ආපහු සිහශක්ති පටන්ගන්නවා : ආනන්ද පෙරේරා

 ඡායාරූපය:

ආපහු සිහශක්ති පටන්ගන්නවා : ආනන්ද පෙරේරා

“මුව මුක්තාලතා පිපි හන්සාංගනා, විල් නෙලුමාසනෙන් ආ ළඳේ....”   
“මින්දදයෝ ඇවිදින්, අහපන් රුක්කත්තන මලකින්”   
“පිපිච්ච මල් උඩ වැටිච්ච පිනි පොද හිතිච්ච දේ කරතෙයි “   
“තුමුළ නමුනුකුල ගිරිහිස”

හදවත මොහොතකට නවතන අපූර්ව භාවාත්මක හුස්මක් මේ හැම ගීතයක් පිටුපසම හංගන්න තරම් මෙහි නිර්මාණකරුවා කෙතරම් සියුම් ලෙස මේ නිමැවුම් කර ඇත්ද? “මගේ කවියෙන් මා නොසොයන්න” යැයි මහගම සේකරයන් ලියා තැබුවත් මේ නිමැවුම්කරු කියැවීමේ පහසුම මග ඔහුගේ නිර්මාණ යැයි කිව හැක.
ඔහු උපන්නේ මව හා පියාගේ සංගීත හා නර්තන ආභාෂයන් දායාද කරගෙනයි. මහනුවර ධර්මරාජයට ඇතුළුවීමට පෙර සිටම ඔහු හා සොයුරා පියා ඇසුරෙහි ලබාගත් පන්නරයෙහි ප්‍රතිභාව අදටත් ජීවමානයි. කණ්ඩායම් සංගීතයේ වෙනසක් කළ සංගීතඥයා ඔහුයි. ඔහු ආනන්ද පෙරේරාය. “සිහශක්ති” වාදක කණ්ඩායමේ නිර්මාතෘ ආනන්ද පෙරේරාය. මේ, ඔහුගේ පුනරාගමනය පිළිබඳව අප ඔහු සමඟ කළ සංවාදයකි. ඉදින් අපි ඔහුගේ හඬට සවන් දෙමු.

ඔබ මෙරට කණ්ඩායම් සංගීතයේ පෙරළියක් කළ කෙනෙක්. අපි එතැනින් පටන්ගමු.

ඔව්. අපි ඒ කාලේ අලුත්ම ට්‍රෙන්ඩ් එකක් ගෙනාවා. බෙර, වයලින් වගේ වාද්‍ය භාණ්ඩ කණ්ඩායම් සංගීතයට හඳුන්වා දුන්නේ අපි. ඒ වාද්‍ය භාණ්ඩවලට ගැළපෙන ගීතත් නිර්මාණය කළා අපි. පහතරට බෙරයට ගැලපෙන සුරඹා වල්ලිය පවා නිර්මාණය කළා. ඒත් ඒ දේවල් පහසු වුණේ නැහැ. ඒ කාලේ තාක්ෂණය මේ තරම් දියුණු නැහැ. හොඳ පවර්ෆුල් මයික්‍රෆෝන් තිබුණේ නැහැ. ඒත් ඒ වෙනසට හැමෝම කැමති වුණා.   

“ශක්ති” කියන සංකල්පය මොකක්ද ?

ශක්ති කියන නම අපි දාන්නේ හේතුවක් ඇතිව. අපි හැමෝම එකතු වෙලා මේ දේවල් කළේ. එක්කෙනෙක් එක දේකට සමත් කියලා දෙයක් අපි අතරේ තිබුණේ නැහැ. අපි හැමෝම හැමදේටම දක්ෂයි. ඉතින් අපේ ශක්තියයි මේ කණ්ඩායම ඇතුළේ තිබුණේ. ඒකයි මේක ශක්ති වුණේ.   

“ශක්ති”, “සිහ ශක්ති” වෙන්නේ කොහොමද?

ශක්ති බෑන්ඩ් එක පටන්ගන්නේ 1988 අවුරුද්දේ, ඇන්තනි සුරේන්ද්‍ර විසින්. ආරම්භයේ මං හිටියේ නැහැ. දෙවැනි ප්‍රසංගයටයි මං මුලින්ම සම්බන්ධ වෙන්නේ. ඒ, එහි වාද්‍ය මෙන්ම ගායන ශිල්පියා වශයෙන්. අපි වාණිජමය පරමාර්ථ රහිතව සංගීතය කළේ. ඒත් පසුකාලීනව ඒ පිළිබඳව මත ගැටුම් ආවා. ඒ නිසා අපේ කණ්ඩායමේ හත් දෙනාගෙන් අපි පස් දෙනෙක් අයින් වුණා. ඒ මගේ මල්ලි අශෝක පෙරේරා, හේමපාල ගාල්ලගේ, සංගීත් වික්‍රමසිංහ, ජයන්ත රත්නායක සහ මම. ඉන් පස්සෙ අපෙන් ඉවත් වුණු සාමාජිකයන් දෙදෙනෙකු වෙනුවට ධනංජය සෝමසිරි සහ මහේන්ද්‍ර පැස්කුවල් බඳවාගත්තා. ඉන් පස්සේ අපි හදාගත්ත කණ්ඩායම තමයි “සිහ ශක්ති”.   

