සක්විති රජකුගේ තිඹිරිගෙය

 ඡායාරූපය:

සක්විති රජකුගේ තිඹිරිගෙය

ඔහු උපන්නේ අදින් වසර හතළිස් හයකට ඉතා සාමාන්‍ය දරුවකු සේය. කාලයාගේ ඇවෑමෙන් ඔහු රජකු විණි. ඒ එසේ මෙසේ රජකු සේ නොවේ, සක්විති රජකු වූයේය. එකී සක්විති රජකම් ලබන්නට කළ අප්‍රතිහත ජීවන චාරිකාව ඔහු අප හා විවරණය කළේය. මනුෂ්‍ය ධෛර්යයේ ප්‍රතිමූර්තියක් බඳු ඔහුගේ කතාව වර්ග කිලෝමීටර 65610ක ජීවත්වන සහ එය වැට මායිම් ගසා බෙදාගන්නට සටන් වදින මිනිසුන්ට ඉදිරිපත් කරන්නේ වෙනස් විය යුතු ආකාරය ගැන අවබෝධයක් දීමටය. ඔහු මුත්තයියා මුරලිදරන්!

ලොව නිර්මාණය වන්නේ මවගේ කිරිවලින් හා හිරුගේ රැස්වලින් යැයි පිළිගන්නේය. එය කීවේ ශ්‍රේෂ්ඨ රුසියානු සාහිත්‍යවේදියකු වන මක්සිම් ගොර්කිය. බුදුහිමියන් දෙසුවේ ‘‘බ්‍රාහ්මාති මාතා පිතරෝ’’යනුවෙනි. එනම් මව සහ පියා යනු ජීවය මැවූ මහා බ්‍රහ්මයා හා සමාන වන බවය. බුදු හිමි මෙදියත පහළ වන සමයේ මහා බ්‍රහ්ම සංකල්පය හින්දූ දේවවාදීන් විසින් ලෝකයට දේශනා කර තිබූ හෙයින් බුදුන් වහන්සේ එවැනි හැඳින්වීමක් මව හා පියා වෙනුවෙන් කිරීමට උත්සුක වූහ. ඒ මව හා පියාගේ වැදගත්කම ලෝ වැසියනට තේරුම් කර දෙන්නටය. අප මේ කියන යෞවනයාගේ සමස්ත ජීවිතයම එළිය කළ මූලික සැකිල්ල නිර්මාණය වන්නේ අම්මාගේ, පියාගේ හා ඔවුන්ගේ සම්මුතිය හේතුවෙනි. ඒ සම්මුතිය බිහි වන්නේ අවිඥානිකවමය. සරලවම කියන්නේ නම් කතාව සැකෙවින් පැහැදිලි කිරීම කළ යුතුය. මේ ඒ කතාවේ ඇරඹුමයි.   

ලක්ෂ්මී හා සින්නසාමි යුවල ඇඟිලි ගනිමින් බලා සිටියෝය. ඔවුන් බලාපොරොත්තුවෙන් සිටි ආගන්තුකයා දැන් එතැයි දැන් එතැයි ඔවුහු අපේක්ෂා පොදි බැන්දෝය. තාරුණ්‍යයේ හිනිපෙත්තේ සිටි එසමයේ ඔවුනට ඒ පැමිණීම ගැන එතරම් අරුමැසි සිතිවිලි තිබුණේ නැත. සමගි පෙරමුණු ආණ්ඩු සමයේ ඔවුන්ගේ මනදොළ සපුරමින් අපේක්ෂා පොදි බැඳ තිබුණේ නිවසට වැඩීමට නියමිති කිරිකැටි බිළිඳකු සම්බන්ධවය. ඔහු හඬාගෙන මෙලොවට ආ අතර මව වූ ලක්ෂ්මිද ඔහුගේ පැමිණීම හැඩුමෙන්ම පිළිගත්තාය. ඒ සමඟම ඈ නියම අම්මා කෙනෙකු ලෙස සිනාසුණාය. එය බුදුන්වහන්සේ සිදු කළ යමක මහා ප්‍රාතිහාර්ය සම ක්‍රියාවලියකි. ප්‍රසූතියේ වේදනාවලට හැඬුම්බර වූ ඈ ඒ සිනාසුණේ ඒ මොහොතේම ය. එකවර ප්‍රති අන්ත දෙකක් ස්පර්ෂ කිරීම වූකලි අපූරුය. එසේ කළ හැක්කේ බුදුවරයකුට හා මවකට පමණි.

