චාමර ගැන..... කම්පිත රැසක සටහන්

 ඡායාරූපය:

චාමර ගැන..... කම්පිත රැසක සටහන්

(චාමර ලක්ෂාන්ගේ හදිසි අභාවයෙන් කම්පනයට පත් සහෘදයන් සමාජ මාධ්‍යයට එක් කළ සටහන් සමූහයකි.)

අඩු වයසින් කතුකම් ලද සගයෙක්

ඡායාරූප මාධ්‍යවේදී කහඳගමගේ සජීව චින්තක

උදේ ඇහැරෙනකොට අහන්න ලැබුණෙ කනගාටුදායක පුවතක්. ලක්බිමට එකම කාලයේ එක්වුණු සොයුරෙකු වූ චාමර ලක්ෂාන් කුමාර කලින්ම නොකියාම යන්න ගිහින්. මම ලක්බිම ආයුබෝවන් කියලා ව්‍යාපාර කළමනාකරණයට ආවා. චාමර ලක්බිමෙන් පස්සෙ රිවිරටත්, ඉරුදිනටත්, ඒ වගේම විකල්ප වෙබ් මාධ්‍ය ගණනාවකටත් ඔහුගේ දායකත්වය දුන්නා. අඩු වයසකින් සිළුමිණ සහ රැස පුවත්පත් දෙකෙහිම ප්‍රධාන කර්තෘ වෙන්න පුළුවන් වුණා. මාධ්‍ය සගයෙකුගේ සාර්ථකත්වය සතුටින් බලා සිටියත් අද අහන්න ලැබුණු පුවත ඇත්තෙන්ම දුකයි.

 

මතකය සැමදා ඔබ ගැන කතා කරයි

වෘත්තීයවේදී ලහිරු කෝට්ටෙගොඩ

ඔයා අවුරුදු 39 වෙද්දී ලංකාවේ ප්‍රධානම පත්තරයක ප්‍රධාන කර්තෘතුමා වුණා. ඔයාට මම අන්තිමට කතා කළේ ගිය සතියේ office යන ගමන් highway එකේදී. ඒ වෙලාවෙත් ඔයා කිවුවේ මල්ලි highway එකේ drive කරන ගමන් ඉන්නේ, පස්සේ කතා කරමු කියලා. ආයේ කතාකරන්න ඔයා අප ළඟ නැති උණාට ඔයාගේ මතකය හැමදාම ඔයා ගැන කතා කරයි. සිළුමිණ පුවත්පත හා රැස පුවත්පතේ ප්‍රධාන කර්තෘ මතුගම කන්නන්ගර විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍ය චාමර ලක්ෂාන් ඔබට නිවන් සුව ලැබේවා!

 

තව එක් වරක් ඇවිත් ජීවත්වෙන්න

මාධ්‍යවේදිනී බියන්කා නානායක්කාර

චාමර...

කොහොමද ලියන්නෙ නිවන්සුව කියලා?

නිලූ... පුතා... අම්මා...

තාත්තා... නංගි ඇතුළු

අපි හැමෝම එක්ක

තව එක පාරක්

ඇවිත් ජීවත්වෙන්න

ඊට පස්සෙ නිවන් දකින්න

‘මිනිස්සු’

මාධ්‍යවේදී විමල් කැටිපෙආරච්චි

මිනිස්සු කොහොමත් මැරෙනවා තමයි.

ඒත් ‘මිනිස්සු’ මැරෙන කොට දුකයි.

ඔහු හා වූ සංවාද ජීවිතයට යමක් එකතු කළේය

මාධ්‍යවේදී රසික ජයකොඩි

ඒ කාලයේ චාමරගේ තවත් පුරුද්දක් වූයේ මොන වැඩේ තිබුණත් හරියටම සවස 4 ට කාර්යාලයෙන් අතුරුදහන් වී ගෙදර දිවීමයි. එයට හේතුව මතුගම යාමට කෝච්චිය අල්ලා ගත යුතු වීමයි. මේ නිසා ම ඒ කාලයේ සවස හතරෙන් පසු ඔහු කිසිම වැඩක් යොදා නොගත් අතර බොහෝ අය මෙ ලෙස සවස 4ට අතුරුදන් වීමේ පුරුද්ද ගැන ඔහුට උසුළු විසුළු කළහ. නමුත් කලින් යාමේ පුරුද්ද ඔහු ජීවිතය විෂයෙහිත් අනුගමනය කරනු ඇතැයි යන්න එවකට කිසිවෙකුටත් නොසිතුණු දෙයක් විය.

