ඉගෙනුම් පා-තාලයේ නව තාලය | ඇස පාදන රැස


ඉගෙනුම් පා-තාලයේ නව තාලය

 ඡායාරූපය:

ඉගෙනුම් පා-තාලයේ නව තාලය

ශ්‍රීලංකාවේ අධ්‍යාපන ක්‍ෂේත්‍රය පිළිබඳව අවධානය යොමුකිරීමේදී මෑත කාලීනව අපට කැපීපෙනෙන අයුරින් වර්ධනය වී ඇති අයහපත් ප්‍රවණතාවක් පිළිබඳ සළකුණු දක්නට ලැබේ. එනම් අධ්‍යාපනය ලැබීම සඳහා පෙළඹෙන පිරිමි පාර්ශවයේ ප්‍රමාණය සංඛ්‍යාත්මක සහ ප්‍රතිශතාත්මක වශයෙන් වසරින් වසර පහළ අගයක් වාර්තා වීමයි. මෙම තත්ත්වය ප්‍රාථමික අධ්‍යාපනය අවසන් වීමෙන් පසු ආරම්භව ද්විතීයික අධ්‍යාපනයේ සිට ක්‍රම ක්‍රමයෙන් වර්ධනය වන අයුරුද මෙයට සාපේක්‍ෂ ලෙස කාන්තා පාර්ශවයේ අධ්‍යාපනය ලැබීමේ ප්‍රවණතාව වසරින් වසර  වර්ධනයක් හිමිකර ගන්නා අයුරුද දක්නට ලැබේ.

අධ්‍යාපනය සඳහා බළපාන ආර්ථික සහ අනෙකුත් ගැටළු

වර්තමාන ලෝක ආර්ථික ක්‍රමයට ගැළපෙන දැනුමින් සහ හැකියාවෙන් යුතු වෘත්තිකයෙකු අපගේ අධ්‍යාපන ක්‍රමය තුළින් බිහිකරන්නේද යන ගැට`ඵව පිළිබඳව බොහෝ විද්වතුන් පසුගිය කාලසීමාව තුළ විවිධ අවස්ථාවලදී ප්‍රශ්න නැගූ ආකාරය ඔබ අප දන්නා කරුණකි. මෙම තත්ත්වය තුළ අද වනවිට රටේ තරුණ පිරිස් තුළ දැනට ක්‍රියාත්මක අධ්‍යාපන ක්‍රියාවලිය සම්බන්ධයෙන් විශ්වසනීයත්වය බිඳී ගොස් ඇති අයුරු අපගේ නිරීක්‍ෂණයට ලක්විය. විශේෂයෙන්ම සාම්ප්‍රදායික අධ්‍යාපන ක්‍රමවේදයන් තුළ කිසිදු උත්තේජනයකින් යුක්තව සිදුකරණ ඉගැන්නුම් ක්‍රියාවලිය බොහෝසෙයින් අධ්‍යාපනයේ ඇති නීරස බව ඔවුන්ගේ මනස තුළට බහාලනු ලබයි. මේ ක්‍රියාවලිය ලංකාවේ සමස්ත අධ්‍යාපන ක්‍රියාවලිය තුළම දකින්නට ලැබෙන්නකි. මෙයට අමතරව විශ්ව විද්‍යාල අධ්‍යාපනය සඳහා තරුණයන් යොමු නොවීමට බලපෑ හේතූන් අතර විශ්වවිද්‍යාල අධ්‍යාපන කාලය යනු වටිනා කාලයක් විනාශකර දැමීමක් ය යන මතය සමාජය තුළ ගොඩනැගී තිබීම ද හේතුවක් වී ඇත.