ලක්ෂ්මී දෙවඟනකගේ නමකි. ඈ සැබැවින්ම සින්නසාමිට දෙවඟනකි. සින්නසාමි තුටු පහටු කරමින් මේ අයුරින් ඕ මෙලොවට බිළිඳෙකු දායාද කළාය. දස මසක් දුක් කප්පරක් විඳ ඇය කිසිදු රොස් පරොස් වදනක් නොපවසමින් මේ සිඟිති පුත්‍ර ලාභය ලැබූවාය. දෙවඟනකට උපදින්නේ දෙව් පුතුන් මිස අන්කිසිවෙක් නොවේ. ගෝර්කි කීවාක් මෙන් සියලු මාතාවන් ලෝකය නිර්මාණය කරන්නාක් මෙන් ලක්ෂ්මී සිය පුතුට දේව මණ්ඩලයෙන්ම නමක් සොයාගත්තාය. ‘අපි මුරලිදරන් කියලා දාමු!’ ඇය කීවාය. සින්නසාමි හිස සැලුවා මිස කිසිවක් කීවේ නැත. උපතින්ම මුත්තයියා යන තම නමේ කොටසක් බිළිඳු පුතුට හිමි බව ඔහුට සිහිපත් විය. ඒ අනුව බිළිඳා ‘මුත්තයියා මුරලිදරන්’ නම් විය.   

මුරලිදරන් යනු හින්දු දේව සමයේ එන ක්‍රිෂ්ණ දෙවියන් හඳුන්වන තවත් නමකි. මුරලි යනු බටනළාවය. බටනළා දරන්නා යන්න එහි තේරුමයි. බටනළා දරන්නේ ක්‍රිෂ්ණ දෙවියන්ය. එහෙයින් ලක්ෂ්මී තැබුවේ ක්‍රිෂ්ණාගේ තවත් නමකි. එලෙස නම තබා නොබෝ දිනකින්ම ඕ ඒ පිළිබඳ දෛවඥ මත විමසූවාය. ‘හොඳයි. ඒ නමේ කිසිම ගැටලුවක් නෑ.’ දෛවඥයෝ කීහ. ලක්ෂ්මීගේ සතුට දෙගුණ තෙගුණ විය. ඈ සිය පුතු වෙනුවෙන් නොවිඳිනා දුක් විඳින්නීය. ලේ කිරි කරමින් පොවන්නීය. මැසි මදුරු විපත් සිදු නොවන ලෙසද වෙන යම් විපතක් නොකැඳවන ලෙසද ඈ පෑ විසිහතර පුරා වෙහෙසින්නීය. සෙනෙහසින් තම පුතු රැකබලාගන්නීය. තරුණ සින්නසාමි තුළ ඇය කෙරේ උපන් සෙනෙහස දෙගුණ තෙගුණ වූයේය. එහෙයින්ම පුතු මෙලොව දුටු දිනයේ ඔහු යමක් සිතුවේය. ඒ තමන් පෙරටත් වඩා වෙහෙස විය යුතු බවය. විස්කෝත්තු නිෂ්පාදන කර්මාන්තායතනයක් පවත්වාගෙන ගිය ඔහු උදයේ වැඩට ගොස් ගෙදර ආවේ කළුවර වැටෙන්නට එන විටය. දැන් ඔහු හිමිදිරි කළුවරේම නිවසින් ගියේය. බොහෝ රෑ බෝ වන තුරු සිටියේ කර්මාන්ත ශාලාවේමය. වෙහෙස වී වැඩ කළ ඔහු වෙනදාටත් වඩා වගකීම් සිත දරා වෙහෙස වූයේ එසේය. ලක්ෂ්මී සිය පුතු හා කෙළිදෙලෙන් ගත කරමින් නිවසේ දහසක් එකක් කාර්ය අතර යුද වදිද්දී ඔහු විස්කෝත්තු කර්මාන්ත ශාලාවේ වෙහෙසුණේය. මුරලි දණ ගා පුංචි දෙපා තබා වැටි වැටී ඇවිදින්න තතනද්දී සින්නසාමීගේ නිවස තවතවත් ආලෝකවත් කරමින් තවත් දරුවකු නිවසට පැමිණ තිබුණේය. දැන් නිවසම යුද පිටියකි. අම්මා ලක්ෂ්මී කීපදෙනෙකුගේ රාජකාරි කරන්නට අවශ්‍යය. ආවතේව කටයුතුවල නිමක් නැත. එහෙත් ඈට වෙහෙසක්, එපාවීමක් නැත. ශක්තිමත්, ධෛර්යවත් මිනිසකු වන සින්නසාමි නිහඩව සිය වගකීම් ඉටුකරන්නේ යම්සේද ලක්ෂ්මීද කිසිදු විඩාවකින් තොරව සිය වගකීම් හා නිමග්න වුණාය. ගසට පොත්ත සේ නූලට, තිතට ජීවිතයේ බොහෝදේ ගලායන්නට ඈ සකසුරුවම් විය. පුංචි පුංචි අතපසුවීමකින් හොද්දක්, මාළුවක් රොස් පරොස් වන්නට ඇත. එහෙත් ඇය ජීවිතය ශක්තිමත්ව ඉදිරියට රැගෙන ගියාය.   

