'ලසන්ත ඝාතනය දිගින් දිගටම වෙන පැත්තකට ගියා'

 ඡායාරූපය:

'ලසන්ත ඝාතනය දිගින් දිගටම වෙන පැත්තකට ගියා'

ඒකාබද්ධ මෙහෙයුම් මූලස්ථානයේ  හිටපු අධ්‍යක්ෂ (ක්‍රියාන්විත) මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කුමා හේරත්

ඔබත් එක්ක අපි මේ සම්මුඛ සාකච්ඡාව කරන්නෙ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරියේ කටඋත්තර ලබා දුන් යුද හමුදාවේ ඉහළම නිලධාරියෙක් කියන හේතුව මතයි.

මුලින්ම ඔබව හඳුනාගන්න  ඕනෙ. ලසන්ත වික්‍රමතුංගව ඝාතනය කරන කාලෙ ඔබ යුද හමුදාවෙ කවුද?
ඒකාබද්ධ මෙහෙයුම් මූලස්ථානයේ අධ්‍යක්ෂ, ක්‍රිියාන්විත.

ඊට කලින් කොහෙද හිටියෙ?
වැලිකන්ද බ්‍රිගේඩ් කමාන්ඩර්.

කොයි කාලෙ ද ඒකාබද්ධ මෙහෙයුම් මූලස්ථානයේ ඔය තනතුරට ගියෙ?
2005 ඉඳලා අවුරුදු පහක් එතැන රාජකාරි කළා. මානුෂීය මෙහෙයුම ඉවර වෙනකම් මම තමයි අධ්‍යක්ෂ ක්‍රියාන්විත හිටියෙ.

හමුදාවට ආවෙ?
1979 අප්‍රේල් මාසෙ.

ඔය තනතුරට යනකොට නිලය?
බ්‍රිගේඩියර්.

රෙජිමන්ට් එක?
සිග්නල්ස්, කමියුනිකේෂන්.

හරි, දැන් කාරණේට යමු. ලසන්ත වික්‍රමතුංගව මරන කොට ඒකාබද්ධ මෙහෙයුම් මූලස්ථානයේ ඔබට ඉහළින් හිටියෙ කවුද?
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී එයාර් චීෆ් මාර්ෂල් ඩොනල්ඞ් පෙරේරා.

මේ සිද්ධියට අදාළ ව දැන් සීඅයිඞී එකට කීපාරක් ගියා ද?
මගෙන් කටඋත්තර ගන්න කලින් දෙපාරක් ගියා. ඔක්කොම තුන්පාරයි.

හරි, මොනවද ලසන්ත ඝාතනය ගැන ඔබ දන්නෙ?
මට ඔය පණිවිඬේ දුරකතනයෙන් කිව්වෙ මගේ ඉහළ නිලධාරියා, ඒ කියන්නෙ හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ඩොනල්ඩ් පෙරේරා.

ඩොනල්ඩ් පෙරේරා හරියටම මොකක්ද කිව්වෙ?
මනෝ පෙරේරා කියනවා ලසන්ත වික්‍රමතුංග කියලා ජර්නලිස්ට් කෙනෙක් උල් ආයුධයකින් ඇනලා මරලා කියලා. මනෝ පෙරේරා කියන්නෙ එතකොට බස්නාහිර පළාත් හිටපු ආඥාපති.

ඔය කියපු වෙලාව?
ලසන්ත මැරුවා කියලා පස්සෙ මම දැනගත්තු හරි වෙලාවට ඉතාම ආසන්න වෙලාවක. ඒක මම සීඅයිඞී එකට නිශ්චිතව කිව්වා. අනෙක හැමදාම උදේට ඒකාබද්ධ මෙහෙයුම් මූලස්ථානයේ කාර්ය මණ්ඩල රැස්වීමක් තියෙනවා. ඒක අට හමාරෙ ඉඳලා පැයක් විතර තියෙනවා. ඒක ඉවර වුණු ගමන් තමයි මේ පණිවිඩේ ඩොනල්ඩ් පෙරේරා කිව්වෙ.

