කාන්තාව පිළිබඳ පිරිමින්ගේ අවිඥානය

 ඡායාරූපය:

කාන්තාව පිළිබඳ පිරිමින්ගේ අවිඥානය

පෙරේදා රාත්‍රී ජාතික රූපවාහිනියේ පැවැති දේශපාලන සංවාදය වැදගත් වූයේ එහි සාකච්ඡා නිමිත්ත නිසාම නෙවෙයි. ඊට සහභාගි වූ එක්සත් ජාතික පක්ෂයේ නගරාධිපති අපේක්ෂක රෝසි සේනානායක පිරිමින්ට දුන් කදිම උත්තරයක් නිසාය.

ජනතා විමුක්ති පෙරමුණේ නගරාධිපති අපේක්ෂක වෛද්‍ය රනිල් ජයසේන අදහස් දක්වමින් රෝසි සේනානායකගේ ගුණ වයන්නට යමින් "රෝසි මහත්මිය තවමත් ලස්සනයි" යැයි කීය. ඊට ශ්‍රීලනිප නගරාධිපති අපේක්ෂක අසාත් සාලි අලගු තැබීය.

එහෙත් නොපමාව ඊට තම අකැමැත්ත ප්‍රකාශ කළ රෝසි සේනානායක නිසා වෛද්‍ය රනිල් ජයසේනට සිදු වූයේ මහත් අබග්ගයකි. ඔහු වහා කීවේ "නෑ. මං ඒක කිව්වෙ හොඳ හිතින්" යන්නයි. ඒ අවස්ථාවේ දී ශ්‍රී ලංකා පොදුජන පක්ෂයේ නගරාධිපති අපේක්ෂක මිලින්ද  රාජපක්ෂද මැදිහත් විය.

ප්‍රසිද්ධ සභාවකදී කාන්තාවකට ලස්සනැයි කීම පිරිමි විනෝදාංශයකි. එහි යම්කිසි අහිංසක ස්වභාවයක්ද තිබේ. එහෙත් ඒ අහිංසක ස්වභාවය යටපත් වී ලාංකික පිරිමියාගේ ගූඨ අවිඥානය අවදි වෙන අවස්ථාව බහුලය. මීට පෙර පාර්ලිමේන්තුවේදී කුමාර් වෙල්ගම විසින් රෝසි සේනානායක අගයමින් ඇගේ ලස්සන කතා කරන්න ඉදිරිපත් වූයේ සිංහල බෞද්ධ සමාජයේ ඒ ගූඨ අවිඥානික අශ්ලීලභාවය නිසාය.

එවැනි පිරිමි කරන්නේ තම සැබෑ ජීවිතයේදී තම සයනයට ගෙන්වා ගැනීමට නොහැකි කාන්තාවන් ෆැන්ටසිමය ලෙස තම අභිමතාර්ථයන් සඳහා යොදාගැනීමයි. එය කෙතෙක් අශ්ලීල වුවත් කොළඹ නාගරික අවකාශයේ පවා කාන්තාවක ලස්සනැයි පිරිමින් විසින් ප්‍රසිද්ධියේ ඇගයීම එතරම් ගණන් ගන්නේ නැත.

කාන්තාවකගේ ලස්සන ගැන කතා කිරීම තාර්කිකය. සාහිත්‍යයේදී එය ඕනෑ තරම් සිදු කරයි.  පුරුෂයා හා ස්ත්‍රීය අතර අනවරතව සිදු වෙන අන්‍යෝන්‍ය බැඳීමේදී කාන්තාව ලස්සන යැයි පුරුෂයා විසින් වදන් ලෑම මහා ලෝකයට අපරාධයක් නොවේ. එහෙත් ඒ සෑම තැනම පුරුෂයා කඩවසම් යැයි කියන්නට කාන්තාවටද නිදහස ලැබේ. නමුත් "රෝසී ලස්සන" යැයි ප්‍රසිද්ධ සභාවල කටමැත දොඩවන පිරිමි පෙරළා කාන්තාවක විසින් "ඔයා හරි කඩවසම්" යැයි පිරිමියකුට කිවහොත් කෙසේ හැසිරේවිද?පෙරේදා රාත්‍රී රූපවාහිනී සාකච්ඡාවේදීම රෝසි සේනානායක වැරදිලාවත් අසාත් සාලිට "ඔයා හරි ස්මාර්ට්" යැයි කීවා නම් හෝ "ඔයාගෙ රැවුල මාරයි" කිව්වා නම් හෝ වෛද්‍යාචාර්යතුමා දුවනු ඇත්තේ සදාචාරවාදී රැහැන්පට උඩ දමමිනි. නමුත් "රෝසි මහත්මිය තවමත් ලස්සනයි" කී විට එයට එල්ල වූ විරෝධය හමුවේ වෛද්‍ය ජයසේන පල්ලම් බැස්සේ "නෑ. එහෙම මම කිව්වෙ හොඳ හිතින්" යැයි කියමිනි.