මුරලි දැන් ලොකුය. යන්තමින් දඟය. ඔහු තුළ සිටින ඔහු දැන් දැන් එළියට එන්නට තතනන බවක් අම්මා දුටුවාය. තාත්තා පුතු ගැන නොදන්නා බොහෝ දේ අම්මා දැන සිටියාය. තාත්තා දන්නේ අම්මා කියන දේවල් අසා අඳිනා චිත්‍රයය. එය දැවැන්ත විල්ලුද චිත්‍රයකි. පුතුගේ අනාගතය සවිමත් කර සාර්ථක ව්‍යාපාරිකයකු කිරීම ඔහුගේ අරමුණය. ඒ සඳහා දරුවාට හොඳින් ඉගැන්විය යුතුය. සින්නසාමිට දැන් තවත් දරුවෝ සිටිති. මේ දරුවන් හා ඔවුන්ගේ අනාගතය වෙනුවෙන් මහා සයුරේ නිල්ල මැදින් ක්ෂේම භූමියක් සොයමින් යාත්‍රා කළ යුතුය. මිරිඟු දකින්නට ඔහුට පුරුද්දක් නැත. මිරිඟු හා රැවටෙන්නට ඔහුගේ ජීවිතය කිසිදා පුහුණු වී නැත. අවැසි වන්නේ ප්‍රායෝගික තලයේ ජයග්‍රහණය. සිහින තුළ ගැල්වී ඒ සිහිනයෙන් ඔද්දල්වුණු ජීවිතයකට ඔහු රිසි නැත. එ් සඳහා ගමන් මගක් තැනිය යුතුය. පසු කාලයක ජනප්‍රිය වුණු ‘අන්දර යායේ වැව් තාවල්ලේ ’ ගීතය සේ ඔහුට මං තනන්නට වූයේය. ඒ මං තැනීම සඳහා පුතුන් ගැන අපේක්ෂා සිහින බඳින්නට සිදුව තිබේ. එය වරදක් ලෙස නම් සින්නසාමි දුටුවේ නැත.   

දිනක් සිය පිය බිරිය ලක්ෂ්මී රාත්‍රියේ සින්නසාමි ඇමතුවාය.   
‘මම කියන්නමයි හිටියෙ.’

‘මොකක්ද?’

‘දැන් ලොකු පුතා මුරලි හරි දඟයි.’
‘ඉතිං?’

‘එයා මල්ලිලට ගහනවා. ඒ ගොල්ලෝ එක්ක පුංචි පුංචි රණ්ඩු කරනවා.’

‘ඉතිං?’

‘අපි මොකක් හරි කරන්න ඕනෑ.’

‘මොකක්ද ලක්ෂ්මි හිතන්නෙ? ඒවා දන්නෙ ලක්ෂ්මි තමයි.’ ඔහු කීවේය. ඇය සුසුමක් පිට කළ අතර ඔහු නින්දට වැටුණේ හෙට උදාසනින්ම රාජකාරි සඳහා යායුතු නිසාය.   

‘ඔයා කැමතිද ස්කොලෙ හොස්ටල් එකේ නවතින්න?’ අම්මා පුංචි මුරලි තුරුළු කරගනිමින් ඇසුවාය.   

‘ඔව්. මම කැමතියි.’ ඇස් විසල් කරමින් ඔහු අම්මාගෙන් ඉවතට දිවගෙන ගියේ තවත් දඟ වැඩකට විය යුතුය.   

අම්මා ඇසුවේ නිකමට නොවේ. ඕ තම තීරණය පියාටද කීවාය. ඈ ඒ වග කීවේ සිය අවසන් නිවේදනය නිකුත් කරන්නාක් මෙනි. මුරලිගේ පියාට එය ක්‍රියාත්මක කරන්න වපසරිය හදනවා මිස වෙනයම් යමක් කරන්නට තිබුණේ නැත. එය දන්නා පියා කළේ මන්දස්මිතියෙන් යුතුව හිස සැලීම පමණය. ඒ අනුව පුංචි මුරලි පාසලේ නේවාසික ජීවිතය ආරම්භ කරන දිනය උදාවුණේය.   

ඊට පස්සේ මොකද වුණේ?   (ලබන බදාදාට කියවමු.)