හැටගණන්වල හිටිය චණ්ඩි 71දි නැතිවුණා. ඊළඟට හැදුණු අය 89දි නැතිවුණා.

 ඡායාරූපය:

හැටගණන්වල හිටිය චණ්ඩි 71දි නැතිවුණා. ඊළඟට හැදුණු අය 89දි නැතිවුණා.

යාපනය හන්දිය තියෙන්නේ කොහේද? රියැලිටි වැඩසටහනකදී නැත්නම් තරග විභාගයකදී ඒ ප්‍රශ්නය ඇසුවොත්, සීයට අනූ නවයක්ම පිළිතුරු දෙනු ඇත්තේ ‘යාපනයේ‘ යනුවෙනි. එහෙත් තරගකරු අනුරාධපුරයේ කෙනෙකු නිසැකවම අනුරාධපුරයේ යැයි පිළිතුරු ලැබෙනු ඇත. අහන අයට පුදුම හිතුණත්, නිවැරදි පිළිතුරත් ඒකය.

අනුරාධපුර මිහින්තලා පාරෙන් යාපනය දෙසට හැරෙන හන්දිය ‘යාපනය හන්දිය‘ යනුවෙන් හැඳින්වෙයි.

අනුරාධපුර නගරයෙන් මිහින්තලේ, ත්‍රිකුණාමලය, මැදචච්චිය, පදවිය, කැබිතිගොල්ලෑව, වව්නියාව, පාපනය, මන්නාරම හා පුල්මුඩේ දෙසට මෙන්ම කැකිරාව හරහා නුවර පාරට හැරෙන්නේත් යාපනය හන්දියෙනි. තදාසන්න ප්‍රදේශ ගත් විට සාලියපුර, සාලිය මාවත, පූජානගරය, මිහින්තලා පාරේ පිහිටි ගම්මාන ආදිය සම්බන්ධ වන්නේද මේ හන්දියටය.

හැත්තෑ වසරකට පෙර

ඒ හන්දියට ඇත්තේ දිගු ඉතිහාසයකි. එය වසර සියයකට පෙර තිබූ හැටි ගැන කියන්නට ඇසින් දුටුවකු අද නැත.

ඒත් 1950  දසකයේ සිට යාපනය හන්දිය ගැන මතකය අවදි කරන්නට හැකි අයෙක් අදත් ඒ හන්දියේ විසීම සතුටකි. ඔහු  හෙන්රික් එස්. පතිරණ මහතායි. දකුණු පළාතේ ඉපිද හැදී වැඩුණු ඔහු පනහ දසකයේ අග වී මෝල්  අලුත්වැඩියාවේ දක්ෂ කාර්මිකයෙකු ලෙස අනුරාධපුරයට පය ගසා මේ වෙනස් වන නගරයේ අරුමය යුගයෙන් යුගය සිහි බුද්දියෙන් බලා සිටී. ඔහුට මතක ඇති, අදින් හැත්තෑ වසරකට පෙර යාපනය හන්දියේ ඉතිහාස කතාව මහා වංශයේ පරිච්ඡේදයකට වඩා ලොකුය.

‘‘විල්සන් කියන වෙළඳ සමාගම එදා තිබුණා. ඒක 1930 ගණන් වල ආරම්භ කරලා තිබෙන්නේ. අද ‘ග්‍රීන් පැලස්‘ හෝටලය තියෙන තැන ඒ නමින්ම එදාත් හෝටලයක් තිබුණා. විල්සන් ගොඩ නැගිල්ලේ සිල්ලර බඩු , තොග බඩු, රෙදි පිළි වගේ හැම දේම තිබුණු කඩ පේළියක්. එතනම ‘රසීදියා‘ කියලා ලොකු බඩු කඩයක් තිබුණා. වාහන හදන ගරාජ් දෙකක් තිබුණා. බාබර් සාප්පුවක්, සිල්ලර කඩ කීපයක්, ලොන්ඩරියක්, ඉන්ධන පිරවුම්හලක්, යකඩ වැඩපළක්, සතිපොළ වගේ හැම දේම තිබුණා. දුම්රිය ස්ථානය. තිබුණේ නෑ.

ඒ කාලෙ පාර ඉතාම පටුයි. මිහින්තලේ, මාර්කට් පෙදෙස දෙසට පාර, ළඟින් ළඟින් ගස් වැවුණු ලස්සන පරිසරයක්. විදුලිය නෑ. ලොකු කඩ කීපය හැරුණාම අනික් හැම ගෙයක්ම පොල් අතු බැඳපු මැටි ගෙවල්. අක්කර දොළහ හරස් පාරේ හිටියේ දෙමළ පවුල්. කුමාරසාමි මුදලාලි, තම්බි රාසා වාගේ මුදලාලිලාට ලොකු කඩ තිබ්බා.කළු ජූලියෙන් පස්සේ ඒ අය මූණ දුන් තතත්වය මත ඒවා පසු කාලේ විකුණුවා. ඉස්සර සිංහල වගේම දෙමළ පවුල් විශාල සංඛ්‍යාවක් මේ හන්දියේ හිටියා.”