කාන්තාවකට "ඔයා හරි ලස්සනයි" යන්න හෝ පිරිමියකුට "ඔයා හරි කඩවසම්" යැයි කියන්නට හෝ අයිතියක් නැතැයි නොහැඟවේ. එසේ කියන්නට ඇති අයිතිය මත ශෘංගාරය ඇති වේ. ඒ ශෘංගාරය මත මිනිස් ශිෂ්ටාචාරය තම පැවැත්ම නිර්මාණය කර ගනී. නමුත් මෙහිදී ප්‍රශ්නය ඇත්තේ "ඔයා හරි ස්මාර්ට්" යැයි කාන්තාවක විසින් පිරිමියකුට ප්‍රසිද්ධ සභාවකදී කිවහොත් ඈ පරම්පරාගත වෙසඟනක තත්ත්වයට ඇද දමන්නට සිංහල බෞද්ධ පිරිමින් ඉදිරියට එන නිසාය.

සිංහල බෞද්ධ සමාජයේ භාෂා භාවිතයේ නිර්මිතිය පවා පුරුෂ කේන්ද්‍රීයය. ලස්සන, ආකර්ෂණය, හැඟීම වැනි වියුක්ත දෑ සංයුක්ත කරන්නේද පිරිමි නිර්මිතියකිනි. මේ සියල්ල පුරුෂාධිපත්‍යයට යටත්ය. මේවා පුරුෂ කේන්ද්‍රීය අදහස් පවා ගැමි ගොවි සමාජයට ඇතුළු වූ පසුව තේරුම් ගත නොහැක. ගැමි ගොවි සමාජයේ අවිඥානයේ ඇත්තේ ගැහැනුන් සිටින්නේ පිරිමි අවශ්‍යතා තෘප්ත කිරීමට පමණක් සඳහා බවය. ඒ නිසා වෛද්‍ය රනිල් ජයසේන කියන පරිදි ඔහු විසින් රෝසි සේනානායකට "ඔයා තාමත් ලස්සනයි" කියා රූපවාහිනී සජීවී වැඩසටහනකදී කියන්නට ඇත්තේ අවංකවම විය හැකිය. එහෙත් එය සිංහල බෞද්ධ සමාජයේ පුරුෂ කේන්ද්‍රීය අවිඥානය බව වෛද්‍යවරයාටම තේරෙන්නේ නැත.

මහේශාක්‍ය දේශපාලන හරඹයන්ට වඩා ක්ෂුද්‍ර දේශපාලන සිතුවිලි වැදගත් වන්නේ මේ නිසාය. පළාත් පාලනයේදී පවතින අධිපති දේශපාලනය පරාජය කළ යුත්තේ කුණු ටික ඇදගැනීමට හෝ ඩෙංගු වළක්වා ගැනීමට හෝ පමණක් නොවේ. සමහර ආකල්පමය වෙනස්කම් සඳහා අලුත් දේශපාලන ව්‍යුහයක් හා ආකෘතියක් අවශ්‍ය වේ. ධනපති දේශපාලනය මෙන්ම සමාජවාදී දේශපාලනයද එකට භුක්ති විඳින්නේ පසුගාමී ආකල්පමය චින්තන ආකෘතියකි. ඒ නිසා පුරුෂ කේන්ද්‍රීය සමාජ ආකෘතිය ඉක්මවා යෑමට කිසිවෙකුට නොහැකිය. සියලු දෙනා කෑමොර දෙමින් සෙක්කුවේ ගමන් කරන්නේ මේ යල්පැනගිය චින්තනමය ව්‍යුහය වටාය. එය පෙරළා දමා අලුත් දේශපාලන ආකෘතියක් නිර්මාණය කර ගැනීම මේ යුගයේ අභියෝගයයි. ඒ අලුත් දේශපාලන අවකාශය නිර්මාණය වන තුරු කාන්තාවක දුටු තැන සියල්ල අමතක වී ප්‍රසිද්ධ සභාවකදී වුවද කෙළ හළමින් "ඔයා ලස්සනයි" යැයි පිරිමි කියනු ඇත.

[කේ.ජී.පිලිප්  ශාන්ත]

මාතෘකා