මේ නිසා වර්තමාන තරුණයන් උසස් අධ්‍යාපනය කෙරෙහි යොදවන කාලය ඔවුන් සලකනු ලබන්නේ අනවශ්‍ය කාලය වැයකිරීමක් වශයෙනි. මෙය විවිදාපන්න කරුණකි. නමුත් මෙයින් ගම්‍යමාන වන යම් සත්‍යතාවයක් ඇත. එනම් ලංකාවේ අධ්‍යාපන ක්‍රමය තුලින් ඔවුන්ගේ ජීවිත සුරක්ෂිත නොකරන්නේය යන හැඟීම ඔවුන්ගේ සිත් තුළ රෝපණය වී ඇති බවයි. මේ හේතුව නිසා බොහෝ තරුණයන් ඉතා ඉක්මනින් මුදල් සොයායාමේ කාර්යයන් සඳහා පෙළඹීම සාමාන්‍ය තත්ත්වයකි. මේ සඳහා හොඳම විකල්පය විදේශ රැකියාවන් සඳහා යොමුවීමයි. මේ සඳහා අද වනවිට සමාජයේ විශාල අවකාශයක් නිර්මාණය වී තිබීම මෙය තමන්ගේ ජිවිතය ජයගැනීමට ඇති එකම මාර්ගය ලෙස සිතීමට පොළඹවනු ලබන්නකි. ජනමාධ්‍ය මඟින් නිරන්තරව ඇතිකරණු ලබන පෙළඹවීමද මෙයට වක්‍රාකාරයෙන් බලපා ඇත. අනෙක් කරුණ වන්නේ මේ ක්‍රමවේදය තුළ නිර්මාණශීලී පුරවැසියෙකු, නව නිපැයුම්කරුවකු නැතහොත් ව්‍යවසායකයකු  බිහිවීම වළකා අනුන් මත යැපෙන්නෙකු බිහිවීමයි. මෙම තත්ත්වය රටක් වශයෙන් සංවර්ධනය අපේක්‍ෂාවෙන් යන ගමනට විශාල බාධකයන් වනු නොඅනුමානය.

පරිගණක වහල්භාවය

අද සමාජය තුළ පවතින්නාවූ විවිධ වූ පරිගණක සහ නවීන තාක්‍ෂණික ක්‍රීඩා මෙන්ම ඇතැම් සමාජයීය පරිසරයන් ද මෙම තත්ත්වය වර්ධයන කරලීමෙහි ලා විශාල වශයෙන් බලපා ඇත. මෙහිදී සමාජයේ බහුල වශයෙන් ව්‍යාප්ත වී ඇති තාක්‍ෂණික ක්‍රීඩා දරුවන් අධ්‍යාපනයේන් දුරස්කරලීම සඳහා බෙහෙවින් ඉවහල් වී ඇත. මේ ක්‍රීඩාවන් අද වනවිට පහසුවෙන් අතෙහි ගෙනයා හැකි ජංගම දුරකථන, ටැබ් ආදිය සඳහාද ගබඩා ගරගතහැකි හෙයින් ඇතැම් අවස්ථාවල දෛනික කාර්යයන් පවා අතපසු කරගනිමින් මෙම ක්‍රීඩාවන්හි නිරතවන ආකාරයක් අපට දක්නට ලැබේ. මේ අයුරින් මෙම ක්‍රීඩාවන් වෙත අධික ලෙස ආකර්ෂණය වීම තුළ දෛනික දිවියේ විවිධ වු අර්බුද නිර්මාණය කරලීමට පවා මේ තත්ත්වය වර්ධනය වී ඇති අයුරු දක්නට ලැබේ.

සම්ප්‍රදායික පවුල් ආකෘතියේ වෙනස්වීම

අද වනවිට ලාංකීය සංස්කෘතියට දුරස්ථ වූ රටවල සංස්කෘතීන් සමාජය මත රෝපණය කිරීමට බොහෝ මාධ්‍ය මඟින් ගනු ලබන උත්සාහය නිසා අද වනවිට ලාංකීය පවුල් සංස්ථාව දියවී යාමේ තත්ත්වයට පත්ව ඇති ආකාරය අපට දකින්නට ලැබෙන්නකි. මෙය ප්‍රධාන වශයෙන් සිදුවන්නේ රූපවාහිනී මාධ්‍ය මඟින් විකාශනය කරනු ලබන විදේශීය මෙගා නාට්‍ය මගිනි. මෙම නාට්‍ය මගින් විශේෂයෙන් ලාංකීය කාන්තාවන් ප්‍රබල ලෙස ග්‍රහණය කරගෙන ඇති ආකාරය අපට අත්දැකීමට ඇති කරුණකි. මෙමඟින් පවුල තුළ විශේෂයෙන් මව සහ දරුවන් අතර විශාල පරතරයක් ඇතිකර ඇති ආකාරය අපට දකින්නට ලැබේ. මේ හේතුව නිසා බොහෝ දරුවගේ අධ්‍යාපන ජිවිතය වගේම පෞද්ගලික ජීවිතය පවා අසාර්ථකත්වය පත්වන අවස්ථා අපට අසන්නට දකින්නට ඇත.