බොහෝ සංගීත කණ්ඩායම් විසිරෙන්නේ ගැටුම් ඇතිකරගෙන. මේකත් එහෙමද වුණේ?

අපෝ නැහැ. ඇන්තනී සුරේන්ද්‍ර අදටත් මට සහෝදරයෙක් වගේ. කණ්ඩායම ගැන මත ගැටුම් ආවාට අපි අමනාපෙන් ඉඳලා නැහැ.   

ඒ කාලේ හිටපු තරඟකාරී සංගීත කණ්ඩායම් මොනවාද?

මේරියන්ස් , සන්ෆලවර්, බ්ලූ ෂැඩොස්, ගැලක්සීස්, සෝඩියැක් සහ ෆ්ලෑෂ්බෑක් වැනි සංගීත කණ්ඩායම හිටියා. 90 දශකයේ මැද භාගය වෙනකම් කාලය ගැන මං මේ කියන්නේ.   

තරඟකාරී කණ්ඩායම් එක්ක “සිහ ශක්ති” වෙනස් වෙන්නේ කොහොමද?

අපි දේශීය සංගීතය, කණ්ඩායම් සංගීතය එක්ක මුසු කළා. මිනිස්සු ඒ වෙනසට ආස වුණා. ඒ වගෙම අපේ කණ්ඩායමේ හැමෝම හැමදේටම දක්ෂතාවක් තිබුණු අය.   

බොහෝ සංගීත කණ්ඩායම් බිහි වුණේ මීගමුව, හලාවත ප්‍රදේශ මුල්කරගෙන. සිහ ශක්ති නුවර පසුබිම් කරගෙන. මේ වෙනසට මුහුණ දුන්නේ කොහොමද?

මමයි මල්ලියි නුවර ඉපදුණේ. ධනංජය සෝමසිරිගේ අම්මාගේ ගම නුවර. මහේන්ද්‍ර පැස්කුවල්ගේ තාත්තා නුවර. ජයන්ත රත්නායකගේ තාත්තා (වික්ටර් රත්නායක) නුවර. ඒ හිතවත්කම්, දක්ෂකම් එක්ක එකතු වුණාම අපිට තරඟයක් දෙන්න බැරි වුණේ නැහැ.   

හොඳට කරගෙන ආපු “සිහ ශක්ති” අතරමග නතර වුෙණ් අැයි?

ඔව්. ඒක මගේ ප්‍රශ්නයක්. මගේ පුතා හදිසියේ අන්ත්‍රා වෙනවා. ඊට කලින් දරුවා අසනීපෙන් ඉද්දි මට ඔහු එක්ක කාලය ගත කරන්න සිදු වුණා. සංගීත කටයුතුවලින් මේ නිසා මට ඈත්වෙන්න සිදු වුණා. 2003 වර්ෂයේ දෙමටගොඩ අවසාන ප්‍රසංගය පවත්වලා අපි සමුගත්තා. ඇත්තටම ඊට පස්සේ අපිට බාහිර කටයුතුවල යෙදෙන්න සිදු වුණා. පියාගේ කලායතනය පවා කරගෙන යන්න වුණේ මට. ඒ නිසා රාජකාරි කටයුතු බහුල වුණා.   

අාපහු සිහශක්ති සංගීත කණ්ඩායම පටන්ගන්න යනවාය කියලා අහන්න ලැෙබනවා. ෙමාකක්ද ඒ් කතාව?  

බොහෝ අයගේ ඉල්ලීම කියල කියන්න පුළුවන්. අපි නතර වූ තැනින් ඇති වූ හිස්තැන තාම කවුරුවත් පුරවලා නැහැ. අපිට තව වැඩි කලක් මේ දේවල් කරන්න අමාරුයි. අපි දැන් වයසයි. ඒ නිසා ඊට කලින් දෙයක් කරන්න ඕන කියලා හිතුවා. ඒවගේම අනුග්‍රාහක භවතුන් කිහිප දෙනෙක් අපේ වැඩේට සහයෝගය දෙන්න කැමති වුණා.   

කලින් කණ්ඩායමද නැවතත් මේ එකතු වෙන්නේ?

