර නැහැ. මම මාව නම් කරන්න හිතන්නේ නැහැ ස්ත්‍රීවාදිනියක් හැටියට. ස්ත්‍රීවාදිනියන් පිළිබඳ ලෝක මට්ටමේ උදාහරණ අනුව ඔවුන් දැඩි ලෙස පුරුෂ පක්ෂය හා සමතැන් ඉල්ලලා සටනක් මෙහෙයුමක් කරන තැනකට පවා යනවා. නමුත් මම මගේ ජීවිතය තුළ එහෙම සටන් මෙහෙයවපු කෙනෙක් නෙමෙයි.

මම ස්ත්‍රියක් හැටියට මගේ තිබෙන භෞතික ස්ත්‍රීත්වය මම හරියට අගය කරන කෙනෙක්. මම මගේ පෞද්ගලික ජීවිතේ හෝ මම මගේ සැමියා සමඟ කටයුතු කරද්දී හෝ මා තුළ තිබෙන ස්ත්‍රීත්වය මම කවදා හෝ මරා දමලා නැහැ. මම ඒකට ප්‍රියයි.

පොඩි කාලේ ඉඳන් මට අවශ්‍ය මම කැමතිදේ කෙසේ හෝ කරවා ගැනීමේ පෞර්ෂයක් තිබුණා. ඒ කියන්නේ මම මට කැමති දේ කල යුතුයි කියන ස්ථාවරයේ ඉඳගෙන බොහොම නීරෝගී මනසකින් වැඩිච්ච ගැහැනියක් හැටියට තමයි මාව දකින්නේ.

ඔබට බලපාපු චරිත මොනවාද?

මගේ පියා හරි දැඩි කෙනෙක්. ඒ කියන්නේ ඔහු දැඩි දයාර්ථදා පියෙක්. දරුවන් කෙරෙහි ඕනෑම දෙයක් කරන පියෙක්. ඒ වගේම හරි දැඩි පිරිමියෙක්. ඔහු බොහොම දැඩි පිළිවෙත් මා විෂයයෙහි අනුගමනය කළේ. ඉතින් අපිත් නීතිරීති පද්ධතිය තුළ ඔහුට අනුගතව හිටියා. ඒ තුළ නිවසේ පරිසරය තුළ යම් මැඩීමකට ලක්වී තිබුණා මානසික වශයෙන්. ඒත් අනික් පැත්තෙන් මට යම් නිදහසකුත් තිබුණා. අපේ චාරිත්‍ර වාරිත්‍ර සහ පිං පෙත් විෂයයෙහි මට බලකිරීමක් තිබුණේ නැහැ. එතැනදී මම කෙලින් හිටගන්නවා. නමුත් මම යම්කිසි ආවරණ කලාපයක් ඇතුළේ හැදුණේ. මගේ පවුල් පරිසරය ඇතුලේ අත්දැකපු ඔය කියන දෙයාකාරයක අත්දැකීම් එක්ක මම හැමවෙලේම මාව හොයන්න උත්සහ කරා. මම හැමදේම ප්‍රශ්න කරා. මම හැමවෙලේම මට දෙන පිළිතුරට වඩා පිළිතුරක් හොයන්න වෑයම් කරා. ඇත්තටම මට විශේෂ ආදර්ශ චරිත කියලා එහෙම තිබුණේ නැහැ. එක පැත්තකින් අම්මගේ තිබිච්ච අප්පච්චි කියන ඕනෑම දෙයකට ඔළුව නමන ගුණාංගයට මම අකමැති වුණා. ඒවගේම අනියම් විදිහට මගේ පියා තුළ තිබිච්ච යම් කිසි ස්වාධීන පුද්ගලයකු ලෙස නැගී සිටීමේ ගුණාංගයට ඇලුම් කළා. නමුත් ඔහුගේ දැඩි පාලනයට අකැමති වුණා. ඉතින් මට කියලා ජිවිතේ විශේෂ ඡායාමාර්ථ ආදර්ශ චරිත නොතිබුණාට මෙන්න මේ කියපු මවගේ චරිතය සහ පියාගේ චරිතය කියන ද්විත්ව චරිත පරාසයන් ඇතුලේ මම මාව හොයන්න දරපු උත්සහයක් තුළ තමයි මාව ගොඩනැගෙන්නේ.

