විශිෂ්ටයන් බිහි කර නිහඬව බලා සිටින ටෙක්නිකල් හන්දිය

 ඡායාරූපය:

විශිෂ්ටයන් බිහි කර නිහඬව බලා සිටින ටෙක්නිකල් හන්දිය

ගම්පහ කන්නිමහර සිට කොළඹට විතැන් වෙන ප්‍රවීණ ගත්කතුවර කේ ජයතිලක මහත්මයා ටෙක්නිකල් හන්දිය ගැන දිනමිණ පුවත්පතට කියන්නෙ ඒ වගේ කතාවක්.  මේ කියන “ටෙක්නිකල් හන්දිය” හද්දා පිටිසරක තියෙන එකක් නෙමෙයි. අපි කවුරුත් හොඳට දන්න කියන කොළඹ වාණිජ අගනගරයෙ හදවතට ඉතාම ආසන්නවයි. හිරු රැසින් ගිනිගෙන දැවෙන, කලබලකාරී කොළඹ නගරයෙම එක් කෙළවරක බොහොම නිස්කලන්ක වටපිටාවක සිසිල් තුරු ගොමුවක පහස යට අදත් මේ ටෙක්නිකල් හන්දිය වැඩි හැල හොල්මනක් නැතිව තියෙනවා. එදා තිබුණු කැළෑවල් එළිවෙලා අහස සිඹින ගොඩනැගිලි ඉදි වුණත් අධික ජනාකීර්ණ කොළඹ නගරයට පයින් යන දුරින් පිහිටි මේ ටෙක්නිකල් හන්දිය අදටත් බොහොම නිස්කලන්ක හතර මන් හන්දියක්.

ටෙක්නිකල් හන්දියෙන් හැරිලා කොළඹ කොටුව පැත්තට ආවම ප්‍රධාන බස්නැවතුම, වරාය, රේගුව, දුම්රිය පළ මහ බැන්කුව ඇතුළු රටේ වාණිජ හදවතට පිවිසෙන්න පුළුවන්. නැතිනම් බස් එකකට හරි දුම්රියට හරි ගොඩවෙලා රටේ ඕනම තැනකට යන්න එන්න පුළුවන්. වරායෙන් නැවකට ගොඩ වුණොත් ලෝකෙ වටේ යන්නත් පුළුවන්. අනෙක් පැත්තට ගියාම හමුවෙන්නෙ නීතියේ දෙවඟන වැඩ ඉන්න තැන. රටේ ප්‍රධාන අධිකරණ පිහිටලා තියෙන අලුත් කඩේ උසාවි සන්කීර්ණයට ඒ පාරෙන් යන්න පුළුවන්. තවත් පසෙකින් ගුවන්තොටුපළ, නුවර පාර දිගේ ගිහින් රටේ උතුරට හරි ලෝකෙ අනිත් කෙළවරට හරි යන්න පුළුවන්. ඉතිරි පැත්ත මරදානට. කොළඹ මොන වගේද කියලා දැන ගන්න ඕන අයට ඒ පාර දිගේ ගිහින් කොළඹ වටේ ඇවිදින්න පුළුවන්.

ටෙක්නිකල් හන්දියට ඒ නම ලැබෙන්නෙ එහි පිහිටි ‘ටෙක්නිකල් කොලේජ්’ නැතිනම් කාර්මික විද්‍යාලය නිසා. 1893 වසරෙදි අලුත්වැඩියා කරනලද කෝපි ගබඩා ගොඩනැගිල්ලක ආරම්භ වුණු ‘සිලෝන් ටෙක්නිකල් කොලේජ්’ හෙවත් ‘රජයේ කාර්මික පාසල’ නිසා මේ හන්දිය ටෙක්නිකල් හන්දිය බවට පත්වෙනවා. අද වෙනකොට මරදාන ‘ටෙක්නිකල් හන්දිය’ කිව්වම නොදන්න කෙනෙක් නැති තරම්. මෙතැනින් යන බස්වල කොන්දොස්තර මහත්වරු පවා කියන්නෙ ‘ටෙක්නිකල්’ බහින්න කියලා.

මෙලෙස ඇරඹුණු කාර්මික විද්‍යාලය අපේ රටේ පැරණිම අධ්‍යාපන ආයතනයක්. මේ ආයතනය මගින් සිවිල්, විදුලි, යාන්ත්‍රික ඉන්ජිනේරු පාඨමාලාවන් මෙන්ම  භෞතික විද්‍යා, රසායන විද්‍යා වැනි විද්‍යා පාඨමාලාවන්ද ආරම්භ වෙනවා. ශ්‍රී ලංකා වෛද්‍ය විද්‍යලය මුලින්ම ආරම්භ වෙන්නෙ ටෙක්නිකල් හන්දියේ පිහිටි මේ කාර්මික විද්‍යාලය තුළ. පසුව වෛද්‍ය විද්‍යාලය වෙනම ආයතනයක් බවට පත් වෙලා වෙන් වෙනවා. ගුරු විද්‍යාල ආරම්භ වන තුරුම මෙහි පාසල් ගුරුවරුන් සඳහා විද්‍යා පාඨමාලා පැවැත්වෙන්නෙත් මේ ආයතනයේ. ගණකාධිකරණය, තක්සේරුකරණය, ලේකම්වෘත්තිය, බැන්කු වෘත්තිය, අලෙවිකරණය සහ ලඝුලේබන විද්‍යාව පිළිබඳ පාඨමාලාද මෙහි ආරම්භ වන අතර පසුව එම වෘත්තින්ට අදාළ ආයතන ආරම්භ වීමට මේ කාර්මික විද්‍යාලය දායක වෙනවා.