ඔව්. අපි මේ එකතු වෙන්නේ අවුරුදු 14කට පස්සේ. අපේ සහෝදර හේමපාල ගාල්ලගේ අන්ත්‍රා වුණා. ඒ අඩුව පුරවන්නේ ඔහුගේ පුතා, හර්ෂාන් ගාල්ලගේ. ලෙළුම් රත්නායකත් අපි එක්ක එකතු වුණා. සංගීත්ගේ පුතා සනුක වික්‍රමසිංහත් අපි එක්ක එකතු වේවි. වාද්‍ය ශිල්පීන් තිදෙනෙක් ගන්නත් සැලසුම් කරනවා. මොකද ගායනයට මුල්තැනක් දෙන්න අපි හිතුවා.   

නව යුගය සමග යාවත්කාලීන වෙන්නේ කොහොමද?

මේ වෙද්දි සංගීත කණ්ඩායම්වල අපේ දේ ඇහෙන්නෙ නැහැ. ශ්‍රී ලංකාවේ සංස්කෘතිය ඉස්මතු වෙන, අදට ගැළපෙන අලුත් දෙයක් කරන එකයි අපේ අරමුණ.  

ඒ කාලේ සංගීතය, අද සංගීතයට වඩා වෙනස් වුණේ කොහොමද?

අපි ක්ෂේත්‍රයේ ඉද්දිත් හරයක් නැති ඝෘණාත්මක දේවල් කරපු සංගීත කණ්ඩායම් හිටියා. ඒ කාලෙත් ගී තනුවල වැරදි තිබුණා. රැප්, හිපොප් රැල්ල එක්ක ගීතයේ හරය නැති වුණා. ඒත් මේ තරම් පරිහානියට ලක් වෙලා තිබුණේ නැහැ. මං කියන්නේ නැහැ හැමෝම මේ රැල්ලට යනවා කියලා. භාතිය - සංතුෂ් ,කසුන් කල්හාර, සනුක වික්‍රමසිංහ වගේ වෙනසක් කරන බොහොමයක් දක්ෂ තරුණයෝ අදත් ඉන්නවා.   

දැන් තියෙන සංගීත කණ්ඩායම් කලාව ගැන මොකද හිතන්නේ?

මම සංගීත කණ්ඩායමක් එක්ක එකතු වෙන්නේ 1973 දි. ඒ කියන්නේ අවුරුදු 16දි. ඒ කාලෙ සංගීත සංදර්ශනයකට, සංගීත කණ්ඩායමකට විනයක් තිබුණා. ගායකයන් ගීත ගයන පිළිවෙලක් තිබුණා. මුලින් එන්නේ අමරදේව මාස්ටර්. ඊළඟට පිළිවෙලින් වික්ටර් රත්නායක, ටී. එම්. ජයරත්න, මිල්ටන්, ක්ලැරන්ස් වගේම අවසානෙට බයිලා ගායකයෝ. ඒත් දැන් මුලින් එන්නේ බයිලා ගායකයෝ. කිසිම විනයක් නැහැ.   

පවුලේ විස්තරත් කියමු.

මම පවුලේ වැඩිමලා. මගේ තාත්තා ඩබ්ලිව්. සිරිල් පෙරේරා. එතුමා දැනට ජීවතුන් අතර නැහැ. අම්මා ජීවතුන් අතර ඉන්නවා. මට නංගිලා තුන් දෙනෙක් ඉන්නවා. දෙන්නෙක් අම්මා වගේ නැටුම් ගුරුවරියෝ. අනික් නංගි සංගීත ගුරුවරියක්. මගේ බිරිඳ තාත්තාගේ කලායතනයේ ශිෂ්‍යයාවක්. දුව සචිනි ශානිකා. ඇය ඉන්දියාවේ ලක්නව් විශ්වවිද්‍යාලයේ කථක් නර්තනය පිළිබඳ රන් පදක්කම්ලාභිනියක්. දැනට ඇය කථිකාචාර්යවරියක් ලෙස කටයුතු කරනවා. පුතා තාරක පෙරේරා. ඔහු නර්තන ආචාර්යවරයෙක් වගේම දක්ෂ බෙරවාදන ශිල්පියෙක්.  

කලායතනය ගැන නොකියා හිටියොත් ඒක අඩුවක්.

අපේ කලායතනය එම්. ජී. පී. කලායතනය. එය ආරම්භ කළේ මගේ පියා. මුලින් ඒක තිබුණේ මුල්ගම්පොළ. දැන් ඊරියගම තියෙන්නේ. මාව සම්බන්ධ කරගන්න අවශ්‍ය නම් මගේ මේ දුරකථන අංකයට කතා කරන්න පුළුවන්. 077- 954 9157.   

අලුතෙන් කරළියට එන්න දවසක් ඇති?

අපේ මුල්ම ප්‍රසංගය ජුනි 30 වැනිදා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වෙනවා. එතැන් සිට අපි දිගටම හිතාගෙන ඉන්නේ ගෘහස්ථ ප්‍රසංග කරන්න. 

මාතෘකා