සිතියමක් නැති

 ඡායාරූපය:

සිතියමක් නැති

පහසු පුටුවක - බංකුවක - ඇඳක දිගා වී පත්තරයක් දිගහැරගන්නා මිනිසාගේ මූණේ සැහැල්ලුවක සංඥාවක් ඇඳී තියනවා. අත්ලට මිට මොළොවාගත් බරැති සෙලියුලර් දුරකථන හෝ ටැබ්ලට් මූණතකට - දිලිසෙන පරිගණක තිරයකට එබෙන ඇස් දෙකක ඒ සැහැල්ලුව ඇතැ යි හිතෙන්නෙ නෑ. පුස්තකාල රාක්කයක හම් බැම්මෙන් බැඳපු පොතකවත් ඒ සැහැල්ලු සංඥාව නෑ. ඉංග්‍රීසි උපහාස කවියකු වුණු ජෝන් කෙන්ඩ්‍රික් බැංග්ස් මෙහෙම ලියනවා: “පොතක් යනු රදළයෙකි - අලංකාරෙට බැඳී, අහංකාර ව හිඳින - ග්‍රන්ථනාමය නිසා බබලමින්.” ගුලි කරන්ඩ, ඔරු හදන්ඩ හෝ බත් ඔතන්ඩ පුලුවන් පත්තර පිටුවේ තියන සැහැල්ලුව ඔය කිසි මාධ්‍යයක නෑ.
 
පත්තර පිටුව තාමත් නූතන ශිෂ්ටාචාරයේ මනුස්සයාගේ තේ උගුරට, දුම් උගුරට, විවේකී මනසිකාරයට තියන හොඳ ම ආධාරකය. කාර්මික විප්ලවයේ සම්භාව්‍ය සංකේතයක් වගේ. ඒ එක්ක බැලුවම ටැබ්ලට් තිරය තාමත් අත්හදාබැලීමක්, හිතුවක්කාර විකල්පයක් විතරයි. පත්තර පිටුවේ අසිරිය කඩදාසි එක්ක තියන අතීතකාමී රොමැන්ටික් බැඳීමකට ලඝු කරන්ඩ පුලුවන් ද. කොහොමත් එක ඉදිරි පියවරක් තියනකොට පැරණි පියවරේ ගැඹුරු සලකුණු කීපයක් මඟහැරෙන එක වළක්වන්ඩ බෑ. මොසාට්ගෙ සංධ්වනි ආයෙ නිර්මාණය කරන්ඩ බෑ. කාලිදාසගෙ සියුම් ඡන්දස් ආයෙ හැදෙන්නෙ නෑ. පුස්කොළෙන් කඩදාසියට එන එක ගොඩක් අමාරු වෙන්ඩ ඇති. පුස්කොළේ එක අකුරක් ලියනකොට දරපු ආයාසයට සරිලන මානසික ශ්‍රමයක් ඒ අකුර පිටිපස්සෙ තියෙන්ඩ ඇති. නමුත් අපේ පරම්පරාව උපදින්නෙ ම කඩදාසි විශ්වයක නිසා පුස්කොළ අතීතය අපට මනෝරාජික ආකෘතියක් විතරයි. පත්තර පිටුව ඒ අතින් කිට්ටු,    සංවේදි සැබෑවක්.

පත්තර පිටුවක තියන මේ සංවේදිකමත් - සැහැල්ලූවත් කියන දෙක ම කොලමක් ලියන්ඩ පොළඹවනවා. පර්යේෂණ පත්‍රිකා, නවකතා, ශාස්ත්‍රීය නිබන්ධ කියන ඔය හැම එකක් ම පිරිපහදු කරපු කෑම වගෙයි. ඇද-පළුදු හොයාගන්ඩ බැරි තරමට ශුද්ධ කරලා. ඒ නිසා ම දිරවන්ඩ පහසු නෑ. පත්තර කොලම ස්වභාවික කෑමක් වගේ. ආයාසයෙන් ශුද්ධ කරලා නෑ. අත්වැරදි, ආත්මීය දුබලකම් හංගන උත්සාහයක් එතැන නෑ. පත්තර පිටුව දිගඇරගන්නා මිනිසාගේ මූණේ තියන සැහැල්ලූව කොලම් ලියන්නාගේ ඇස්වලත් තියනවා. ආයාසයෙන් තහවුරු කරගත යුතු න්‍යායට දොර වැහෙනකොට, තේ උගුරේ - දුම් උගුරේ නිරායාස විවේකී ප්‍රඥාවට දොර ඇරෙනවා.

ඉතින් මේ කරන්ඩ හදන්නේ, කාලයක් තිස්සේ ඔළුව ඇතුළේ - කටුපොත් ඇතුළේ පිරිපහදු නො කළ සටහන්වලට නිදැල්ලේ ගලා එන්ඩ දීලා බලා ඉන්න එක යි. අධිවේගී මාර්ග, ගූගල් සිතියම් හැදුණෙ අපි මේරුවට පස්සෙ. සිතියමක් අතේ නැතුව තැනක් හොයා යන මනුස්සයාට බොහෝ අතුරු පාරවල්වල යන්ඩ සිද්ධ වෙනවා. ඒ නිසා යන්නෙ මේ පාරෙ ය කියන්ඩ බෑ. අතුරු පාරේ - වැරදි පාරේ අසිරිය, ගූගල් සිතියමේ පහසුව එක්ක සම කරන්ඩ අමාරුයි. දහස් වටින්නේ, රස්තියාදුවේ පය රිදුම මිස, පහසුවේ අලස සුවය නොවෙයි. මෙතැනින් පටන්ගනිමි යි කිවුවට කොහේ යාවි ද හරියට කියන්ඩ බෑ. දිශාවක් මිස සිතියමක් නෑ.
 
[අනුරාධ මහසිංහ]
මාතෘකා