සේරු නුවරක සැඟව ගිය 'අලි ඔළුව'

 ඡායාරූපය:

සේරු නුවරක සැඟව ගිය 'අලි ඔළුව'

අද එය කුඩා නුවරකි. නම ‘සේරු නුවර’ ය. ඒ නුවර ගොඩනැගීමට පදනම දැමූ පැරණි පරපුරේ කටුක- එහෙත් සොඳුරු මතකය ‘අලි ඔළුව’ නම් පැරණි නාමය හා බැඳී තිබේ.

‘‘මොකක්ද මේ අලි ඔළුවෙ කතාව? ” අපි සේරුනුවර හන්දියට ගොඩබැස්ස ගමන්, ඒ ප්‍රශ්නය අහන්න සුදුසුම කෙනාගෙන් ඇසුවෙමු.

“අපේ තාත්තා 1954 අවුරුද්දේ දඩබ්බරකමට වගේ ඔය විසි එකේ ඇලේ මැරිලා හිටිය අලියෙකුගේ ඔළුවක් ගෙනල්ලා මේ හංදියෙ මැද්දේ තිබ්බ දවසේ ඉදන් තමයි මේක අලි ඔළුව හංදිය වෙලා තියෙන්නේ...” ආර්.පී. ජයවර්ධන, අලි ඔළුව හංදයේ අතීතය පාදා දෙමින් කීවේය.  

ජයවර්ධනගේ පියා වු නිමල් රාජපක්ෂ, ඩී.එස්.සේනානායක සමයේ ගොවි ජනපද ව්‍යාපාරය යටතේ ක්‍රියාත්මක වූ ඉඩම් දෙපාර්තමේන්තුවේ සේවකයෙකු ලෙස වරකාපොළ ප්‍රදේශයේ සිට පැමිණ මෙහිම පැලපදියම් වූවෙකි. එදා හතර වටින්ම මහ ගන මුකලානක් වු වත්මන් සේරුනුවර හෙවත් අලි ඔළුව හංදිය එදා හදුන්වා ඇත්තේ, ලංකා පටුන හංදිය නමිනි.   

ලංකා පටුන හංදියේ පොල් අතු දෙක තුනක් හෙවිලි කොට 1957 වසරේ පමණ ආරම්භ කළ බයිසිකල් විංකලය ඔහුගේ දරුවන් විසින් තව දුරටත් පවත්වාගෙන යෑමද අපූරු කතාවකි. එදා නිමල් රාජපක්ෂ ඇරඹු බයිසිකල් විංලකය අද ඔහුගේ බාල පුත් ආර්.පී.නන්දසේන පවත්වාගෙන යන්නේ වැඩි වෙනසකට ලක් නොකරමිනි. වෙනසකට ඇත්තේ, පැච් එකක් දැමීමට අය කරනු ලැබූ මුදල පමණකි.  

හැට වසරක් පැරණි විංකලය

“එදා තාත්තා මේ හංදියේ බයිසිකලේට පැච් එකක් දාලා තියෙන්නේ ශත විසි පහට. අද ඒක රැපියල් පනහයි. ඒ කාලේ ටියුබ් කැල්ල මෝර හොටෙන් ගාලා අතින් හදපු සොලිසොන් ගාලා දාපු පැච් එක අද දාන්නේ චීනෙන් ගෙනාපු රෙඩිමේඩ් ප්ලාස්ටර් එකකින් එදා බයිසිකලේකට හුලං ගහන්න ශත පහයි. අද රුපියල් දහයයි. හැබැයි එදා හුලංමයි අදත් ගහන්නේ..” ආර්.පී .නන්දසේන හිනැහෙමින් කියයි.  

මීට වසර හැට හතරකට පෙර සිතියම්ගත ග්‍රාම නාමය අහෝසි කිරීමට පාදක වූ, නිමල් රාජපක්ෂ සේරු නුවර හංදියේ තැබු අලි ඔළුව දශක හතරකට වැඩි කාලයක් මුළුල්ලේ ස්ථාන කිහිපයකට මාරු වෙමින් හංදියේ විරාජමානව පෙනී සිටියේය. ඒ, එදා ගොවි ජන පද ව්‍යාපාරය ආරම්භකයන් අලි කොටි වග වලසුන් සමග උරෙන් උර ගැටෙමින් මහ ගන වනාන්තරයක් සරු පොළොවක් කිරීමට දැරූ වෙහෙසේ සංකේතාත්මක පිළිරුව බවට පත් වෙමිනි.  