ජෝතිෂ්‍ය පිළිබඳව, මිනිසෙකුගේ ආගමික සහ අධ්‍යාත්මික ජීවිතය පිළිබඳව ඔබේ කියවීම මොකක්ද?

මම කවදාවත් මගේ ජිවිතේ භෞතිකවාදිනියක් වෙලා ඉඳලා නැහැ. අපි ස්වාභාවධර්මයේ කොටස් හැටියට සොබාදහමත් එක්ක ගොඩනැගෙන ජීවීන්. ඇත්තටම තද නියං කාලයකට පැලයක් රෝපණය කළොත් ඒ පැළය මැරෙනවා. ඒ වගේම දැඩි වැසි සමයක රෝපණය කළොත් මුල් කුණු වෙලා පැළය විනාශ වෙනවා. ඇත්තටම මේ සොබාදහමේ තිබෙන චලනය තමයි හිරු එළිය සහ වෙනත් ග්‍රහලෝක වල තිබෙන ඒ ආකර්ශනීය බලය සහ සොබාදහමත් එක්ක කරන ඒ ගනුදෙනුව තමයි ඔය වේලාව කියන විෂයෙහි අපිට බලපාන්නේ. අපි ගත්තොත් පරිසරයේ වෙනස්වීම්, ග්‍රහලෝක වල ගුරුත්වාකර්ෂණය තාරකාවන්ගේ රශ්මිය සහ භෞතික චලනයන් ජීවීන්ගේ පැවැත්මට බලපානවා. ඒක විද්‍යාත්මකයි. අපි කිසියම් විෂයයක් පිළිබඳව සංවේදී නැත්නම් අපි ඒක ප්‍රතික්‍ෂේප කරනවා. නමුත් අපි ඒ විෂය ගැන වැඩිදුරටත් හෙව්වොත් අපිට ඒක හමුවෙනවා.

මම මගේ ආගම කියන එකට කොච්චර ආදරේ කරනවද? කොච්චර පන්සල් යනවද? කොච්චර බෝධි පූජා තියනවද කියන භෞතික සාධක මත තමයි අවසානයේ මා තුළ ඉන්න අධ්‍යාත්මික මිනිසා මනින්නේ. නමුත් ඒක නෙමෙයි අධ්‍යාත්මික මිනිසෙක් කියන්නේ.

අවසාන වශයෙන් අහන්න තිබෙන්නේ ඔබ දැන් ජාතික රූපවාහිනී සංස්ථාවේ සභාපතිතුමිය. අලුත් තනතුරත් එක්ක ඉනෝකා සත්‍යාංගනී කියන සිනමාකාරියට අසාධාරණයක් වෙයි ද?

කිසිසේත්ම නැහැ. ඔබ අද මෙතනට එන්නෙත් ඔබ මාව හඳුනාගන්නෙත් ඒ සිනමාකාරිය නිසා මිසක නව තනතුර නිසා නෙමෙයි. මම මේ තනතුර භාරගත්තේ මාස දහඅටක් වැනි ඉතා කෙටි කාලයකට. කිසිසේත් මම මගේ නිර්මාණ ජීවිතයෙන් මිදෙන්නෙත් නැහැ. ඉනෝකා සත්‍යාංගනී කියන සිනමාකාරියට අසාධාරණයක් වෙන්න දෙන්නෙත් නැහැ.

[අකලංක හෙට්ටිආරච්චි]

ඡායා [දුමින්ද්‍රා රිද්මි] [තාරිකා තත්සරණි]

මාතෘකා