ඔබේ මතකය හොඳයි නේද, ලසන්ත ව මරලා දැන් අවුරුදු අටක්?
මගේ මතකය හොඳයි. ඒක සීඅයිඞී එකේදි ඩොනල්ඩ් පෙරේරාත් කිව්වා, කුමා කියනවා නම් හරි වෙන්න  ඕනෙ කියලා.

ඇයි ඔබ මේ ගැන කියන්න අවුරුදු අටක්ම ප්‍රමාද කළේ, එහෙම නැත්නම් දැන් නින්දෙන් නැගිට්ටා වගේ කියන්නෙ?
හොඳ ප්‍රශ්නයක්. ඒක මට අදාළ වුණේ නෑ. ඒකාබද්ධ මෙහෙයුම් මූලස්ථානය සම්පූර්ණයෙන්ම අවධානය යොමු කළේ උතුරු-නැගෙනහිර සිද්ධි වලට. දකුණෙ ඒවා බලන්න පොලීසිය ඇතුළු කණ්ඩායම් ගොඩක් තිබුණා.

ඒත් ඔබ දන්න දේ නොකියපු එක වැරදියි?
අදාළ නැති දේවල් වලට අත දාන්න  ඕනෙ නෑනෙ. අනෙක එහෙම අතදාන්න වෙලාවක් තිබුණෙත් නෑ. අධ්‍යක්ෂ ක්‍රියාන්විත විදිහට මට හැම වෙලාවෙම රාජකාරි තිබුණා.

තවත් ඝාතන සිද්ධ වුණා නෙ. ඒවා ගැනත් කතා වෙන්න ඇති නෙ. ඇයි ඔබ ඒවා නොකියන්නෙ?
මෙහෙමයි, ලසන්ත වික්‍රමතුංග ගෙ කතුවැකිය මං හැම සතියෙම කියෙව්වා. ඔහුගෙ භාෂාව හැසිරවීම විශිෂ්ඨයි. ඇත්තටම ඒ නිසා මං මේ සිද්ධිය ගැන ටිකක් හෙව්වා. පස්සෙ දිගටම මේක වෙනත් පැත්තක යන නිසා මං දන්න දේ සීඅයිඞී එකට කියන්න තීරණය කළා. ඒකයි වුණේ.

හරි. ඩොනල්ඩ් පෙරේරා තව මොනවා හරි කිව්වද?
නෑ. ටිකක් බලන්න කිව්වා, එච්චරයි. මොකද දකුණෙ හුඟක් සිදුවීම් අපි දැනගත්තෙත් ටීවී එකෙන්. අපේ අවධානය තිබුණෙ උතුරු-නැගෙනහිරට. මේක විතරයි ටීවී එකේ යන්න කලින් ඒකාබද්ධ මෙහෙයුම් එකට ආවෙ.

ඩොනල්ඩ් පෙරේරා කියපු ඔය කතාවෙන් ඔබ මතුකරන්න හදන තර්කය මොකක්ද?
මෙහෙමයි, සීඅයිඞී එකත් ලසන්ත ව මැරුවෙ උලකින් ඇනලා කියලා තහවුරු කරගත්තෙ මෑතකදි බොඩි එක ගොඩට අරන්. ඒත් ලසන්ත මරපු වෙලාවෙම ඒ පණිවිඩය හරියටම මරපු විදිහත් එක්කම අපිට ආවා. මං කියන්නෙ ඒ ඔස්සේ හොයාගෙන යන්න. එච්චරයි.

ඩොනල්ඩ් පෙරේරාගෙන් ප්‍රශ්න කළා නෙ?
ඔව්. මං මේ තොරතුර දීලා මාස ගණනාවකට පස්සෙ මනෝ පෙරේරාගෙනුත් ප්‍රශ්න කළා. ඒත් මනෝ පෙරේරා කියන්නෙ එහෙම එකක් ගැන මතක නෑ කියලා. ඩොනල්ඞ් පෙරේරා යම් ආකාරයකට ඒක තහවුරු කරනවා.