අතුරුදන් වූ අලි ඔළුව

“එදා තාත්තා මේ හංදිය මැද්දේ තිබ්බ අලි ඔළුව පස්සේ කාලෙක ජයසේන මුදලාලිගේ කඩේ ගාව තිබ්බ ලෝලු ගහ යටට ගියා.ඊට පස්සේ කොටි කලබල ආපුහම මගේ මේ විංකලේ තිබ්බ තැන පොලිස් මුර පොළක් දැම්මා. මෙතන තිබ්බ ඒ කාලේ ගං සූරිය ගහක්. පොලිස් මහත්තුරු ඔය අලි ඔලුව ඔතනින් තියලා ඒක උඩින් ‘පොලිස් මුර පොළ - අලි ඔළුව’ කියලා බෝඩ් එකක් හයි කරලත් තිබ්බා. පස්සේ කාලෙක හංදිය ලොකු කරලා මේ පාරවල් හදද්දී ඔය අලි ඔළුව කොහෙට ගියාද කියලා කව්රුත් දන්නෙ නැහැ.” අලි ඔළුව හංදියේ නිර්මාතෘ වු නිමල් රාජපක්ෂගේ වැඩිමහල් පුත් ආර්.පී.ජයවර්ධන කියන්නේ අතපසුවීමේ වේදනාව හිතේ දරා ගනිමිනි.  

සේරුනුවර හංදිය සුවිශේෂි පිහිටීමකි. කන්තලේ සේරුවිල මාර්ගයත්, ත්‍රිකුණාමලය මඩකලපුව මාර්ගයත් යා කෙරෙන එය සැබවින්ම දූපතක මධ්‍ය හංදියයි. තුන් පැත්තකින් මහවැලි ගංගාවෙන්ද අනෙක් පැත්තෙන් මහ සයුරෙන්ද වටවු සේරුනුවර හංදිය සේරුවිල වන්දනාවේ යෙදෙන්නන්ගේද, කතරගම වන්දනාවේ ගමන් කරන්නන්ගේද ගිමන් හලයි. පසුගිය කාලයේ වඩාත් කතා බහට ලක් වු මාවිල් ආරුවේ පිවිසුම් මංසන්ධියද සේරුනුවරය. එසේම ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ සිංහල බෞද්ධයන් පමණක් වෙසෙන එකම හංදියද එයයි. එහෙත් එය කිසිසේත් ජාතිවාදී පදනමෙන් නිර්මාණය වූවක් නොව, සිය මාපිය උරුමය පසු පරම්පරාව සුරකීමේ ප්‍රතිඵලයකි.  

සහජීවනයේ සතිපොළ

සියලු ජාතීන්ගෙන් සමන්විත සේරුනුවර සති පොළ ත්‍රිකුණාමලයේ දැනට ක්‍රියාත්මක සති පොළවල් අතරින් පැරණිතම එකකි. සිංහල දමිළ මුස්ලිම් සියලු දෙනා සහජීවනයෙන් 1970 වසරේදී ඇරඹුණු ‘අලි ඔලුව සති පොළ’ අදටද ක්‍රියාත්මක වනුයේ, මීට දශක කිහිපයකට පෙර මේ බිමේ දිග හැරුණු සංහිදියාවේ මිහිරි මතකයන් අවදි කරවමිනි.  

‘‘මේක තනි සිංහල හංදියක් වුණාට වැඩි පුරම එන්නේ, දෙමළ මුස්ලිම් මිනිස්සු..මේකට අල්ලපු ගම්, කිලිවෙඩ්ඩි, තංගනගර් කියන දෙමල ගම්. මේ පැත්තෙන් තෝපූර් මුස්ලිම් ගම.. අර පැත්තෙන් සේරුවිල සිංහල ගම්මානේ. තවත් පැත්තකින් ඊචලම්ලත්තු වෙරුගල් දෙමළ ගම්මාන. මේ හැමෝම එකට එකතු වෙන්නේ අලි ඔළුවෙදී තමයි. අපේ තාත්තලා සීයලා අල්ලපු ගමේ දෙමළ මුස්ලිම් මිනිස්සුත් එක්ක හරි අගේට හිටියා. පහුගිය යුද ගැටුම් කාලේ පවා මේ හංදියේ දී එක දෙමළ මිනිහෙකුටවත් නිය පිටින් පාරක් ගහන්නවත් අපි ඉඩ තිබ්බේ නැහැ. මොකද ඒ ගම්වල අද ඉන්න තරුණ කොල්ලෝ කෙල්ලො පවා කාගේ කවුද කියන්න අපි දන්නවා...” එසේ කියන්නේ, අලි ඔලුව හංදියේ නවීන සාප්පු සංකීර්ණයක හිමි කරු වන ජගත් ප්‍රියංකර (49) ය.  

ජගත්, එදා මෝලෙ කඩේ නමින් ප්‍රකටව තිබූ කඩ පේළියේ ජිනදාස මුදලාලිගේ මුනුපුරාය.   