හන්දියේ චණ්ඩි

හැම හන්දියකම පාහේ චණ්ඩියෙක් හිටි කාලයක් තිබිණි. පතිරණ මහතාගේ මතක පොතේද ඔවුන් ගැන ලියැවුණු පිටු තිබේ.

‘‘හැට ගණන්වල අග මේ  හන්දියේ හරියට චණ්ඩි හිටියා. ඔළුවෙන් ගහන ගණන්කාරයෙක් හිටියා. ඌට හැමෝම බයයි. ඕනැම කෙනෙකුට උඩ පැනලා ඔළුවෙන් ගහලා වට්ටනවා. ඒ වගේ දක්ෂ වැඩ කාරයෙක්. නම ආරි. සමහරු කීවේ ‘කුරුලු ආරියා’ කියලා. මිනිහත් එක්ක හිටපු චණ්ඩියෝ කප්පම් ගන්නවා. සමහරු යාපනයේ ඉඳලා එන වාහන වලින්  මුදල් ගන්නවා. නොදුන්නොත් පහර දෙනවා. දවසක් ආරි මගෙන් සිගරැට් පැකට් එකක් ඉල්ලුවා.

මම දෙන්න බෑ කීවා.මම එදා ඇවිත් හිටියේ හමුදාවේ නිලධාරී මහත්තයෙක් එක්ක. මම ඒ දවස්වල ටිකක් කල් හමුදාවේ වාහන  එලෙව්වා. ඒ වෙලාවේ ඒ හමුදා මහත්තයා මගෙන් ඇහුවා මොකද ප්‍රශ්නේ කියලා. මම විස්තරේ කීවා. එදා නම් ආරි හොඳටම හමුදාවේ මහත්තයාගෙන් ගුටි කෑවා.

කළු ජූලිය කාලේ නගරේ ඉඳන් මෙහෙට ගණන්කාරයෝ ආවා කුමාරසාමිලා හොයාගෙන. අපි ඒ අයට කුමාරසාමිලා අල්ලාගන්න ඉඩ දුන්නේ නෑ. අපේ මහගෙර හංගගෙන හිටියා ඒත් ආපු අය කඩයට ගිනි දැම්මා.

මනි ආච්චිගේ ගෙදර  අයත් බේරුවේ අපි. අපි ආච්චිගේ පවුලේ හැමෝම එක්කරගෙන ගියා. ගෙදර නිදන කාමරේ හංගලා තියා ගත්තේ. එතකොටත් චණ්ඩි ආවා. මම උන්ට ‘මැරුම් නොකා පලයොව්’ කියලා බැනලා එලවා ගත්තා. ආච්චිගේ දුව කොච්චර බය වුණාද කීවොත් ඇඳ උඩ ඉන්න බෑ කියලා යටට රිංගුවා.

පනස් ගණන් හැට ගණන්වල හිටපු චණ්ඩි නැති වුණේ 1971 කැරැල්ල කාලේ. ඊට පස්සේ කාලේ බිහිවෙලා හිටපු ගණන්කාරයෝ ටික දෙනා   88-89 භීෂණ කාලේ නැතුව ගියා. දැන් චණ්ඩි නෑ.

ඉස්සර මාර්කට් එකේ ඉඳන් මෙහෙට එනකල් එක දිගටම කරත්ත නවත්තලා. ඒ පොල් අතු වෙළඳාමේ එන අය ආවේ වරකාපොල පැත්තේ ඉඳන්. ඒ අය උයා පිහාගෙන කාලා ඒවා විකුණ ගත්තම යනවා. හැමෝටම ඒ කාලේ පොල් අතු අවශ්‍යයි. මොකද සේරම ගෙවල් පොල් අතු, පිදුරු වහලා හදපුවා නිසා.”

හන්දියේ අතීතය ගැන ඔහු කියන විස්තර, පත්තර ලිපියකට නොව පොතකට වුවද සෑහෙන්නේය. ඔහුගේ ඡායාරූපයක් ගැනීමට ගිය විට අප වැටුණේ ලොකු අමාරුවකය. ඔහු කිසි විටෙක කමිසයක් අඳින්නේ නැත. අඩු තරමේ පින්තූරයක් ගන්නටවත්. ඉතින් අකමැත්තෙන් වුවද ඔහු පෙනී සිටි ආකාරයෙන්ම ඡායාරූපය ගන්නට සිදු විය.

