පෙළ පොත ඉවත ලා ජීවිත පොත පෙරළන හලාවත ‘පුංචි මුදලාලිලා’

 ඡායාරූපය:

පෙළ පොත ඉවත ලා ජීවිත පොත පෙරළන හලාවත ‘පුංචි මුදලාලිලා’

ආපසු එන්නට සැරසුණු විටදී පෙනුණේ දැල් ආම්පන්න සහිතව ඈත දියඹේ සිට තනිවම ගොඩබිම බලා යාත්‍රා කරමින් සිටින ළාබාල කොලු ගැටයෙකි. ඔහු ඒ වෙලාවේ සිටිය යුතුව තිබුණේ දියඹේ නොව පල්ලියේ දහම් පාසලේය. මේ ඔවුන්ගේ ජීවිත පොතේ පිටුවකි.

“මම දහවෙනි පන්තියට වෙනකම් ස්කෝලේ ගියා. ඒ වුණාට විභාගෙට ඉඳගත්තේ නැහැ. කම්මැලි හිතුණා. ඒ නිසා පවුලේ රස්සාව තෝරා ගත්තා” යැයි අප ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් පැවසුවේ, වෙරළේ හිඳ තමන් දියඹට ගෙන යන මාළු දැළ අලුත්වැඩියා කරමින් සිටි උමේෂ් මධුවන්තය. දෙමළ ජාතික දරුවකු වූ ඔහු 15 හැවිරිදිය.

“දැන් එහෙනම් ඔයා සල්ලි අතගාන මාළු මුදලාලි කෙනෙක්” යැයි අප කී විට “ඔව් ඔව්” යැයි බොහෝ ප්‍රීතියෙන් යුතුව උමේෂ් මධුවන්ත පිළිතුරු දුන්නේ අධ්‍යාපනයට සමුදී තෝරාගත් සිය රැකියාව තමන් ලද ජයග්‍රහණයක් සේ හඟවමිනි.

සීයට දාහතක් ගෙදර

අවම වශයෙන් පාසල් අධ්‍යාපනයවත් සම්පුර්ණ නොකළ, පාඩම් පොත් ඉවතලා ඉක්මනින් මුදල් පරිහරණයට නැඹුරු වී ඇති මෙවන් දෙමළ, සිංහල පිරිමි ළමයින් හලාවත මුහුද සහ කළපු තීරයේ සුලබ දසුන්ය. වයස අවුරුදු 16න් පහළ ළමයින් පාසල් නොයැවීම ශ්‍රී ලංකාවේ නීතිය අනුව දඬුවම් ලැබිය හැකි වරදකි. රටේ සාක්ෂරතාව 92%ක් හා ප්‍රාථමික පාසල්වලට ඇතුළත් වන සිසුන් ප්‍රතිශතය 99% සීමාවේ පවතින බව ආණ්ඩුවේ සංඛ්‍යා ලේඛන පෙන්වා දෙතත් රටේ වෙරළබඩ ප්‍රදේශවල තත්ත්වය මෙයට හාත්පසින්ම වෙනස්ය.

කම්කරු දෙපාර්තමේන්තුවේ ඉල්ලීමක් පරිදි ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව “ළමා ක්‍රියාකාරකම් සමීක්ෂණය 2016” නමින් සමීක්ෂණයක් සිදුකර 2017 පෙබරවාරි මස එම වාර්තාව එළි දක්වා තිබෙයි. එම වාර්තාව අනුව 2016 වර්ෂයේ දී වයස අවුරුදු 5-17 අතර ළමයින් සංඛ්‍යාව මිලියන 4.6ක් වන අතර එම කාලය තුළ පාසල් නොගිය ළමයින් සංඛ්‍යාව 452,661කි. මේ අතරින් අධ්‍යාපනය වටිනාකමක් ලෙස නොසලකා හා නැවත අධ්‍යාපනය ලැබීම ගැන උනන්දුවක් නොදක්වන (17.2%) 77,730 ක් සිටින අතර වෙනත් හේතූන් මත දරුවන් 32,821 (7.3%) ක් පාසල් නොයන පිරිස අතර සිටී.

පාරම්පරික වෘත්තිය

15 වියැති උමේෂ් මධුවන්ත අධ්‍යාපනය වටිනාකමක් ලෙස නොසලකා දිවි ගෙවන 17.2% ක් වන දෙමළ හා සිංහල පිරිමි ළමයින් අතරින් කෙනෙකි. හලාවත උතුර හා දකුණ වෙරළබඩ ප්‍රදේශවල විශේෂයෙන් ම කාවාටියාවත්ත හා කොලනිය යන

ප්‍රදේශ හා කළපුව ආශ්‍රිතව මෙම පිරිස් ජීවත් වෙති.