පළමු ගම්සභාපති

සේරුවිල ගම් සභාවේ පළමු ගම් සභාපති කන්තලේ ගොවි ජන පද ව්‍යාපාරයට අයත් ඉඩම් දෙපාර්තමේන්තුවේ උදලු, කැති, පොරෝ, පිකස් මුවහත් කිරීමට අවශ්‍ය පොල් කටු අගුරු විකිණීමට පැමිණි වී.එච්.චන්ද්‍රෙස්න හෙවත් චන්ද්‍රාස් මුදලාලිය. මෑතක් වන තුරුත් හංදියේ ප්‍රකට ව්‍යාපාරිකයෙකු ලෙස වැජඹුණු චන්ද්‍රාස් පවුල මේ වන විට ප්‍රදේශය හැර ගොස්ය. එසේම එදා සිට මෑතක් වන තුරුම හංදියේ සාරෙට තිබු තක්ෂාල් හෝටලය අභාවයට ගොස්ය.   

තක්ෂාල් හෝටලය ඉදිරිපිට හිඳගොල්ල ස්ටෝස් හිමිකරු වූ 72 හැවිරිදි කේ.බී.හිඳගොල්ල මුලදාලි දසක හතරක පහක මතකයන්හි හිමිකරුවෙකි.1970 වසරේදී අලි ඔළුව සති පොළට පැමිනණන්නන්ට කෑම සැපයීමට පොල් අතු විස්සකින් ඇරඹි බත් කඩය පසු කලක දෙමහල් වෙලද සැලක් බවට පත් කිරීමට හිදගොල්ල මුදලාලිට හැකි විය. “ඒ කාලේ මාලු කෑම එකක් ශත පනහයි. තේ එකටයි බනිස් ගෙඩියටයි ශත අටයි. මම පොල් අතු කඩේ වෙනුවට මේ කඩේ හැදුවේ 1975දී. කලබල කාලේ දරුවෝ ඔක්කොම කෑගල්ලේ මහ ගෙදර යවලා මමයි නෝනයි මෙහෙම හිටියා. පරණ පරම්පරාවෙන් අද ඉතිරි වෙලා ඉන්නේ මම විතරයි. එදා මේ හංදිය තිබ්බ විදියයි අදයි දැක්කහම ලොකු සතුටක් දැනෙනවා..”  

සිංහල-දෙමළ නෑකම්

හැත්තෑතුන් හැවිරිදි රොබට් ජයසිංහ අලි ඔළුව ගැන කථා සරිත් සාගරයකි. ඔහුගේ මතකය මවිතය හා හාස්‍ය උපදවයි.  

“අපේ අප්පච්චි 1953.09.26 දා පොළොන්නරුවේ ඉදලා ගොන් කරත්තෙන් තමයි අපිවත් එක්කගෙන වී මලු දාසයකුත් අරගෙන මෙහාට ආවේ. එතකොට මේක මහ මූකලාන.. අපවත් වෙච්ච සේරුවිල සුමේදංකර හාමුදුරුවෝ තමයි මේවා ඉස්සරහට හොදට දියුණු වෙන ගම්මාන කියලා අපිට මග පෙන්නුවේ.‍ එදා කඩ මංඩියකට කියලා අපි හැමෝම ආවේ, ඔය අල්ලපු ගම වෙච්ච කිලිවෙඩ්ඩියට. ඒ ගමේ දෙමළ මිනිස්සු සිංහල මිනිස්සුන්ට හරි ළෙන්ගතුයි.  

‘‘ඔය ගමේ හිටිය වින්නඹු අම්මා තමයි මේ ගමේ වැඩි දෙනෙක්ගේ පෙකනි වැල කැපුවේ. අපි ඒ කාලේ ඔය ගමට ගියහම පන් පැදුර එලලා ඒක උඩ කෙසෙල් කොළේ එලලා අපිට කන්න බොන්න දෙනවා. මුස්ලිම් අයත් එහෙම තමා..ඒ කාලේ සුමේදංකර හාමුදුරුවෝ ත්‍රිකුණාමලේ ඉඳලා නැවෙන් මූතුර් එකට වැඩම කරපුවහම උන් වහන්සේ සේරුවිලට වඩම්ම ගෙන එන්න යන්නේ, තෝපූර් මොහොදින් බාවා මුදලාලිගේ කරත්තේ.. අපි හරි සමගියෙන් ජීවත් වුණේ..ඒ කාලේ තිබිච්ච සමගිය අද ඈයෝ දන්නේ නෑ..”  

‘අලි ඔළුව’ නම සමග පැරණි අපූරු මතක කැටි වී තිබුණද අලුත් පරම්පරාව ඊට වැඩි මනාපයක් නැති සේය. ඔවුහු ‘සේරු නුවර’ නැමැති අලුත් නාමයට කැමති වෙති. “පිට කොහෙට හරි ගියහම අපෙන් කොහේ ඉදන්ද ආවේ කියලා අහපුවහම ‘අලි ඔලුවෙන් ආවේ‘ කියන්නේ කොහොමද? ගෙවල් කොහෙද කියලා ඇහැව්වහම අලි ඔලුවේ කියලා කියන්න පුළුවන්ද...?” පාසල් දැරියක් හිනාවෙමින් පැවසුවාය.  

[මංගලනාත් ලියනආරච්චි]

මාතෘකා