දේශපාලනය ගැන මෙන්ම ක්‍රීඩාව ගැනත් නොයෙකුත් සංවාද පැවැත්වීම එදා සිට මෑතක් වන තුරුම අප නොකඩවා සිදු කළ දෙයක් විය. මෑත කාලයේ සිළුමිණ කර්තෘවරයාව සිටි ලක්ෂ්මන් පියසේනගේ කාමරයේද අප දේශපාලනය සහ ජනමාධ්‍ය ගැන බොහෝ දේ සාකච්ඡා කොට ඇත. චාමර ඇසූ පිරූ තැන් ඇති පුද්ගලයෙකු වීම නිසා ඔහු සමග කරන සංවාද නිතරම ජීවිතයට යමක් එකතු කළේය.

ඇතැම් දේශපාලන ව්‍යාපෘතිවලද අප එක්ව කටයුතු කොට ඇති අතර එහිදි එක් රැස් කරගත් බොහෝ මතකද චිත්‍රපටයක් සේ මේ ලියන මොහොතේ මගේ මනසේ මැවී පෙනේ. ඒවා මතු කවදා හෝ දිනෙක මා අතින් ලියැවෙනු ඇත.

 

චාමර සැළුණා

ඡායාරූප මාධ්‍යවේදී අජිත් සෙනෙවිරත්න

 

දිනමිණ

නිදිගත්

මොහොතක

රැස් කරගත්

අස්සෙන්

‘රැස’ ගත්

චාමර සැළුණා

සිළුමිණ

ගිනි නැගුණා

 

නුඹ යන විට කාටවත් කීවේ නැහැ

මාධ්‍යවේදී කපිල එම්. ගමගේ

මේ උඹ මට හමුවුණු අවසන් තැන. රැස පත්තරේ උඹේ කාමරේ. සිළුමිණට කොලමක් ලියපන් අයියේ කියලා ඉල්ලුවේ උඹ සිළුමිණ කර්තෘකමට පත්වෙලා සුබ පතන්න කතා කළ වෙලාවේ. නමුත් මම කොලම ලියන්න ගත්තේ උඹ පටන් ගත්ත රැස පත්තරේට.

එදා අන්තිමට හමුවුණාමත් කිව්වේ කමක් නෑ කොලම ඒකට ලියපං. මට ආර්ට් ගැන ලිපි ලියපං කියලා.

චාමර, ජීවිතේ කියන්නේ පුදුම තැනක්. මම එදා ලේක්හවුස් එකෙන් ආවේ දෙසැරයක් උඹට යන්නම් කියලා. ඒත් උඹ? උඹ යනකොට කාටවත්ම කිව්වේ නෑ. ගොඩක් කල් ඉන්න තියෙද්දි කලින්ම යන එවුන් අපිට රිදවනවා වැඩියි චාමර.

මල්ලි, ආයේ හමු වුණත් නැතත් මේ හමුව මතක ගොඩක්.

 

සිළුමිණ නිවී ගියා

මාධ්‍යවේදී නුවන් ජූඩ් ලියනගේ

 

"රැස" පතුරා

නිවී ගිය "සිළුමිණ"

 

හෙමින් යන්න චාමර මාමේ

පාසල් ශිෂ්‍ය චමත්ක කවීන්

සුබ උදෑසනක් කියා ප්‍රාර්ථනා කරන්නේ කොහොමද.......?

චාමර මාමා ඉක්මනින් යන්නම ගිහින්.

රැස පුවත් මඩුල්ල හමුවෙන්න මා ලේක් හවුස් ආයතනයට ගිය දිනය මගේත් චාමර මාමාගේත් මුල්ම හමුවයි.

