අයුතු බලපෑම් නිසා රැකියා අත හරින කාන්තාවෝ | ඇස පාදන රැස


අයුතු බලපෑම් නිසා රැකියා අත හරින කාන්තාවෝ

 ඡායාරූපය:

අයුතු බලපෑම් නිසා රැකියා අත හරින කාන්තාවෝ

කොහොමද වැඩ කරන තැන? අලුතින් රස්සාවකට ගිය ඇතැම් තරුණ කාන්තාවකගෙන් ඇහුවොත් ලැබෙන උත්තරයක් තිබේ. තැන නම් හොඳයි හැබැයි බේරිලා ඉන්න අමාරුයි. පළ කරන ඉඟිය කුමක්ද කියා නොදන්නවා නොවේ. හැම තැනෙකම මෙහෙම නැතත් එහෙම නැත්තේ එහෙමමත් තැනකය. ශ්‍රී ලංකාවේ පමණක් නොවේ. දියුණු ඇමරිකාවේ ද ස්වභාවය මෙයයි.

සමාන වෘත්තීය අවස්ථා කොමිසමක් ඇමරිකාවේ තිබේ. එහි 2016 වසරේ තත්ත්ව වාර්තාව නොබෝදා නිකුත් විය. එය ඉතා ආන්දෝලනාත්මක තොරතුරු හෙළිදරව් කරයි. වෘත්තීය ස්ථානයේ දී ඇමරිකානු කාන්තාවන් අතරින් සියයට අසූපහක් ලිංගික අඩන්තේට්ටම්වලට ලක්වෙයි. මේවා ගෙදර ගිහින් කියන්නට පුලූවන්කමක් නැත. ඇමරිකානු ආර්ථිකය ඉතාම සංකීර්ණය. රස්සාව අතහැර ගියහොත් එතැන ගන්නට  ඕනෑ තරම් ශ්‍රමිකයෝ සිටිති. ලෝකයේ නොයෙක් රටවලින් රස්සා සොයාගෙන පැමිණි ලක්ෂ සංඛ්‍යාත  පිරිසක් ශ්‍රම වෙළඳ පොල තුළ තරගකාරීව කටයුතු කරන බව දැක්වේ. එවැනි පසුබිමක ලිංගික අඩන්තේට්ටම් ඉවසනවා හැරෙන්නට කළ හැකි යමක් නැති බව මෙම වාර්තාව අනියමින් දක්වයි.

බ්‍රිතාන්‍යයේ රස්සා කරන කාන්තාවන්ගෙන්  සියයට 52 ක් හිරිහැරයට ලක්ව ඇති බව තවත් සමීක්ෂණයක් පෙන්වයි. ලෝක ආර්ථික සංසදය බ්ලොග් අඩවියට ලියැවුණ ලිපියකට අනුව 2016 වසරේ ඇමරිකානු ඩොලර් මිලියන 6.7 ක අවාසියක් ඉසුරුමත් සමාගම් 500 කට සිදුවී ඇත. හේතුව කිසිම හේතුවක් නැතිව රැකියාවට පැමිණීම ප්‍රතික්ෂේප කරන කාන්තාවන්ය. නොඑන්නේ ඇයි? එන්නට බැරි තරමට කාර්යාලයේ වාතාවරණය නරක හෙයින්ය.  

ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලේ දී කර්මාන්තයේ නිරත පිරිමින්ගෙන්න සිදුවූ අතවර වලට විරෝධය පළ කරන්නට නිළියෝ කළු ඇමෙන් සැරසී පැමිණියහ. ඇමරිකානු රාජ්‍ය නායකයන්ගෙන් සිදුවූ යම්ම යම් අපහසුතා ගැන එරට කාන්තාවන් කෙළින්ම කතා කරන්නට පටන්ගෙන තිබේ. කාන්තා නීතිඥවරියන් අසාධාරණයට ලක්වූ අසරණ කාන්තාවන්ගේ හඬ යටපත් කරන්නට ඉඩ නොදෙන බලවේග නිර්මාණය කර ඇත. සමාන වෘත්තීය අවස්ථා කොමිසම සිය වාර්තාව නිකුත් කරන්නේ එවැනි පසුබිමකය.