ත්‍රි රෝද රථ සංස්කෘතියේ බලපෑම

පහත දක්වා ඇත්තේ 1990 වර්ෂයේ සිට 2016 වර්ෂය දක්වා වූ වසර 26 ක කාලය තුල මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් මෙරට ලියාපදිංචි කළ ත්‍රි රෝද රථ සංඛ්‍යා පිළිබඳ දත්තයන්ය.
මෙය දැකීමේන් ඔබට අපේ රටේ ත්‍රි රෝද රථ සඳහා ඇති විශාල ඉල්ලුම අවබෝධ කරගත හැකිය. අපගේ සමීක්‍ෂණ කාර්යය සඳහා යොදාගත් වසර 27 ක කාලය තුළ එක් එක් වසර වලදී විශ්ව විද්‍යාල අධ්‍යාපනය සඳහා සුදුසුකම් ලැබ ඒ සඳහා ඇතුළත් නොවූ පිරිමි සිසුන්ගේ සංඛ්‍යාව සහ එම වසරේ සිට මෙරට ලියාපදිංචි කරණු ලැබූ ත්‍රි රෝද රථ සංඛ්‍යාවන් සන්සන්දනය කරමින් සකස් කළ වාර්තාවකට අනුව 1989/90 කාල සීමාවේ සිට එම සිසුන්ගේ වර්ධනයත් සමඟ ත්‍රිරෝද රථ ලියාපදිංචි වීමේද වර්ධනයක් දක්නට ලැබෙයි.

2000 වර්ෂයෙන් පසුව ත්‍රිරෝද රථ ලියාපදිංචිය ඉතා සීග්‍ර ආකාරයෙන් වර්ධනයක් අත්කරගෙන ඇති අයුරුද දක්නට ලැබේ. මෙයින් අපට උපකල්පණය කළ හැකි කරුණක් වන්නේ 2000 වසරෙන් පසුව උසස් පෙළ විභාග සුදුකමවත් සම්පූර්ණ නොකළ විශාල තරුණයන් පිරිසක් ත්‍රි රෝද රථ රියදුරු වෘත්තිය වෙත පිවිස ඇති බවයි.

රටක වර්ධනය සඳහා ඉතා ප්‍රබල දායකත්වයක් සහ මැදිහත්වීමක් ලැබිය යුත්තේ එම රටේ තරණ ප්‍රජාව වෙතිනි. නමුත් අද වනවිට සමාජයේ ව්‍යාප්තව ඇති මෙම ත්‍රිරෝද රථ සංස්කෘතියද තරුණයන් බොහෝවිට අධ්‍යාපන ක්‍රියාවලියෙන් බැහැර කරලීමෙ සඳහා බලපා ඇති කරුණක් බවට පත්ව ඇත. සිරුර හෝ මනස වෙහෙසීමකින් තොරව ඉතා පහසුවෙන් මුදල් ඉපයීමේ හැකියාව ඇති මෙම වෘත්තිය රටේ නිෂ්පාදන කාර්යය සඳහා දායක කරගතයුතු ශක්තිය අපතේ යවන්නක් ලෙස හැඳින්විය හැකිය. මෙයට අමතරව නිසි අධ්‍යාපනයක් නොලැබ බොහෝදෙනෙකු මෙම රැකියා සඳහා යොමුවීම තුළ අද වනවිට විවිධ සමාජ විරෝධී ක්‍රියාවන් සඳහා මෙම ක්‍ෂේත්‍රය විවෘත වී ඇති අකාරයක් දක්නට ලැබේ. මෙවැනි තත්ත්වයන් ව්‍යාප්ත වීම සඳහාද මේ නව ත්‍රීවිල් සංස්කෘතිය හේතු වී ඇති බවත්, අද වනවිට එය සමාජ පිළියක් බවට පත්ව ඇති බවත් විවිධ සමාජ නිරීක්‍ෂකයන් විසින් වාර්තා කර ඇත.

අධ්‍යාපනය නොලැබීම හේතුවෙන් ඇතිවන ගැටළු මොනවාද

අධ්‍යාපනය නොලැබීම තුළ මිනිසාගේ විමර්ශනශීලීව කටයුතු කිරීමේ හැකියාව ගිලිහීයාම නොඉවසිලිවන්ත බව අන්මත නොඉවසීම, අධික මමත්වය ආදී සමාජානුයෝජන ක්‍රියාවලියේදී වැදගත්වන සාරාර්ථ රැසක් අහිමි වේ. කාන්තාවන් ඉහළ අධ්‍යාපනය ලැබීමට පෙළඹීම සහ පුරුෂයන් එම කාර්යයෙන් විතැන්වීම තුළ මේ දෙදෙනා අතර ඇතිවන අසමතුලිත බව පවුල් සංස්ථාවක් පවත්වාගෙන යාමේදී ගැටුම් ඇතිකරලීම සඳහා හේතුවේ මේ හේතුව නිසා පවුල ගම, රට වශයෙන් පමණක් නොව ලෝකයක් වශයෙන් විශාල අර්බුදකාරී තත්ත්වයන්ට පත්ව ඇත.

[එරන්ද අමල් ගොඩගේ]

මාතෘකා