වෙරළ ආශ්‍රිතව ජීවත් වන මෙකී ධීවර පවුල් සියයට සියයක් ම යැපෙන්නේ මහ මුහුදෙන් මෙන්ම කළපුවෙනි. ඔවුහු සැබෑම ධීවරයෝ වෙති. පරම්පරාගත ධිවරයෝ වෙති. එමනිසා ම වත්මන් දරු පරපුර ද නිසි අධ්‍යාපනයක් ලබා තමන්ගේ හැකියාවන් මුවහත් කරගෙන වෙනත් වෙනත් ක්ෂේත්‍රයන්හි වෘත්තීන්වල නිරත වනවාට වඩා ඇල්මක් දක්වන්නේ සිය පාරම්පරික රැකියාවේම නියැලෙන්නටය.

ගින්දර අව්වේ සෙවණකට වී සිය මාළු දැල අලුත්වැඩියා කරමින් උමේෂ් වාඩි ගෙන සිටි තැනට යාබදව බෝට්ටුවක දැල් බේරමින් සිටි තවත් ළාබාල පිරිමි දරුවෙකි. ඔහු උමේෂ්ටත් වඩා වයසින් බාල දරුවකු බව පැහැදිලිය. උඩිනුත් යටිනුත් ගිනියම් වී ඇති අහසත් වැල්ලත් ගැන ඔහුට වගක් නැතිවා සේ කඩිසරව දැත් හසුරුවමින් සිය ඉලක්කය සපුරා ගන්නට යුහුසුළු වෙමින් දැල් බේරමින් සිටියි. අවසානයේදී අතට ලැබෙන මුදල පිළිබඳ කල්පනාව ඔහු විඳින බොහෝ ගැහැට අමතක කර දමා ඇති සෙයකි. අනෙක් පස උමේෂ් ආසන්නයේම උමේෂ්ගේ මවද පියාද සහෝදරියද සෙවණක් අටවාගෙන තවත් එවැනි ම මාළු දැල් කිහිපයක් අලුත්වැඩියා කරමින් සිටියහ.

අධ්‍යාපනය නොලැබුවාට මේ රැකියාව කරගෙන අපි හරිම සතුටින් ජීවත්වෙනවා යන හැඟීම ඔවුන්ගේ සිනහ පිරි මුහුණු කියා පෑවේය. නිසි අධ්‍යාපනයක් ලබාගැනීම සඳහා සිය දරුවන් කෙසේ හෝ යොමු කළහොත් අවසානයේදි උරුම වන ජීවිත ජයග්‍රහණ කොපමණද යන්න පිළිබඳ මේ මාපියනට වගේ වගක් නැතිවා සේය. ඒ පිළිබඳව ඔවුනට පමණක් නොව මේ වෙරළ තීරයේ් ජීවත් වන බොහෝ මාපියන් හට අවබෝධයක් නැති බවද කිහිප දෙනෙකුගෙන්ම කියැවුණි.

දෙමාපියන්ටත් ඕන නෑ

“මාපියන්ටත් අධ්‍යාපනය ගැන කිසිම වටිනාකමක් නැහැ. අධ්‍යාපනය කියන්නේ අමාරුවෙන් හරි ලබාදිය යුතු අනිවාර්යය දෙයක් කියන එක මේ වැල්ලේ මාපියන් අතළොස්සක් දෙනෙක් තමයි හිතන්නේ. අනෙක් අතට මාපියන්ට ළමයින් පාලනය කරගන්න බැරි තත්ත්වයකුත් තියෙනවා. පහුගිය සතියේ සෙබස්තියන් පල්ලියේ මංගල්‍යය තිබුණා. මංගල්ලෙ දාට පහුවදා දවස් දෙකේම ළමයි 14-15 යි ස්කෝලේ ආවේ, ළමයි 800ක් 900ක් විතර ඉන්න ස්කෝලෙන්. සති ගණන් මංගල්ලේ කනවා. සති ගණන් තලවිල, මඩුපල්ලි ගිහිං ඉන්නවා. භක්තිය විතරයි. ජීවිත ගොඩනඟා ගන්නේ නැහැ.” යැයි බීටා තිසේරා ශුද්ධවු පවුලේ පැවිදි සොයුරිය කීවා ය.

සිය දේවස්ථානය ආර්ථීක අපහසුතා පවතින පවුල්වල දරුවන්ගේ පාසල් අධ්‍යාපනය කරගෙන යන්නට අවශ්‍ය කරන උදව් හා ආධාර ලබාදුන්නද ඔවුන් අවම වශයෙන් සාමාන්‍ය පෙළ තෙක් වත් අධ්‍යාපනය ලබාගන්නට කිසිසේත්ම කැමැත්තක් නොමැති බව හලාවත නගරයේ එක් පාසලක විදුහල්පතිනියක වන බීටා පැවිදි සොයුරිය කියයි.