පෙරේරලාගෙ ප්‍රශ්නයක්?
ඔව්. හරියට හරි. තව පෙරේරා කෙනෙක් ඉන්නවා. ඒ තමයි අරුණ පෙරේරා. එයා හිටියෙ කොළඹ භාර ආඥාපති විදිහට. මනෝ පෙරේරා කියන්නෙ අරුණ කියන්න ඇති කියලා. ඒත් තාම අරුණගෙන් ප්‍රශ්න කරලා නෑ. ඒ විතරක් නෙමෙයි මේ දෙන්නා දැනගන්නවා කියන්නෙ ඒකෙ මූලික තොරතුර දන්නෙ කැප්පිටිවලාන. එයා තමයි ග්‍රවුන්ඞ් එකේ හිටියෙ. එයා ව මුලින් අත්අඩංගුවට ගත්තා. මතක ඇති.

ලසන්ත වික්‍රමතුංග, ප්‍රගීත් එක්නැලිගොඩ, කීත් නොයාර්, උපාලි තෙන්නකෝන් කියන මාධ්‍යවේදීන්ගෙ ඝාතන, පැහැරගැනීම් සහ පහරදීම් වලට හමුදාවෙ විවිධ අංශ සම්බන්ධයි කියලා දිගටම චෝදනා එල්ලවෙමින් තියෙනවා. ඇත්තටම මොනවද වුණේ?
මෙහෙමයි, ඔය කාරණා තවම තහවුරු වෙලා නැති නිසා මොකුත් කියන්න බෑ. ඒත් වැරදි කරලා තියෙනව නම් විධිමත් පරීක්ෂණ වලින් පස්සෙ ඒවට අදාළ දඬුවම් ලැබෙන්න  ඕනෙ.

ඔබ මතුකරන තර්කයේ අවසානයත් යන්නෙ හමුදාව පිටින් නෙ?
වෙන්න පුළුවන්. ඒත් පරීක්ෂණ අවසන් වන තුරු ඒක කියන්න බෑනෙ.

ඔබ කියන විදිහට ඊළඟ දවසෙ තිබුණු ඒකාබද්ධ මෙහෙයුම් මූලස්ථාන රැස්වීමෙදි ඔය ගැන ඩොනල්ඩ් පෙරේරා කතා කළා ද?
නෑ. වචනයක්වත් කතා කළේ නෑ. එතැනදි කොහොමත් කතා කරන්නෙත් නෑ, පහළ නිලධාරීන් ඉන්න නිසා.

එතකොට ඉහළ නිලධාරීන්ගෙ වෙනම රැස්වීමකුත් ඇති නෙ?
ඒක තියෙන්නෙ හැම අඟහරුවාදාම ආරක්ෂක අමාත්‍යංශයේ. යුද, නාවික, ගුවන් හමුදාවල ප්‍රධානීන් එනවා, පොලිස්පති එනවා. බුද්ධි අංශ ප්‍රධානීන් එනවා.

එතැනදි ලසන්ත ඝාතනය ගැන කතා වෙන්න ඇති?
වෙනදා නම් ඔහොම සිද්ධියක් වුණහම ඒ ගැන සෑහෙන්න අදහස් පළ වෙනවා. චෝදනා එල්ල වෙනවා. ඒත් මේක ගැන කතා වුණේ නෑ. මට හොඳට මතකයි, රාජ්‍ය බුද්ධි අංශයේ ප්‍රධානී කීර්ති ගජනායකගෙ දෙවැනියා වගේ හිටපු පොලිස් අධිකාරිවරයෙක් වුණු ඩූල් විතරක් ඒ ගැන එක වාක්‍යයක් කිව්වා. එච්චරයි.

මොනවද ඩූල් කිව්වෙ?
මට මතක විදිහට ලසන්තව මරලා වගේ බොහොම පොඩි වාක්‍යයක්.

ඒකට කවුරුත් වෙන අදහස් එකතු කළෙත් නෑ?
නෑ. ඊට පස්සෙ කතාව වෙන පැත්තකට ගියා.