1906 වන විට ‘රජයේ කාර්මික විදුහල’ ‘ලංකා කාර්මික විද්‍යාලය’ ලෙස වෙනස් වෙනවා.  

1921 ලංකා විශ්වවිද්‍යාලයේ විද්‍යා අධ්‍යාපන අන්ශය වෙන්නෙත් මෙහි පිහිටලා තිබුණු විද්‍යා අන්ශය. 1933 වන විට ලන්ඩන් විශ්වවිද්‍යාලයෙ ඉන්ජිනේරු පාඨමාලාව සඳහා සිසුන් යොමු කිරීමද මෙහි ආරම්භ වෙනවා. 1950 ලංකා විශ්ව විද්‍යාලයේ ඉන්ජිනේරු පීඨය ආරම්භ වන තුරුම ලන්ඩන් විශ්වවිද්‍යාලය සඳහා සිසුන් යොමු කරන්නේ මරදාන කාර්මික විද්‍යාලයයි. පසුව මෙහි ආරම්භ වන ලංකා විශ්වවිද්‍යාලයේ ඉන්ජිනේරු පීඨය පේරාදෙණියේ පිහිටි නව පරිශ්‍රය වෙත ගෙන යාම පසු කාලීනව සිදු වෙනවා.

1953 වසරේදී කාර්මික විද්‍යාලයේ කලාශිල්ප අන්ශය රජයේ සෞන්දර්ය විද්‍යාලය ලෙස නව දෙපාර්තමේන්තුවක් වෙත අනුයුක්ත කෙරෙනවා. වර්තමාන සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලය බවට පත්වෙලා තියෙන්නෙ මේ ආයතනයයි. මරදාන කාර්මික විද්‍යලයෙ තිබුණ ප්‍රායෝගික තාක්ෂණය පිළිබඳ පාඨමාලා 1960 අවුරුද්දෙදි මොරටුව කටුබැද්ද ප්‍රදේශයට ගෙන යනවා. 1966දී ශ්‍රී ලංකා තාක්ෂණ විද්‍යාලය වශයෙන් උසස් කරපු මේ ආයතනය 1972 මොරටුව විශ්වවිද්‍යාලය බවට පත්වෙනවා.  පසුව මේ කාර්මික විද්‍යාලයටත් උසස් වීමක් ලැබෙනවා. ඒ පළාතකට එක් තාක්ෂණ විද්‍යාලයක් ආරම්භ කිරීමේ වැඩපිළිවෙළ යටතේ 2008 වසරේදී කොළඹ තාක්ෂණ විද්‍යාලය බවට පත් වීම.

කුඩා කර්මාන්ත ශාලාවකින්, පර්යේෂණාගාරයකින් හා දේශන ශාලාවක් යුක්තව සිසුන් විසිපස් දෙනෙකුගෙන් ආරම්භ වූ කාර්මික විදුහල ලාන්කිය අධ්‍යාපන ක්ෂේත්‍රයේ විශිෂ්ට පෙරළියක් කරන්න සමත් වෙනවා. විද්‍යාව, කලාව, වාණිජ්‍ය, වෛද්‍ය විද්‍යාව ඉන්ජිනේරු විද්‍යාව වගේ විෂයයන් ලංකාවට හඳුන්වා දෙන්නෙ  මේ කාර්මික විද්‍යාලය. මොරටුව විශ්වවිද්‍යාලය, වෛද්‍ය විද්‍යාලය, සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය, පේරාදෙණිය විශ්වවිද්‍යාල ඉන්ජිනේරු පීඨය වැනි ආයතන රැසක ආරම්භය මේ ටෙක්නිකල් හන්දිය.  ඒ වගේම නිදහසින් පසු මේ රට ගොඩ නැගීම ආරම්භ කරපු විශිෂ්ට  ඉන්ජිනේරුවො, වෛද්‍යවරු, ගණකාධිවරු, කලා ශිල්පීන්, ගුරුවරු සියල්ලන්ගෙම තිඹිරිගෙය මේ ටෙක්නිකල් හන්දිය. පසු කාලීනව ටෙක්නිකල් හන්දියෙන් සමුගෙන ගිහින් වෙනත් තැන්වල ස්වාධීන ආයතන බිහි කළත් ඒ හැම තැනකම මූලාරම්භය  තියෙන්නෙ මේ ටෙක්නිකල් හන්දියේ.