අධ්‍යාපනය අතරමඟ නවතා දමා මුහදට කළපුවට ගොස් මුදල් හම්බකර ගැනීමට අමතරව, ළාබාල වයසින් සිදු කර ගන්නා විවාහද වෙරළ තීරයේ අපමණ බවත්, කෙටිකාලීනව පවතින එවැනි බාලවයස් විවාහයන් අතරමඟ කැඩී බිඳී ගොස් නැවත නැවත වෙනත් හාදකම් දක්වා දිවෙන දේ බවට පත්ව ඇති ආකාරයද සුලබ දසුන් වී ඇත.

“මගේ දරුවත් පාසැල් නොයන කට්ටියේ හිටියා. දැන් එයාලා ඉස්කෝලේ යන වයස පහුකරපු අවුරුදු 17-18 විතර අය. ඒ නිසා එයාලට දැන් පුළුවන් රස්සාවක් කරලා ගෙවල්වලට කීයක් හරි හොයාදෙන්න. මගේ දෙවෙනි දරුවත් දැන් අවුරුදු 17යි. එයා හැමදාම දවල්ට කළපුවට යනවා මාළු ඇම ගහන්න. මගේ ලොකු පිරිමි දරුවත් ඉස්සර ස්කෝලේ ගිහිං ඇවිත් ඒ රස්සාවට ගියා. එයා දැන් බැංකුවක පොඩි රස්සාවක් කරනවා. ඉස්සර පුතා ඒ රස්සාව කරලා තමයි මාවයි මල්ලිලා දෙන්නවයි නඩත්තු කළේ” යැයි හලාවත කාවාටියාවත්තේ තිදරු මවක් කියයි.

හේතු සහ පිළියම්

මාපියන්ගේ නූගත්කම, ඇතැම් පවුල්වල පවතින දරිද්‍රතාව මෙන්ම ළමුන්ගේ කම්මැළිකම, ඔවුන් නොයෙකුත් යාළු-මිත්‍ර කල්ලිවලට සම්බන්ධ වීම් යන කරුණු මේ ආකාරයේ බාලවයස් රැකියාවන්ට යොමු වීමටත් බාලවයස් විවාහවලට පැටලීමටත් හේතු වී ඇති අතර ඔවුන් වෙනත් වෙනත් සමාජ විරෝධී ගනුදෙනුවලද ගොදුරු බවට පත් වී ඇතැයි හලාවත පදිංචි දෙදරු පියෙකු වන චමිල ප්‍රසන්න කීවේය.

මෙය ඉවසිලිමත්ව අවබෝධ කර ගත යුතු මෙන්ම සංසුන්ව විසඳුම් සෙවිය සංකීර්ණ සමාජ ගැටලුවකි. ඒ සඳහා බහු විධ පිළියම් අවශ්‍ය වේ. රළු නීතිමය ප්‍රවේශයක් ඒ ගැටලුව තවත් සංකීර්ණ කිරීමට මිස විසඳුම් පිණිස හේතු නොවන බව අවධාරණය කළ යුත්තකි. මේ දරුවන් අධ්‍යාපනය කෙරෙහි යොමු කිරීමට මෙන්ම ඔවුන් එම පද්ධතිය තුළ රඳවාගැනීමටද ක්‍රමවේදයක් සකස් කළ යුතුය. ඔවුන්ගේ හදවත් ආමන්ත්‍රණය කිරීමේ උපාය මාර්ග සෙවීම අධ්‍යාපන විශේෂඥයින්ගේ කාරියකි. එමෙන්ම අධ්‍යාපනය අතරමග හැර ගියවුන් වෙනුවෙන් විකල්ප අධ්‍යාපන වැඩසටහන් සම්පාදනය වීමද කාලීන අවශ්‍යතාවකි. ස්වේච්ඡා හා සිවිල් සමාජ ක්‍රියාකාරීත්වයට මේ සඳහා විශාල කාර්යභාරයක් ඉටු කළ හැකිය.

අප මුහුදු තීරයේ සංචාරය නිමා කර ආපසු එන්නට සැරසුණු විටදී දුටුවේ දැල් ආම්පන්න සහිතව ඈත දියඹේ සිට තනිවම ගොඩබිම බලා යාත්‍රා කරමින් සිටින ළාබාල කොලු ගැටයෙකි. ඔහු ඒ වෙලාවේ සිටිය යුතුව තිබුණේ දියඹේ නොව පල්ලියේ දහම් පාසලේය.

[කාර්තිකේසු කමලරාණි] [මෙලනි මානෙල් පෙරේරා]

මාතෘකා