අද මේ කියන කාරණය දැනගෙන හිටපු ඔබවත් ඇයි කතා නොකළෙ?
එතැන හිටපු ආරක්ෂක ප්‍රධානීන් කතා කළේ නෑ. ඒක හින්දා මං කතා කළෙත් නෑ. අනෙක ඒක මට අදාළ ක්ෂේත්‍රයකුත් නෙමෙයි නෙ.

ඔය රැස්වීම් වල වාර්තා කොහෙ හරි තියෙනවද?
ඔව්. ආරක්ෂක අමාත්‍යංශෙ තියෙනවා. ඒ කාලෙ පුරාම ඒ වාර්තාව හදන එක භාර වෙලා තිබුණෙ මට. හුඟක් වෙලාවට පිටු අටක-දහයක විතර වාර්තාවක් හැදෙනවා. ඊට පස්සෙ ඒ රැස්වීමෙන් ගන්න තීරණ අනෙක් අංශ වලට දැනුම් දීමේ වගකීම තිබුණෙත් මට.

අපි ආපහු කතාවට යමු, ඔබට ඩොනල්ඩ් පෙරේරා මේ කතාව කිව්වෙ දුරකතනයෙන්. ඔහුගෙ ඔෆිස් එකට ගිහිල්ලා වැඩි විස්තර අහන්න තිබුණ නෙ?
ඇහුවා. මට ඩොනල්ඩ් පෙරේරාගෙ ඔෆිස් එකට යන්න මිනිත්තුවක් යන්නෙ නෑ. මම ගිහින් ඇහුවා. එතකොටත් එයා ඒක ම කිව්වා.

ඊට පස්සෙ?
ප්‍රධානීන් මේ ගැන කතා නොකරපු එකත් එක්ක මාත් ඒ ගැන හොයන එක අත්හැරියා.

ඔබට මේ ගැන බුද්ධි අංශ වලින් විමසන්න තිබුණ නෙ?
ඒ වෙලාවෙ එහෙම වැඩකට මං ගියෙ නෑ. මොකද ඒක මට අදාළ නැති වැඩක් හින්දා. පස්සෙ දවසක රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානී කීර්ති ගජනායකට මං කිව්වා, මෙහෙම සිද්ධිය වෙච්ච ගමන් උල් ආයුධයකින් ඇනපු කතාව මට දැනගන්න ලැබුණා කියලා. ඒක අහලා කීර්ති ගජනායක හිනා වුණා.

ඔය ඔක්කොම ඔබ සීඅයිඩී එකට කිව්වද?
ඔව්. මං දන්න සියල්ල කියලා තියෙන්නෙ. ඔයගොල්ලන්ට  ඕනෙ නම් සීඅයිඩී එකෙන් චෙක් කරගන්න පුළුවන්. ඉදිරි වැඩ කරන එක ඒගොල්ලන්ගෙ වගකීම. මං මේක ගැන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාටත් කියලා තියෙන්නෙ.

කවදද?
අවුරුද්දකට විතර කලින් හමුදාවේ ප්‍රධානීන් එක්ක ජනාධිපතිතුමා රැස්වීමක් තිබ්බා. එතැනදි ජනාධිපතිතුමාම ලසන්තගේ ඝාතන පරීක්ෂණය ගැන යමක් කිව්වා. මං එතැනදිත් මේක පැහැදිලිව කිව්වා.

හරි, අපි මේ කතාව අවසාන කරමු. ඔබ දේශපාලනික වශයෙන් මොන පැත්තෙද?
මං මහින්ද මහත්තයට තමයි සහයෝගය දෙන්නෙ.

මහින්ද මහත්තයගෙ කාලෙ ලසන්තලා වගේ මිනිස්සු මරලා තිබුණත්, ඒවා ගැන පරීක්ෂණ කෙරුණෙ නැතත්, ඔබට ඒවා ගැන සැක ඇති වෙලා තිබුණත් වෙනසක් නෑ...?
පරීක්ෂණ හරියට කෙරුණොත් අවසානයක් තියෙයි. මට ඊට වඩා මොකුත් කියන්න බෑ.

මාතෘකා