කර්මාන්ත, මාධ්‍ය, දේශපාලන, විනෝදාස්වාද, තාක්ෂණික හෝ වෙනත් තැනක වැඩ කරන කාත්නාවකගෙන් ප්‍රශ්න කරන විට උත්තරය හැටියට ලැබෙන කෙටි වාක්‍ය කිහිපයක් තිබේ. ‘‘ මම එතැනින් අස්වුණා’’ , ‘‘මට එතැන ඉන්න බැහැ’’ , ‘‘අයියෝ හරි කරදරයි’’ ඒවා අතර බහුලය. මෙම වදන්වල යටි පෙළ තුළින් කියැවෙන කතාන්දරය අහන්නට අපට පුළුවන් කමක් ලැබී තිබේද?

ශ්‍රී ලංකාවේ කර්මාන්ත ව්‍යවසාය වල කාන්තාවගේ දායකත්වය වැඩිය. ඇඟළුම්, තේ, සංචාරක වැනි අංශවල මෙරට යොවුන් කාන්තාවන් සෑහෙන ප්‍රමාණයක් නිරතය. වැඩ පොළේ දී පමණක් නොව වැඩට යන එන අතරවාරයේ බස් රිය, දුම්රිය හා අතරමග දී ද ඔවුන්ට එල්ල වෙන්නේ කර්කශ චවන බව අලුත් දෙයක් නොවේ. මේවා වෙනස් කරන්නේ කෙසේද? අන්තිමේ දී මේ සිද්ධි කාන්තාවන්ට බලපාන ඒවා පමණක් සේ සලකා පැත්තකට කළ නොහැකිය. ආර්ථිකයට බලපෑමකි. ඵලදායිතාව හා කාර්යක්ෂමතාවයට සෘජුව බලපායි. හොඳට වැඩ කරමින් දක්ෂතා පෙන්වූ සේවිකාවක එකවරම වැඩට නොපැමිණ සිටීම කොපමණ බාධාවක් දැයි දන්නේ අමාරුවෙන් ව්‍යාපාරය කරනෙ යන ව්‍යවසායකයන් පමණකි.  

ලිංගික අඩන්තේට්ටම්වලට විරුද්ධත්වය පළ කිරීම ලෝකය පුරා අලුත් ප්‍රවණතාවයක් සේ නැගෙමින් තිබේ. ටෙලිවිෂන් නාලිකාවල, චිත්‍රපටයේ හෝ දේශපාලනයේ දී අත් විඳීන ලද සිද්ධි ප්‍රසිද්ධියේ කියන්නට පටන් ගෙන ඇත. ප්‍රකට චරිත නොවලහා තමන් මුහුණ පෑ සිද්ධි කියන  විට මහා බලවත් චරිත බවට පත්ව සිටි පුුුරුෂයන් අතිශය ලජ්ජාවට පත්ව ඇත.  

ලෝක බැංකුව මෙම අංශය ගැන අවධානය යොමු කර තිබේ. මෙම පැති සාකච්ඡා කරන පර්යේෂණ පත්‍රිකාවක් නිකුත් කර ඇත. කාන්තාව බලගතු කර වෘත්තීය චරිතයක්, ව්‍යවසායිකාවක් සේ පෙරට දමන්නට පෙරමුණගත් ලෝක බැංකුව අද කාන්තාවන් ට හිරිහැර කිරීම වලකන නීති පනවන සේ ආණ්ඩුවලට බල කරමින් සිටී. කාන්තාව ආර්ථිකයේ කොටසක් කරන ඇයට සමතැන උරුම යැයි කියා සිටි ලෝක බැංකුවම කාන්තාව ආරක්ෂා කරන්නට නීති හදන්නැයි ආණ්ුඩවලට උපදෙස් දෙන්නේ කෙසේද? ශ්‍රී ලංකාව වැනි රටවල නිසි තැන ආරක්ෂා කරගෙන සිටි කාන්තාවන් කර්මාන්ත හා සේවා අංශවල මෙහෙවරට යොමු වී ඇත. අඩුවෙන් වැටුප් ගෙවිය හැකි ලාභ ශ්‍රමය සේ හඳුන්වයි. විවාහක නම් වැටුපට අඩුවෙන් ගෙවන සේවය ස්ථිර කරන්නට මැලි වන තත්ත්වයට පත්ව තිබේ. දරු ප්‍රසූතිය සමග රස්සාව අත්හරිනු ඇත යන යටි අදහස එයට බලපා ඇත. ආර්ථික වශයෙන් දියුණු වල ශ්‍රී ලංකාව, කාන්තාවන්ට ලිංගික අතවර යැයි කියන සමාජ අර්බුදය ගැන හිතන්නේ මොනවාද?

[ගාමිණී සරත් ගොඩකන්ද]

මාතෘකා