ටෙක්නිකල් හන්දියෙන් බැහැපු ඩී. ජේ. විමලසුරේන්ද්‍ර මැතිතුමා  මුළු රටම ජල විදුලියෙන් ආලෝකමත් කළා. තන්ගල්ල, මිරිස්ස, යාපනය, බේරුවල වරායන්ද කොළඹ වරාය ජැටිය, පුත්තලම සිමෙන්ති කර්මාන්තශාලාව, පොල්ගොල්ල වේල්ල, ග්‍රහලෝකාගාරය, දළදාමාලිගාවේ රන්වියන, කළුතර චෛත්‍ය වගේ විශිෂ්ට නිර්මාණ මෙරටට දායක කරපු ආචාර්ය ඒ.එන්. එස් කුලසින්හ මැතිතුමත් ටෙක්නිකල් හන්දියෙන් බැහැලා කාර්මික විද්‍යාලයට ආපු කෙනෙක්.
තුන්මන් හන්දියෙන් හැරිලා චිත්‍ර ඉගෙන ගන්න මරදානට ඇවිත් විශිෂ්ට සාහිත්‍ය නිර්මාණ රාශියක් දායාද කරපු මහගම සේකර කලාකරුවාත් මෙහි කීර්තිමත් ආදිශිෂ්‍යයෙක්.

මහගම සේකර ලියූ ‘තුන්මන් හන්දිය’ නවකතාවේ එන සිරිසේන ගේ චරිතය එක් අතකට මහගම සේකර ගේම චරිතයට බෙහෙවින් සමානය. සිරිසේන තම ජීවිතයේ තීරණාත්මක වූ තුන් මන් හන්දිය වෙත පිවිසෙයි. එහි දී පාරවල් තුන තුන් අතකට විහි දී යයි. ‘එක් පාරක් ආපහු ගෙදර යන පාර ය. අනෙක් පාරෙන් ගියොත් ගම්පහ ලෝරන්ස් විදුහලට ගොස් ඉංග්‍රීසි ඉගෙන ගත හැකිය. තුන් වැනි පාර දිගේ යන්නට ඇත්තේ කොළඹ මරදානේ කාර්මික විද්‍යාලයටය.’ මේ ආකාරයටම මහගමසේකරට තම ජීවිතයේ තීරණාත්මක අවස්ථාවක් එළැඹිණි.  ඔහුද සිරිසේන මෙන් කොළඹට විත් මරදාන කාර්මික විද්‍යාලයයට බැඳී චිත්‍ර කලාව ඉගෙනීමට පටන් ගත්තේය. ඒ 1948දීය.

මේ වැනි රටට විශිෂ්ට සේවයක් ඉටු කළ, කරමින් ඉන්න විශාල පිරිසක් ටෙක්නිකල් හන්දියෙන් බැහැපු අයයි. මේ වගේ ජීවිතේ දිනන්න වෙර දරන විශාල පරපුරක් අදත් ටෙක්නිකල් හන්දියෙන් බහින්න බලාගෙන ඉන්නවා. හෙටත් එහෙමම ඉදීවි.

එදා මන් පහරන්නන්ගේ  රජ දහනක් වූ  ටෙක්නිකල් හන්දියෙන් හරි අඩකටත් වඩා අද අයිති කරගෙන තියෙන්නෙ කොළඹ  ශ්‍රී ලංකා තාක්ෂණ විද්‍යාලය සහ ශ්‍රී ලංකා දුම්රිය සේවය. මුහුණට මුහුණ බලාගෙන ඉන්න කාර්මික විද්‍යාලයත් දුම්රිය දෙපාර්තමේන්තු මූලස්ථානයත් ටෙක්නිකල් හන්දියෙ කොළඹ නගරය දෙසට තියෙන කොටස වෙන් කර ගෙන තියෙනවා. අනෙක් පැත්ත පෞද්ගලික ව්‍යාපාරික ආයතන කිහිපයක් හා සයිවර් කඩ පේළියක් හිමි කර ගෙන තියෙනවා. වසර දෙසීයකට වැඩි ඒ අභිමානය හිස දරාගෙන ටෙක්නිකල් කොලීජියෙ ඉන්ග්‍රිසි ආකෘතියට ගොඩ නැගුණ රක්ත වර්ණ අභිමානවත් ගොඩ නැගිල්ල ටෙක්නිකල් හන්දිය දිහා බලා ගෙන ඉන්නවා. එදා බක්කි කරත්ත වලින් ආපු ගියපු අයගෙ දරුවො සැප වාහන වලින් ඒ ඉදිරියෙන් යනවා. ඒ දියුණුවෙ ලොකු කොටසක අයිතියක් අදටත් ටෙක්නිකල් හන්දියට තියෙනවා.

[අසිරු කරුණාරත්න]

මාතෘකා

 
 
 
රටේ අපරාධ රැල්ල අඩු කිරීමට කළ යුත්තේ ?