මා අවසර ගෙන රැස කතුවරයාගේ දොරෙන් ඇතුළට ගිය ගමන් වාඩිවී හිටිය පුටුවෙන් නැගිට ඉදිරියට පැන්න කතුතුමා (එදා කියු වදනයෙන්ම ලියන්නැය හිත කෑ ගසන නිසා ලියමි)

"අප්පට සිරි චමත්ක පුතා. උඹ ආවද අපිව බලන්න.....යනුවෙන් මා වැළඳ ගත්තේ අප්‍රමාණ ආදරයකින්, ළෙන්ගතුකමකින් බව මට ඒ සෙනෙහසින්ම අදටත් දැනෙයි.

"නිදහසේ ලියපන් පුතා."

පුංචි මට තව මොනවද.......?

දිනක් උදෑසන 6 ට විතර මට දුරකථනයෙන් ඇමතු එතුමන්..." පුතා, මම චාමර මාමා. මට නිදහසේම නිදහසේ ලියලා තව තිරුවක් ඕනේ......හැබැයි ඔයාගේ ගුරුතුමා තිඹිරි මාමාගෙන් අවවාද අරන් ලියන්න ඕනේ........"

ඒ මගේ තවත් ආරම්භයක්......

සිළුමිණට "පතොක් මල් පිපිලා " එකතු කළේ ඒ විදිහටයි.

චාමර මාමේ මම තව මොනවා ලියන්න ද....??

අපිට නොකියා කලබලෙන් ගියත් හෙමින් යන්න චාමර මාමේ......(ආපහු එන් නැති නිසා ගිහින් එන්න කියා බොරුවට නොකියමි මාමේ.....)

 

වෙනස් මත දැරුවත් මිතු දම් එහෙමම පැවතුණා

ජනමාධ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම්

චරිත හේරත්

චාමර ලක්ෂාන්ගේ හදිසි වියෝව තවමත් විශ්වාස කරන්නත් අමාරු දෙයක්. චාමර මට මුලින්ම මුණ ගැහුණේ 2004 විතර කාලයේ ලක්බිමට ඉන්ටර්වීව් එකක් ගන්න මාව හමු වෙච්ච දවසෙ. 2004 ඉඳල ෙම් දක්වා අපි විවිධ දේශපාලන අදහස්වල සිටියත් ඔහුත් සමග තිබූ මිත්‍රත්වයට කිසිම අවුලක් වුණේ නැහැ. මම ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් විදියට සිටි කාලයේ චාමරව අපේ වැඩකට සම්බන්ධ කරගත්ත හැදුවත් ඔහු තමාගේ ස්වාධීනත්වය තියාගෙන ලියන එක වැදගත් කියල ඒ කිසිම යෝජනාවකට එකඟ වුණේ නැහැ. ඒත් අපේ හිතවත්කම හැමවිටම ඉතාමත් හොඳ තැනක තිබුණා.

පසුගිය මාසයක චාමර සිළුමිණ පුවත්පතේ ප්‍රධාන කර්තෘ වුණාට පස්සේ අපේ මිලින්දගේ තීරු ලිපිය පිළිබඳ යම් අවුලක් ඔහුගේ දැනුවත්කමකින් තොරවම සිදු වුණාම ඒ ගැන ඔහු වහාම මැදිහත් වුණා පමණක් නොවෙයි. මිලින්දගේ තීරු ලිපිය නැවතත් ඒ පත්තරේ පළ වුණා.

දේශපාලනයේ වෙනස් මත දරන ගමන් දේශපාලනය ගැන කථා කරන්න, තේ එකකට හමු වෙන්න සිටිය යාළුවෝ අතරින් 'අපි ගැන බරපතලම විවේචනයක් කරපු හා ඒ ව්වෙචනයෙන් පසුව මිත්‍රත්වයෙන් සිනහ වුණ' චාමර හදිසියේ ජීවිතයට සමුදීම තවමත් විශ්වාස කරන්න අමාරු සත්‍යයක්.

මාතෘකා