හන්දිය අලුත් කරමු

අද යාපනය හන්දිය අනුරාධපුර ප්‍රධාන නගරයේ පිවිසුම් දොරටුවක් බඳුය. රටේ අනෙකුත් නගරවල මෙන්ම දුරකථන සම්බන්ධ වෙළඳ සැල්, ටියුෂන් පංති, සුපර්මාර්කට්, බියුටි සැලෝන්, ප්‍රයිඩ් රයිස් කඩ ආදිය එහි ඉඩකඩ ක්‍රමයෙන් අත්පත් කරගනිමින් තිබේ. එදා පෙනුණු වෙල් යායවල් අද අවන්හල්වලට වැසී ඇත. තුරු පෙළ වෙනුවට මං තීරු හතරේ මහ මග දිස් වේ.ඒ පාර අයින අනවසර පදික වෙළඳාමෙන් ඉඩ අහුරාගෙන තිබේ.

පැරණි මිහින්තලේ පාරෙන් යා වුණු හන්දියේ සැපයුම් මාර්ගය අනුරාධපුර මාර්කට් පෙදෙසට යා වේ.

එක් වට රවුමකින් මිහිනත්ලේ දෙසටත් අනෙක් වට රවුමෙන් මැදවච්චිය දෙසටත් ලෙස මේ දෙහන්දිය නිර්මිතය. සියයක් තරම් වෙළසැල් බිහිව ඇත. නැත්තේ පාරිසරිකක සුන්දරත්වයයි.

අද යාපනය හන්දිය බාහිර පෙනුමෙන් දියුණු වුවත් එහි සනීපාරක්ෂක පහසුකම් හා  පාරිසරික තත්ත්වය කණගාටුදායක බව අනුර අත්තනායක මහතා පෙන්වා දුන්නේය.

‘‘මම මේ හන්දියට ඇවිත් අවුරුදු විස්සකට වැඩියි. එදා මම ව්‍යාපාරය පටන්ගද්දී තිබුණේ වෙළඳ සාප්පු දහයක් විතර. අද  ගණින්නත් බෑ. එකම දේ තමා එදාත් අදත් මෙතන විධිමත් නෑ. අවලස්සනයි. වට රවුමක් ඉදිවුණා. එත් හන්දිය අවුල්. අවශ්‍ය නාම පුවරුවක් හරියට පෙනෙන්නේ නෑ. පදිකවේදිකා, බස් නැවතුම් ආදි කිසිවක් පිළිවෙළකට නෑ.”

වෙළඳ ව්‍යාපාරයක නියැළි උපතිස්ස ගුණවර්ධන මහතාද එය අනුමත කළේය. ‘‘මේක නගරයට පිවිසෙන දොරටුව. පිට පළාතක කෙනෙක් ආවාම, විදේශිකයෙක් ආවාම ලැජ්ජා නොහිතෙන විදියට මෙතෙන හැදෙන්න ඕනෑ” ඔහු පැවැසුවේය.
හන්දියෙන් සිව් දිශාවට ඇති බස් නැවතුම් අනාරක්ෂිත හා මගී තදබදය උග්‍රවන ආකාරයට පිහිටා තිබීමත් පදික වෙළඳාම ආශ්‍රිත තැන් ක්‍රමවත් කිරීමේ අවශ්‍යතාවත් උදිත හේමචන්ද්‍ර මහතා කියයි. හන්දිය ආසන්නයේම
ඇති නගරයේ විශාලතම ආදර්ශ පාසල වන මහින්ද විද්‍යාලයට සුදුසු වවටපිටාව හන්දියේ නිර්මාණය විය යුතු බවද ඔහු කියයි.

“බස් නැවතුම්, තැබෑරුම්, කහ ඉරි, මාළු කඩ මේ සියල්ලම එක ගොඩේ. මේවා විධිමත්ව ස්ථානගතකිරීම අවශ්‍යයි. කාලීනව ගැළපෙන ආකරයේ වැසිකිළි පද්ධතියක් සුදුසු තැනක නිර්මාණය කරන්න ඕනෑ. ප්‍රධාන නගරය ආශ්‍රිතව ක්‍රියාත්මක වන සංවර්ධන ව්‍යාපෘති කෙරෙන විට යාපනය හන්දියක් ඒකට ඇතුළු කරලා හොඳ නගර සැලසුමක් ගෙන ඒම වහා කළ යුතු  දෙයක්” යි උදිත මහතා කීවේය.

සටහන/ඡායා [සරත් මනුල වික්‍රම]

මාතෘකා